මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් තොගය ජනපතිගේ නිරීක්ෂණයට


මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය වන කිලෝග්‍රෑම් 294 යි ග්‍රෑම් 490 ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධ ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගැනීමට හැකිවිය. මෙහි වටිනාකම රුපියල් මිලියන 2945 කට අධිකයි.

මේ හෙරොයින් තොගය අද ජනපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පානදුර කෙසෙල්වත්ත පදිංචිකරුවන් වන බවත්ය.
කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි වෙළඳ සංකීර්ණයක වාහන ගාල් කරන ස්ථානයකට ඊයේ (23) සවස වෑන් රථ දෙකකින් මෙම හෙරොයින් තොගය ගෙනැවිත් තිබුණි. එහි එක් වෑන් රථයක විශාල ප්‍රමාණයේ ගමන් මලු 05 බැගින් ගමන් මලු 10ක් තිබූ අතර ඒ තුළ සූක්ෂම අයුරින් මෙම හෙරොයින් අසුරා තිබුණේ පාර්සල් 272ක් වශයෙන්. ජාවාරම් කටයුත්තක් සඳහා මෙම හෙරොයින් තොගය එම ස්ථානයට රැගෙන විත් තිබූ බව අනාවරණය වී තිබේ.


අද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට පැමිණි ජනපති එහි නිළධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සියලූ නිලධාරින්ට ප්‍රශංසාව පළකර සිටියේය.