The Most/Recent Articles

Showing posts with label දේශපාලන. Show all posts
Showing posts with label දේශපාලන. Show all posts

තානාපතිවරු දෙදෙනෙකු ගැන කතාවක් - ජාලිය හා සෝමසුන්දරම්



- ෂන්මුගම් කනගරත්නම් -


‘‘... ඒ තමයි හොඳම කාලය, ඒ තමයි නරකම කාලය, ඒ තමයි ප‍්‍රඥාවේ යුගය, ඒ තමයි මුග්ධ භාවයේ යුගය, ඒ තමයි විශ්වාසයේ අවදිය, ඒ තමයි සැකයේ අවදිය, ඒ තමයි ආලෝක සෘතුව, ඒ තමයි ඝනාන්ධකාර සෘතුව, ඒ තමයි අපේක්ෂාවේ වස්සානය, ඒ තමයි නෂ්ටාපේක්ෂාවේ සිසිරය. අප ඉදිරියේ සියල්ල තිබුණි. අප ඉදිරියේ කිසිවක් නොවුණි. අප සියල්ලන් සිටියේ, කෙලින්ම දෙව්ලොව යමිනි. අප සියල්ලන් සිටියේ කෙලින්ම එහි ප‍්‍රතිදිසාවට යමිනි.’’ 
- දෙනුවර අන්දරය (චාල්ස් ඩිකන්ස්) 


සෝමසුන්දරම් ස්කන්ධකුමාර  හා ජාලිය වික‍්‍රමසූරිය

1959 දී ප‍්‍රකාශයට පත් චාල්ස් ඩිකන්ස්ගේ ‘දෙනුවර අන්දරය’ නවකතාව, ප‍්‍රංශ විප්ලවය සමයේ ලන්ඩන් නුවර සහ පැරිස් නුවර පිළිබඳ ප‍්‍රබන්ධ කතාවකි. මේ කියන්නට යන ශ‍්‍රී ලංකා තානාපතිවරුන් දෙන්නා පිළිබඳ කතාව ප‍්‍රබන්ධයක් නොවේ. ඉන් කෙනෙක්, ඕස්ට්‍රේලියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර ය. 2015 අගෝස්තු මාසයේ එම ධුරයට පත්කරනු ලැබූ ඔහු මේ වන විට සිය සේවා කාලය අවසන් කොට ආපසු ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. අනිත් කෙනා ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ ශ‍්‍රී ලංකා තානාපති වශයෙන් 2008 දී පත්කෙරුණි. ඔහුගේ නම ජාලිය වික‍්‍රමසූරිය ය. 2014 දී ඇමරිකානු ආණ්ඩුව ඔහුට එරෙහිව ගොනු කරමින් සිටි චෝදනා ගණනාවක් හමුවේ එම තනතුරෙන් ඔහු ඉවත් කරන්නැයි ඇමරිකාව ලංකා රජයෙන් ඉල්ලා සිටින තෙක්, ඔහු ලංකාවේ තානාපති වශයෙන් කටයුතු කෙළේය. බරපතල මූල්‍ය අපරාධ, බදු පැහැර හැරීම් සහ තාක්ෂණික විධික‍්‍රම ඔස්සේ කරන ලද මූල්‍ය අක‍්‍රමිකතා පිළිබඳ චෝදනා ඇමරිකානු රජය ඔහුට විරුද්ධව ගොනු කොට තිබුණි. ඊට අමතරව, මේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා, ඇමරිකාවේ නිත්‍ය පදිංචිය සඳහා ඉදිරිපත් කළ ඉල්ලූම් පත්වල සාවද්‍ය තොරතුරු සැපයීම සම්බන්ධයෙන් ද චෝදනාවට ලක්ව සිටී. ඒ සියල්ල අස්සේ, මේ වන විට ඔහු ශ‍්‍රී ලංකාවේ නීතියෙන් සහ අධිකරණයෙන් පලා ගොස් සිටින පුද්ගලයෙකි.

වැරදුණේ කොතැන ද?

මේ දෙදෙනාම එම තනතුරුවලට පත්කරන අවස්ථාවේ වෘත්තීය රාජ්‍ය තාන්ත‍්‍රික සේවයට අයත් වූවෝ නොවෙති. දෙදෙනාම, ලංකාවේ වාණිජ සහ කර්මාන්ත පෞද්ගලික ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරිකයන් ය. දෙදෙනාටම රාජ්‍ය අංශයේ පළපුරුද්දක් නොතිබුණි. 

සෑම පැත්තකින්ම, ස්කන්ධකුමාර් ඔහුගේ නියමිත තානාපති සේවා කාලය තුළ විශිෂ්ඨත්වයට පත්විය. ඔහු සේවය කළ කලාපය තුළ ශ‍්‍රී ලංකාවට තැනක් ගෙන දෙමින් එම කලාපයේ කර්මාන්ත ක්ෂේත‍්‍රයේ නායකයන්, දේශපාලඥයන්, පුණ්‍යාධාර සමිති සමාගම් සහ ක‍්‍රීඩා සංවිධාන සමග මනා සම්බන්ධතාවක් පවත්වා ගත්තේය. 2017 දී ශ‍්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ සංචාරයට අදාළ ප‍්‍රධාන කාර්ය භාරයක් ඔහු කෙළේය. 2015 දී ඔහුව ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස් තනතුරට පත්කරන අවස්ථාවේ ඒ පත්වීම ගැන කිසිවෙකු ප‍්‍රශ්න කෙළේ නැත. ඔහුට තිබුණේ නොකිළිටි අතීත වාර්තාවකි. යහපත් පවුල් පසුබිමකින් පැවත ආ ඔහුගේ පියා ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ කීර්තිමත් නිලධාරියෙකු විය. පාසල් යන සමයේ කොළඹ රාජකීය විද්‍යාලයේ ක‍්‍රිකට් තරුවක් වූ ස්කන්ධකුමාර්, අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයේත්, ඊළඟට කොළඹ ‘ටැමිල් යූනියන්’ ක‍්‍රීඩා සමාජයේත් කැපී පෙනෙන ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් විය. 1998-2000 අතර කාලයේ ඔහු එම ක‍්‍රීඩා සමාජයේ සභාපතිත්වය දැරීය. එය, එම ක‍්‍රීඩා සමාජයේ සියවස් සැමරුම් වර්ෂය ද වී තිබුණි. 

ශ‍්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ඒජන්සි ආයතනයක විධායක නිලධාරියෙකු වශයෙන් වෘත්තීය ජීවිතය ඇරැඹූ ස්කන්ධකුමාර්, ජෝර්ජ් ස්ටුවර්ට් සමූහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා වශයෙන් උසස් වීමෙන් අනතුරුව එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ද විය. එබැවින්  ඕස්ට්‍රේලියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් වශයෙන් විශිෂ්ට සේවාවක් කිරීමට ඔහුට හැකි වීම පුදුමයක් නොවේ. 

සෝමසුන්දරම් ස්කන්ධකුමාර


2005 දී ලොස් ඇන්ජලිස් නුවර ශ‍්‍ර‍්‍රී ලංකා දූත මෙහෙවරේ කොන්සල් ජෙනරාල්වරයා වශයෙන් ජාලිය වික‍්‍රමසූරිය පත්කළ අවස්ථාවේ එය කිසිවෙකුගේ වැඩි අවධානයට ලක් නොවීය. එය ඉතා කුඩා කාර්යාලයකි. බොහෝ විට ඔහුට පැවරුණු රාජකාරි වුණේ, ලිපි ලේඛනවලට අත්සන් කිරීම, දිව්රුම් පෙත්සම් නොතාරිස්වරයෙකු ලෙස කටයුතු කිරීම සහ වීසා නිකුත් කිරීම ආදියයි. එහෙත් 2008 දී ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති වශයෙන් පත්කළ අවස්ථාවේ, රාජ්‍ය තාන්ත‍්‍රික, දේශපාලනික සහ ශ‍්‍රී ලංකා ප‍්‍රජාව අතරේ එය ඉමහත් ආන්දෝලනයට තුඩුදුණි. ඊට කලින් එම තනතුර දරා තිබුණේ වෘත්තීය රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන්, කීර්තිමත් විද්වතුන් සහ විද්‍යාඥයන් විසිනි. ඒ අතරේ එක්සත් ජාතීන්ගේ හිටපු උපලේකම්වරයෙකු වන ජයන්ත ධනපාල, ආචාර්ය වර්ණසේන රාසපුත‍්‍ර සහ ආචාර්ය ආනන්ද ගුරුගේ වැනි පුද්ගලයෝ වූහ. සාමාන්‍ය පාසල් අධ්‍යාපනයක් පමණක් ලබා ඇති, ලංකාවේ තේ වෙළඳාම තුළ සීමිත අත්දැකීම් සහිත පුද්ගලයෙකු වන ජාලිය වික‍්‍රමසූරිය ඇමරිකාව වැනි රටක තානාපති තනතුරක් සඳහා යෝග්‍ය පුද්ගලයෙකු නොවේ. ඔහුට තිබූ එකම සුදුසුකම වුණේ, එය සුදුසුකමක් වශයෙන් සලකන්නේ නම්, එදා ජනාධිපති මහින්ද රාජපක්ෂට තිබූ බන්ධුත්වය පමණි. එම තනතුරට ඔහුව පත්කරන ලද්දේ එම ජනාධිපතිවරයා විසිනි. මොහු ජනාධිපතිවරයාගේ මස්සිනා ය.

මේ පත්වීම කෙරෙන්නේ, ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් විට, ඉතා තීරණාත්මක මොහොතක ය. දෙමළ කොටි සංවිධානය සමග ලංකා රජය ගෙන යමින් සිටි යුද්ධය පිළිබඳව නැගී එන ජාත්‍යන්තර විවේචන සහ රජයේ හමුදා යුද අපරාධ සිදු කරමින් සිටිති ය යන චෝදනා එකල මතුවෙමින් තිබුණි. ශ‍්‍රී ලංකාවට අදාළ ජාත්‍යන්තර සම්බන්ධතා සහ ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය පිළිබඳව පැනනැගෙමින් තිබූ ඒ බලවත් අර්බුදකාරී අවස්ථාවේ මොහු වැනි පුද්ගලයෙකු එවැනි තනතුරකට පත්කිරීමට රාජපක්ෂ පාලනය තීරණය කිරීම හුදෙක් ඔවුන්ගේ අවිදග්ධ භාවය පළකිරීමක් ද, නැත්නම් ජාත්‍යන්තර ප‍්‍රජාව පිළිබඳ අවතක්සේරුවක සිටීමක් ද යන්න පැහැදිලි නැත. 

ශ‍්‍රී ලංකා හමුදාව දෙමළ ප‍්‍රජාවට එරෙහි යුද අපරාධ කර ඇතැයි යන චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණ පවත්වන මෙන් ඉල්ලා, ඇමරිකාව පෙරටුකොට ගත් ජාත්‍යන්තර ප‍්‍රජාවේ යෝජනා, ‘සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය’ වෙත එකල ඉදිරිපත්ව තිබුණි. ඒ අංශයෙන් ඇමරිකාව හෝ ජාත්‍යන්තර ප‍්‍රජාව තුළ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති නොරිස්සීම් සමනය කිරීම සඳහා ජාලිය වික‍්‍රමසිංහ කළ දෙයක් දැන ගන්නට නැත. වොෂින්ටන් නුවර ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිට ඔහු කළ එකම දෙය වශයෙන් පෙනෙන්නේ ඔහුගේ තේ ව්‍යාපාරයට අදාළ වැඩ කටයුතු ය.
ජාලිය වික‍්‍රමසූරිය


ඒ තත්ත්වය තුළ ජාලිය වික‍්‍රමසූරියගේ කලදසාව කොහොමත් නරක් වීමට නියමිතව තිබුණි. ලෝකයේ බොහෝ දේවල්වල ප‍්‍රථම ස්ථානය ගැනීමේ ගෞරවය ශ‍්‍රී ලාංකිකයන් හිමි කරගෙන තිබේ. වික‍්‍රමසිංහට එරෙහිව ඇමරිකානු ආණ්ඩුව අපරාධ නඩු පැවරීම, ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත‍්‍රික ක්ෂේත‍්‍රය තුළ, ලංකාව සම්බන්ධයෙන් ප‍්‍රථම වතාවට දකින්ට ලැබුණු තත්ත්වයකි. රටක් නියෝජනය කරන තානාපතිවරයෙකු රාජකාරියේ යෙදෙන අතරේ බරපතල අපරාධ පිළිබඳ චෝදනාවන්ට ලක්වීම, ශ‍්‍රී ලංකාවට මහත් වූ අගෞරවයක් සහ අවමානයක් ගෙන දුන් සිද්ධියකි. 

මේ තානාපතිවරුන් දෙන්නාගේ වෙනස ගැන වර්තමාන පාලකයන් අවධානය යොමු කොට ඇත්ද යන්න කිව නොහැක. 2010 දී, හමුදා නිලධාරියෙකු වූ ෂවේන්ද්‍ර සිල්වා එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත වශයෙන් පත්කෙරුණි. යුද්ධය අවසන් වූ සැණින් ලංකාවේ පාලකයන් වැඩි වැඩියෙන් හමුදා නිලධාරීන් රාජ්‍ය තාන්ත‍්‍රික සේවාවට පත්කරන තත්ත්වයක් එදා ඇති විය. ඒ අනුව, ජර්මනිය, පාකිස්තානය, මැලේසියාව, ඊශ‍්‍රායලය, ඉන්දුනීසියාව, ජපානය, ඕස්ට්‍රේලියාව සහ එරිත්‍රියාව වැනි රටවලට හිටපු හමුදා නිලධාරීන්ව පත්කර යවන ලදී. 

හමුදා නිලධාරියෙකු රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියෙකු නොවිය යුත්තේ ඇයි?

එය වැදගත් ප‍්‍රශ්නයකි. වෘත්තීය රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියෙකු පුහුණුවෙන් සහ අධ්‍යාපනයෙන් තානාපති නිලධාරියෙකු බවට පත්වන්නේය. රටක විදේශ සේවාව එම රට වෙනුවෙන් ලෝකයේ නොයෙක් තැන්වල සේවය කිරීම සඳහා සුදුසු පුද්ගලයන් බඳවාගෙන පුහුණු කරනු ලැබේ. රට රටවල් අතර හොඳ හිත පවත්වා ගැනීම, රටවල් අතර වෙළඳාම සහ වාණිජ කටයුතු වැඩි දියුණු කිරීම සහ අන්‍යොන්‍ය රාජ්‍ය තාන්ත‍්‍රික සම්මත සබඳතා පවත්වාගෙන යාම මොවුන්ට පැවරෙන රාජකාරියකි. 

එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලයට අනුබද්ධව සිටි බ්‍රිගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දුගේ සිද්ධිය අරගෙන බලන්න. ලන්ඩන් නුවර පැවති ශ‍්‍රී ලංකාවේ නිදහස් දින සැමරුම් උත්සවයකදී, ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ කරමින් සිටි දෙමළ පිරිසකගේ ගෙල කපා දැමෙන බවට බ්‍රිගේඩියර්වරයා අභිනයකින් දැක්වීම කැමරාවට හසු විය. ලක්ෂ ගණන් කැරලිකරුවන් සහ සාමාන්‍ය වැසියන්, එක්කෝ මියගිය නැතහොත් අතුරුදහන් කරනු ලැබූ යුද්ධයේ අවසාන භාගයේ මේ බ්‍රිගේඩියර්වරයා උතුරේ සේවය කොට තිබුණි. එවැනි පුද්ගලයෙකු රාජ්‍ය තාන්ත‍්‍රික සේවාවක් සඳහා කෙසේ නම් උචිත වන්න ද ? එවැනි පුද්ගලයෙකුගෙන්, සාමයට ලැදි චර්යාවක් කෙසේ නම් අපේක්ෂා කරන්න ද? මෙහිදී සිදුවුණේ, හමුදා පුහුණුව රාජ්‍ය තාන්ත‍්‍රිකත්වයට කාන්දු වීමකි. රාජ්‍ය තාන්ත‍්‍රිකත්වයේ අවශ්‍යතාවන්ට අනුගත වන ආකාරයේ හැසිරීමක් හමුදා නිලධාරියෙකුගෙන් කෙටි කාලයකදී බලාපොරොත්තු විය හැකි නොවේ. කෙසේ වෙතත්, මේ සිද්ධියෙන් පසු එකම හොඳකට සිද්ධ වුණේ, එම නිලධාරියාව බලධාරීන් වහා ආපසු ගෙන්වා ගැනීමයි. 

ශ‍්‍රී ලංකාව හැර ගොස් ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකාව, එක්සත් රාජධානිය සහ යුරෝපය ආදී තැන්වල ජීවත් වන ශ්‍රී ලාංකිකයෝ සිය රටේ නාමය රකිති. වෛද්‍යවරුන්, නීතිඥයන්, ඉංජිනේරුවන්, තොරතුරු තාක්ෂණිකයන්, ගණකාධිකාරීන් සහ විද්වතුන් වැනි කණ්ඩායම් ඒ ඒ අංශවලින් සුරුවිරු කම් පාති. එම රටවල්වල වාසය කරන ආකාරයෙන්ම ඔවුහූ තමන්ගේ මාතෘ භූමියට ගෞරවයක් ගෙන දෙති. ලංකාවේ මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළදී පාදඩයන් සහ දාමරිකයන් සේ හැසිරෙන සැටි ලෝකයා දකින විට ඉන් වඩාත්ම ගැහැටට පත්වන්නේ මේ පිරිස් ය. මෙවැනි පුද්ගලයන් මහජන නියෝජිතයන් වශයෙන් පත්කර ගන්නා ජනතාව කොයි වගේදැ යි විදේශිකයෝ එම පිරිස්වලින් ප‍්‍රශ්න කරති. තානාපතිවරුන් වශයෙන් අප ලෝකයට යවන්නේ මොන වගේ පුද්ගලයන් ද යන්නත් අසන්නේ එලෙසින්මයි. 

පරෙවියන් අතරේ උකුස්සන් සිටිය යුතු නැත

ඇතැම් අපරාධ සම්බන්ධයෙන් විශ්ව අධිකරණ බලය අභ්‍යාස කිරීමේ තත්ත්වයට අද ලෝකය පත්ව සිටී. යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ මහ පරිමාණ සමූහ මිනිස් ඝාතන යනාදිය එම විශ්ව අධිකරණ බලයට අයත් වෙයි. එවැනි අපරාධ ලෝකයේ කොහේ සිදුවුවත්, ඒවා විභාග කර බැලීමේ බලය නූතන ලෝකයේ බොහෝ රටවල් තමන් වෙත පවරාගෙන තිබෙන බව අපේ පාලකයන් දත යුතුය. 1973 සිට 1990 දක්වා චිලී රට පාලනය කළ ජෙනරාල් පිනෝචේ අත්අඩංගුවට ගැනුණේ එංගලන්තයේ වෛද්‍ය ප‍්‍රතිකාර ලබමින් සිටියදී ය. ඔහු වෙනත් රටක පුරවැසියෙකු වීම හෝ ඔහුට රාජ්‍ය තාන්ත‍්‍රික මුක්තිය තිබීම හෝ එහිදී වැදගත් නොවුණි. ඊළඟට, ඔහුට විරුද්ධව නඩු පවරනු ලැබුවේ, ඔහුගේ අයත් රට නොවන ස්පාඤ්ඤයේ ය. අවුරුද්දකට වැඩි කාලයක් බ්‍රිතාන්‍ය අත්අඩංගුවේ සිටීමට එදා ඔහුට සිදුවිය. කලක් ඇමරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය උපදේශකයා වූ ද, තවත් කාලයක් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා වූ ද හෙන්රි කිසිංගර් ඇමරිකාවෙන් පිටට ගියොත් ඕනෑම අවස්ථාවකදී අත්අඩංගුවට පත්වීමේ අවදානම ඇති බව කියනු ලැබේ. ඒ, වියට්නාමයේ සහ දකුණු ඇමරිකාවේ මීට බොහෝ කලකට පෙර කරන ලද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට ඔහු වගකිව යුත්තෙක් ය යන චෝදනාව යටතේ ය.

මේ සන්දර්භය තුළ, ඉහත සඳහන් තානාපතිවරුන් දෙදෙනාගේ කතාන්තරය අනුව, අපේ විදේශ සේවාව, වෘත්තීය රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන්ට භාර කිරීම වඩාත් යෝග්‍ය බව පෙනේ. පරෙවියන් අතරේ උකුස්සන් සිටිය යුතු නැත. ඥාති සංග‍්‍රහය අනුව විදේශ තානාපති සේවාවේ තනතුරු භාර දීම මොන තරම් අවදානමක් ද යන්න ජාලිය වික‍්‍රමසූරියගේ සිද්ධියෙන් සනාථ වෙයි. මෙය, අපේ රටේ විදේශ ප‍්‍රතිපත්තිය පිළිබඳ ඉතා බැරෑරුම් අවදියකි. ජාත්‍යන්තර සම්බන්ධතාවලදී බුද්ධිමත් විදේශ ප‍්‍රතිපත්තියක් ගෙන යාම අත්‍යාවශ්‍ය කෙරේ. ඒ සම්බන්ධයෙන් ගත් විට, ඇමරිකාව සහ ඉන්දියාව සමග අපේ සම්බන්ධතා තර කර ගත යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. ලංකාවේ භූමියෙන් කොටසක් සහ ඉතා වටිනා වාණිජ වටිනාකමක් ඇති ව්‍යවසායන් බන්දේසියක් උඩ තබා චීනයට පිරිනැමීම ඉන්දියාව සහ ඇමරිකාව කිසි සේත් අනුමත නොකරයි. ඔවුන් එහිදී නිශ්ශබ්දව සිටිතැයි නොසිතිය යුතුය. 

අපේක්ෂාවේ වස්සානය දැන් නෂ්ටාපේක්ෂාවේ සිසිරයක් වෙලා 

ශ‍්‍රී ලංකාව ස්වකීය හැත්තෑ එක් වැනි නිදහස සැමරුවේය. චාල්ස් ඩිකන්ස් ඔහුගේ ‘දෙනුවර අන්දරය’ නවකතාවේ මතු කළ ප‍්‍රශ්න එහිදී අපේ සිහියට නැගේ. ශ‍්‍රී ලංකාවේ හොඳම කලදසාව සහ නරකම කලදසාව කුමක්ද යන්න ප‍්‍රශ්නයකි. අපේ රට අද සිටින්නේ ඥාන ප‍්‍රදීපයක ද, නැත්නම් මුග්ධ අගාධයක ද යන්න ප‍්‍රශ්නයකි. ඉස්සර ආලෝකයක් තිබී දැන් අන්ධකාරයට යමින් සිටී ද යන්න ප‍්‍රශ්නයකි. ඉස්සර තිබූ අපේක්ෂාවේ වස්සානය දැන් නෂ්ටාපේක්ෂාවේ සිසිරයක් බවට පත්ව ඇත් ද යන්න ප‍්‍රශ්නයකි.

ඉස්සර හැම දෙයක්ම තිබුණි ද, දැන් කිසිවක්ම නැත් ද ? ඉස්සර කෙලින්ම ස්වර්ගයට ගිය අපි දැන් කෙලින්ම යන්නේ වෙනත් දිසාවකට ද යන්න සිතා බැලිය යුතුය.



(2019 පෙබරවාරි 25 වැනි දා Daily Mirror පුවත්පතේ පළවූ, “A Tale of Two Diplomats" නැමති ලිපියේ සිංහල පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.) 

ව්‍යවස්ථාදායක සභාවට අත නොතබනු



කතානායකවරයාට ද්වේෂ කරන්නේ ඇයි ? 

හිටිහැටියේම ව්‍යවස්ථා සභාවට වෙඩි වරුසාවක් එල්ල වෙමින් තිබේ. ඒ, අන් කවරෙකුටත් වඩා, ශ‍්‍රී ලංකා ජනරජයේම ජනාධිපතිවරයාගෙනි. ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය නොවන විපක්ෂයත් ඒ ප‍්‍රහාරයට එක්ව සිටී. ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ කතානායකවරයා ය. පැහැදිලිවම, මේ දිනවල කතානායකවරයාට ද්වේෂ කිරීමට ඒ දෙපාර්ශ්වයටම දේශපාලනික හේතු තිබේ. 

ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාවට එරෙහිව චෝදනා එල්ල කරන්නේ නම්, එයම එකී සභාවේ නිරවද්‍යභාවය පෙන්නුම් කරන සහතිකයක් වන්නේය. ව්‍යවස්ථා සභාව මුලින්ම පිහිටුවන ලද්දේ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ය. (එය පතුරු ගසමින් ජනාධිපතිවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේදී කියා සිටිය පරිදි, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ නොවේ). එය පිහිටුවීමේ අරමුණ වුණේ ඉබාගාතේ යන විධායක ජනාධිපතිවරයෙකු වෙතොත් ආම්බාන් කිරීමයි. විධායක ජනාධිපතිවරයෙකුගේ ස්වාධිපති බලතල ඉදිරියේ තැබෙන ‘තුලන සහ සංවරණ’ නියාමනයක් ඒ මගින් අපේක්ෂා කෙරුණි. ඒ කාලයේ මේ කියන බලතල බෙහෙවින් අවභාවිත කෙරුණු අතර ඊට එරෙහි විශාල ජනතා හඬක් මතු විය. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ඉල්ලා අද පවා තිබෙන ජනතා හඬ එහිම ප‍්‍රතිරාවයයි.

ඒ කාලයේ පත්වෙන ජනාධිපතිවරුන් සිතුවේ ජනතාවගෙන් තමන්ට ලැබෙන වරම, තමන්ගේ අභිමතයක් කිරීමට දෙවියන් වහන්සේගෙන් ලැබෙන අවසරයක් වශයෙනි. රාජ්‍යයේ ඉහළ තානාන්තරවලට පුද්ගලයන් තෝරා ගැනීමේදී එදා ජනාධිපතිවරුන් පරීක්ෂාකාරීව සහ ගෞරවාන්විතව කටයුතු කෙළේ නැත. දේශපාලඥයන් වශයෙන් මේ ජනාධිපතිවරුන් දේවල් දිහා බැලූවේ ස්වකීය දේශපාලනික කණ්නාඩිවලිනි. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන තිබියදී පවා, අගවිනිසුරු වැනි ඉතා වැදගත් තනතුරුවලට තමන්ගේ මිනිසුන් පත්කර ගැනීමට එදා ජනාධිපතිවරු කටයුතු කළහ. 

ඉහළ තනතුරු වලට වැරදි පුද්ගලයින් පත්කිරීමට ජනපති සතුව පැවති තනි බලය අහිමි වී යෑම 

කෙසේ වෙතත්, ඉහළ තනතුරුවලට වැරදි පුද්ගලයන් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතුව එතෙක් තිබූ තනි බලය, ව්‍යවස්ථා සභාව පත්කර ගැනීමෙන් පසු වැළකී ගියේය. එවැනි තනතුරු සඳහා තමා පුද්ගලයන් නිර්දේශ කර යැවීමේදී වඩාත් සුපරීක්ෂාකාරී වීමට ඉන් පසු ජනාධිපතිවරයාට බල කෙරුණි. හිතුමතේට සහ තමාගේ කැමැත්තට පමණක් පුද්ගලයන් පත්කිරීමට ජනාධිපතිවරයාට නොහැකි වුණි. මන්ද යත්, ඔහුගේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සඳහා ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අනිවාර්ය වූ බැවිනි. 

මේ අතර, ඉහළ තනතුරු සඳහා වන පාර්ලිමේන්තු කමිටුවක් ද ඒ වන විට පිහිටුවා තිබුණි. එහෙත් ඒ මගින් සලකා බැලූණේ, අමාත්‍යාංශ ලේකම්වරුන්, ව්‍යවස්ථාපිත මණ්ඩලවල සහ දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් සහ තානාපතිවරුන් වැනි දෙවැනි පෙළේ පත්කිරීම් ගැනයි. ජනාධිපතිවරයා ඒ තනතුරුවලට නම් නිර්දේශ කොට එවූ විට මේ පාර්ලිමේන්තු කමිටුව රබර් මුද්‍රාවක් වශයෙන් ඒවාට අනුමැතිය දුනි. එම කමිටුවෙන් සලකා බැලූණේ, අදාල පුද්ගලයන්ගේ සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය වාර්තා සහ ඔවුන්ගේ ආදායම් බදු ලිපිගොනු අංක පමණි. වරක් එක් අයෙකු ඒඞ්ස් රෝගයෙන් පෙලූණු නිසා එම නම ප‍්‍රතික්ෂේප කෙරුණි. තවත් වරක්, ආදායම් බදු ලිපිගොනු අංකය සැපයිය නොහැකි වූ තවත් අයෙකුගේ නම ප‍්‍රතික්ෂේප කෙරුණි. ඉතා මෑතකදී, එක් තානාපතිවරයෙකුගේ නම අනුමත කෙරුණේ ජනාධිපතිවරයා පෞද්ගලිකවම ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවට කරුණු දැක්වීමෙනි.

මේ කියන උසස් තනතුරු සඳහා වන පාර්ලිමේන්තු කමිටුවට වඩා හරවත්ව ව්‍යවස්ථා සභාව පිහිටුවා තිබේ. දේශපාලඥයන් නොවන 7 දෙනෙකුගෙන් සහ දේශපාලඥයන් 3 දෙනෙකුගෙන් සමන්විත ආයතනයක් වශයෙන් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ එය පිහිටුවා තිබුණත්, 2015 දී මේ පත්කිරීම් ‘ක‍්‍රමය’ තවදුරටත් නිර්දේශපාලනීකරණය කිරීමට අපේක්ෂා කළ ව්‍යවස්ථා සභාව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවා ගැනුණේ, දේශපාලඥයන් 7 දෙනෙකුගෙන් සහ දේශපාලඥයන් නොවන 3 දෙනෙකුගෙන් සමන්විත ආයතනයක් වශයෙනි. ඒ ආකාරයෙන්, ජනාධිපතිවරයා සහ විපක්ෂය ඇතුළු දේශපාලඥයන් කලින් තමන්ගෙන් ගිලිහී ගොස් තිබුණු බලය ආපසු තමන් වෙත පවරාගෙන තිබුණි. 

වර්තමාන ගැටුම හටගැනුණේ ඉහළ පෙළේ අධිකරණ පත්වීම් සම්බන්ධයෙන් වන ජනාධිපතිවරයාගේ නිර්දේශයන් ව්‍යවස්ථා සභාව විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීමත් සමග ය. ජනාධිපතිවරයාගේ චෝදනාව වන්නේ, තමාගේ නිර්දේශ ප‍්‍රතික්ෂේප කිරීමේ හේතු තමන් නොදන්නා බවයි. ඒ නිසාම, ප‍්‍රතික්ෂේප කරන නම් නැවත නැවතත් තමා ව්‍යවස්ථා සභාවට යළි සලකා බැලීම සඳහා නිර්දේශ කොට යවන බව ඔහු කීය. එහෙත් මේ කියන ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු ද සිටී. නමක් ප‍්‍රතික්ෂේප වීමේ හේතු මේ නියෝජිතයා මාර්ගයෙන් ජනාධිපතිවරයාට දැන ගත හැකිය. මේ කටයුතු කිරීමේදී එක්තරා විනිවිද භාවයේ ප‍්‍රශ්නයක් ඇති බව ඇත්ත. අවසානයේදී, ජනාධිපතිවරයාගේ චෝදනා ප‍්‍රශ්න කරමින් තරමක් තද ප‍්‍රතිචාරයක් දැක්වීමට ඒ හේතුව නිසා, කතානායකවරයාට සිදු විය. පරිපාටිමය විධිවිධාන පද්ධතියක් නොතිබීම මේ ප‍්‍රශ්නයට තුඩුදී ඇති බවක් පෙනේ. ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථා සභාව අතර කෙරෙන ගනුදෙනුව (නම් නිර්දේශ කිරීම සහ ප‍්‍රතික්ෂේප කිරීම) ගැන ජනතාවත් කිසිවක් නොදනිති. අවසානයේ ඔවුන් මේ ගැන දැන ගන්නේ, චෝදනා සහ ප‍්‍රතිචෝදනා ඔස්සේ, යමක් පුපුරා ගිය විට ය.

2015 දී විනිසුරු ඒ. ආර්. බී. අමරසිංහ විසින් කෙටුම්පත් කරන ලද, තෝරා ගැනීමේ නිර්නායක පිළිබඳ රීති මාලාවක් තිබුණි. එහෙත් ඒවා කිසි විටෙක ගැසට් කෙරුණේ නැත. ජනාධිපතිවරයාගේ නාම නිර්දේශය තිබියදී තවත් අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ව්‍යවස්ථා සභාව වෙත ලැබේ. ඒ සියල්ල ප‍්‍රසිද්ධියට පත්කළ යුතුද යන ප‍්‍රශ්නය එහිදී පැනනගී. 

වෙනත් රටවල මෙවැනි උසස් පෙළේ පත්කිරීම් සඳහා ඔවුන්ගේම වන ක‍්‍රම සහ විධිවිධාන ඇති කරගෙන තිබේ. ඇමරිකාවේ ඒ සඳහා වන කොංග්‍රස් මණ්ඩල සැසිවාර තිබේ. ඒවා මහජනතාවටත් විවෘත ය. එහෙත් තෝරා ගැනීම් කෙරෙන්නේ ඡන්දයෙන් වන අතර ඡුන්දය පාවිච්චි කෙරෙන්නේ පක්ෂ දේශපාලනය අනුව ය. ඉන්දියාවේ උසස් විනිසුරුවරුන් පත්කිරීම්, උසස් කිරීම් සහ මාරු කිරීම් කරන්නේ, ජ්‍යෙෂ්ඨත්වයෙන් මුල් තැන ගන්නා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් මගිනි. අදාළ පත්කිරීම සඳහා යෝජිත පුද්ගලයන්ගේ සුදුසුකම් සහ යෝග්‍යතාව ගැන මොවුන් දැන සිටිය යුතු බවට විශ්වාස කෙරේ. කෙසේ වෙතත්, එකී මණ්ඩලයේ විනිවිද භාවය පිළිබඳවත් විවේචන එල්ල වී තිබේ. එක්සත් රාජධානියේ ඉහළ පෙළේ අධිකරණ පත්වීම් කෙරෙන්නේ අධිකරණ පත්වීම් කොමිෂන් සභාවක් මගිනි. එහි ප‍්‍රධානියා වන්නේ නීතියට සම්බන්ධ නැති පුද්ගලයෙකු වීම විශේෂිතයි. ඊට කලින් අවුරුදු 900 කට ආසන්න කාලයක් තිස්සේ එරට පැවතියේ අගවිනිසුරුවරයා විසින් සෙසු විනිසුරුවරුන් තෝරා පත්කර ගන්නා ක‍්‍රමයකි. දැන්, තේරීම් කමිටුවක් මගින් ඉදිරිපත් කරන ලැයිස්තුවකින්, අගමැතිවරයාගේ උපදේශ පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් රැුජිණ විසින් පත්කරනු ලැබේ. 

කෝකටත් තෛලය 

මෙයින් පෙනී යන්නේ, ශ‍්‍රී ලංකාවේ අධිකරණයේ උසස් තනතුරුවලට පත්කිරීම සඳහා ‘කෝකටත් තෛලයක්’ වශයෙන් ගත හැකි ක‍්‍රමවේදයක් වෙනත් රටවලින්වත් සොයා ගැනීමට නැති බවයි. එසේ වෙතත්, ජනාධිපතිවරයාගෙන් නිර්දේශ වන නාම යෝජනා දැඩි පරීක්ෂාවට ලක්කෙරෙන ව්‍යවස්ථා සභාවක් තිබීම එවැනි කිසිවක් නොමැති තත්වයටක වඩා කොයි අතිනුත් වටනේය. මේ මෑතකදී ආණ්ඩුවේ සංස්ථා, බැංකු සහ ව්‍යවස්ථාපිත ආයතන ප‍්‍රධානීන් පත්කිරීම ක‍්‍රමවත් කිරීම සඳහා ජනාධිපති කමිටුවක් පත්කෙරුණි. එහෙත්, ඒවාට දෙන ලද මාර්ගෝපදේශ අවසානයේ කඩ කෙළේ ජනාධිපතිවරයාම ය. මෙය පසුගිය කාලයේ අප කිහිප වරක්ම පෙන්වා දී ඇති කාරණයකි. සමහර ඇමතිවරුන් තමන්ගේ බලය පාවිච්චි කරමින් තමන්ගේ නැයන් සහ මිතුරන් තමන්ගේ අමාත්‍යාංශ යටතේ පවතින ආයතනවලට පත්කරන ලද්දේ මාර්ගෝපදේශ නොතකමිනි. අදාළ පුද්ගලයන් එම තනතුරුවලට ගැලපේ ද නැද්ද යන්න එවිට සලකා බැලූණේ නැත. දේශපාලනික පුද්ගලයන්ට මේ උසස් තනතුරු සඳහා පත්කිරීමේ තනි බලය දුන් විට නිතැතින්ම වැරදි පත්කිරීම් සිදු කෙරේ. ඒ පත්කිරීම්වල පඩිනඩි ඇතුළු වෙනත් වියදම් දැරිය යුත්තේ මහජනතාව ය.

ජනපතිගෙන් හා විපක්ෂයෙන් එල්ල වන චෝදනා 

 එසේ තිබියදී, තමන්ගේ මිනිසුන්ව පත්කර ගැනීමට නොහැකි වීම ගැන චෝදනා එල්ල විය යුත්තේ ආණ්ඩුවෙනි. එහෙත් මෙහිදී චෝදනා එල්ල වන්නේ ජනාධිපතිවරයාගෙන් සහ විපක්ෂයෙන් වීම විශේෂිත ය. හේතුව, මේ රටේ වෙනත් අවස්ථාවලත් සිදුවන්නා සේ ජනාධිපතිවරයා සහ විපක්ෂයේ න්‍යාය පත‍්‍ර මේ මොහොතේ සමපාත වීම නිසා ය. ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා පරිපූර්ණ ආයතන නොවෙනවා විය හැකිය. එහෙත් ඒ ආයතන මගින් ස්වාධීන අධිකරණයකට සහ ස්වාධීන රාජ්‍ය සේවාවකට අවශ්‍ය කරන කොඳු නාරටිය මේ වන විට සපයා තිබේ. මන්ද එවැනි ක‍්‍රමයක් නැති තත්වයක් තුළ අප අත්දැක ඇත්තේ, තමන්ගේ පත්වීම් සහ උසස් වීම් ආදිය ලබා ගැනීම සඳහා බලය දරණ දේශපාලඥයන් පස්සේ යාමට අදාළ පුද්ගලයන්ට සිදුවන තත්වයක් වන බැවිනි. ව්‍යවස්ථා සභාවක් සහ ස්වාධීන කොමිෂන් සභා ඇති තත්වයක් තුළ එය තවදුරටත් දැන් අවශ්‍ය නොවේ.





(2019 පෙබරවාරි 24 වැනි දා The Sunday Times පුවත්පතේ පළවූ “Hands Off the Constitutional Council” නැමති කතුවැකියේ සිංහල පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)


මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් තොගය ජනපතිගේ නිරීක්ෂණයට


මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය වන කිලෝග්‍රෑම් 294 යි ග්‍රෑම් 490 ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධ ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගැනීමට හැකිවිය. මෙහි වටිනාකම රුපියල් මිලියන 2945 කට අධිකයි.

මේ හෙරොයින් තොගය අද ජනපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පානදුර කෙසෙල්වත්ත පදිංචිකරුවන් වන බවත්ය.
කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි වෙළඳ සංකීර්ණයක වාහන ගාල් කරන ස්ථානයකට ඊයේ (23) සවස වෑන් රථ දෙකකින් මෙම හෙරොයින් තොගය ගෙනැවිත් තිබුණි. එහි එක් වෑන් රථයක විශාල ප්‍රමාණයේ ගමන් මලු 05 බැගින් ගමන් මලු 10ක් තිබූ අතර ඒ තුළ සූක්ෂම අයුරින් මෙම හෙරොයින් අසුරා තිබුණේ පාර්සල් 272ක් වශයෙන්. ජාවාරම් කටයුත්තක් සඳහා මෙම හෙරොයින් තොගය එම ස්ථානයට රැගෙන විත් තිබූ බව අනාවරණය වී තිබේ.


අද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට පැමිණි ජනපති එහි නිළධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සියලූ නිලධාරින්ට ප්‍රශංසාව පළකර සිටියේය.

මාකඳුරේ මධූෂ්, කරුණාකර වලස්මුල්ලේ විජයදාසට තැන දී වේදිකාවෙන් බැස යන්න


– සරත් ද අල්විස් –

දේශපාලනයට සත්‍යය එන්නත් කරන්න. එවිට ඔබට කිසි දේශපාලනයක් හමු නොවනු ඇත

‘දේශපාලනයට සත්‍යය එන්නත් කරන්න. එවිට ඔබට කිසි දේශපාලනයක් හමු නොවනු ඇත.’ රාජ්‍යයකට තර්ජනයක් වෙතැයි කියන හදිසි අනතුරක් මවාපෑමට වාගාලංකාර පාවිච්චියට ගැනීමේ වැදගත් කම, හිට්ලර්ගේ නට්සිවාදී නීති න්‍යායාචාර්ය කාර්ල් ෂ්මිට් අවධාරණය කෙළේය. ඒ ක‍්‍රියාවලියේ ප‍්‍රථම පියවර වන්නේ, පසක් කර ගත හැකිව ඇති යථාර්ථයට එරෙහිව විවෘත විරෝධතාවක් නිර්මාණය කර ගැනීමයි. ‘ව්‍යවස්ථා සභාව’ ඉතා ප‍්‍රකෝපකාරී අන්දමින් හෙළාදකින විජයදාස රාජපක්ෂ අනුගමනය කරන්නේ ඒ ෆැසිස්ට්වාදී තර්කණයයි. එක් සුවිශේෂී මතයක එල්බ ගැනීම, සකල නීතිරීති විනාශ කිරීමේ හෝ යටපත් කිරීමේ නොවරදින මාර්ගය බව ෂ්මිට් පෙන්වා දුන්නේය. එය මොන තරම් නොහොබිනා මතයක් වුව ද කම් නැත. ළඟ එන මහා විනාශයක හෝ නස්පැත්තියක භීතියෙන් මඩනා ලද පුරවැසියා එවිට තමාගේ සැබෑ නිදහස, අර කියන ඊනියා ගැලවුම්කාරයාගේ ව්‍යාජ සහ වංචාකාරී ආරක්ෂාව පිළිබඳ දෙන්නම් කාසි වෙනුවෙන් හුවමාරු කර ගන්නේය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට ස්වාධීන අධිකරණයක් අවශ්‍ය කෙරේ. සංවාද සහ විසංවාද අස්සේ නීතියේ ආධිපත්‍යය සහතික කරලනු වස් එය අවශ්‍ය කෙරේ. මේ මුග්ධ දේශයේ ජනාධිපති වශයෙන් මෛත‍්‍රීපාල සිරිසේන පත්කර ගැනීම සඳහා ඡුන්දය පාවිච්චි කළ හැටලක්ෂ ගණනක් වන ජනතාවගෙන් මේ ලියුම්කරුද එක් කෙනෙකි. ‘මිනිස් බන්ධනය’ නැමැති සිය නවකතාවේදී සමර්සෙට් මෝම් කියන්නා සේ, ඉහිරුණු කිරට හඬා වැටීමේ තේරුමක් නැත. මන්ද යත්, සක්වල සකල බලවේග කටයුතු කරන්නේම කිරි ඉහිරවීමට වන බැවිනි.

අප මහින්දට දොස් කිවයුතු නැත

අප 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පනවා ගත්තේ මන්ද යන්න මෑතකාලීන සිදුවීම් අපට පැහැදිලි කොට දී තිබේ. ව්‍යවස්ථාවේ අවසාන ආරක්ෂකයා වන්නේ ස්වාධීන අධිකරණයයි. ජනතාවගේ මූලික අයිතීන් ආරක්ෂා කර දෙන අවසාන බේරුම්කරුවා වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි.
අප මහින්ද රාජපක්ෂට දොස් කිව යුතු නැත. මෛත‍්‍රීපාල සිරිසේන යටතේ අගමැති ධුරය භාර ගැනීමට තමන් එකඟ වුණේ මන්දැයි, මෑතකදී ඉන්දියානු සංචාරයකට සහභාගී වෙමින් ඔහු පැහැදිලි කෙළේය. ඒ මගින් පාලක සභාගය බිඳ දැමුණු අතර, තුනෙන් දෙකක බලයක් අභ්‍යාස කිරීමට තිබුණු තත්ත්වයක් වළක්වා ගැනුණි.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කෙළේ නැත. එසේ කෙළේ වෙනත් කෙනෙකි. මහින්ද රාජපක්ෂ කෙරෙහි රනිල්ගේ කෝන්තරයක් නැත්තේ එබැවිනි. 41 වැනි අගවිනිසුරු සරත් නන්ද සිල්වා සහ 42 වැනි අගවිනිසුරු අශෝක ද සිල්වා සමග මැදමුලන නින්දගම් වලව්වේ පැවති සුරංගනා මංගල්‍යෝත්සවයේ රනිල් වික‍්‍රමසිංහත් සිටියේ එබැවිනි.
මහින්ද රාජපක්ෂ තමන්ගේ නීතිඥයන් ගැන දන්නා නීතිඥයෙකි. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවා තිබුණු ස්වාධීන කොමිෂන් සභා, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ හදා ගත්, තමන්ගේම මිනිසුන්ගෙන් සමන්විත සභා විශේෂයක් බවට ඔහු පත්කර ගත්තේය. වර්තමාන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවා තිබෙන ස්වාධීන කොමිෂන් සභා පිළිබඳ සහසුද්ද සංකල්පය තමාට නොදිරවන බව ඔහු වසංගන්නේ නැත.

මල්ලෙන් එළියට පනින විජේදාස රාජපක්ෂ

දැන් අපරූපී බළලෙකු හෙමින් සීරුවේ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂගේ මල්ලෙන් එළියට පනිමින් සිටින සැටියක් පෙනේ. රටේ තිබෙන වඩාත් දූෂිත ආයතනවලින් එකක් වන්නේ ‘ව්‍යවස්ථා සභාව’ බවට ඔහු නිගමනය කොට ඇත. එය අහෝසි කළ යුතුව තිබේ. නිවැරදි, අපක්ෂපාතී සහ සාධාරණ තීන්දු ගැනීමේ හැකියාවක් ඊට නැත. හිටපු සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් නීතිපති තනතුරට පත්කිරීම මේ ‘ව්‍යවස්ථා සභාව’ මගින් ප‍්‍රතික්ෂේප කොට තිබීම, ඔහුගේ ඇවිස්සීමට විශේෂ හේතුකාරකයක් වී තිබේ. ඒ පත්කිරීම ප‍්‍රතික්ෂේප කෙරෙන කාලයේ තමන් ද එහි සාමාජිකයෙකුව සිටි බව ඔහු නොකියයි. එසේම, එහි සාමාජිකයෙකුව සිටි තවත් සිවිල් සමාජ නියෝජිතයෙකු සුහද ගම්ලත් වෙනුවෙන් ඒ අවස්ථාවේ පෙනී සිටි බවත් ඔහු නොකියයි. මේ තේරීම පිළිබඳ ප‍්‍රශ්නයක් පැනනැගුණු අවස්ථාවේ ජනාධිපතිවරයාගේ කැමැත්තේ අනුපිළිවෙල දක්වා එවන ලෙස ‘ව්‍යවස්ථා සභාව’ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. එවිට ජනාධිපතිවරයා කෙළේ, වර්තමාන නීතිපතිවරයාගේ නම පමණක් නිර්දේශ කොට යැවීමයි. මේ ආකාරයෙන් විජයදාස රාජපක්ෂ අපට කොකා පෙන්වීමට බැලීම නොමනා ය.
ඔහුට ස්වාධීන අධිකරණයක් අවශ්‍ය නැත. ඔහුට අවශ්‍ය කරන්නේ කීකරු අධිකරණයකි. නිශ්ශංක සේනාධිපති සහ ‘ඇවන්ගාඩ්’ හුටපටයටත් ඔහු සම්බන්ධ බව කියැවේ. ඒ සිද්ධියත් නොබෝ දිනකින් අධිකරණය ඉදිරියේ දිග හැරීමට නියමිතයි. සැබෑ කතාව දිග හැරෙනු ඇත්තේ එහිදී ය.
තමන්ගේම අවකල් ක‍්‍රියා ගොහොරුව අස්සේ බඩගාන රනිල් වික‍්‍රමසිංහගේ මේ ඔතෑනි ආණ්ඩුව ඉදිරියේ ‘ඇවන්ගාඩ්’ ජාවාරම්කාරයන්ට අවශ්‍ය කරන්නේ, ඊළඟ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය දක්වා, ප‍්‍රතිප‍්‍රහාරාත්මක ශබ්ද පූජාවක් පවත්වාගෙන යාම පමණි.
‘ව්‍යවස්ථා සභාවට’ එරෙහි ප‍්‍රථම සද්දය දැම්මේ ජනාධිපතිවරයා ය. ‘ව්‍යවස්ථා සභාවේ’ සභාපති කතානායක කරූ ජයසූරිය ඊට ප‍්‍රතිඋත්තර බැන්දේය. දැන් විජයදාස රාජපක්ෂට මේ සම්බන්ධයෙන් රූපවාහිනී විවාදයක් අවශ්‍ය කොට තිබේ. ‘ව්‍යවස්ථා සභාවේ’ හිටපු සාමාජිකයෙකු වශයෙන් ඉතා පහසුවෙන් ඒ සඳහා පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටිය හැකිව තිබියදී රූපවාහිනී සංවාදයක් ඉල්ලා සිටීම අපූරු ය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක නීතියේ ආධිපත්‍යය සඳහා පුරවැසියන්ගේ විශ්වාසය දිනා ගත් පරිමිත විනිසුරුවරුන් සිටීම අත්‍යාවශ්‍යයි. ආණ්ඩුවෙන් ස්වාධීන සහ පරිවෘත්ත අධිකරණයක් අප ඉල්ලා සිටින්නේ අපෙන් බොහෝ විට මගහැරී ගොස් ඇති එකී අවශ්‍යතා සාධනය පිණිස ය. රටක අධිකරණයක් භුක්ති විඳින සහ අභ්‍යාස කරන ස්වාධීනත්වයේ තරම විසින්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයක සහ අධිකාරීවාදී ආණ්ඩුකරණයක වෙනස තීරණය කෙරේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයක අසමත් භාවය, අධිකාරීවාදී පාලනයකට අත වැනීමකි. ඒ අසමත් භාවයේ ප‍්‍රතිවිපාකයක් වශයෙන් ගොඩනැගෙන මහජන කෝපය බොහෝ විට තුඩුදෙන්නේ ජනපි‍්‍රය ප‍්‍රජාපීඩකයන් බලයට පත්කර ගැනීමටයි. ඉතිහාසය පුරාම, ෆැසිස්ට්වාදීන් සහ නව-ෆැසිස්ට්වාදීන් ඡන්දවලින් ජයග‍්‍රහණය කොට ඇත්තේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණය නැට්ටටම කුණු වී ඇතැයි යන බෙරේ ගසමිනි.
ඊළඟ ජනාධිපතිවරයා වශයෙන් තම පවුලේ කෙනෙකු පත්කර ගැනීමේ අභිලාෂය නොසඟවන, ජනකාන්ත හයිකාර මහින්ද රාජපක්ෂ ගැන ටිකක් සිතා බලන්න. ජයග‍්‍රාහකයන් සහ පරාජිතයන් මිස හරි වැරැද්ද කියා දෙයක් නැති බව, ‘කුහකත්වයේ වෙස්මුහුණු ගලවා’ බලා ගන්නා ලෙස ෆැසිස්ට්වාදීන් ජනතාවගෙන් ඉල්ලා සිටින අපූරුව, ‘‘සර්වාධිකාරීවාදයේ මූලයන්’’ නැමැති සිය කෘතියෙන් හැනා ආරෙන්ඞ් පෙන්වා දෙයි.
මහින්දගේ කුහකත්වය අභිලාෂකාමී ය. ඔහුට සිය පවුල් ආධිපත්‍යය යළි පිහිටුවා ගැනීමට අවශ්‍ය ය. දේශපාලඥයන් පේ‍්‍රරණය වන්නේ, බලයේ මාත්සර්යයෙන් මිස පරමාදර්ශවලින් නොවේ. එබැවින්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට අප අපොහොසත්ව තිබේ. තිරසාර ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ඇති කර ගැනීමට අප අපොහොසත්ව තිබේ.

2019 දී අප ඉදිරියේ ඇත්තේ එක ප‍්‍රහේලිකාවක් පමණි. එනම්, ඊළඟ ජනාධිපතිවරයා වශයෙන් අප තෝරා ගත යුත්තේ කොයි කුහකයා ද යන්නයි. 

2019 ජනාධිපතිවරයා වශයෙන් අප තෝරාගත යුත්තේ කොයි කුහකයාද ?

2019 දී අප ඉදිරියේ ඇත්තේ එක ප‍්‍රහේලිකාවක් පමණි. එනම්, ඊළඟ ජනාධිපතිවරයා වශයෙන් අප තෝරා ගත යුත්තේ කොයි කුහකයා ද යන්නයි. මෙය, හුදෙක් කුඩුකේඩු කතාවක්ම නොවේ. විජයදාස රාජපක්ෂ අපූරුවට පෙන්වා ඇති පරිදි, දේශපාලනික කුහකත්වය අලාභදායී කර්මාන්තයක්ම නොවේ. අවංකත්වය දේශපාලනය තුළ ලාභදායී යැයි සිතීම නම් ඊට වඩා නරුම කල්පනාවකි.
‘ව්‍යවස්ථා සභාව’ ගැන තමා තුළ ඇති අප‍්‍රසාදය පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ගන්නවා වෙනුවට විජයදාස රාජපක්ෂ මේ විවේචනය කරන්නේ, බොහෝ කොට රාජපක්ෂ දශකයේදී පැටව් ගැසූ මාධ්‍ය මුදලාලිලාගේ විද්‍යුත් අවකාශයේ ය. ජනතාව නොමග යැවීමට රූපවාහිනි අවකාශය කියාපු ස්ථානයකි. එතැන ‘පට පට’ ගා දේවල් සිද්ධ වෙයි. ඒ අවකාශය මුද්‍රිත මාධ්‍යයට නැත. එබැවින් මුද්‍රිත මාධ්‍යයේදී අත්‍යාවශ්‍යම දෙයට පමණක් සීමා වීමට කෙනෙකුට සිදු වෙයි. උදේට ඒ පත්තර කියවන මුවාවෙන් තවත් වැඩ සටහන් රූපවාහිනියේ දිග හැරෙයි. ඉහත කී සංවාදයේ කොටස් ද උපුටා දක්වමින්, තවත් අයගේ අදහස් උදහස් ද සමග ඒ ප‍්‍රවෘත්තිය නැවතත් මේ කියන පුවත්පත් කියවීමේ දී ප‍්‍රචාරණය කෙරේ.

එක්සත් ජාතික පක්ෂය විජයදාස රාජපක්ෂ අස් කළ යුතුව තිබේ

යහපාලනයේ එකම සාර්ථකත්වය වන ‘ව්‍යවස්ථා සභාව’ අහෝසි කරන්නැයි විජයදාස රාජපක්ෂ ඉල්ලා සිටීම ජාතික මට්ටමේ ආන්දෝලනය දනවන්නකි. නඩු තීන්දුවක් දුන් පමණින් විනිසුරුවරුන්ගෙන් පලිගැනීම මොන තරම් අසාධාරණදැ යි එක් රූපවාහිනී ප‍්‍රකාශකයෙකු ප‍්‍රශ්න කර සිටියේය. යම් සිද්ධියක ඇති වැදගත්කම, ලූනුදෙහි එක් කොට ඕනෑම පැත්තකට හැඩගැස්වීමට මේ රූපවාහිනී ප‍්‍රකාශයකයන්ට අවස්ථාව ලැබී තිබේ. එය මාධ්‍ය මුදලාලිලා කිහිප දෙනෙකුගේ ඒකාධිකාරයක් බවට අද පත්ව තිබීම අපේම අබග්ගයකි.
එක්සත් ජාතික පක්ෂය විජයදාස රාජපක්ෂ අස් කළ යුතුව තිබේ. ඒ සම්බන්ධයෙන් රනිල් වික‍්‍රමසිංහට උපදෙස් අවශ්‍ය නම් ගෝඨාභය රාජපක්ෂගෙන් ලබා ගත හැකිය. සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරුණේ ඔහු වැරදිකරු කොට දෙන ලද අධිකරණ තීන්දුවක් මත පදනම්ව ය. ආණ්ඩු කිරීමේදී මහින්ද රාජපක්ෂ ඒ මේ අත වැනුණේ නැත. සිය විරුද්ධවාදීන්ට නඩු දැමූ ඔහු ඔවුන් වැරදිකරුවන් කෙළේය. ඊළඟට උත්සවශ‍්‍රීයෙන් ඔවුන්ට සමාව දුන්නේය. ඒ, සැබෑ බෞද්ධ ආචාර ධර්මවලට අනුකූලව ය.

මාකඳුරේ මධූෂ්, කරුණාකර වලස්මුල්ලේ විජයදාසට තැන දී වේදිකාවෙන් බැස යන්න.

2009 අගෝස්තු 31 වැනි දා කොළඹ මහාධිකරණය මාධ්‍යවේදී තිස්සනායගම්ව 20 අවුරුද්දකට බරපතල වැඩ ඇතිව හිරේට නියම කෙළේය. එය මාධ්‍යවේදීන්ට ‘හිරිහැර කිරීමේ’ ප‍්‍රශ්නාර්ථකාරී නිදර්ශනයක් බව කියමින් බරක් ඔබාමා එදා අපේ අභ්‍යන්තර කටයුතුවලටත් හොට දැම්මේය. ඔබාමාගේ උපදේශය අපේ නායකයා සතේකට ගණන් ගත්තේ නැත. එහෙත්, ‘ලෝක පුවත්පත් නිදහස් දිනය’ සමරමින් තිස්සනායගම්ට ඒ ජනකාන්ත නායක මහින්ද රාජපක්ෂ 2010 මාර්තු 3 වැනි දා සමාව දුන්නේය.
නාහෙට නාහන මාධ්‍යවේදියෙකුට විසි අවුරුදු බරපතල වැඩ සහිත හිර දඬුවමක් වැඩි නැතැයි විජයදාස රාජපක්ෂ සිතිය හැකිය. මාකඳුරේ මධූෂ්, කරුණාකර වලස්මුල්ලේ විජයදාසට තැන දී වේදිකාවෙන් බැස යන්න.


(2019 පෙබරවාරි 17 වැනි දා Sunday Observer පුවත්පතේ පළවූ, සරත් ද අල්විස් ලියූ, “Perfidious Politics of Wijayadasa Rajapakshe”නැමති ලිපිය සිංහලට පරිවර්තනය කළේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)

ජනවාරි උරුමය ගැන ජනපති නගන අඳෝනාව


– ගාමිණී වියන්ගොඩ –

ප්‍රතිපත්තියක් වෙනස් වන්නේ කොහොමද ?

ප‍්‍රතිපත්තියක් වෙනස් වීම විවිධාකාරයෙන් සිදුවිය හැකිය. එහෙත් ප‍්‍රධාන වශයෙන් එහිදී දෙයාකාරයක් දක්නට ලැබේ. එකක් වන්නේ, පවතින විෂයබද්ධ තත්ත්වයන් කැපී පෙනෙන වෙනසකට භාජනය වී ඇති අවස්ථාවක, අලූත් තත්ත්වයන් යටතේ ප‍්‍රතිපත්ති යළි සකස් කර ගැනීමට කෙනෙකුට සිද්ධ වීමයි. දෙවැන්න වන්නේ, විෂයබද්ධ තත්ත්වයේ වෙනසක් ඇතිව හෝ නැතිව, හුදු පුද්ගල අභිලාෂයන්ගේ වෙනසක් නිසාම ප‍්‍රතිපත්ති වෙනසක් ඇති වීමයි. පළමුව කී අවස්ථාව, වාම පාරිභාෂිකය තුළ එකල හැඳින්වුණේ, සංශෝධනවාදය හෝ ප‍්‍රතිසංස්කරණවාදය යනුවෙනි. ‘පිරිසුදු’ මාක්ස්වාදීහූ එය එදා හෙළාදැක්කෝය. දෙවැනුව කී අවස්ථාව හැඳින්වුණේ නග්න අවස්ථාවාදය වශයෙනි. එය, මාක්ස්වාදීන් පමණක් නොව, සෑම සාධාරණ මිනිසෙකුම පිළිකුල් කරන තත්වයකි. පළමුව කී අවස්ථාවට උදාහරණ වශයෙන් පැරණි වමේ ව්‍යාපාරයේ ඇති වූ වෙනස ගත හැකිය. දෙවැනි අවස්ථාවට උදාහරණ වශයෙන්, ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙකුව සිටි විමල් වීරවංශගේ රූපාන්තරණය ගත හැකිය.

ප‍්‍රතිපත්ති වෙනසක් යුක්ති සහගත කිරීම සඳහා කෙනෙකු ඉදිරිපත් කරන හේතුකාරක පිරික්සා බැලීමෙන්, අප ඉහතින් කී කවර පදනමක් යටතේ අදාළ ප‍්‍රතිපත්ති වෙනස සිදු වී ඇත්ද යන්න සොයා ගත හැකිය. අද මෛත‍්‍රීපාල සිරිසේන, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය විවේචනය කරයි. විශේෂයෙන්, මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා ක‍්‍රමය විවේචනය කරයි. ඒ සංශෝධනය යටතේ ඇති කර ගත් ‘ව්‍යවස්ථා සභාව’ විවේචනය කරයි. අධිකරණයත්, ව්‍යංගයෙන් විවේචනය කරයි.

මේ විවේචන වලට ජනපති ඉදිරිපත් කරන කරුණු සාධාරණද ?

දැන් අපේ පරීක්ෂාවට ලක්විය යුත්තේ මෙයයි. මේ විවේචන අරභයා ජනාධිපතිවරයා ඉදිරිපත් කරන කරුණු, ඒවාට අදාළ දත්ත හමුවේ තබා පරීක්ෂාවට ලක්කෙරෙන විට, සාධාරණ සහ සත්‍යගරුක විවේචන වශයෙන් පෙනී යන්නේද යන්නයි. එසේ නම්, ඔහුගේ විවේචන අප භාරගත යුතු අතර, අදාළ ප‍්‍රතිපත්තිමය වෙනස, පුද්ගල වාසියක් තකා නොව, සමාජයේ පොදු යහපත තකා ඇති කර ගත් වෙනසක් වශයෙන් පිළිගත යුතුව තිබේ. එසේ නොවන්නේ නම්, ජනාධිපතිවරයාගේ විවේචනය, අවස්ථාවාදී තවත් දේශපාලඥයෙකුගේ ද්‍රෝහී කරණමක් වශයෙන් පැහැදිළිවම හඳුන්වා දිය යුතුව තිබේ.


‘බලය අභ්‍යාස කෙරෙන්නේ දෙවියන් වහන්සේගේ අණ ප‍්‍රකාරව නම්, එය නියාමනය කෙරෙන්නේ දේව නියමයන් මගිනි. එහෙත් බලය අභ්‍යාස කෙරෙන්නේ ජනතාව වෙනුවෙන් සහ ජනතාවගේ නාමයෙන් නම්, අදාළ බලධාරියා විසින් එම බලය අනිසි ලෙස පාවිච්චි කිරීම වැළැක්වීම සඳහා ආයතනික සහ ප‍්‍රතිපත්තිමය පැනවීම් සමුදායක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තුළ භාවිතයට ගැනේ……..‘

‘සංවරණ සහ තුලන’

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යකරණය යනු, ජනතාව වෙනුවෙන් බලය අභ්‍යාස කිරීමත්, තවත් පැත්තකින් ඒ බල අභ්‍යාසය, ජනතාව වෙනුවෙන්ම නියාමනය කිරීමත් ය. බලය අභ්‍යාස කෙරෙන්නේ දෙවියන් වහන්සේගේ අණ ප‍්‍රකාරව නම්, එය නියාමනය කෙරෙන්නේ දේව නියමයන් මගිනි. එහෙත් බලය අභ්‍යාස කෙරෙන්නේ ජනතාව වෙනුවෙන් සහ ජනතාවගේ නාමයෙන් නම්, අදාළ බලධාරියා විසින් එම බලය අනිසි ලෙස පාවිච්චි කිරීම වැළැක්වීම සඳහා ආයතනික සහ ප‍්‍රතිපත්තිමය පැනවීම් සමුදායක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තුළ භාවිතයට ගැනේ. ‘සංවරණ සහ තුලන’ යනුවෙන් හැඳින්වෙන මූලික නියාමන මාදිලියක් ඒ සඳහා භාවිතයට ගැනේ.

ජනපතිට වුවමනා විදියට පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ

අපේ ව්‍යවස්ථාව ප‍්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට ය. එහෙත් තමන්ට කැමති ඕනෑම අවස්ථාවක එම බලය පාවිච්චි කිරීම ‘සංවරණය’ කරනු වස්, එසේ විසුරුවා හැරිය හැක්කේ, පාර්ලිමේන්තුවක් අලූතෙන් රැස්වී අවුරුදු හතර හමාරකට පසුව බව ව්‍යවස්ථාවේම ලියා තිබේ. ඊළඟට, ව්‍යවස්ථාවේ සඳහන් වෙනත් වගන්ති යටතේ, මෙකී සීමාව නොතකා කටයුතු කිරීමට ජනාධිපතිවරයාට බලයක් පැවරෙන්නේද යන්න විනිශ්චය කිරීමේ බලය අධිකරණයට පැවරේ. ඒ වූ කලී, අධිකරණ බලය මගින් විධායක බලය ‘තුලනය’ කිරීමකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඕනෑම රටක, ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ වශයෙන් රාජ්‍යකරණය ශාඛා තුනකට බෙදා වෙන් කොට ඇත්තේ, මෙකී ‘සංවරණ සහ තුලන’ ප‍්‍රතිපදාව මත පදනම්ව ය.

‘ව්‍යවස්ථා සභාව’ සහ ස්වාධීන කොමිෂන් සභා යනු, එවන් ‘සංවරණ සහ තුලන’ මාදිලියකි. ස්වාධීන කොමිෂන් සභා 10 ක් සඳහා සාමාජිකයන් පත්කරනු ලබන්නේ ‘ව්‍යවස්ථා සභාවේ’ නිර්දේශ මත ජනාධිපතිවරයා විසිනි. ඊට අමතරව, ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන, අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපතිවරයා ඇතුළු අභියාචනාධිකරණ විනිසුරුවරුන්, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, පොලිස්පතිවරයා, පාර්ලිමේන්තු මහලේකම් සහ කොමසාරිස්වරයා (ඔම්බුඞ්ස්මාන්) පත්කිරීම සඳහා ‘ව්‍යවස්ථා සභාවේ’ අනුමැතිය අවශ්‍ය කෙරේ. ‘ව්‍යවස්ථා සභාව’ නැමැති යාන්ත‍්‍රණය පසුපස ඇති සංකල්පය වන්නේ, හුදෙක් ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි රාජ්‍ය පරිපාලනයේ ඉහළ තනතුරු පිරවීම වෙනුවට, එවැනි වැදගත් ජාතික මට්ටමේ තනතුරු පිරවීම ‘ජාතික එකඟත්වයක්’ මත සිදු විය යුත්තක් ය යන කාරණයයි.

එදා මහින්දට එරෙහිව එළියට ආ සිරිසේන අද ඉන්නේ කොතැනකද ?

මේ කියන ‘ව්‍යවස්ථා සභාව’ පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ නියෝජනය කරයි. එහි සාමාජිකයන් සංඛ්‍යාව 10 කි. එයින් 3 දෙනෙක් නිල බලයෙන් පත්වන සාමාජිකයෝ ය. එනම්, කතානායකවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා ය. ඊට අමතරව, ජනාධිපතිවරයාගේ නාම යෝජනාවෙන් එක් සාමාජිකයෙක් පත්වෙයි. එසේම, අගමැතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ නාම යෝජනා මත තවත් 5 දෙනෙකු පත්කරනු ලැබේ. (එයින් දෙදෙනෙකු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විය යුතු අතර, 3 දෙනෙකු සිවිල් සමාජයෙන් විය යුතුය). ඊටත් අමතරව, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා අයත් පක්ෂවලට පිටස්තර වෙනත් පක්ෂවලින් 1 අයෙකු පත්කරනු ලැබේ. ඉහත කී ‘ජාතික එකඟත්වයක්’ සඳහා වන අවකාශය මෙකී සංයුතිය තුළ ඇති බව ඉතා පැහැදිළි ය.

දැන්, ජනාධිපතිවරයාගේ චෝදනාව වන්නේ, තමා මෙතෙක් නිර්දේශ කොට ඇති පත්වීම් 12 ක් විටින් විට මේ ‘ව්‍යවස්ථා සභාව’ මගින් ප‍්‍රතික්ෂේප කොට ඇති බවයි. එය සැබෑවක් නම්, එසේ ප‍්‍රතික්ෂේප කොට ඇත්තේ, ‘ව්‍යවස්ථා සභාවේ’ වැඩි ඡන්දයකින් ද, නැත්නම් හිතුමතේට ද, එසේත් නැත්නම් ඒකමතිකව ද යන්න ජනාධිපතිවරයා කියන්නේ නැත. එසේම, ජනාධිපතිවරයා එවන සෑම නිර්දේශයක්ම අනුමත කිරීම ‘ව්‍යවස්ථා සභාවේ’ කාරිය නම්, එවැනි ‘ව්‍යවස්ථා සභාවක්’ රටකට කුමටද යන කාරණය ඔහු අපට පැහැදිලි කර දෙන්නේ ද නැත.

ඇත්ත වශයෙන්ම සිදුව ඇත්තේ ‘ව්‍යවස්ථා සභාව’ පිහිටවූ දා සිට මේ දක්වා අනුමත කරන ලද සහ ප‍්‍රතික්ෂේප කරන ලද සියලූ තීරණ පොදු එකඟත්වයෙන් හෝ වැඩි ඡන්දයෙන් යුතුව ගෙන ඇති බවයි. එසේ නොමැතිව, තීරණ ගැනීමේ වෙනත් ක‍්‍රමයකට ඇත්තේ එකක් පමණි. එනම්, තනි පුද්ගලයෙකු විසින් තීරණ ගැනීමයි. එය, ඒකාධිපති ක‍්‍රමයකට මිස ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට යා දෙන්නක් නොවේ. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ මහින්ද රාජපක්ෂ භුක්ති වින්දේ එවැනි බලයකි. මේ සිරිසේන ඊට එරෙහිව එළියට ආ පුද්ගලයා ය.

ජනාධිපතිතුමාගේ පෙරට්ටුවට විජයදාසත් එක්වෙයි

ජනාධිපතිගේ පෙරට්ටුවට දැන් විජයදාස රාජපක්ෂත් එක්ව සිටී. මේ ‘ව්‍යවස්ථා සභාව’ රටේ තිබෙන දූෂිතම ආයතනයක් බව ඔහු කියයි. ඒ සඳහා ඔහු පාදක කර ගන්නා ප‍්‍රධාන චෝදනාවක් වන්නේ, සුහද ගම්ලත් වෙනුවට ජයන්ත ජයසූරිය නීතිපති තනතුරට පත්කරනු ලැබීම ය. තවද, පොලිස් කොමිසම ඔහු විවේචනය කරන්නේ, රටේ අපරාධ සංඛ්‍යාව එවැනි කොමිසමක් තිබූ පමණින් අඩු වී තිබේදැ යි අපෙන් ප‍්‍රශ්න කරමිනි. රටේ සිටින ප‍්‍රබුද්ධයන් ‘මන්ද බුද්ධිකයන්’ වශයෙන් හඳුන්වමින්, තමා නම් ‘මහා ප‍්‍රාඥයෙකු’ බවට අතින් වියදම් කොට රට පුරා තාප්පවල පෝස්ටර් අලවා ගත් මේ විජයදාස රාජපක්ෂ, ‘ඇවන්ගාඞ් සිද්ධියේදී’ මෙන්ම මෙහිදීත් මොන තරම් කුහක පිළිවෙතක් මත පිහිටා කට අරින්නේ ද යන්න ඔහුගේ ඒ චෝදනා සහ ප‍්‍රශ්න කිරීම් මගින් ස්ඵුට කෙරේ.

නීතිපති තනතුර සඳහා 2016 පෙබරවාරි 8 වැනි දා ජනාධිපතිවරයා ‘ව්‍යවස්ථා සභාවට’ නම් 3 ක් යෝජනා කොට එව්වේය. එනම්, ජයන්ත ජයසූරිය, සුහද ගම්ලත් සහ කපිල වෛද්‍යරත්නයි. එම නම් තුන, ජනාධිපතිවරයාගේ කැමැත්තේ අනුපිළිවෙලට සකසා එවන්නැයි ‘ව්‍යවස්ථා සභාව’ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා යැවීය. එවිට, කැමැත්තේ අනුපිළිවෙලක් දක්වා එවනවා වෙනුවට, පෙබරවාරි 10 වැනි දා ජනාධිපතිවරයා එක නමක් පමණක් එව්වේය. ඒ, ජයන්ත ජයසූරියගේ නම ය. ඒ නම, ‘ව්‍යවස්ථා සභාවේ’ ඒකමතිකත්වයෙන් සම්මත විය. එදා එම ‘ව්‍යවස්ථා සභාවේ’ මේ කියන විජයදාස රාජපක්ෂත් සිටියේය.

විජයදාසත් හිටි ව්‍යවස්ථාදායක සභාව

2016 අප්‍රේල් 18 වැනි දා පොලිස්පති තනතුර සඳහා ජනාධිපතිවරයා නම් 3 ක් නිර්දේශ කොට එව්වේය. ඒ, පූජිත ජයසුන්දර, වික‍්‍රමසිංහ සහ වික‍්‍රමරත්න යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ය. මේ සඳහා ‘ව්‍යවස්ථා සභාවේ’ රහස් ඡන්දයක් පැවැත්වුණි. එහිදී පූජිත ජයසුන්දර වෙනුවෙන් ඡන්ද 5 ක් ද, වික‍්‍රමසිංහ වෙනුවෙන් 1 ඡන්දයක් ද ලැබී තිබුණි. ඒ සභාවේත් විජයදාස රාජපක්ෂ සිටියේය.

2017 පෙබරවාරි 27 වැනි දා අගවිනිසුරු ධුරයට ජනාධිපතිවරයා නම් 2 ක් නිර්දේශ කොට එව්වේය. ඒ, ප‍්‍රියසත් ඩෙප් සහ කේ. ටී. චිත‍්‍රසිරි ය. ජ්‍යෙෂ්ඨත්වයත්, අගවිනිසුරු ධුරයේ කලින් වැඩ බලා ඇති පදනමත් සැලකිල්ලට ගනිමින් ‘ව්‍යවස්ථා සභාව’ ඒකමතිකව ප‍්‍රියසත් ඩෙප්ගේ නම අනුමත කෙළේය.

අභියාචනාධිකරණයේ පුරප්පාඩු 2 ක් සඳහා ජනාධිපතිවරයා 2018 අප්‍රේල් 18 වැනි දා නම් 4 ක් ‘ව්‍යවස්ථා සභාව’ වෙත එව්වේය. ඒ, මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගේ සහ එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයෙකුගේ ය. ඒ අතරින්, වැඩිම ජ්‍යෙෂ්ඨත්වයෙන් යුත් මහාධිකරණ විනිසුරුවරයාගේ සහ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාගේ නම් දෙක ‘ව්‍යවස්ථා සභාව’ අනුමත කෙළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති පුරප්පාඩු දෙකක් සඳහා ජනාධිපතිවරයා 2018 ඔක්තෝබර් 25 වැනි දා නම් 4 ක් නිර්දේශ කොට එවා තිබුණි. එයින්, අවශ්‍ය පුරප්පාඩු 2 සඳහා නම් 2 ක් ‘ව්‍යවස්ථා සභාව’ අනුමත කෙළේය.

නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 3 ක් සඳහා 2019 දෙසැම්බර් 21 වැනි දා ජනාධිපතිවරයා නම් 4 ක් නිර්දේශ කොට එවා තිබුණි. එයින්, අවශ්‍ය පුරප්පාඩු 3 සඳහා නම් 3 ක් ‘ව්‍යවස්ථා සභාව’ අනුමත කෙළේය.

මේ අතර එක් අවස්ථාවකදී ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ කළ තවත් පුද්ගලයෙකු ‘ව්‍යවස්ථා සභාව’ එකහෙලා ප‍්‍රතික්ෂේප කෙළේය. අගවිනිසුරුවරයා ද ඒ පුද්ගලයාගේ නම අනුමත කිරීම ප‍්‍රතික්ෂේප කොට තිබුණි. ඔහු වැනි පුද්ගලයෙකු එදා එවැනි උසස් තනතුරකට ජනාධිපතිවරයා විසින් නම් කරනු ලැබීමම, අධිකරණ සහ නීතිඥ ප‍්‍රජාවගේ ඉමහත් විමතියට හේතු විය.

ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් ජනපති අනුගමනය කරන ප්‍රතිපත්ති නිවැරදිද ? 

ජනාධිපතිවරයාගේ නිර්දේශ සහ ‘ව්‍යවස්ථා සභාවේ’ අනුමැතිය අතර මතුවිය හැකි මෙවැනි ගැටළුකාරී අවස්ථා අවම කර ගනු වස්, ජනාධිපතිවරයා යම් නමක් හෝ නම් කිහිපයක් නිර්දේශ කිරීමට කලින් (අධිකරණය සහ නීති ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් නම්) ඒ ගැන අගවිනිසුරුවරයා, නීතිපතිවරයා සහ නීතිඥ සංගමය වැනි අදාළ පාර්ශ්ව සමග අදහස් හුවමාරු කර ගැනීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කරන්නැයි බොහෝ විට උපදෙස් දෙනු ලැබ තිබේ. ඒ අනුව, ප‍්‍රසන්න ජයවර්ධනගේ නම ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ කිරීමේදී ජනාධිපතිවරයා නීතිඥ සංගමයේ අදහස් විමසා තිබුණි. එහෙත් ඉහත කී ආන්දෝලනාත්මක නිර්දේශය කිරීමේදී ජනාධිපතිවරයා ඒ ප‍්‍රතිපත්තිය අනුගමනය කර නොතිබුණි.

නාම යෝජනා කිරීමේ ජනාධිපතිවරයාගේ පිළිවෙත විටෙක පටු දේශපාලනික චින්තනයක් ඔස්සේ යන බව පැහැදිළිව පෙනෙන්ට තිබේ. මේ වන විට, අභියාචනාධිකරණයේ සභාපති ධුරය හිස්ව පවතී. ඊට හේතුව, ඔහු නිර්දේශ කළ දීපාලි විජේසුන්දරගේ නම ‘ව්‍යවස්ථා සභාව’ කිහිප වරක්ම ප‍්‍රතික්ෂේප කොට තිබීමයි. අගවිනිසුරුවරයා ද ඇගේ නම අනුමත කොට නැත. ජනාධිපතිවරයාගේ තර්කය වන්නේ, වර්තමාන අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් පළමු තැන සිටින්නේ ඇය බවයි. එය සැබැවකි. එහෙත්, 2018 ජනවාරි මාසයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන් සිටියේත් ඇයයි. එසේ තිබියදී, ජ්‍යෙෂ්ඨත්වය නොසලකා ජනාධිපතිවරයා අභියාචනාධිකරණයේ සභාපති තනතුරට එදා නිර්දේශ කොට පත්කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඇයට අඩු තත්වයේ සිටි වෙනත් කෙනෙකි. එපමණක් නොව, මෙවර ඇගේ නම ‘ව්‍යවස්ථා සභාවෙන්’ ප‍්‍රතික්ෂේප කොට ඇත්තේ ඒකච්ඡුන්දයෙන් බවත් කිව යුතුය. එසේ ප‍්‍රතික්ෂේප කෙරෙන අවස්ථාවේ වර්තමාන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂත් ඒ ‘ව්‍යවස්ථා සභාවේ’ සිටියේය.

එසේම, වර්තමාන අගවිනිසුරුවරයා එම තනතුරට පත්කරන අවස්ථාවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටියේ ඊවා වනසුන්දරයි. එහෙත්, 1988 න් පසු, පහළින් පැමිණි කිසි වෘත්තීය විනිසුරුවරයෙකු අගවිනිසුරු ධුරයට පත්ව නැතැයි යන තර්කය මත වර්තමාන අගවිනිසුරුවරයාගේ නම පමණක් ජනාධිපතිවරයා නිර්දේශ කොට ‘ව්‍යවස්ථා සභාවේ’ අනුමැතිය සඳහා එවා තිබුණි. එම නම ‘ව්‍යවස්ථා සභාවේ’ ඒකමතිකත්වයෙන් අනුමත විය. විජයදාස රාජපක්ෂ කියන පරිදි ඒ ගැන යම් විවේචනයක් ඇත්නම් ඒ විවේචනය එල්ල විය යුත්තේ ජනාධිපතිවරයාට මිස ‘ව්‍යවස්ථා සභාවට’ නොවේ.

තනතුරු ප්‍රධානත්වයේදී ජ්‍යෙෂ්ඨත්වයට අමතරව ඉස්මතු වන සාධක

මෙයින් පෙනී යන්නේ, ජ්‍යෙෂ්ඨත්වයට අමතරව වෙනත් සාධක ගණනාවක් මෙවැනි පත්වීම් සඳහා සැලකිල්ලට ගැනෙන බව ය. මේ සියලූ කරුණු, එනම් ජ්‍යෙෂ්ඨත්වය, නිපුණත්වය, වෘත්තීය වාර්තාව, අපක්ෂාපතීත්වය, සුපිළිපන් භාවය සහ අදීනත්වය ආදි සියලූ කරුණු උසස් පත්වීම් සඳහා සැලකිල්ලට ගත යුතුව තිබේ. යම් පත්කිරීමක් කළ යුත්තේ ජ්‍යෙෂ්ඨත්වය මත පමණක් පදනම් වෙමින් නම්, ඒ සඳහා කිසි බලධාරියෙකු හෝ කිසි පරිපාටියක් අවශ්‍ය නොකරන්නේය.

එසේ තිබියදී, තමා නිර්දේශ කළ පුද්ගලයන් 12 දෙනෙකු ‘ව්‍යවස්ථා සභාවෙන්’ ප‍්‍රතික්ෂේප වූ බව ජනාධිපතිවරයා කියන විට ඔහු හිතාමතා වසංගන කරුණු ගණනාවක් තිබේ. එකක් වන්නේ, එක තනතුරක් සඳහා ඔහු නම් තුනක් නිර්දේශ කොට එවන විට එයින් නම් දෙකක් අනිවාර්යයෙන් කැපී යන බව ය. ඉහතින් කී පොලිස්පති පුරප්පාඩුවට ඔහු නම් තුනක් එවා තිබූ නිසා එයින් නම් දෙකක් බැහැර කිරීමට සිදුවීම අනිවාර්ය විය. මීට කලින් අගවිනිසුරු ධුරය සඳහා නම් දෙකක් එවා තිබූ නිසා එක නමක් අනිවාර්යයෙන් ඉවත් කිරීමට සිදුවිය. අභියාචනාධිකරණ පුරප්පාඩු 2 සඳහා නම් 4 ක් එවා තිබූ නිසා නම් 2 ක් ඉවත් වීම අනිවාර්ය විය. නීතිපති තනතුර සඳහා නම් 3 ක් මුලින් එවූ නිසා නම් 2 ක් ඉවත් වීමට නියමිතව තිබුණි. කරුණු එසේ තිබියදී, තමා නිර්දේශ කළ නම් 12 ක් ‘ව්‍යවස්ථා සභාවෙන්’ ප‍්‍රතික්ෂේප විණැයි ජනාධිපතිවරයා කීම වංක සහ වංචනික කතාවකි.

ලැජ්ජා විය යුත්තේ ජනපතිමයි

දෙවැනි කාරණය වන්නේ, ඔහු නිර්දේශ කළ ඒ සා විශාල නම් ප‍්‍රමාණයක් ‘ව්‍යවස්ථා සභාවෙන්’ ප‍්‍රතික්ෂේප වී ඇත්නම්, ඒ ගැනත් ලජ්ජා විය යුත්තේ ඔහුම ය. මේ ලිපියේ ඉහතින් කී පරිදි එක් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට නම් කිරීමෙන් මුළු නීති ක්ෂේත‍්‍රයම භ‍්‍රාන්තියට පත්කළ අවස්ථාව ඊට නිදසුනකි. පාර්ලිමේන්තුවත්, පාර්ලිමේන්තුවෙන් පිටස්තර ප‍්‍රජාවත් නියෝජනය කරන 10 දෙනෙකුගෙන් සැදුම්ලත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මඩුල්ලක් විසින් තනි පුද්ගලයෙකුගේ නිර්දේශ ප‍්‍රතික්ෂේප කිරීම, එකී පුද්ගලයාගේ තේරීමේ ශක්තියේ දුර්වලතාවම පෙන්නුම් කරන්නකි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අරභයා වූ ජනාධිපතිවරයාගේ තනි තේරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකමතිකත්වයෙන් මෑතකදී ප‍්‍රතික්ෂේප කෙරුණු බවත් මේ අවස්ථාවේ ඔහුට සිහිපත් කර දිය යුතුව තිබේ.

තෙවැනි කාරණය වන්නේ, ‘ව්‍යවස්ථා සභාවක්’ පිහිටුවා ඇත්තේම, එකී වැරදි තනි-පුද්ගල තීරණ, පොදු සුභසිද්ධිය තකා කිරා බලා පරීක්ෂාවට ලක්කිරීමට වන බවයි. මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ මේ කාර්යය සඳහාම හොරට අටවාගෙන තිබූ ‘පාර්ලිමේන්තු කවුන්සිලය’ නැමැති අට්ටාලය මෙන් වර්තමාන ‘ව්‍යවස්ථා සභාව’ ජනාධිපතිවරයාගේ රබර් මුද්‍රාවක් හෝ අවනත අතකොළුවක් හෝ නොවන බවට එයම සාක්ෂියකි. හිටපු ජනාධිපතිවරයාට සහ වර්තමාන ජනාධිපතිවරයාට උහුලන්නට බැරි කාරණයත් එයයි.

කොටින්ම, ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ සගයන් මේ කියන්නේ, විධායක ජනාධිපති ධුරය සතුව මහින්ද රාජපක්ෂ කාලයේ තිබූ ඒ අජරාමර විභූතිය නැවත අත්පත් කර ගත යුතුව ඇති බව මිස අන් කවරක්ද? එක වරක් පමණක් එම ධුරය හෙබැවීමේ අපේක්ෂාවෙන් සිටි කාලයේ සිරිසේනට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඇම්මක් තිබුණි. එහෙත්, තවත් වරක් සිංහාසනාරූඪ වීමේ සිහිනය දකින්ට පටන් ගත් දා සිට, තමන් එදා කළ දේවල් ගොන් කම් වශයෙන් දැන් ඔහුට දැනෙනවා ඇති.


සබැඳි පුවත්

ජනාධිපති සිරිසේනගේ කියුම් හා කෙරුම්



- ආචාර්ය ඒ. සී. විස්වලිංගම් -


2015 දී යහපාලනය වෙනුවෙන් 

මේ ලියුම්කරු, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඇතැම් ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවන්ට විරුද්ධව 2004 සිට අධිකරණය ඉදිරියට ගොස් තිබේ. මාධ්‍ය ඔස්සේ විවේචන ලියා පළ කොට තිබේ. එවැනි සන්දර්භයක් තුළ, වැඩි ආටෝපයක් නොතිබුණු මෛත‍්‍රීපාල සිරිසේනට මාදුළුවාවේ සෝභිත හිමියන් සහාය දැක්වීමත් සමග මේ ලියුම්කරු ද 2015 ජනවාරියේ ඔහු වෙනුවෙන් ඡන්දය පාවිච්චි කෙළේය.

2015 ජනවාරි 9 වැනි දා මෛත‍්‍රීපාල සිරිසේන කළ ඒ විජයග‍්‍රාහී කතාව කෙතෙක් සුවදායක, අව්‍යාජත්වයක් පෙන්නුම් කෙළේ ද යත්, මේ රටේ තවත් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මෙන් මේ ලියුම්කරු ද එයින් ඉමහත් අහ්ලාදයට පත්ව ශ‍්‍ර‍්‍රී ලංකාව දැන් නම් සැබෑ යහපාලනික උදාවකට අවතීර්ණව ඇතැයි සිතීය.

ඇත්තෙන්ම මුලදී ඔහුගේ නායකත්වය යටතේ, අගමැති රනිල් වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයේ නොමද සහායත් ඇතිව, වැදගත් ඉදිරි පියවර කිහිපයක් ගැනුණි. එහෙත් ඒ සා කැපවීමක් මුලදී පෙන්නුම් කළ එකී ගමන් මග විවිධ අයුරින් අයාලේ යාමට වැඩි කල් ගියේ නැත.

මෙසේ කියන විට, ‘රනිල් බේරමින් මෛත‍්‍රීටම වරද පැටවීමට’ යත්න දරතියි විස්සෝපයට පත්විය හැකි රනිල්-විරෝධීන්ට කිව යුතුව ඇත්තේ, ඔහුගේ කෙරුවාව ගැනත් මෙවැනිම ලේඛනයක් ඉදිරියේදී ලියැවෙන බවයි.

අද ශ‍්‍රී ලංකාවේ ජනතාව භූක්ති විඳින ප‍්‍රකාශනයේ නිදහස, ඊට කලින් දශකයක පමණ කාලයක් තිස්සේ ඔවුන්ට අහිමිව තිබූ බව කවුරුත් දනිති. හිටිහැටියේ පැහැරගෙන යනු ලැබීමේ භීතිය, බොහෝ විට සුදු වෑන් රියක යාමට සිදුවීමේ සංත‍්‍රාසය සමග සදහටම අතුරුදහන් කැරැවීමේ ශක්‍යතාව අද මුළුමණින් අහෝසි වී ගොසිනි. රාජපක්ෂගේ 18 වැනි පෝරිසාද ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කොට, ඊට සාපේක්ෂ වශයෙන් සාධනීය උරුමයක් සහිත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද ස්ථාපිත කොට තිබේ. ආණ්ඩුවේ විරෝධතාකරුවෝ එය පවා දැන් විවේචනය කරති. ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත’ සම්මත කර ගැනුණු අතර මහජන සුභසිද්ධිය සඳහා ඒ අවසරය පාවිච්චි කරන්නේ කෙසේද යන්න මේ වන විට ජනතාව ටිකෙන් ටික උගෙන ගනිමින් සිටිති.

විනිසුරුවරුන් තෝරා ගැනීම ගැන මෑතකදී මතුව ඇති ප‍්‍රශ්න වහා විසඳා ගත යුතුව ඇති මුත්, අධිකරණයේ ගෞරවය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් අද පැහැදිළි වර්ධනයක් දක්නට තිබෙන බව කිව යුතුය. නිවැරදි කර ගත යුතු මුත් නිසි අවධානයක් යොමු නොවන කරුණු ගණනාවක් තිබුණ ද, මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන තීව‍්‍ර කොට තිබීම අගේ කළ යුතුය. 

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව ගැන සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත්කිරීමත් අත්‍යාවශ්‍ය වූත්, අගේ කළ යුතු වූත් කාරණයකි. එසේම ප‍්‍රධාන පෙළේ මූල්‍ය අපරාධ පිළිබඳ දිනපතා නඩු ඇසෙන විශේෂ මහාධිකරණ පිහිටුවීමත් අතිශය වැදගත් ය. මෙවැනි කාරණා සම්බන්ධයෙන් මෛතී‍්‍රපාල සිරිසේනගේ මැදිහත්වීම්වලට නිසි ගෞරවය දිය යුතුව තිබේ. 

දැන්, 2015 ජනවාරියේ දුන් ප‍්‍රතිඥා ප‍්‍රකාරව ඔහු කටයුතු කර නැති අංශ වෙත හැරීමට මා සූදානම් ය. 

පවුලට කලින් රට

මෛත්‍රීපාල සිරිසේන මුලින්ම ඔහුගේ සහෝදරයෙකු විදුලි සංදේශ නියාමන අධිකාරියේ සභාපති තනතුරට පත්කර ගත්තේය. කෝටි ප‍්‍රකෝටි ගණන් වටිනා ආයෝජන අවස්ථා සහ ප‍්‍රතිලාභ සහිත විද්‍යුත් මාධ්‍ය විකාශන සහ ඊට අදාළ වෙනත් අංශ වෙත බලපත‍්‍ර නිකුත් කෙරෙන සූක්ෂම තාක්ෂණ අංශයක් වන ඒ ක්ෂේත‍්‍රය ගැන ඔහුගේ සහෝදරයාට පළපුරුද්දක් නොතිබුණි. පිළිගත් කීර්ති නාමයක් සහිත ස්වාධීන තාක්ෂණවේදී විශේෂඥයෙකු ඊට පත්කෙළේ නම් මේ විවේචනය ඔහු අරභයා එල්ල නොවනු ඇත. ඊට අමතරව, ඒ තනතුරේ ඔහුගේ සහෝදරයා ක‍්‍රියා කොට ඇත්තේ කෙසේද යන්න වෙනම සලකා බැලිය යුතු කාරණයකි. 

මේ කාලයේම, මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රථම වතාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභා රැුස්වීමට සහභාගී වීමට ගියේය. එහිදී, එරට සිටින ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයාට හිමි අසුනේ මෛත‍්‍රීපාල සිරිසේන සිය පුතාව වාඩි කෙරෙව්වේය. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වෙන් කොට තිබු සීමිත ආසන සංඛ්‍යාව වෙනත් ශ‍්‍රී ලාංකීය නියෝජිතයන් ලබාගෙන තිබුණු තත්වයක් තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කිරීම සඳහාම ලංකාවෙන් පත්කර සිටි නිත්‍ය නියෝජිතයාට ආසනයක් නැතිව ගියේය. රටට කලින් පවුල රැකීමේ සිරිසේන ස්වභාවය මේ සිද්ධියෙන් කැපී පෙනුණි. 

අල්ලස සහ දූෂණය

විවිධ දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව වසර ගණනාවක් තිස්සේ ගොඩගැසී තිබුණු, අල්ලස් සහ දූෂණ චෝදනාවලට අදාළ ‘නිදි ගන්වා තිබූ’ ලිපිගොනු දහසකට අධික සංඛ්‍යාවක්, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වශයෙන් දිල්රුක්ෂී වික‍්‍රමසිංහ පත්කිරීමෙන් පසු ගොඩගනු ලැබුණි. දීර්ඝ කාලයක් තිස්සේ පමා වී තිබු එම ලිපිගොනුවලින් කිහිපයක් ඉතා ඉක්මණින් එකලාසයක් කිරීමට ඈ කටයුතු කෙළේ ඒ සඳහා ප‍්‍රමාණවත් පහසුකම් ද නොතිබියදී ය. ඒ අතරින් සමහරක් සම්බන්ධයෙන් නඩු පැවරීමටත් ඒ කෙටි කාලය තුළ ඈ කටයුතු කළාය. 

වැඩි කල් නොගියේය. මෛත‍්‍රීපාල සිරිසේන ඇයව පන්නා දැමුවේය. ඇයව එසේ අත්තනෝමතිකව ඉවත් කිරීමට සිද්ධ වුණේ, තමාගේ යම් පිරිසකට එරෙහිව ඇති සාක්ෂි ප‍්‍රසිද්ධියට පත්වීමෙන් වළක්වා ගැනීමටත් එවැනි පුද්ගලයන් බේරා ගැනීමටත් මෛත‍්‍රීපාල සිරිසේනට අවශ්‍ය කළ බැවිනි. ඇයව එසේ අසාධාරණ ලෙස ඉවත් කිරීම, මේ ලියුම්කරුට අනුව, මෛත‍්‍රීපාල සිරිසේනට එල්ල වන බරපතල කළු ලපයකි. 

විදේශ චාරිකා 

මෛත‍්‍රීපාල සිරිසේන මේ වන විට නිල සහ රාජ්‍ය සංචාර රාශියකට ගොස් තිබේ. ඒ සෑම අවස්ථාවකම නිලධාරීන් සුළු පිරිසක් සහ රාජකාරියක් නැති තවත් විශාල පිරිසක් සහභාගී කරගෙන තිබේ. ඒ සියල්ලන් සඳහා වන ගමන්බිමන්, හෝටල් සහ කෑමබීමාදිය සඳහා රාජ්‍යයෙන් දැරූ වියදම අති විශාල බවට සැකයක් නැත. මේ ගිය ඇතැම් අවස්ථාවක අදාළ රාජ්‍ය නිලධාරීන් ගිවිසුම්වලට අවතීර්ණව තිබේ. 

අපට දැන ගැනීමට ඇති පරිදි, මේ කිසි ගිවිසුමක්, එරටේ සිටින අපේ තානාපතිවරයා සහ අදාළ රාජ්‍ය නිලධාරීන්ට පමණක් ඉෂ්ට සිද්ධ කර ගැනීමට බැරි තරමේ විශාල ඒවා නොවේ. තවත් විදිහකින් කිවහොත්, රාජ්‍යයේ හෝ ආණ්ඩුවේ ප‍්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් තොරව අත්සන් කළ හැකිව තිබු ගිවිසුම් ය. මේ කියන විදේශ සංචාර හරහා තමන් අත්පත් කර ගත් ප‍්‍රයෝජනවත් කාර්යයක් විණි නම් ඒ බව ජනාධිපතිවරයා රටට දැනුම් දිය යුතුව තිබුණි. ජනාධිපතිවරයාට තමන් විසින් පවරා ඇති බලතල පාවිච්චි කොට ඇති ආකාරයත්, තමන් විසින් ඔහුගේ භාවිතයට අනුමත කොට ඇති අරමුදල් වැය කළ ආකාරයත් දැන ගැනීමේ අයිතියක් ජනතාවට තිබේ. එහෙත් ඒ විස්තර කිසිවක් ජනාධිපතිවරයා විසින් ජනතාව වෙත ඉදිරිපත් කොට නැත. 

ඔක්තෝබර් 26 වැනි දා ප‍්‍රයත්නය 

මෛත‍්‍රීපාල සිරිසේන සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔහුගේ ආධාරකරුවෝ, එක්සත් ජාතික පක්ෂය සහ වෙනත් පක්ෂ සමග වසර හතරකට ආසන්න කාලයක් එකට ආණ්ඩු කළහ. 2018 ඔක්තෝබර් 26 වැනි දා ඔහුගේ පක්ෂ සාමාජිකයන් ඔහුගේ විධානය පරිදි ආණ්ඩුවෙන් ඉවත් වුණේ සියල්ලන් මවිත කරවමිනි. අනතුරුව, ආණ්ඩුවේ නායකත්වය තමා අතේ තබා ගනිමින් මෛත‍්‍රීපාල සිරිසේන බහු-පාක්ෂික ආණ්ඩුව නීති විරෝධී අන්දමින් අස් කර දැම්මේය. ඊළඟට, මහින්ද රාජපක්ෂ අගමැති  තනතුරට පත්කොට, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් පිහිටෙව්වේය. 

මෙසේ කරද්දී, ආණ්ඩුවක් ගෙන යාම සඳහා අවශ්‍ය කරන බහුතරය මහින්ද රාජපක්ෂට නැති බව මෛත‍්‍රීපාල සිරිසේන දැන සිටියේය. එහෙත් රාජපක්ෂට එවැනි බහුතරයක් ඇති බවට සිරිසේන රටට බොරු කීවේය. කෙසේ වෙතත්, අවශ්‍ය කරන මන්ත‍්‍රීවරුන් 113 සොයා ගැනීමට මහින්ද රාජපක්ෂ අසමත් වන විට ඒ අසමත් භාවයට හේතුව මන්ත‍්‍රීවරුන්ගේ ‘අධික මිල ගණන්’ බව සිරිසේන කීවේය.

මන්ත‍්‍රීවරුන්ගේ පක්ෂපාතීත්වය ලබා ගැනීම සඳහා අල්ලස් ගෙවීමේ සූදානමක් තිබී ඇති බව සිරිසේන විසින්ම පිළිගනු ලැබීම මේ ලියුම්කරු දකින්නේ රටේ ජනතාව තමන්ගේ ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා කරන ආචාර ධාර්මික සුපිළිපන් භාවය ඔහු කෙලසා ගත් අවස්ථාවක් වශයෙනි. එසේම, තමන්ව අඩි හයක් පොළොව යටට දැමීමට සිටියේ යැයි කී පුද්ගලයා සමග මෙසේ සන්ධානගත වීමේ කිසි විචිකිච්ඡුාවක් සිරිසේනට නොවීමත් මේ ලියුම්කරුගේ අතිශය විමතියට හේතු වෙයි. 

රනිල් වික‍්‍රමසිංහ ඉවත් කොට මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ පිහිටුවීමට ගත් අගතිගාමී එකී ප‍්‍රයත්නය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවකි. එය එසේම යැයි ඒකමතිකව සහ අවධාරණයෙන් යුතුව විනිශ්චය කළ අපේ ශ්‍රේෂ්ඨාධිකරණය ගැන අප සතුටු විය යුතුය. නම් ගම් නොකියන ‘නීති විශාරදයන්’ පිරිසක් විසින් සැලසුම් කොට ක‍්‍රියාවට දැමූ ඒ තකතිරු කුමන්ත‍්‍රණය නිසා යෝධ මූල්‍යමය පාඩුවක් ද, ජාත්‍යන්තරය ඉදිරියේ ශ‍්‍රී ලංකාව හෑල්ලූවට පත්වීමක් සහ ගණනය කළ නොහැකි තරමේ වාණිජමය විශ්වාසය බිඳ වැටීමක් ද සිදු විය. 

එල්.එන්.ජී. (ස්වාභාවික ගෑස් නිධි) පර්යන්තය 

ඉහත කී ඔක්තෝබර් 26 කුමන්ත‍්‍රණ බෝම්බය අතහැරීමට කලින්, කොළඹ වරායෙන් සැතපුම් කිහිපයක් ඈත මුහුදේ එල්.එන්.ජී (ස්වාභාවික ගෑස්) පර්යන්තයක් ගොඩනැගීම සඳහා දකුණු කොරියානු සමාගමකින් ලැබී තිබුණු අනාරාධිත යෝජනාවක් භාර ගැනීමට මෛත‍්‍රීපාල සිරිසේනව එකී සමාගම මගින් පොළඹවා ගෙන සිටි බවට වාර්තා පළ විය. පෙනෙන්ට තිබුණු පරිදි, එකී යෝජනාවට රනිල් වික‍්‍රමසිංහ මාස කිහිපයක් තිස්සේ විරෝධය දක්වා තිබේ. එය, මෛත‍්‍රීපාල සිරිසේනව කුපිත කළ කාරණයක් විය. මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිව්රුම් දුන් සැණින් මේ කියන දකුණු කොරියානු යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබීම, ඒ තත්වය යටතේ, මවිත කරවන සුළු ය.
  
ගෞරවයට පත්, කීර්තිමත් ශ‍්‍රී ලාංකීය ඉංජිනේරුවරයෙකු මේ කරුණු මාධ්‍ය හරහා අනාවරණය කොට තිබේ. මේ ලියුම්කරු ද, මෙකී ව්‍යාපාරය රටට ඉමහත් හානිකර බව පෙන්වා දී තිබේ. එසේ තිබියදී, තවමත් එකී යෝජනාව ක‍්‍රියාත්මක කර ගැනීමට සිරිසේන තැත් කරන බවක් දැන ගන්නට ඇත. එය සාර්ථක වුවහොත්, ලියුම්කරුගේ අදහසේ හැටියට, මහබැංකු බැඳුම්කර වංචාව සහ හෙජින් මගඩිය යන දෙකෙන්ම අත්වූ අලාභය මෙන් කිහිප ගුණයක අලාභයක් රටට අත්වෙනු ඇත.

අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව 

2015 ජනවාරි 9 වැනි දා, තමා එක වරකට වඩා ජනාධිපති ධුරයේ නොරැුඳෙන බවට මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රතිඥා දුන්නේය. අවුරුද්දක් හෝ ඊට අඩු කාලයක් තුළ අලූත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව කියා සිටි ඔහු, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවත් කීය. මේ ප‍්‍රතිඥා සියල්ල ඔහු දෙන්නට ඇත්තේ ඒවා ක‍්‍රියාත්මක කිරීමේ තුන් හිතකින්වත් නොවන බව පෙනෙන්නේ, අලූත් ව්‍යවස්ථාවක අඩංගු විය යුතු දේවල් ගැන වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවේ විවිධ අනුකමිටු හරහා සාකච්ඡුාවට ලක්වෙමින් තිබියදීත් ඒවා ගැන සිරිසේන වගේ වගක් නැතිව සිටි නිසා ය.

යහපත් ව්‍යවස්ථාවක එක් වැදගත් අංගයක් වන්නේ ස්වාධීන කොමිෂන් සභා ක‍්‍රමයක් ස්ථාපිත කිරීමයි. ඒ මගින්, ආණ්ඩුකරණයේ විවිධ ඉසව් ස්වාධීන විමර්ශනයට ලක්කළ හැකි වන අතර, විවිධ ක්ෂේත‍්‍රවලින් පරීක්ෂාකාරීව තෝරා ගත් කීර්තිමත් පුද්ගල කණ්ඩායමක් විසින් අදාළ කරුණු පරීක්ෂාවට ලක්කෙරෙන විධිමත් යාන්ත‍්‍රණයක් බිහි වන්නේය. එහිදී, යම් කාරණයක් සම්බන්ධයෙන් ගැනීමට නියමිත තීන්දු තීරණ, පක්ෂග‍්‍රාහී තනි පුද්ගලයෙකු විසින් හෝ පක්ෂපාතී කැබිනට් මණ්ඩලයක් විසින් හෝ නොගෙන, පොදු එකඟත්වයක් මත සාමූහිකව ගනු ලැබේ. මේ වන විට, එවැනි ස්වාධීන කොමිෂන් සභා ගණනාවකටම විරුද්ධව සිරිසේන අයුක්ති සහගත සහ දේශපාලනිකව මෙහෙයැවෙන සතුරු ප‍්‍රහාරයක් දියත් කර තිබීම කණගාටුදායක ය. ඔහු එසේ හැසිරෙන්නේ වෙන කිසිවක් නිසා නොව, තමන්ගේ පුද්ගල ව්‍යාපෘතිවලට සරිලන ආකාරයෙන් එකී ස්වාධීන කොමිෂන් සභා කටයුතු නොකිරීම නිසා ය. 

මත්ද්‍රව්‍ය හොරෙන් ගෙන එන්නන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්

මෛත‍්‍රීපාල සිරිසේන මොවුන්ට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කොට තිබේ. එසේ වෙතත්, මීට වසර කිහිපයකට ඉහතදී ග‍්‍රීස් ටින්වල බහා කන්ටේනරයක් පුරවා මෙරටට හොරෙන් ගෙනා මත්ද්‍රව්‍ය තොගයට අදාළ ඉදිරි පියවර මෛත‍්‍රීපාල සිරිසේන ගත්තේ නැත. ඇත්ත වශයෙන්ම, එදා රේගු නිලධාරීන් සහ වෙනත් රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධය මධ්‍යයේ ඒ හොර නැව් බඩු තොගය නිදහස් කර ගත් දේශපාලඥයා විවිධ වැදගත් අවස්ථාවන්හිදී ජනාධිපතිවරයා සමග ඉදිරි පෙළේම ළඟින් අසුන්ගෙන සිටිනු දකින්ට ලැබේ. මත්ද්‍රව්‍ය හොරෙන් ගෙන එන්නේ දීර්ඝ කාලයක් තිස්සේ තමන්ට සම්බන්ධකම් ඇති දේශපාලන පක්ෂවලට අයත් පුද්ගලයන් නම් ඔවුන් එල්ලා නොමැරීම ද සිරිසේනගේ ප‍්‍රතිපත්තිය වන්නේ ?



(2019 පෙබරවාරි 16 වැනි දා Daily FT පුවත්පතේ පළවූ “President Maithripala Sirisena: Performance Versus Promises”  නමැති ලිපියේ සිංහල පරිවර්තනය,
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)

‘අද මේ රටේ ඉන්න අන්තවාදී කල්ලිවලට අවශ්‍ය කරලා තියෙන්නේ රාජාණ්ඩුවක් සකස් කරගන්න’ – මාලක දේවප්‍රිය


පසුගියදා නිමාවට පත් වූ රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උළෙලේදී හොඳම ගුවන්විදුලි නාට්‍ය පිටපත් රචනයට හිමි සම්මානය හිමි කර ගත්තේ මාලක දේවප්‍රියයි.මෙම සම්මාන උළෙලේදී මාලකගේ 'සුව දෙන අග්නි' වෙනුවෙන් හොඳම හඬ නළු ශිල්පිනියට හිමි ජුරි සම්මාන (රම්‍යා වනිගසේකර) හා 'නාඩන් පටාචාරා' වෙනුවෙන් (අයිරාංගනී සේරසිංහට)ද හිමි විය. පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ගුවන් විදුලි නාට්‍ය නිර්මාණ වූ තරුවන් සරණයි, නිහොන් සැප ලැබේවාද ඔහුගේ නිර්මාණය. කෙසේ වෙතත් ඔහුට හොඳම ගුවන් විදුලි නාට්‍ය පිටපත් රචනයට හිමි සම්මානය හිමි වන්නේ "ඉන්ද්‍රජාලික මඟුල් සැණකෙළි'' නිර්මාණය වෙනුවෙනි. එබැවින් මාලක සමග කතාබහක යෙදීමට අපි අදහස් කළෙමු.

ලැබුණු සම්මානය ගැන මොකද හිතන්නේ ?

සම්මානය ගැන තුලනාත්මක අදහසක් මට තියෙන්නෙ. පසුගිය කාලයේ මගේ ගුවන් විදුලි නාට්‍ය නම් කිහිපයක් පමණක් පාදක කර ගනිමින් ඇතැම් මාධ්‍ය දිගින් දිගටම පහර දුන්නා. බුදු දහමට අපහාස කරන බවට ප‍්‍රවාදයක් ගොඩනැගුවා. එය සිදුකළේත් ජාතිවාදී, ආගම්වාදී, වර්ගවාදී කල්ලි විසින් පටු දේශපාලනික වාසි අත්පත් කර ගැනීම වෙනුවෙන්. සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය බී රිපෝර්ට් එකක් දමා 291 (අ) සහ 291 (ආ) යන දණ්ඩ නීති සංග‍්‍රහය වගන්ති යටතේ මේ නිර්මාණවලට චෝදනා පවා ගොනු කර තිබෙනවා.

ඒත් එම රාජ්‍යය විසින්මයි ඔබව ඇගයීමට ලක් කරන්නෙත්?

ඔව්.ඒකම තමයි මෙහි පවතින නාටකීය බව. රාජ්‍යය එක් පසෙකින් නිර්මාණකරණය යනු සංවිධානාත්මක අපරාධයක් විදිහට නම් කරල ක‍්‍රියා මාර්ග ගැනීමට උත්සාහ කරන ගමන්, එම රාජ්‍යයම ගුවන් විදුලි සම්මාන උළෙලේදී එම නාට්‍යය අගය කිරීමට ලක් කරලා හොඳම සම්මානයට පාත‍්‍ර කරවනවා. 2017 වසරේදීත් මට පළමු රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උළෙලේ මේ සම්මානය ලැබුණා. දෙවැනි වතාවටත් එය ලබා ගැනීම ආස්වාදනීයයි. මේ අන්තවාදී කල්ලි වලට කරන අභියෝගයක් විදිහට ඔවුන්ගේ ප්‍රවාදය බොරුවක් බව සනාථ කරන්න මේ සම්මානය මම බාර ගත්තා.

හැබැයි ආගමික අපහාසයක් පිළිබඳ චෝදනා නැගීමටත් යම් යම් හේතු තියෙන්න ඇති?

අද මේ රටේ ඉන්න අන්තවාදී කල්ලිවලට අවශ්‍ය කරලා තියෙන්නේ රාජාණ්ඩුවක් සකස් කර ගන්න. ඒ අයගේ අභිප‍්‍රාය වෙන්නේ වැඩවසම් යාන්ත‍්‍රණ හරහා ගැතිකම්, වන්දිභට්ටකම්, පක්ෂපාතිත්වයන් මත දූෂණය, භීෂණය මර්දනය ඇති කරලීම සහ ඒ හරහා වරප්‍රසාද භුක්ති විඳීම. අද මේ රටේ බහුතර මාධ්‍යයන් ක‍්‍රියාත්මක වෙන්නෙත් මේ න්‍යාය පත‍්‍රය පදනම් කරගෙන. ඔවුන්ට අනුව ජන මාධ්‍ය කියන්නේ ව්‍යාපාරයක්. මේවායේ සන්නිවේදන පරමාර්ථ අරමුණු කිසිවක් නැහැ. මගේ නාට්‍ය සඳහා විරෝධයක් ගෙන ආවෙත් ඒ නාට්‍ය අහලවත් නෙමෙයි.

ඒත් ඔබටත් තිබුණා එවැනි භාවිතාවක නොයෙදී ඉන්න ?

භාෂාව කියන්නේ සංකේත පද්ධතියක්. භාෂාව පාවිච්චි කරල සන්නිවේදනය වගේම නිර්මාණත් සිදු කරනවා. භාෂාවක සංකේත කිසිදු ආගමික සංස්ථාවකට හෝ පොලිසියට හෝ දේශපාලන කණ්ඩායමකට හෝ කිසිවෙකුට අයිති දෙයක් නෙමෙයි. ලෝක ඉතිහාසයේ සිට මේ දක්වා කවියො, කෙටිකතාකරුවෝ, නවකතාකරුවෝ, නාට්‍යකරුවෝ ආදී එකී නොකී නිර්මාණකරුවො මේ භාෂාව පාවිච්චි කරලා ව්‍යංගාර්ථ, උපමා, ධ්වනිතාර්ථ, උපහාස මතු කරනවා. නිර්මාණකරුවො භාෂාව භාවිතා කරන්නේ පටු දේශපාලනඥයන්ට, නැත්තම් පොලිසියට, එහෙම නැත්තම් අන්තවාදීන් කල්ලි කණ්ඩායම්වලට අනුකූලව නෙමෙයි. අනික ඒක කාගෙවත් පේටන්ට් එකක් නෙමෙයි. භාෂාවක අර්ථයන්, සන්දර්භයට සාපේක්ෂව වෙනස් වෙනවා. උදාහරණයකට ජේසු කියන පදය ගත්තොත් යෝවද තම්පව රෝමනු ජේසු කිව්වම එක් අර්ථයකුත්, ජේසු දාසන් කිව්වම තවත් අර්ථයකුත්, ජේ.සුනිමල් කිව්වම තවත් අර්ථයකුත්, ජේසුතුමා කිව්වම තවත් අර්ථයකුත් සන්නිවේදනය වෙනවා.ඒ නිසා භාෂාව ක‍්‍රියාත්මක වන විද්‍යාත්මක පදනම් ගැන අවබෝධයක් නැති ඔලමොට්ටල, පටු අන්තවාදී න්‍යායාචාර්යවරුන් කරන මේ ප්‍රහාරය සම්පූර්ණයෙන්ම මිථ්‍යාවක්.

සම කාලීන ගුවන් විදුලි නාට්‍යය සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?

ලෝක ගුවන් විදුලි නාට්‍ය කලාවේ ස්වර්ණමය යුගය අපට හමුවෙන්නේ 1950 දශකයේදි. මේ කාලය තුළ ගුවන් විදුලි නාට්‍ය නිර්මාණකරුවන් විසින් කරන ලද නව භාවිතාවන් නිසා ස්වීය අනන්‍යතා ලක්ෂණ සහිත කලාවක් ලෙස මතු වුණා. 2019 වෙනකොට ලෝකයේ රේඩියෝ නාට්‍ය කලාව ස්වර්ණමය තත්ත්වය ඉක්මවා ප්ලැටිනම් වැනි තත්ත්වයක් අත්පත් කරගෙන තියෙනවා. බීබීසී ලෝක සේවය හරහා දිනපතා විකාශය වන නාට්‍යවලට ඇහුම්කන් දුන්නොත් මේ බව මනාව තහවුරු කරගන්න පුළුවන්. ඔවුන් නූතන ඩිජිටල් සන්නිවේදනය හා සමපාත වෙමින් නව පර්යේෂණාත්මක ආකෘතිමය තේමාමය හරඹයක් කරමින් විශාල ගුවන් විදුලි නාට්‍ය ප‍්‍රමාණයක් නිර්මාණය කරනවා. මේවා අහන කෝටි ගණනක නිත්‍ය ශ‍්‍රාවක පිරිසක් ඉන්නවා. 1950 ලාංකේය ගුවන් විදුලි නාට්‍ය කලාව විවේචනයක් ඉදිරිපත් කරමින් පී. වැලිකල කිව්වේ ලාංකේය නාට්‍ය කලාව තවමත් පවතින්නේ දණ ගාන අවධියක කියලා. නමුත් දශක හතක් ගෙවිලත් අද පවතින්නේ එය පිළිසිඳ ගෙනවත් නැති මට්ටමක. මේ බව තහවුරු කරගන්න පුළුවන් ලංකාවේ පවතින පෞද්ගලික හා රාජ්‍ය ගුවන් විදුලි නාලිකාවලින් විකාශනය වන නාට්‍ය ලේබලය ඇලවූ වැඩසටහන් ශ‍්‍ර‍්‍රවණය කළොත්. මේවා හුදු ලාභය පමණක් අරමුණු කර ගනිමින් ඉදිරිපත් කරන බොළඳ ලාබ වාං හෑලිවලින් සමන්විත ව්‍යාපෘති මිසක් ගුවන් විදුලි නාට්‍ය විදිහට නම් කරන්න අමාරුයි.


ගුවන් විදුලි නාට්‍ය කලාවට මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු විදිහට දකින්නේ මොනවද?

ලංකාවේ ගුවන් විදුලි නාට්‍ය කලාව ගොඩනැගීම සම්බන්ධව විධිමත් අදහසක් අපිට ලබාගන්න පුළුවන් වෙන්නේ 1953 Report On The Commission Of Broadcasting එකෙන්. නෝර්මඩ් එඩ්වඩ් වීරසූරියගේ සභාපතිත්වයෙන් මෙහි කරුණු රැසක් ඉස්මතු කළා. එකල නාට්‍ය ලෙස දක්නට හැකිවුණේ ග‍්‍රාම්‍ය විහිළු හා දෙබස් අනුසාරයෙන් වූ කතා. මේවායේ අශ්ලීල යෙදුම් බහුලයි. අනික සමකාලීන ගුවන් විදුලිය තුළ නාට්‍ය පිටපතක ගුණාත්මක බව මැනීමට සුදුසුකම් ලත් පිරිසකගේ හිඟයක් තියෙනවා. නාට්‍ය නිෂ්පාදනය කරන පිරිස් නිර්මාණාත්මක දක්ෂතා ඈඳා ගැනීම වෙනුවට අධිකාරිත්වයක් හිමි පිරිසට අවකාශ සැලසීම ගැටලුවක්. නාට්‍යවල රංගනයෙන් යුතු බහුතර ශිල්පීන්, භාෂාව, රංගනය සම්බන්ධ දැනුම මඳ නිසා රංගනය කෘත්‍රිම ස්වභාවයක් ගන්නවා.

ඒත් ගුණාත්මක නිර්මාණකරණයේ යෙදෙන නිර්මාණකරුවන්ගේ හිඟයක් පවතිනවා කියල හිතන්න අමාරුයි?

නාට්‍ය අංශය වෙත හොඳ පිටපත් ලැබෙනවා.ඒත් එතකොට සිදුකරන්නේ ආධුනික රංග ශිල්පීන් යොදවලා ඒ නිෂ්පාදනය බාල කිරීමක්. එදා දැක්වූ ගුවන් විදුලි නාට්‍ය සම්බන්ධ ගැටලු අදටත් එලෙසටම පොදුයි. එදා වගේම අදටත් ගුවන් විදුලි නාට්‍යවල සිට වේදිකා නාට්‍ය සිනමාව ගොඩනැංවීම සඳහා සංස්කෘතික ප‍්‍රතිපත්තියක් අපිට නැහැ. බලයට පත්වන විවිධ ආණ්ඩු පටු දේශපාලනය න්‍යාය පත‍්‍ර ඔස්සේ තමන්ට වාසිදායක සුබසාධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම ඇරෙන්න කිසි දෙයක් කරන්නේ නෑ. අනික මේ කලාවන් ගොඩනැංවීම සඳහා දෘෂ්ටිවාදීමය අදහසකුත් තවමත් නැහැ. බහුතර නිලධාරීන් ඉන්නෙත් පටු වාර්ගික, ආගමික, අන්තවාදී රාමුවල. ඔවුන් යටතේ රටක සංස්කෘතික ප‍්‍රතිපත්තියක් ගොඩනගන්න ගන්න බෑ. ඒ වගේම නූතනවාදී නිර්මාණ සංස්කෘතියක් පවත්වාගෙන යන්නත් බැහැ.

ඒ නිසාද ඔබටත් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සංස්කෘතික රස්තියාදුවක යෙදෙන්න සිදුවුණේ?

ඔව්.ඊට ජාතිවාදීන්,රාජපක්ෂවාදීන්,ආගමික අන්තවාදීන් සහ වර්ගවාදීන් වග කියන්න ඕනි. මෙයාලට නූතනවාදී දැනුමක් නැහැ. උපහාසය,හාස්‍යය,ධ්වනිතාර්ථ තේරෙන්නේ නැත්තේ මේ නිසා. අනික මේවා අදක ඊයෙක ඉඳන් සිදුවෙන දේවල් නෙමෙයි. 'ඇත්ත' පුවත්පතේ කර්තෘ බී.ඒ.සිරිවර්ධන පවා "සුද්දන් සරණං ගච්ඡාමි" වැනි වදන් භාවිතා කරල තියෙනවා. "චේ" නැතිවුණාට පස්සේ "චේ අනිච්චේ" කියල භාවිතා වෙලා තියෙනවා. මේ වගේ එදා සිට අද දක්වා බොහෝ කතුවරු රචකයෝ විවිධ උත්ප්‍රාස ධ්වනිතාර්ථ මතු කළ තියෙනවා. ඒ නිසා අපට පේනවා ඇයි මේ විරෝධය එන්නේ පටු දේශපාලන පරමාර්ථයකින්කි කියල. හැබැයි කණගාටුව තමයි මේ කුලකය තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ වගේ සිංහල අධ්‍යනාංශවල කිසිම ශාස්ත්‍රීය පර්යේෂණයක් නොකළ බ්‍රෂ්ටයොත් සිටීම. එයාලා මහාචාර්ය වෙලා තියෙන්නේ පිනට කියලයි මට පේන්නේ. ඒ නිසා එවැනි අය එකතු වෙලා කළ පහරදීමක් විදිහටයි මට මේක දැනුණේ.

කොහොම වුණත් වත්මන් පරපුර තුළ ගුවන් විදුලි නාට්‍යය ඇසීමට යොමුවීමක් නැහැ නේද?

ලංකාවෙ තරම් අසා බහුශ්‍රැත වීමේ ප්‍රබල සංස්කෘතියක් ආසියාවේවත් තිබුණේ නැහැ.ඒ කලාව තාමත් ලෝකයේ අහෝසි වෙලා නැහැ.බීබීසි සේවය ගත්තොත් විවිධ පරාස කරා එය විදාරණය වෙනවා. දැනුම, රසය, පරිකල්පනය, ආකල්ප දියුණු කිරීමට එය භාවිතා වෙනවා. එක වචනයක් රූප දාහක් දක්වා බලාත්මක කළ හැකි මාධ්‍යයක් විදිහට ගුවන් විදුලිය හඳුන්වන්නේ ඒකයි. ඒ නිසයි බොහෝ දෙනෙක් මේ මාධ්‍යයෙන් වැඩ කිරීම උපහාසයට නගද්දී පවා මං මේ වැඩ බිමේ නියැලී ඉන්නේ.


‘මාධ්‍යවේදී නඩරාජා කුගන්රාජ්ට සාධාරණය ඉටුකරන්න’ – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය


මාධ්‍යවේදී නඩරාජා කුගන්රාජ් මහතාට එරෙහිව සිදුව ඇති පොලිස් ප්‍රහාරය හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ පිළිබඳව නිසි පරික්ෂණ පවත්වා කඩිනමින් සාධාරණය ඉටු කරන ලෙස වගකිව යුතු සියළු අංශ වලින් ඉල්ලා සිටී.

ඊයේ (19)  දිනයේදී විශේෂ නිවේදනයක් නිකුත් කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ, දෙමළ භාෂාවෙන් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර රූපවාහිනී ආයතනයක් වන ඩෑන් ටී.වී ආයතනයේ (Dan TV) වාර්තාකරුවෙකු වන තිරුනෙල්වේලි හි නඩරාජා කුගන්රාජ් මහතා පොලිස් පහරදීමකින් තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

කුගන්රාජ් මහතා පවසන අන්දමට කොකුවිල් නැගෙනහිර ප්‍රදේශයේ ඇති වූ සිදුවීමක් රූපගත කරන අවස්ථාවේ පෙබරවාරි 19 සවස 2.30ට පමණ එය රූපගත නොකරන්නැයි තර්ජනය කර ඔහුට පහර දී ඇත්තේ කෝපායි පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයායි.



මෙවැනි සිදුවීම් මාධ්‍යවේදීන් ගේ වෘත්තීය කටයුතු නිදහසේ ඉටුකරගැනීමට බාධාකාරී ලෙස බලපාන අතර, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසටද බාධාවකි. එසේම උතුරේ මෙන්ම දකුණේද අපරාධවලට හා හිංසනයට ගොදුරු වූ ජනමාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු නොවී පවත්නා පසුබිමක, තවදුරටත් මාධ්‍යවේදින්ට එරෙහිව මර්ධනය ක්‍රියාත්මක වීමක් ලෙස දකිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම සිදුවීම හෙළා දකියි.

එබැවින් වහා මැදිහත්ව මෙම සිදුවීම පිළිබඳ කඩිනමින් සොයා බලන ලෙසද ප්‍රහාරයට ලක් වූ මාධ්‍ය වේදියාට සාධාරණය ඉටු කරන ලෙසද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගකිවයුතු සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටියි.