The Most/Recent Articles

Showing posts with label තීරුලිපි. Show all posts
Showing posts with label තීරුලිපි. Show all posts

පොල් කෝම්බ ඇහිඳීමේ පුරුද්ද වෙනුවට

රාජපක්ෂලා යුද්ධය අවසන් කිරීමෙන් පසු දෙවන ජනාධිපති ධුර කාලය වැය කෙරුවේ යෝධ වංචා හා දූෂණ වෙනුවෙනි. 

කුසල් පෙරේරා 

කවුරුන් පිළිගත්තත් නොගත්තත් 2015 ජනවාරි “විප්ලවය” යැයි කොළඹ මැද පංතිකයින් ආඩම්බරයෙන් කියුවේ බහුතර ජනතාවගේ ඇත්ත සමාජ ආර්ථික ගැටළු වෙනුවෙන් විසඳුම් සඳහා ජනතාව විසින් තීන්දු කළ පාලනයේ වෙනසක් ගැන නොවේ. ජාත්‍යන්තර ප්‍රජාව ලෙස පෙනී සිටින, දෙවන ලෝක යුද්ධයෙන් පසු ගෝලීය දේශපාලනය තීන්දු කිරීමේ අයිතිය තමන් වෙත පවරාගත් ඇමෙරිකාව හා පෙළ ගැසුනු බටහිර බලවතුන් කිහිප දෙනෙකුගේ භූ-දේශපාලන න්‍යාය පත්‍රයට අවශ්‍ය ලෙස වසර කිහිපයක් පුරා ඔවුන් සැළසුම් කර මුදල් පොම්ප කළ “කොළඹ මැද පංතික මෝඩයින්ගේ ආණ්ඩු පෙරැළියට”ය. එය හිස් ප්‍රජාතන්ත්‍රවාදී ගෝසා සමගින් “යහපාලන ලේබලය” අලවා කිසිදු එල්ලයක් නැති හඩු ජාවාරම්කාරයින්ගේ ආණ්ඩුවක් හැදීමකි. රාජපක්ෂ යුගයේ සිදු කළ සියලු මෝඩ, බලහත්කාර, ජාතිවාදී හා දූෂිත ක්‍රියාවන් මේ “යහපාලනය” අටවා ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් විය. එයට හවුල්වූ හඩු ජාවාරම්කාරයින් රාජපක්ෂ පාලනයේද හරි හම්බ කරගත් ගනුදෙනු කරුවන් විය. එබැවින් රාජපක්ෂ යුගයේ දූෂණ වංචා පිළිබඳව ස්වාධීන පරීක්ෂණ කාර්යක්ෂමව පැවැත්වීම මේ යහපාලන ආණ්ඩුවට කළ හැක්කක් නොවන බැව් තේරුම් ගැනීමට කොළඹ මැද පංතිකයින්ට අවශ්‍ය නොවුනි. ඔවුන්ට අවශ්‍ය වූයේ ඇමෙරිකානු භූ-දේශපාලනයට ගැලපෙන අයුරු රාජපක්ෂ පාලනය ඉවත්කර කුමන හෝ අට්ටාලයක් අටවා ගැනීම පමණි. 

ඒ වෙනුවෙන් දූෂණ වංචා තුරන් කරන්නටත් රාජපක්ෂ යුගයේ දූෂකයින්ට හා වංචනිකයින්ට නීති මගින් දඬුවම් කරන්නටත් යැයි කියමින් බලයට පත් කළ මේ ආණ්ඩුවෙන් වහා සිදු කෙරුණේ මෙතෙක් මහ බැංකු ඉතිහාසයේ සිදු නොවුනු යෝධ බැඳුම්කර වංචාවන් ය. අවුරුද්දකට පසු දෙවැන්නද සිදු කෙරිණ. දෙවැන්න තවමත් පරීක්ෂාකර නැත. බලයට පත්ව මාස 03 ක් යත්ම යහපාලනයේ නායකයින් සිදු කළ මීතොටමුල්ල කුණු කන්දටත් වඩා විශාල කුණු ගොඩක් යැයි ඔප්පු වු යෝධ බැඳුම්කර වංචාව වසා ගැනීමට දැරූ නිවට උත්සාහ හමුවේ අගමැති වික්‍රමසිංහට නීතිය හමුවේ කෙසේ වූවත් ඒ සම්බන්ධ ආණ්ඩු පාලනයේ වගකීමෙන් මිදෙන්නට නොහැක. අවුරුදු ගණන් පාව්ච්චියට නොගෙන මසකට රුලියල් දස ලක්ෂ 21 ක් කුලී ගෙවන රාජගිරියේ ජයසිංහ මහල් ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා කුලියට ගැනීමේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේද අගමැති වික්‍රමසිංහ බැව් අමතක නොකළ යුත්තකි. ඉන් අනතුරුව සිදුකළ යෝධ වංචා තවත් ගණනාවක් ඇත. එනිසා යුද්ධය අවසන් කිරීමෙන් පසු ආරම්භ කෙරුණු රාජපක්ෂ පාලනයේ දෙවන යුගය හා මේ යහපාලන ආණ්ඩුව අතර කිසිදු වෙනසක් නැත. 

රාජපක්ෂලා යුද්ධය අවසන් කිරීමෙන් පසු දෙවන ජනාධිපති ධුර කාලය වැය කෙරුවේ යෝධ වංචා හා දූෂණ වෙනුවෙනි. ඒ දූෂණ වංචා තවමත් කෙළවර නොවන්නේ මේ “යහපාලනය” ආරම්භ වන්නේද රාජපක්ෂ පාලනය ඉවත් කෙරුණු තැනින්ම වන හෙයින්ය. ඒවාට හවුල් වන්නේද එකම හඩු සල්ලිකාර පැලැන්තියම ය. යෝධ දූෂණ වංචා වසා ගැනීමට දැන් “සුදු වෑන්” නැතැයි කියන කොළඹ මැද පංතික මෝඩ රැළට 2010 අප්‍රේල් මහ මැතිවරණයෙන් පසු “සුදු වෑන්” නොතිබුණු බැව් අමතක වූවක් නොවේ. ඔවුන්ගේ ආත්මාර්ථකාමය වෙනුවෙන් ඔවුහු දැනුවත් උගත් වංචනිකයින් ලෙස ඒ හැම අමතක කරති.

මේ යහපාලනය බලයට ගෙනෙන්නට පොරොන්දු වූයේ “සුදු වෑන්” නතර කරන්නට නොවේ. මේ යහපාලන අටමගල අටවා ගනු ලැබූයේ දූෂණ වංචා නතර කරන්නටත් ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරන්නටත් අන්තවාදී මුස්ලිම් විරෝධය සඳහා නැවත ඉඩ නොතබන්නටත් යුද්ධයෙන් විනාශ වූ උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කරන්නටත් දුන් පොරොන්දු ප්‍රතිඥා සමගය. ඒ පොරොන්දු නිකම්ම දේශපාලන පොරොන්දු නොවුනි. ඒවා ජනතාව වෙනුවෙන් සහතික කර ජනතාවට දෙනු ලැබූ පොරොන්දු විය. ඒ වෙනුවෙන් සිවිල් සමාජය නියෝජනය කිරීමේ අයිතිය බාර ගෙන සිටින කොළඹ මැද පංතික කණ්ඩායම් නොයෙකුත් ලේබල් අලවා ගෙන දිවා රෑ නොබලා වැඩට බැස සිටියහ. 

අවුරුදු 04 ට පසු ඔවුන්ගේ සහතික ලත් යහපාලනයේ ශේෂ පත්‍රය කුමක්ද? 

01. ස්වාධීන කොමිසම් පිහිටවූ බව කියති. ඒවා පත් කිරීමේ බලය ඇති ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තු බලයක් තුල දූෂිතයින්ගේ දේශපාලන මණ්ඩලයක් වන හෙයින් ඒවායේ ඇති ස්වාධීනත්වයක් නැත. මානව හිමිකම් කොමිසම ඇතැම් කාරණා සම්බන්ධයෙන් යම් ප්‍රතිපත්තිමය ස්වාධීනත්වයක් තබා ගත්තාට එයට මේ සමාජයේ කිසිදු වෙනසක් කළ නොහැක. මහ උජාරුවට කතා කරන ස්වාධීන කොමිසම් මගින් කළ හැකි කිසිවක් නැතැයි දැන් පොලිස්, අල්ලස්, රාජ්‍ය සේවා හා මැතිවරණ කොමිසම් විසින් ඔප්පුකර හමාරය.

02. මහ ඉහළින් කතා කරන 19 වන ව්‍යවස්ථා සංශෝධනය අතිශය කුහක විකාරයකි. ඉන් ඇති කළ ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති කිසිදු ආකාරයකින් අන් සතු කළ නොහැකි යටපත් කළ නොහැකි හා කල් තැබිය නොහැකි ජනතා පරමාධිපත්‍යයෙහි පාර්ලිමේන්තු මැතිවරණය සඳහාවන අයිතිය අවුරුදු 04 කුත් මාස 06 ක් මේ 19 න් අත්හිටුවා ඇත. සියලු පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩා දමා අන්තිම මොහොතේ ඉංග්‍රීසයෙන් පමණක් ලියා බලහත්කාරයෙන් රිංගවා සම්මත කළ වගන්ති සහිත ව්‍යවස්ථා සංශෝධනයක ඇති ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද?

03. නාම මාත්‍රික ප්‍රජාතන්ත්‍රවාදයක් වූවත් අවුරුදු 02 ට වැඩි කලක් පළාත් පාලන මැතිවරණය කල් තැබූ මේ අරුම යහපාලනය, පළාත් සභා මැතිවරණය අත්හිටුවන්නට අවශ්‍ය ලෙස කටයුතු කර ඇත. පසුගිය ඔක්තෝම්බර 28 වන දිනට පෙර ජනාධිපති වෙත බාර දිය යුතු වූ අගමැති විශේෂ නිරීක්ෂණ වාර්තාව අද වනතෙක් නොදී සිටීමෙන් යහපාලනයේ සුනඛ පැටිකිරිය හෙළිදරව් වන්නේය. ස්වාධීන කොමිසම් කෙතරම් දේශපාලනීකරණයවී ඇතිදැයි පෙන්නුම් කරමින් මැතිවරණ කොමසාරිස් හා කොමිසමද ආණ්ඩුවට අවශ්‍ය ලෙස ප්‍රසිද්ධ ප්‍රකාශ කරමින් පළාත් සභා මැතිවරණය දැනට පවතින 1988 අංක 02 දරණ පළාත් සභා මැතිවරණ පනත යටතේ නොපවත්වා නීති විරෝධීව කල් තබමින් සිටිති. රාජපක්ෂ යුගයේ මෙවැනි දේ සිදු වූවානම් ජාත්‍යන්තර ප්‍රජාවද ශ්‍රී ලංකාණ්ඩුවට එරෙහිව යෝජනා සම්මත කරනු ඇත. මේ එනමුත් “විප්ලවීය යහපාලනයේ” ප්‍රජාතන්ත්‍රය වේ.     

04. පොඩි පොඩි දෝස තිබුණත් දැන් ප්‍රජාතන්ත්‍රවාදය ඇතැයි කොළඹ උන්මත්තක නඩ කියති. එහෙත් මේ යහපාලන ආණ්ඩුව බලයට පත් කළ පළමු දිනයේ සිට හාම්පුත්තු ඉතා විවෘතව සේවක අයිතිවාසිකම් හා වෘත්තීය සමිති පැවැත්ම බලහත්කාරයෙන් අහෝසි කරති. රාජපක්ෂ යුගයේ අකාර්යක්ෂම රාජ්‍ය පාලනයේ වාසිය දූෂිත ලෙස යොදා ගත් හාම්පුත්තු දැන් මේ යහපාලනයේ දේශපාලන බලය මත කම්කරු දෙපාර්තමේන්තුවේත් ආයෝජන මණ්ඩලයේත් සහාය ඇතිව වැඩ වර්ජන බිඳින්නටත්, වෘත්තීය සමිති කඩා දමන්නටත් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සේවයෙන් නෙරපීමටත් විවෘතව පියවර ගනිති. පෞද්ගලික අංශයේ විශේෂයෙන්ම අපනයන ආදායම් උපයා දෙන සේවක සේවිකාවන් මිලියන 02 ට වැඩි පිරිසකගේ මූලික අයිතීන් එළෙස අහෝසි කිරීම යහපාලනයේ දේශපාලනයට අනුව කෙරෙන්නකි. සේවා කොන්දේසී හාම්පුතුන්ට අවශ්‍ය පරිදි සැකසීම වෙනුවෙන් පවතින කම්කරු නීති අහෝසි කරන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඈ) යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් මහ දවල් උල්ලංඝණය කිරීමට ඉඩ ලබා දෙන ආණ්ඩුවක් ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියන්නේ කවුරුන්ද?   

05. උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට සාධාරණය ඉටු කිරීමට ඔවුන්ගේ ඡන්දය ලබා ගත් ආණ්ඩුව යුධ අනාථයින්ට අවුරුදු 04 ක් ගතවී තවමත් ඔවුන්ගේ ඉඩම් නැවත ලබා දීමට සූදානම් නැති විට, කිසිදු චෝදනාවක් නැති දෙමළ තරුණ පිරිස් දේශපාලන සිරකරුවන් නොව ත්‍රස්තවාදීන් යැයි කියමින් අවුරුදු ගණන් රඳවා ගෙන සිටින විට, යුධ අපරාධ පරීක්ෂණ සම්බන්ධයෙන් රාජපක්ෂලා කියූ කතා එසේම කියනවිට, යහපාලන ආණ්ඩුව රාජපක්ෂලාට වඩා වෙනස් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් වන්නේ කෙසේද?

06. ජාතික සංවර්ධනයක් තබා විවෘත වෙළඳපල ආර්ථික වර්ධනයක් හෝ මේ යහපාලනයට ලබා ගත නොහැකිව ඇත. ග්‍රාමීය ජීවිතය බරපතල ලෙස බිඳ වැටී ඇත. ගම හා වැවිලිකරය අත හැර තරුණයින් සිය දහස් ගණන් කොළඹට හා ප්‍රධාන නගර වෙත ආදායම් මාර්ග සොයා ඇදෙති. ගමේ ජීවත් විය නොහැකි හෙයින් ඇණ ගසන්නේ යැයිද ලිංගිකව හා ශාරීරිකව අතවර කෙරෙන්නේ යැයිද අනේක විධ කතා තිබියදීත් ලක්ෂයකට ආසන්න තරුණියෝ වසරක් පාසා ගම අතහැර මැද පෙරදිග ගෘහ සේවයට යති. ගමේ සංවර්ධනය එබඳුය.   

07. අධ්‍යාපනය, රෝහල් සහ සෞඛ්‍ය සේවය, පොදු ප්‍රවාහනය සහ ජනමාධ්‍යයද ගොඩ දැමිය නොහැකි තරමට කඩා වැටී ඇත. කිසිදු වග විභාගයක් නැතිව ඒ සියල්ල පෞද්ගලික ලාභ උපයන්නන් වෙනුවෙන් ආණ්ඩුව තම වගකීම් අතහැර දමා ඇත. දැන් ඒ සියලු අංශ දුර දිග යන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටිති. එවැනි කිසිවකට මේ යහපාලනයේ උත්තර නැත.

08. නීතිය ක්‍රියාත්මක කිරීමත් අධිකරණ ක්‍රියාවලියත් මේ සමාජයේ සමච්චලයට පත් හා සමාජ විශ්වාසයක් නොමැති ක්ෂේත්‍ර බවට පත්ව ඇත. ඒ අතර මත්කුඩු ජාවාරමට එරෙහි වැඩ සටහන් දියත් කෙරෙන්නේ නීතිය අකුරට ක්‍රියාත්මක වන්නේ යැයි අඟවමින්ය. ඒ මත් ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනය කෙරෙන්නේ නැත. ඒවා පිටරටින් කවුරුන් හෝ රටට ගෙන්වා බෙදා හැරිය යුතු අධික ලාභ ලබන පාතාල ව්‍යාපාරයකි. ඒවා මෙරටට ගෙන්වන පුද්ගලයින් දුසිම් ගණන් සිටිය නොහැක. කිලෝ ගණනින් හෙරෝයින්, කොකේන් අල්ලන පොලීසියට ඒ කිහිප දෙනා අල්ලා ගැනීමට නොහැකි තරමට ඒ සියලු ක්ෂේත්‍ර දේශපාලනය සමග දූෂිතව ඇත. එබැවින් එල්ලුම් ගහ සමග මත් ද්‍රව්‍ය විරෝධී වැඩ සටහන් හා ප්‍රතිඥා ඊළග මැතිවරණ සඳහා ජනප්‍රිය කතා ලෙස සීමා වන්නේය. 

ඒ සියල්ලට රටක් ලෙස විසඳුම් සෙවීම පැත්තකින් තබා ජනාධිපති අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වන වංචනිකයින් පිටුපස දිවීම නැවත 2015 ජනවාරියක් නිර්මාණය කරීමට වඩා කිසිවක් නොවේ. ඉතාම ආත්මාර්ථකාමී කොළඹ මැද පංතික උගතුන් වෘත්තිකයින් ඇතුලු අලුත් හඩු ජාවාරම්කාරයින්ට රටේ ජනතාවට අදාල ප්‍රශ්න වෙනුවෙන් විසඳුම් අවශ්‍ය නැත. මේ අන්ත දූෂිත විවෘත වෙළඳපල ඔවුන්ගේ ආර්ථිකයට නොයෙකුත් ආකාරයේ ආදායම් මාර්ග හදාදී ඇත. එනිසා ඔවුන්ට අවශ්‍ය වන්නේ බහුතර ජනතාව අතර අප්‍රසාදයට, අවිශ්වාසයට පත් ඔවුන් පත්කරගත් සිංහල බෞද්ධ රාජ්‍ය නායකයා හා ආණ්ඩුව වෙනුවට ඔවුන්ට රිසි තවත් ආණ්ඩුවක් හැදීමය. ඔවුන්ට දැන් අවශ්‍යව ඇත්තේ ඒ වෙනුවෙන් තවත් සිංහල බෞද්ධ අපේක්ෂකයෙකු පමණි. ඔවුන් සටන් පාඨ හදන්නේ ඒ වෙනුවෙනි. විධායක ජනාධිපති ධූරය වෙල්ලාවට ගන්නේ ඒ වෙනුවෙනි. එහෙත් ඉන්දියාවේ මෝඩි විධායක ජනාධිපතිවරයෙකු නොවේ. මේ ආණ්ඩුවේ සියලු යෝධ දූෂණ වංචා කෙරෙන්නේ විධායක බලය සමග නොව, අගමැති වික්‍රමසිංහ යටතේ ය. එහෙත් ඔවුන්ට විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වැදගත්ය. 

මෙය අති දැවැන්ත දූෂණ සමග හඩු ජාවාරම්කාරයින්ගේ පිහිටෙන් පවතින කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති දේශපාලන පක්ෂ සමග ආණ්ඩු හැදීමකි. මේ අසික්කිත විවෘත වෙළඳපල ආර්ථිකයෙහි කවුරුන් බලයට ආවත් මීට වඩා වෙනස් කිසිවක් සිදුවන්නේ නැත. ඇත්තටම සිදුවන්නේ හැම වාරයකම තිබුණාට වඩා කාලකණ්නි ආණ්ඩුවක් පත්කර ගැනීම පමණි. එය ජයවර්ධනගෙන් පටන් ගත් පසු හැම ජනාධිපති හා ආණ්ඩු මාරුවකින්ම මේ සිරිසේන-වික්‍රමසිංහ දක්වාම සිදුවූවකි. 

එනිසා ප්‍රශ්නය ඇත්තේ වැල්ලට ගසා ගෙන එන පොල් කෝම්බ අතරින් අලුත් පෙනුමක් ඇති කෝම්බයක් තේරීම නොවේ. එය කිසිදු පලක් ඇති වැඩක් නොවන බැව් අවුරුදු 40 ක විවෘත වෙළඳපල ආර්ථිකයෙන් මේ වනවිට අප ඉගෙන ගත යුතුව තිබිණ. කොළඹ මැදපංතික උගත් වංචනිකයින්ට එය අදාල නොවන නමුත් මේ රටේ ඉදිරි අනාගතයට ඉදිරි පරම්පරාවන්ට එය අත්‍යාවශ්‍ය පාඩමකි. 

අද අප මැදිහත්විය යුත්තේ පොල් කෝම්බ තෝරන්නට නොවේ. ඔවුන් ඉදිරිපත් කරන මැතිවරණ සටන්පාඨ අහුලා ගැනීමටද නොවේ. අපට දැන් බරපතල සමාජීය වගකීමක් ඇත. මේ රට දකුණු ආසියානු කලාපීය වර්ධන මධ්‍යයේ අති බහුතරයකගේ සමාජ ආර්ථික අර්බූද සඳහා විසඳුම් සොයා ගන්නේ කෙසේද යන්න ඒ වගකීමය. 

අධ්‍යාපනය සියලු දරුවන්ට එක හා සමාන පොදු අවකාශ හා පහසුකම් සමගින් නම්බුකාර ගුරු සේවාවක් සමග අනාගතය සඳහා යළි ප්‍රතිසංස්කරණය කර ගන්නේ කෙසේද? රෝහල් හා සෞඛ්‍ය සේවය වෛද්‍යවරුන්ගේ නරුම ආධිපත්‍යයෙන් මුදවා වැඩිවන රෝගීන් වෙනුවෙන් ඇඳන් හා වෛද්‍යවරුන් හැදීම වෙනුවට, රෝගීන් සංඛ්‍යාව ක්‍රමානුකූලව අඩු කෙරෙන සමාජයක් වෙනුවෙන් ප්‍රජා සෞඛ්‍ය සේවා දියුණු කෙරෙන්නේ කෙසේද? නිමක් නැති පෞද්ගලික වාහන ආනයනය නවතා පොදු ප්‍රවාහනය සුවපහසු කාර්යක්ෂම සේවාවක් ලෙස දියුණු කෙරෙන්නේ කෙසේද? ග්‍රාමීය ආර්ථිකය ග්‍රාමීය ජනතාවට ප්‍රමාණවත් ආදායම් ලැබිය හැකි පලදායි ආර්ථිකයක් බවට පත් කර ගන්නේ කෙසේද? රාජ්‍ය හා පෞද්ගලික ජනමාධ්‍ය සමාජ වගකීම මුල් කෙරුණු අධ්‍යාපනික වැදගත්කමක්ද සහිත රසාස්වාදයද ගෙනෙන ආචාර ධර්ම සුරකින ජනමාධ්‍යයක් බවට පත්කර ගැනීමට නියාමනය කෙරෙන්නේ කෙසේද? ඒ සියල්ලත් සමග නගරයට පමණක් නොව ගමටත් පොදු නිදහස් සමාජ අවකාශ සඳහා දියුණු පුස්තකාල, නෘත්‍යාගාර, කෞතුකාගාර, සම්මන්ත්‍රණ ශාලා සහ පොදු උද්‍යාන සැළසුම් කර වගකීම් බාර ගන්නා ප්‍රාදේශීය හා නගර සභා ජනතාවගේ සහභාගි ප්‍රජාතන්ත්‍රවාදය සමගින් ප්‍රතිසංස්කරණය කරගන්නේ කෙසේද?     

අප අද ඉදිරපත් විය යුත්තේ රටට අවශ්‍ය විසඳුම් හදා ගැනීම සඳහා ඒ සංවාදය පෙරට ගැනීමට මිස අයාලේ යන තවත් ජනාධිපති අපේක්ෂකයෙකු තේරීමේ නාගරික මැද පංතික අවස්ථාවාදය හා ආත්මාර්ථය සමග නොවේ.

ඇමරිකාවේ වඩාත් ලාභදායී අපනයනය: මුදල්

2019 මාර්තු 9 වැනි දා ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ පළවූ America's Most Profitable Export: Money නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි 

බින්යමින් අපෙල්බෝම්  

ඇමරිකාවේ වඩාත් ලාභදායි අපනයනය වන්නේ තෙල් හෝ ඖෂධ හෝ හොලිවුඞ් චිත්‍රපට හෝ බෝයිං ගුවන් යානා හෝ නොවේ. හොඳම අපනයනය වන්නේ, කොළ පාට කුඩා කඩදාසි කෑල්ලකි. එහි ඉදිරිපස බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්ගේ ඡායාරූපයක් මුද්‍රණය කොට තිබේ. ගිය වසරේ ඇමරිකා එක්සත් ජනපදය ඩොලර් බිලියන 65.3 ක් වටිනා මුදල් නෝට්ටු අපනයනය කෙළේය. ඉන් බොහොමයක්, ඩොලර් 100 නෝට්ටු ය.

ලෝකයට ජාත්‍යන්තර මුදලක් අවශ්‍ය කෙරේ. එහිදී පැහැදිලි තේරීම වී ඇත්තේ ඩොලර් ය. මන්ද යත්, මොන තරම් ආර්ථික අර්බුද තිබියේ වී නමුත් ජාත්‍යන්තර ආර්ථිකයේ කේන්ද්‍රය වන්නේ ඇමරිකාව වන බැවිනි. ලෝකයේ වඩාත් ජනප්‍රිය ආයෝජනය වන්නේ ඇමරිකානු ආණ්ඩුවේ ණය ය. ඒ ණය ආණ්ඩුව සපයා ගන්නා බැඳුම්කර මිලදී ගත හැක්කේ ඩොලර්වලින් පමණි. වඩාත් බලවත් වෙළඳ භාණ්ඩය තෙල් වන අතර ඒ තෙල් මිල කෙරෙන්නේ සහ විකුණනු ලබන්නේ ඩොලර්වලිනි. බොහෝ සෙයින් වර්තමාන මුහුණුපොත මෙන්, හැමෝම ඩොලර් පාවිච්චි කරති.

කෙසේ වෙතත්, මේ කඩදාසි ඩොලර්වල ජනප්‍රියත්වය ගැන තරමක විස්තරයක් අවශ්‍ය කෙරේ. වර්තමානයේ බොහෝ මුදල් වනාහී, සංකල්පීය දෙයකි. අද ධනය ගබඩා කොට තැබෙන්නේ පරිඝණක තුළ ය. ගෙවීම් කරනු ලබන්නේ, විද්‍යුත් මාධ්‍යයන් හරහා ය. ඩොලර් 100 නෝට්ටුවක් මා ළඟ අවසාන වරට තිබුණු කාලයක් මට මතක නැත.  

එසේ වෙතත්, මේ ආකාරයට ‘බෙන්ජමින් කඩදාසිවල’ ගෘහ පරිහරණය හීන වී ඇතත්, ඒ සඳහා වන විදේශ ඉල්ලුම ඉහළ ගොස් තිබේ. සංසරණයේ පවතින ඩොලර් 100 නෝට්ටුවල මුළු අගය, 2008 සහ 2017 අතර කාලය තුළ දෙගුණ වී තිබේ. මේ ගැන විශේෂඥයන් කියන විදිහට, ඉන් අති බහුතරයක් තිබෙන්නේ විදේශ සන්තකයේ ය. 

ඇමරිකාවේ මහ බැංකුව මෑතකදී ප්‍රකාශ කළ පරිදි, එතෙක් සංසරණයේ පැවති ඩොලර් 100 නෝට්ටු සංඛ්‍යාව, 2017 වසර අවසන් වන විට, පළමු වරට, ඒ වන විට සංසරණයේ පැවති ඩොලර් 1 නෝට්ටු සංඛ්‍යාව ඉක්මවා ගියේය. දැනට පවතින සාක්ෂි අනුව, ඩොලර් 100 නෝට්ටු විශාල ප්‍රමාණයක් ගබඩා කර තැබෙන්නේ මෙට්ට ඇතුළේ හෝ වෙනත් රහසිගත තැන්වල ය. ඒ තත්වය වැඩියත්ම දකින්ට ලැබෙන්නේ, දේශීය මුදල්වල අගය පිළිබඳ දැඩි විශ්වාසයක් නැති රටවල්වල ය. එසේත් නැතහොත්, රටක පවතින මූල්‍ය පද්ධතියේ ශක්තිමත් භාවය හෝ පුද්ගලික දේපළ ක්‍රමයේ ආරක්ෂාව පිළිබඳ වැඩි විශ්වාසයක් නැති රටවල ය. එවැනි තැන්වල ඩොලර් ගොඩගසා ගනු ලබන්නේ දියමන්ති ආරක්ෂා කරගන්නා පරිද්දෙනි. එහෙත් දියමන්තිවලට වඩා ලේසියෙන් ඩොලර් වියදම් කළ හැකිය.

ඇමරිකාවේ සතුරෝ පවා ඇමරිකානු මුදල් ගොඩගසා ගනිති. 2003 දී සදාම් හුසේන්ගේ එක නිවසක් පරීක්ෂා කරන ඇමරිකානු සොල්දාදුවන්ට එම නිවසේ තිබී ඩොලර් 100 නෝට්ටුවලින්ම ඩොලර් මිලියන 650 ක් හමුවුණි. සූදුව, මත්ද්‍රව්‍ය ජාවාරම, ආයුධ වෙළඳාම සහ නීත්‍යානුකූල නොවන වෙනත් ගනුදෙනු සඳහා වැඩිපුර යොදා ගැනෙන්නේ ඩොලර් 100 නෝට්ටු ය. ඩොලර් නෝට්ටුව පිළිබඳ චරිතාපදානයක් සම්පාදනය කිරීම වන් සමීක්ෂණයක නිරත වන බෙරී අයිකන්ග්‍රීන් පෙන්වා දෙන පරිදි, චිත්‍රපටවල සිටින දුෂ්ටයන් ස්වකීය ගෙවීම් ඉල්ලා සිටින්නේම ඩොලර්වලිනි.

යම් කිසි ගෙවීමක් කිරීම සඳහා සූට්කේස් පුරවාගෙන නෝට්ටු ගෙන යා යුතු අවස්ථාවක, වැඩි වටිනාකමකින් යුත් නෝට්ටුවලින් ගෙවීමට හැකි වීම ගනුදෙනුකරුවන්ට පහසුවකි. එහෙත් ඩොලර් 100 නෝට්ටුවට වඩා බෙහෙවින් වැඩි වටිනාකමකින් යුත් යුරෝ 200 මුදල් නෝට්ටුව, යුරෝව භාවිත වන කලාපයේ අඩුවෙන්ම පාවිච්චියට ගැනන නෝට්ටුව බව සොයාගෙන තිබේ. ඇත්තෙන්ම අපරාධකරුවන්ට අවශ්‍ය කරන්නේ ඩොලර් ය.

කෙසේ වෙතත්, මේ සඳහා වන ඉල්ලුම දෙගුණ වී ඇත්තේ මන්ද යන්න පැහැදිළි නැත. 1990 දශකයේ සෝවියට් දේශයේ බිඳ වැටීම නිසා පෙර නොවූ විරූ ඉල්ලුමක තෙරපුමක් ඩොලර් සම්බන්ධයෙන් ඇති කෙරුණි. ඒ හා සමාන වෙනසක් මෑතකදී ඇති වි නැත. එපමණක් නොව, ඩොලර් සමග ප්‍රබල තරගයක යෙදෙන යුරෝවක් ද දැන් තිබේ. යුරෝ භාවිත කෙරෙන කලාපයේ සමස්ත ආර්ථික නිමැවුම, ඇමරිකාවේ ආර්ථිකයට වඩා විශාල ය. එසේම, ඉක්මණින්ම ඇමරිකාව පරයා යාමට ඉඩ ඇති යුවාන් මුදල් ඒකකය භාවිත කරන චීනයත් තවත් පසෙක තිබේ. 

ඇතැම් විශ්ලේෂකයන්ගේ පුරෝකථනයන්ට අනුව, ඩොලරයේ ලෝක අධිකාරිය ඉතා කෙටිකාලීන බව කියැවේ. එහෙත් මෙය, දැන් සියවස් බාගයක පමණ කාලයක් තිස්සේ කියමින් තිබෙන කතාවකි. එසේ තිබියදී, වොෂින්ටන් සහ ෆෝර්ත්වර්ත් යන ස්ථානයන්හි පිහිටා ඇති මුද්‍රණාලවල ඩොලර් අච්චු ගැසීම වේගවත්ව සිදුවෙමින් පවතින අතර, ලන්ඩන්, ෆ්‍රැන්ක්ෆර්ට් සහ සිංගප්පූරුව වැනි තැන්වල පිහිටි මූල්‍ය මධ්‍යස්ථානවල නිලලත් ගුදම් හරහා ලෝකය පුරා ඩොලර් නෝට්ටු බෙදාහැරේ. 

ඩොලර් අච්චු ගැසීමත් ඉතා ලාභදායි කර්මාන්තයකි. වටිනාකමින් ගත් විට, ඇමරිකාවේ අපනයන ලැයිස්තුවේ පෙට්‍රෝලියම් නිෂ්පාදනවලට පසුව දෙවැනි තැන ගන්නේ මේ කඩදාසි නිෂ්පාදනයයි. එය අපනයනය කිරීම ඊටත් වඩා ලාභදායි ය. ඩොලර් 100 නෝට්ටුවක් අච්චු ගැසීම සඳහා ඇමරිකානු මහ බැංකුවට වැය වන්නේ ශත 14 කි. එය පිටරටවලට යැවීම සඳහා වැය වන්නේ තවත් සත කිහිපයකි. 

   මේ සෑම ඩොලර් 100 නෝට්ටුවක්ම, ඇමරිකාව පැත්තෙන් ගත් විට, පොළියක් නැති ණයකි. 2018 අවසන් වන විට, විදේශ සන්තකයේ පැවති මුළු ඩොලර් ප්‍රමාණයේ වටිනාකම ඩොලර් බිලියන 773.9 ක් බව ගණන් බලා තිබේ. ඇමරිකානු මුදල සඳහා වන මෙම ඉල්ලුම, දෙපැත්ත කැපෙන ආයුධයක් සේ ගත හැකිය. ඩොලරයේ විනිමය වටිනාකම ඉහළ යන විට විදේශ භාණ්ඩ සහ සේවාවන් වඩාත් ලාබෙට ලබා ගැනීමට ඇමරිකානුවන්ට හැකි වන්නේය. අනිත් අතට, විදේශික ගැනුම්කරුවන්ට ඇමරිකානු භාණ්ඩ වඩාත් මිල අධික වන්නේය. කෙසේ වෙතත්, මේ දක්වා එම තත්වය ගැන ඇමරිකාව පසුවන්නේ ඉමහත් සතුටිනි.

ෆෙඩරල්වාදය යක්ෂයෙකු සහ බෙදුම්වාදයක් සේ වෙස්ගැන්වීමේ දේශපාලනය (2)

‘‘යුනිටරි ස්ටේට්’ යන ඉංග‍්‍රීසි පදයේ සම්ප‍්‍රදායික නිර්වචනය වෙනස්කම්වලට භාජනය වී තිබේ. උතුරු අයර්ලන්තයට සහ ස්කොට්ලන්තයට එක්සත් රාජධානියෙන් වෙන්ව යා හැකි තත්වයක් වර්තමානය වන විට එක්සත් රාජධානියේ පවතී. එම නිසා, ‘යුනිටරි ස්ටේට්’ යන ඉංග‍්‍රීසි පදය ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් භාවිතයට සුදුසු නොවේ. 
ඞී. බී. එස්. ජෙයරාජ්      
                                        
ඒකීය-ෆෙඩරල් සදොස් ප‍්‍රතිපක්ෂ යුග්මය

ඒකීය සහ ෆෙඩරල් ක‍්‍රම අතරේ වැරදි ප‍්‍රතිපක්ෂ අරුතක් ගොඩනැගී තිබීම ගැන ‘වෙරිතේ රිසර්ච්’ කර ඇති නිරීක්ෂණය ඉතා අර්ථවත් ය. ව්‍යවස්ථා සම්පාදන කාර්යය කෙරෙහි නියුක්තව සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ විද්වත් මණ්ඩල වියතුන් මේ දෙක අතරේ හටගෙන තිබෙන ගැටුම ගැන මුළුමණින් දැනුවත් ය. රාජ්‍යය ක‍්‍රමය පිළිබඳ විස්තර කිරීමේදී ඔවුන් වෙනස් යෙදුම් භාවිත කිරීමට පෙළඹී ඇත්තේ එබැවිනි. රාජ්‍යයේ ස්වභාවය හැඳින්වීම සම්බන්ධයෙන් නිර්මාණාත්මක අතරමැදි තැනක් ඒ අනුව සොයාගෙන ඇති බව, ‘ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව’ නිකුත් කළ අන්තර්වාර වාර්තාව දෙස බැලීමෙන් පෙනී යයි. ඒකීය හෝ ෆෙඩරල් වශයෙන් රාජ්‍යය කෙලින්ම හැඳින්වීම වෙනුවට ‘අතරමැද තැනක්’ ඔවුන් සොයාගෙන තිබේ. එම වාර්තාව, ඒ අනුව, ‘ශ‍්‍රී ලංකාව නොබෙදුණු සහ බෙදිය නොහැකි රටක් වශයෙන් පැවතිය යුතු’ බව අවධාරණය කරයි. 


ඒ ගැන ‘මෙහෙයුම් කමිටු’ වාර්තාව සඳහන් කරන්නේ මෙසේ ය: ‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ස්ථාපිත කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිතුමා සඳහන් කර ඇත්තේ දකුණේ ජනතාව ‘ෆෙඩරල්’ නැමැති වචනයට බියක් දක්වන්නා සේම, උතුරේ ජනතාව ‘ඒකීය’ යන වචනයට බියක් දක්වන බවකි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යනු ජනතාව බියක් දැක්විය යුතු ලේඛනයක් නොවේ. 

‘‘යුනිටරි ස්ටේට්’ යන ඉංග‍්‍රීසි පදයේ සම්ප‍්‍රදායික නිර්වචනය වෙනස්කම්වලට භාජනය වී තිබේ. උතුරු අයර්ලන්තයට සහ ස්කොට්ලන්තයට එක්සත් රාජධානියෙන් වෙන්ව යා හැකි තත්වයක් වර්තමානය වන විට එක්සත් රාජධානියේ පවතී. එම නිසා, ‘යුනිටරි ස්ටේට්’ යන ඉංග‍්‍රීසි පදය ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් භාවිතයට සුදුසු නොවේ. 

‘ඒකීය රාජ්‍යය’ නැමැති සිංහල පදයේ, නොබෙදුණු සහ බෙදිය නොහැකි රටක් යන්න මනාව විස්තර වේ. මේ හා සමාන දෙමළ පදය වන්නේ ‘ඔරුමිත්ත නාඩු’ යන්නයි.’’

ඊළඟට එම වාර්තාව මෙසේ ද කියයි: 

‘‘මෙම වාතාවරණය යටතේ පහත සඳහන් සූත‍්‍රණය සැලකිල්ලට ගත හැකිය:

ශ‍්‍රී ලංකාව නිදහස්, ස්වෛරී සහ ස්වාධීන ජනරජයක් වනු ඇති අතර, ව්‍යවස්ථාවෙන් නියම කර ඇති බලතල ක‍්‍රියාත්මක කරන මධ්‍යම හා පළාත්බද ආයතනවලින් සමන්විත වන ඒකීය රාජ්‍යයක්/ඔරුමිත්ත නාඩු වනු ඇත. මෙම ව්‍යවස්ථාවෙහි ඒකීය රාජ්‍යය/ඔරුමිත්ත නාඩු යන්නෙන් අදහස් වන්නේ, නොබෙදුණු සහ බෙදිය නොහැකි, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ  ඕනෑම සංශෝධනයක් සඳහා හෝ එය පරිච්ýන්න කොට ඒ වෙනුවට වෙනත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පැනවීම සඳහා වන බලය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පාර්ලිමේන්තුව සහ (අදාල වන තැන්හි) ශ‍්‍රී ලංකාවේ ජනතාව වෙත පවතිනු ඇති, රාජ්‍යයක් වනු ඇත.’’

කලින් සඳහන් කළ පරිදි, ‘ඒකීය රාජ්‍යය’ නැමැති සිංහල යෙදුමත්, ‘ඔරුමිත්ත නාඩු’ නැමැති දෙමළ යෙදුමත්, රාජ්‍යයේ ස්වභාවය විස්තර කිරීම සඳහා ඉතා නිර්මාණාත්මක සහ ප‍්‍රශංසණීය සම්මුතියකි. මේ අවසාන තීරණයට එළැඹීමට කලින්, දෙපැත්තේම වාග් විද්‍යාඥයන් සහ පරිවර්තක විශේෂඥයන්ගේ අදහස් ලබා ගන්නා ලදි. එහෙත් ඒ වචනවලට දැන් පහර දෙනු ලැබේ. ඒ, සිංහල සිනමාවේ සක්විති ගාමිණී ෆොන්සේකා නිතර සඳහන් කළ ආකාරයේ, තුන්වැනි පංතියේ දේශපාලනයේ යෙදෙන පුද්ගලයන් විසිනි. 

හැබෑටම, ඛේදනීය-විගඩම් දර්ශනයක්

සිංහල ජනතාව බියට පත්කිරීම සඳහාම, ‘ඔරුමිත්ත නාඩු’ නැමැති දෙමළ වචනය තුළ සැඟවී ඇතැයි කියන ද්විත්ව අරුතක් පිළිබඳ කුමන්ත‍්‍රණ න්‍යායන් දැන් ඉදිරිපත් කරනු ලැබේ. එය ඇත්තෙන්ම, ඛේදයක් ද විගඩමක් ද වන තත්වයකි. ඛේදය වන්නේ, දෙමළ භාෂාව ගැන දැනුමක් නැති සිංහල දේශපාලඥයන් මේ වචනයේ අර්ථය පහදා දීමට ඉදිරිපත් වීමයි. විගඩම වන්නේ, ඊ.පී.ඞී.පී. නායක ඩග්ලස් දේවානන්ද තමන්ගේ මව් භාෂාව තුළ පවතින ඉතා සියුම් වෙනස්කම් ගැන පණ්ඩිතයෙකු සේ මොනවාදෝ දොඩවමින් ධර්ම දේශනා කිරීමයි.

ෆෙඩරල්වාදයත්, ඒ මගින් ඇති කෙරෙතැයි කියන බෙදුම්වාදයත් පිළිබඳ මේ මනස්ගාත කතා තුළ නොතකා හැරෙන සහ සැලකිල්ලට නොගැනෙන කාරණයක් තිබේ. ඒ, 2017 අගෝස්තු 4 වැනි දා, අගවිනිසුරු ප‍්‍රියසත් ඩෙප් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් දෙන ලද ඓතිහාසික තීන්දුවයි. ඒ මගින්, ෆෙඩරල් ආණ්ඩුකරණයත්, ෆෙඩරල් ක‍්‍රමයත් පිළිබඳ ඉතා පැහැදිළි විනිශ්චයක් ලබා දුනි. 

ඉලංකෙයි අරසු කච්චි පක්ෂය ස්වකීය ‘ඉලක්ක’ සහ ‘අරමුණු’ වශයෙන් වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීම සඳහා පෙනී සිටින බවට අධිකරණ විනිශ්චයක් ඉල්ලා, කැළණියේ දොන් චන්ද්‍රසෝම නැමැත්තෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කොට තිබුණි. 6 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වා දෙන ලද, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 157 (අ) (4) වගන්තිය යටතේ එම විනිශ්චය දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම වීසි කෙළේය. එම විනිශ්චය දෙමින්, ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය, ‘ව්‍යවස්ථාවේ 157 (අ) යටතට ගැනෙන, ශ‍්‍රී ලංකාවේ භූමිය තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීම සඳහා සහාය දෙන්නේ හෝ එය ඉල්ලා සිටින්නේ හෝ ප‍්‍රවර්ධනය කරන්නේ හෝ ඊට මූල්‍යාධාර කරන්නේ හෝ දිරිමත් කරන්නේ හෝ නැති’ බව තීන්දු කෙළේය.

මේ ඓතිහාසික නඩු තීන්දුව ලියුවේ අගවිනිසුරු ප‍්‍රියසත් ඩෙප් ය. විනිසුරු උපාලි අබේරත්න සහ විනිසුරු අනිල් ගුණරත්න එම විනිශ්චයට එකඟත්වය පළ කළහ. 

සෝමසුන්දරම් ‘මාවෙයි’ සේනාධිරාජා

එම පෙත්සමේ ප‍්‍රධාන වගඋත්තරකරු වූයේ යාපනේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෝමසුන්දරම් ‘මාවෙයි’ සේනාධිරාජා ය. ඔහු ‘මාවෙයි’ නමින් හැඳින්වෙන මාවිද්දපුරම් ප‍්‍රදේශයේ කෙනෙකි. ‘මාවෙයි’ නැමැති නාමය ඔහුගේ නම සමග කියැවෙන්නේ එබැවිනි. සේනාධිරාජා, ඉලන්කෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සභාපතිවරයා ය. දෙමළ ජාතික සන්ධානය නැමැති එකතුවේ ප‍්‍රධාන පක්ෂය වන්නේ, ඉලන්කෙයි තමිල් අරසු කච්චි පක්ෂයයි. නඩුව පැවරෙන අවස්ථාවේ සේනාධිරාජා එම පක්ෂයේ ලේකම්වරයා විය. ඔහු ප‍්‍රධාන වගඋත්තරකරු වුණේ එබැවිනි. එහෙත් පසුව එම පක්ෂයේ සභාපති පදවියට ඔහු පත්වී, ලේකම් පදවියට නැගෙනහිර පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙකු වන කේ. තුරෙයිරාසසිංහම් පත්වූ පසු ප‍්‍රධාන වගඋත්තරකරු වශයෙන් ඔහුව නම් කෙරුණි. අනෙක් වගඋත්තරකරුවන් වුණේ, මැතිවරණ කොමසාරිස්වරයා සහ නීතිපතිවරයා ය. 

2017 අගෝස්තු 4 වැනි දා අවසාන තීන්දුව 

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කෙටියෙන් සලකා බැලීමෙන්, එම නඩුවේ ස්වභාවය සහ එහි දිසාව පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත හැකිය. පෙත්සම්කාර ආර්. කේ. දොන් චන්ද්‍රසෝම, ඉලන්කෙයි තමිල් අරසු කච්චි පක්ෂය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ඉල්ලා සිටීම සඳහා පදනම් කර ගත්තේ ව්‍යවස්ථාවේ 157 (අ) (4) වගන්තියයි. ඒ මෙසේ ය:

‘‘ශ‍්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීම යම් දේශපාලන පක්ෂයක හෝ වෙනත් සංගමයක හෝ සංවිධානයක අරමුණුවලින් නැතහොත් පරමාර්ථවලින් එකක් වේ නම්, ශ‍්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටුවීම ඒ දේශපාලන පක්ෂයේ හෝ වෙනත් සංගමයේ හෝ සංවිධානයේ අරමුණුවලින් නැතහොත් පරමාර්ථවලින් එකක්ව ඇති බවට ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඉල්ලීමක්, යම් තැනැත්තෙකු විසින්, ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබිය හැකි අතර, ඒ දේශපාලන පක්ෂයේ හෝ වෙනත් සංගමයේ හෝ සංවිධානයේ ලේකම් නැතහොත් වෙනත් නිලධාරියා ඒ ඉල්ලීමට වගඋත්තරකරුවෙකු කරනු ලැබිය යුත්තේය.’’

ශ‍්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීම ප‍්‍රවර්ධනය කරන බවට තහවුරු කෙරෙන පක්ෂයක් හෝ සංවිධානයකට එරෙහිව පැනවිය යුතු දඬුවම් 157 (අ) (5) වගන්තිය යටතේ දැක්වෙයි.

ඉහත සඳහන් වගන්ති මත පදනම්ව පෙත්සම්කරු පහත සඳහන් සහන ඉල්ලා තිබුණි:

1. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය, ශ‍්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීම ස්වකීය ‘අරමුණුවලින්’ හෝ ‘පරමාර්ථවලින්’ එකක් කර ගත් පක්ෂයක් බවට.

2. ඒ අනුව නිකුත් කෙරෙන නියෝගය ප‍්‍රකාරව, ඉලන්කෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සාමාජිකයන් 157 (අ) (5) වගන්තිය යටතට ගැනෙන බවට. 

පෙත්සම්කරුගේ තර්කයේ හරය වුණේ, ‘දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ’ (ටී.යූ.එල්.එෆ්) වෙනම රාජ්‍යයක් ඉල්ලා යෝජනා සම්මත කර ගත් ‘වඩුක්කොඩෙයි ප‍්‍රකාශයට’ ඉලන්කෙයි තමිල් අරසු කච්චි පක්ෂය සහාය පළ කිරීමත්, දෙමළ ජනතාවට ස්වයං-නිර්ණ අයිතියක් ඇතැයි යන ස්ථාවරයේ සිටීමත් හේතුවෙන්, එම පක්ෂය ශ‍්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීම තමන්ගේ ‘අරමුණුවලින්’ හෝ ‘පරමාර්ථවලින්’ එකක් වශයෙන් ගෙන සිටියේය යන්නයි.

   ඊට ප‍්‍රතිචාර වශයෙන්, රාජ්‍යයක් තුළ ස්වයං-නිර්ණ අයිතිය වෙනුවෙන් පක්ෂයකට පෙනී සිටිය හැකි බව ඉලන්කෙයි තමිල් අරසු කච්චි පක්ෂය කියා සිටියේය. ඒ සඳහා ‘ජාත්‍යන්තර අධිකරණයේ’ සහ කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවල උදාහරණ ගෙනහැර දැක්වුණි. එසේම, තමන් පෙනී සිට ඇත්තේ එක්සත් සහ නොබෙදුණු ශ‍්‍රී ලංකාවක් තුළ ෆෙඩරල්වාදයක් වෙනුවෙන් බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය අධිකරණය ඉදිරියේ තවදුරටත් කියා සිටියේය.

ෆෙඩරල්වාදය යක්ෂයෙකු සහ බෙදුම්වාදයක් සේ වෙස්ගැන්වීමේ දේශපාලනය (1)

වඩාත්ම මගේ සිත් පාරවන කාරණය වන්නේ, ෆෙඩරල්-විරෝධී ව්‍යාපාරය ඉදිරියේ, ෆෙඩරල් ක‍්‍රමයේ සැබෑව ගැන හදවතින් සහ අවබෝධයෙන් දන්නා බොහෝ දැනුවත් සිංහල පිරිස් නිශ්ශබ්දව සිටීම හෝ හිතාමතා ඒ පිළිබඳ බොරු ප‍්‍රචාරය කිරීමයි.
ඞී. බී. එස්. ජෙයරාජ්  

ඒ, 1985 වර්ෂයයි. ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිව සිටියේ ජූනියස් රිචඞ් ජයවර්ධන ය. ඉන්දියාවේ අගමැතිව සිටියේ රජිව් ගාන්ධි ය. ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ නිල නියෝජිත පිරිසක් සහ ලංකාවේ දෙමළ ජනතාව නියෝජනය කරන සාමාජිකයන් පිරිසක් අතර ඉන්දියානු ආණ්ඩුවේ පහසුකම් සැලැස්වීම යටතේ පැවතුණු සාකච්ඡුා වටයක්, භූතානයේ තිම්පු අගනුවර ඒ වසරේ ජුලි සහ අගෝස්තු මාසයේ පැවැත්වෙමින් තිබිණ. ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ නියෝජිත පිරිසට නායකත්වය දුන්නේ, ජනාධිපති ජයවර්ධනගේ සහෝදරයකු වූ එච්.ඩබ්. ජයවර්ධනයි. දෙමළ පාර්ශ්වය, එවක ප‍්‍රධාන පක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (ටී.යූ.එල්.එෆ්.* ඇතුළු තවත් සන්නද්ධ දෙමළ සංවිධාන පහකින් සමන්විත විය. ඒවා නම්, ප්ලොට්, එල්.ටී.ටී.ඊ, ටෙලෝ, ඊ.පී.ආර්.එල්.එෆ්. සහ ඊරෝස් ය.


මේ ගැන රටේ විශාල උනන්දුවක් ඇති විය. තිම්පු සාකච්ඡුා රටේ ප‍්‍රධාන මාතෘකාව බවට පත්විය. බෙදුම්වාදී දෙමළ ඊලාම්වාදී ඉල්ලීම වෙනුවට පිළිගත හැකි විකල්පයක් සොයා ගැනීම පිළිබඳ සාකච්ඡුාව එදා බොහෝ සංවාදවල මුල් තැන ගත්තේය. ඒ සංවාදයෙන් වැඩි හරියක් කේන්ද්‍රගත වුණේ ෆෙඩරල් ක‍්‍රමයක් ඔස්සේ බලය බෙදාහදා ගැනීමේ විසඳුමක් වෙත ය. ඒ දිනවල මා ‘දි අයිලන්ඞ්’ පුවත්පත වෙනුවෙන් සේවය කරමින් සිටි අතර, ‘පොල්අතු තිරයෙන් පසුපස’ නමින් දෙමළ සමාජයට අදාළ සතිපතා තීරු ලිපියක් ලියමින් සිටියෙමි. ඒ, තමිල්නාඩුව මධ්‍යස්ථාන කරගෙන සිටි බොහෝ දෙමළ දේශපාලනික සහ සටන්කාමී නායකයන් කිහිප දෙනෙකු සමග සාකච්ඡුා කිරීමෙන් පසු මා ලංකාවට පැමිණ සිටි අවදියක් විය. ප‍්‍රකට රූපවාහිනී චරිතයක් වූ රිචඞ් ද සොයිසා මේ දිනවල තිම්පු සාකච්ඡුා ගැන ලංකාවේ ‘සාමාන්‍ය මිනිහා’ දක්වන ප‍්‍රතිචාර ගැන රූපවාහිනී විශේෂ වැඩ සටහනක් නිෂ්පාදනය කිරීමට වෙහෙසෙමින් සිටියේය.

ඒ සඳහා රිචඞ් මගේ උදව් ඉල්ලීය. මම එක පයින් ඊට අනුමැතිය පළ කෙළෙමි. ඒ වැඩ සටහනට අදාළ වීඩියෝ පට කිහිපයක් නැරඹීම සඳහා දවසක් රිචඞ් මට රූපවාහිනිය පැත්තේ ඇවිත් යන්නැයි ඉල්ලා සිටියේය. ඒ් සියල්ල, පාරතොටේ එදිනෙදා හමු වන මිනිසුන්ගේ අහම්බ සම්මුඛ සාකච්ඡුා ඇතුළත් වීඩියෝ පටිගත කිරීම්වලින් සමන්විත විය. විවිධ සමාජ මට්ටම් නියෝජනය කළ ජනතාවගෙන්, වාර්ගික ගැටුම ගැන, වෙනම රාජ්‍යයක් ගැන, රට බෙදීම ගැන, දේශපාලනික විසඳුමක් සහ බලය බෙදා හැරීමේ ෆෙඩරල් විසඳුමක් ගැන ප‍්‍රශ්න කෙරුණි. ඔවුන් දුන් පිළිතුරුවලින් බොහොමයක් සාධනීය ඒවා විය. එසේම ඔවුන් ප‍්‍රකාශ කළ අදහස්වල පැහැදිලි අව්‍යාජත්වයක් ද පෙනෙන්ට තිබුණි.

බොහෝ සෙයින් සිංහලයන් වූ එවැනි සාමාන්‍ය මිනිසුන් එසේ සාධනීය ආකාරයකින් ප‍්‍රශ්න දෙස බැලීම ගැන මගේ හිතේ ඒ මොහොතේ ඇති වූ ‘හැඟීම්බර’ ගතිය මට තාමත් මතක ය. ඔවුන් කී සියල්ල මට දැන් මතක නැතත්, ලංකාවේ දෙමළ ජනතාවට ප‍්‍රශ්න පැවති බව සහ දේශපාලනික එකඟත්වයක් මත නොබෙදුණු ශ‍්‍රී ලංකාවක් තුළ ඒවා විසඳා ගත යුතු බව කිසි ‘පෙළඹවීමකින්’ තොරව ඔවුන් කියා සිටි බව මට හොඳ හැටි මතක ය. ඔවුන්ගෙන් බොහොමයක් දෙනා ෆෙඩරල් ක‍්‍රමයක් කෙරෙහි කැමැත්තක් ද දැක්වීය. ඔවුන් එය උච්චාරණය කෙළේ ‘පෙඩරල්’ කියා ය. එහෙත්, රට නොබෙදිය යුතු බව ඔවුහූ අවධාරණය කළහ. එක් පත්තර වෙළෙන්දෙක් එය අවධාරණය කෙළේ මෙසේ ය: ‘‘රට බෙදන්න බැහැ. හැබැයි, පෙඩරල් දෙන්න.’’ එය මගේ මතකයේ තදින් ඇඳී ගියේ ඊට සෑහෙන කලක් යන තෙක්මත්, රිචඞ් සහ මම එය බොහෝ අවස්ථාවල අපේ කතාබහේදී සඳහන් කිරීමට පුරුදුව සිටි බැවිනි.

‘පෙඩරල්’ වාදී අව්‍යාජ අදහස් 

එකී රූපවාහිනී වැඩ සටහන කිසි දවසක ප‍්‍රදර්ශනය නොකෙරුණි. ඒ පෙඩරල්වාදී අව්‍යාජ අදහස් රාජ්‍ය මාධ්‍යයක් හරහා ප‍්‍රචාරය කිරීම ගැන කැමැත්තක් නොදැක්වූ එවක රූපවාහිනි බලධාරීන් එය විකාශය නොකෙරෙන තැනට වගබලාගෙන තිබුණි. ‘‘රට බෙදන්න බැහැ, හැබැයි පෙඩරල් දෙන්න’’ යන එම සඳහන අපේ ඇස් අරවන්නක් විය. ෆෙඩරල්වාදයේ අඩංගු කරුණු විකෘති කරමින් එය යක්ෂයෙකු සේ වෙස්ගැන්වීමේ ව්‍යාපාරය නොකඩවා තිබියේ වී නමුත් පෙඩරල් යන්න තුළ පැවති මූලික කරුණු ගැන යම් අවබෝධයක් බොහෝ සාමාන්‍ය මිනිසුන්ට තිබුණු බව එයින් පැහැදිලි විය. එය අවදානමක් වශයෙන් ඔවුන් දැක්කේ නැත. ෆෙඩරල්වාදය කුමක්ද යන්න සිංහල ජනතාව නොදන්නා බවත්, ඒ නිසාම ඔවුන් ඊට විරෝධය දක්වන බවත් සිංහල ප‍්‍රභූ පැලැන්තියේ බොහෝ දෙනා කියනු මා අසා තිබේ. නමුත් සැබෑව වන්නේ සාමාන්‍ය මිනිසුන්ට වඩා මේ කියන ප‍්‍රභූ පංතිය ඒ ෆෙඩරල් ක‍්‍රමය යක්ෂයෙකු සේ වෙස්ගැන්වීමට දායක වන බවයි. 

වඩාත්ම මගේ සිත් පාරවන කාරණය වන්නේ, ෆෙඩරල්-විරෝධී ව්‍යාපාරය ඉදිරියේ, ෆෙඩරල් ක‍්‍රමයේ සැබෑව ගැන හදවතින් සහ අවබෝධයෙන් දන්නා බොහෝ දැනුවත් සිංහල පිරිස් නිශ්ශබ්දව සිටීම හෝ හිතාමතා ඒ පිළිබඳ බොරු ප‍්‍රචාරය කිරීමයි. ඔවුන් එසේ කරන්නේ, තමන් සිතන ආකාරයේ දේශපාලනික වාසි හේතුකොටගෙන ය. බලය බෙදාහදා ගැනීමේ හොඳම යෝජනාවලිය තවත් කෙනෙකු සමග ඉස්සර දවසක ලියා ඉදිරිපත් කළ රෝඞ්ස් ශාස්ත‍්‍රඥයෙකු, පොළොවට කඩා වැටුණු දේව¥තයෙකු සේ අද ජරා මඩ වගුරක ලගින හැටි ඛේදනීය ය. මේ සන්දර්භය තුළ, යළිත් බලයට ඒමට බලන රාජපක්ෂලා ‘ෆෙඩරල්වාදයට තඩිබෑම’ එසේ බලයට ඒමේ කෙටිම මාර්ගය වශයෙන් දකිති. මේ නිසා ෆෙඩරල්වාදය රට බෙදීමක් වශයෙන් හෙලාදකින ප‍්‍රචාරක ව්‍යපාරයක් ඉදිරි මැතිවරණ අබිමුවේ දියත් වීමට නියමිත ය.

එදා රූපවාහිනියේ ප‍්‍රචාරය වීමට නියමිතව තිබූ ‘පෙඩරල් සාකච්ඡුා’ ගැන අද මගේ මතකයට ආවේ, ‘ආණ්ඩුක‍්‍රම කෙටුම්පතක් පිළිබඳ කෙටුම්පතක්’ ප‍්‍රකාශයට පත්වීමත් සමග යළිත් වතාවක් හිස ඔසවා ඇති ෆෙඩරල්-විරෝධී වර්තමාන හාහෝව නිසා ය. නැවත වරක් ෆෙඩරල්වාදය යන්න පරුෂ වචනයක් වශයෙන් ඉස්මත්තට ගැනෙමින් තිබේ. ජනතාව වෙනුවෙන් යැයි කියමින් මීට විරුද්ධව රට ගිනි තැබීමට බලන නායකයන් සිටින තත්වයක් තුළ, අද රටේ සාමාන්‍ය ජනතාව ඒ ෆෙඩරල් ක‍්‍රමය ගැන සිතන්නේ කුමක්දැ යි දැන ගැනීමට ක‍්‍රමයක් ඇත්නම් යහපති. සෑම ‘දේශපේ‍්‍රමියෙකුම’ කියන්නේ, තමන් ෆෙඩරල්වාදයට විරුද්ධ පොදුජන මතය නියෝජනය කරන බවයි. ඊට අදාළව ඔවුන් මතු කරන තර්ක, ආලෝකයකට වඩා රස්නය දනවන කරුණුවලට සීමා වෙයි. වැඩිපුරම රස්නය දනවන්නේ රාජ්‍යයේ ස්වභාවය සහ ආණ්ඩුකරණ මාදිලිය සම්බන්ධයෙනි. එහිදී ෆෙඩරල් ක‍්‍රමයට එරෙහිව ඒකීය ක‍්‍රමය හුවාදක්වනු ලැබේ. මේ ‘කෙටුම්පතක් පිළිබඳ කෙටුම්පතක්’ ආශ‍්‍රයෙන් අලූතෙන් උද්ගතව ඇති ආන්දෝලනය මූලික වශයෙන් දෝලනය වන්නේ ෆෙඩරල් සහ ඒකීය ක‍්‍රමය අතර පවතින ‘ව්‍යාජ ගැටුම’ ඔස්සේය. 

‘වෙරිතේ රිසර්ච්’ බුද්ධි මණ්ඩලය

‘වෙරිතේ රිසර්ච්’ නැමැති ස්වාධීන බුද්ධි මණ්ඩලය, අලූත් ව්‍යවස්ථා කෙටුම්පත අරභයා මතු වී ඇති සංවාදය පිළිබඳ මාධ්‍ය වාර්තා පරිශීලනය කොට විග‍්‍රහ කරමින් වැදගත් නිරීක්ෂණ කිහිපයක් ඉදිරිපත් කරයි. ඉන් අදාළ කොටස් කිහිපයක් මෙසේ ය: 

‘‘අලූත් ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රීයව සියල්ලන් ඇතුළත් කර ගත් ක‍්‍රියාවලියක් අනුගමනය කොට ඇතැයි යන පදනම යටතේ මේ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ යුක්ති සහගත කරන අය අතරට එක්සත් ජාතික පක්ෂය ඇතුළු ආණ්ඩුව සහ වෙනත් පිරිස් අයත් වෙති. ඒ ක‍්‍රියාවලියේ අවසාන ප‍්‍රතිඵලයේ සුපිළිපන් භාවය, අනුගමනය කරන ලද ක‍්‍රියාවලියේ යුක්ති සහගත භාවය මගින් ස්ඵුට කෙරෙන බව එහි අර්ථයයි. ඒ අතරේම, අවසාන ප‍්‍රතිඵලය ගැන විපක්ෂය නගන චෝදනා ප‍්‍රතික්ෂේප කිරීමටත් ආණ්ඩුව ඇතුළු එම පිරිස් කරුණු දක්වා තිබේ. උදාහරණයක් වශයෙන්, මේ කෙටුම්පත හරහා ෆෙඩරල් රාජ්‍ය ක‍්‍රමයක් හඳුන්වා දෙතැයි යන චෝදනාව ඔවුන් ප‍්‍රතික්ෂේප කර තිබේ. 

‘‘මේ අතර විරුද්ධවාදීන්ගේ චෝදනාව එල්ල වන්නේ, ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියට වඩා, ඒ ක‍්‍රියාවලියේ අවසන් ප‍්‍රතිවිපාක ගැන අවධාරණය කරමිනි. අලූත් ව්‍යවස්ථාවක් යනු, දෙමළ ජාතික සන්ධානය පෙරටු කරගත් ‘හවුලේ’ වුවමනාවට ෆෙඩරල් ආණ්ඩු ක‍්‍රමයක් තනා දීමට සහ රට බෙදීමට ගෙනෙන ‘ට්‍රෝජන් අශ්වයෙකු’ බව ඔවුහූ කියති. මේ ආකාරයෙන්, ප‍්‍රතිඵලය ඉලක්ක කර ගත් එම විවේචනයට, කෙටුම්පත් ක‍්‍රියාවලිය තුළ පැවති අවංක භාවයේ ප‍්‍රශ්නයකුත් ඔවුන් ඈඳා ගනු ලැබේ. එම ක‍්‍රියාවලිය තුළදී තමන්ගේ යෝජනා නිසි පරිදි ඇතුළත් කරගෙන නැති බවට විපක්ෂය චෝදනා කරයි.

‘‘සමස්තයක් වශයෙන් ගත් විට, ඒකීය රාජ්‍ය ක‍්‍රමයක් සහ ෆෙඩරල් රාජ්‍ය ක‍්‍රමයක් තුළ පවතින විවිධ අංග පොදුවේ ඇතුළත් කර ගත් ක‍්‍රමයක් ගැන වෙනුවට, වර්තමාන සිංහල මාධ්‍ය වාර්තාකරණය තුළ මේ ප‍්‍රශ්නය මතු කෙරෙන්නේ, ඒකීය සහ ෆෙඩරල් රාජ්‍ය ක‍්‍රමය යනු එකිනෙකට ප‍්‍රතිපක්ෂ, දෙකින් එකක් තෝරා ගත යුතු තේරීමක් වශයෙනි. මේ සදොස් විග‍්‍රහය සිංහල මාධ්‍ය තුළ ඉදිරිපත් කෙරුණු ආකාරයට, ඒකීය රාජ්‍ය ක‍්‍රමයක් සහ ෆෙඩරල් රාජ්‍ය ක‍්‍රමයක් ‘අතරමැද’ ඇති ශක්‍යතාවන් ගැන විමසා බැලීමේ අවකාශයක් නොසැපයුණි. මේ සදොස් ප‍්‍රති-යුගලකරණය නිසා, එවැනි ශක්‍යතාවක වැදගත්කම සංවාදයේ දෙපැත්තෙන්ම මගහැරුණි.

‘‘උදාහරණයක් වශයෙන් එම්. ඒ. සුමන්දිරන්ව මෙසේ විවේචනය කෙරේ: ඒකීය නොවන නිසා ෆෙඩරල් යැයි ගැනෙන ආණ්ඩු ක‍්‍රමයක් ඉදිරිපත් කරමින් සිංහල ජනතාව ‘මුළා කිරීමට’ ඔහු කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය චෝදනා කරයි. අනිත් පැත්තෙන්, ෆෙඩරල් නොවන නිසා ඒකීය යැයි ගැනෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට යට වී යැයි උතුරේ දෙමළ පක්ෂ ඔහුව විවෙච්නය කරයි. කෙසේ වෙතත්, ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ විද්වත් කමිටුව විසින් සිය වාර්තාවේ එය සූත‍්‍රගත කොට ඇති ‘නොබෙදුණු සහ නොබෙදිය හැකි’ (ඒකීය රාජ්‍යය/ඔරුමිත්තනාඩු) යන්නත්, මේ ඒකීය-ෆෙඩරල් යන ප‍්‍රති-යුගලකරණයට පිටින් සිටී. සිංහල මාධ්‍යට ඒ කාරණය හසු වී නැති සෙයකි. 

‘‘මේ අතරේ තුන්වැනි ආස්ථානයක් ද විකල්ප මාධ්‍ය තුළ දක්නට ලැබුණි. එය පදනම් වුණේ, වර්තමාන දේශපාලනික තත්වය තුළ අලූත් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ඉඩක් නැතැයි යන අදහස උඩ ය. එබැවින්, ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ ආණ්ඩුවේ සහ විපක්ෂයේ වාද විවාද වනාහී, මැතිවරණයකට කලින් යම් වාසියක් ලබා ගැනීම සඳහා කරන චෝදනා සහ ප‍්‍රතිචෝදනා පමණක් බව එහිදී පෙන්වා දෙයි. මේ විවේචනයත් ඉහතින් කී ව්‍යාජ ප‍්‍රති-යුගලකරණයට යට වී ඇත. ඒ අනුව, දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය වන්නේ ඒකීය නොවන ආණ්ඩු ක‍්‍රමයක් වෙතත්, එය ෆෙඩරල් යනුවෙන් මේ පිරිස් අර්ථ දක්වනු ලැබේ. ප‍්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීම සඳහා සහයෝගය සපයනවා වෙනුවට මේ ආස්ථානය ඔවුන්ගේ අනුගාමික ප‍්‍රජාවගේ අපේක්ෂා පවා බිඳලයි.’’

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම: රජ තුන් කට්ටුවම දැන් එකඟ ලූ

පුද්ගල භාවය සහ හුදෙකලා සිදුවීම්, විටෙක ඉතිහාසය වෙනස් කිරීමේ තීරණාත්මක සාධක වී ඇති බව පෙනේ. ක්ලියෝපැට‍්‍රාගේ නාසයේ හැඩය නිසා ඉතිහාසයේ ගමන් මග වෙනස් වූ ආකාරය ඊ. එච්. කා(ර්* නැමැති ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයා පෙන්වා දී තිබේ.

ගාමිණී වියන්ගොඩ 

මේ නිරීක්ෂණය අප කාටත් සුපුරුදු ය: මෝටර් සයිකලයක් සමහර අවස්ථාවක මොන තරම් පැඩලය ගස්සා පෑගුවත් ඇන්ජිම පණ ගැන්වෙන ගතියක් නොපෙන්වයි. මුල් වර පෙඩලය ගස්සා පෑගීමේදී හුළඟක් වැනි බොල් සද්දක් මිස, බලාපොරොත්තු දනවන වෙන කිසි හඬක් පිට නොවේ. තව හත් අට වතාවක් එසේ කරන විට, කක්කල් කැස්සක් වැනි යාන්ත‍්‍රික හඬක් තුනීයට නික්මෙන්ට පටන් ගනී. දාඩිය පෙරාගෙන, හිත සරි කරගෙන, අත නෑර තව ටික වෙලාවක් මේ වෑයම ගෙන ගියොත්, ඇතැම් අවස්ථාවක, හිටිහැටියේම ඇන්ජිම පණ ගැන්වෙන අවස්ථා අප දැක තිබේ.  



මේ ක‍්‍රියාවලිය ඉතා වෙහෙසකර ය. නීරස ය. බොහෝ දෙනා ඒ ආයාසය අතරමැද අතහැර දමති. 

ලංකාවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කර ගැනීමේ උත්සාහය, ගත වූ දශක හතරක පමණ කාලයක් තිස්සේ පැවතියේ බොහෝ සෙයින් ඊට සමාන තත්වයක ය. 2015 ජනවාරියේ ඒ කාර්යය සඳහාම ආණ්ඩු වෙනසක් ඇති කර ගැනීමෙන් පසුව පවා, විධායක ජනාධිපති ක‍්‍රමයට විරුද්ධව එතෙක් බොහෝ කාලයක් තිස්සේ පෙනී සිටි පැරැුන්නන් පවා සටන අතහැර දැමුවෝය. ඔවුහූ පවතින තත්වයට හිත හදා ගත්තෝය.

ඊට හේතු ගණනාවකි. කටුක සරළ සත්‍යයක් වටහා ගැනීමට නොහැකි හෝ වටහා ගැනීම ප‍්‍රතික්ෂේප කරන ජාතියකට, ෆීනික්ස් පක්ෂියා මෙන් විනාශයට පත්වීමෙන්ම නැවත උපදින්ට (පාඩමක් ඉගෙන ගන්න නම් මුන්ට කෙලවිලාම යන්න  ඕනේ ) ඉඩ හැරිය යුතු බවට සමහරු හිත හදා ගත්තෝය. ඔවුන් අව්‍යාජ මිනිසුන් ය. එහෙත්, අභියෝගයක් ඉදිරියේ නොසැලී සිටින්ට තරම් ජවසම්පන්න අය නොවෙති. ඉතිරි පිරිස ඒ සටන අතහැරියේ හුදෙක් නග්න අවස්ථාවාදය පෙරදැරිව ය.

වර්තමාන රජ තුන් කට්ටුව වැටෙන්නේ ඒ දෙවැනුව කී ගණයටයි. මහින්ද රාජපක්ෂ, මෛත‍්‍රීපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ යන තිදෙනාම බලයට පත්වීම සඳහා මේ පොරොන්දුව දී තිබේ. ඒ තිදෙනාම බලයට පත්වීමෙන් පසු ඉහත නම් සඳහන් අනුපිළිවෙලට එය පාවා දී තිබේ. 

පුද්ගල භාවය සහ හුදෙකලා සිදුවීම්, විටෙක ඉතිහාසය වෙනස් කිරීමේ තීරණාත්මක සාධක වී ඇති බව පෙනේ. ක්ලියෝපැට‍්‍රාගේ නාසයේ හැඩය නිසා ඉතිහාසයේ ගමන් මග වෙනස් වූ ආකාරය ඊ. එච්. කා(ර්) නැමැති ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයා පෙන්වා දී තිබේ. නරක වෙලාවක දඩයමේ ගිය ලියොන් ට්‍රොට්ස්කි නිසා, සෝවියට් සමාජවාදයේ ගමන් මග වෙනස් වූ බව තවත් විශිෂ්ඨ දේශපාලන විශ්ලේෂකයෙකු වූ අයිසැක් ඩොයිෂ්චර් පෙන්වා දී තිබේ. ඔවුන් කියන්නේ, හුදෙක් එකී තනි සිද්ධීන් විසින් ලෝකය වෙනස් කරන ලද බව නොව, එකී තනි සිද්ධීන් අසමානුපාතික පරිමාණයකින් ලෝක වෙනස්කම් කෙරෙහි බලපෑ බව ය. 

මහින්ද රාජපක්ෂ ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පැත්තකින් තබා, එය තවත් මුවහත් කර ගැනීම සඳහා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේදී, වෙනත් ජාතිකවාදී සහ අධිකාරීවාදී හේතුවලට අමතරව, පුද්ගල හේතු තදින් බලපෑ බව පැහැදිළිව පෙනෙන්ට තිබුණි. බොහෝ විට ඒ සියල්ල එකිනෙකට සහසම්බන්ධී විය. යුද්ධය තුළ සහ යුද්ධයෙන් පසුව ලංකාවේ දේශපාලනය තුළ ඉන් පෙර නොවූ විරූ ආකාරයේ දැවැන්ත ආකර්ශනීය තනි සංසිද්ධිය බවට ජාතිකවාදය පත්විය. ඒ මගින්ම, අධිකාරීවාදී (හිට්ලර්වාදී) ප‍්‍රවණතාව ඊට නිරායාසයෙන් ඈඳිණ. ගෝඨාභය රාජපක්ෂ නැමැති පරිපාලනික චරිතය, ජාතික චරිතයක් බවට පත්වන්නේ ඒ සහසම්බන්ධය ඔස්සේ ය. ඊළඟට, රාජපක්ෂ පරම්පරාව විසින් බණ්ඩාරනායක පරම්පරාව, මේ යුදමය ජයග‍්‍රහණය විසින් ඇති කොට දුන් ‘ලොතරැයිය’ හරහා සීග‍්‍රයෙන් විස්ථාපනය කෙරෙනු ලැබෙමින් තිබූ තත්වයක් තුළ, නාමල් රාජපක්ෂගේ පරවේණි අයිතිය පිළිබඳ චින්තාව ඉස්මත්තට ආවේය. අනුර බණ්ඩාරනායකට සිදු වූ දේ ඔහුට සිදු වීමට ඉඩ තැබිය යුතු නොවේ. ඒ සියල්ල එක මිටට ගත් විට, මහින්ද රාජපක්ෂට විධායක ජනාධිපති ක‍්‍රමය දිගටම පවත්වාගෙන යාම අතිශය තීරණාත්මක කාරණයක් බවට පත්විය. 

මෛත‍්‍රීපාල සිරිසේන යනු, ඉහත කී අධිකාරීවාදයේ සීමාන්තිකත්වයෙන් තෙහෙට්ටුව පත් සමාජ සාමුහිකයක අතරමැද සොඳුරු අපේක්ෂාව විය. ඔහුගේ පරම්පරාවේ සොලමන් ඩයස්ලා හෝ ඞී. ඒ. හෝ ඞී. එම්. රාජපක්ෂලා හෝ සිටියේ නැත. හෙවත්, ඔහුගේ හඳහනේ රාජත්වයක් ලියැවී තිබුණේ නැත. එයම, එක විට ඔහුට තේරීම් දෙකක් ඉදිරිපත් කොට තිබුණි. එනම්, එක්කෝ මැන්ඬේලා කෙනෙකු වීමට ය. නැත්නම්, ගමරාළලාගේ සිරිසේන වීමට ය. ඔහු දෙවැන්න තෝරා ගත්තේය. එසේ වීමට, රාජපක්ෂලාගේ සහ වික‍්‍රමසිංහලාගේ හඳහන්වල මාරක ග‍්‍රහයන් බලපෑ බවට සැකයක් නැත.

රනිල් වික‍්‍රමසිංහ මේ ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ කාරණය සම්බන්ධයෙන් පසුගිය කාලයේ විටින්විට විවිධ ආස්ථාන ගෙන තිබේ. එහෙත් ඒ ප‍්‍රසිද්ධියේ නොවේ. රට ඉදිරියේ ඔහු පෙනුණේ, එක දිගමට ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකු වශයෙනි. ඔහු කර ඇති ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ දෙස බැලූවොත් ඒ කාරණය පැහැදිළි වෙයි. එහෙත්, මහජන වේදිකාවේ අපට පෙනෙන රනිල් වික‍්‍රමසිංහ සහ තිරයෙන් පසුපස විටින් විට හැසිරෙන රනිල් වික‍්‍රමසිංහ අතර වෙනසක් ඇත. උදාහරණයක් වශයෙන්, පසුගිය පළාත් පාලන මැතිවරණයට කලින් ඔහු සිටියේ, එම මැතිවරණය ජයග‍්‍රහණය කිරීමේ දැඩි විශ්වාසයකින් නිසා ඒ දිනවල ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ කාරණය ඔහුට නොවැදගත් විය. හේතුව, පළාත් පාලන මැතිවරණය ඔස්සේ ජයග‍්‍රහණයේ මාවතක් විවර වේ නම්, ජනාධිපති පුටුවට යාමේ සිහිනය හිත තුළ තොඳොල් වීමයි. පෙබරවාරි 10 වැනි දා ඔහු මහ පොළොවට කඩා වැටුණි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ ආවේශය එවිට යළි ආවේය. එහෙත් ගත වුණේ ටික කාලයකි. ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ධය ඔහුට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනාවේය. එය හිතුවාට වඩා ඉහළින් පරාජය කිරීමට රනිල් වික‍්‍රමසිංහට හැකි විය. එය ඔහුට ඉමහත් ප‍්‍රහර්ෂයක් ගෙන දුනි. දැන් නැවතත් අර ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ කාරණය ඔහු පැත්තකින් තිබ්බේය. ඊළඟට, ජනාධිපතිවරයා රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් පටන්ගෙන ගිය ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවලියට එරෙහිව මුළු රටම එක හඬින් නැගී සිටියේය. කතානායකවරයාගේ සෘජු නායකත්වය සහිතව පාර්ලිමේන්තුව විධායකයේ අත්තනෝමතිකත්වය අභියෝගයට ලක්කෙළේය. ඒ සියල්ලටමත් වඩා අධිකරණය කෙලින් සිටියේය. එයින් ලැබූ ජයග‍්‍රහණය තමාගේ ජයග‍්‍රහණයක් වශයෙන් ගත් රනිල් වික‍්‍රමසිංහ, නැවතත් ජනාධිපති සිහිනයට අවතීර්ණ විය. රනිල් වික‍්‍රමසිංහගේ සෘතු භේදය තුළ මේ ජනාධිපති ක‍්‍රමය තියා ගැනීම හෝ අහෝසි කිරීම පිළිබඳ කාරණය පසුගිය කාලයේ දෝලනය වුණේ එයාකාරයෙනි. 

දැන් අප තවත් වටයක් කැරකී, කලින් සිටි තැනට ආපසු ඇවිත් සිටී. ඊයේ (27) පුවත්පත් වාර්තා කළ පරිදි මේ රජ තුන් කට්ටුව දැන් විධායක ජනාධිපති ක‍්‍රමය ඉවරයක් කර දැමීමට එකඟ ලූ. මීට සති තුනකට පෙර, වර්තමාන පාර්ලිමේන්තුවේ අනවශ්‍ය කාලයක් තිස්සේ රස්තියාදු කරවා ඇති ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය පිළිබඳ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් නිකුත් කරමින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට එකඟ බව බොහෝ කලකට පසු ප‍්‍රථම වරට ලිඛිතව රටට කියා සිටියේය. ජනාධිපති සිරිසේනත් පසුගිය දා පාර්ලිමේන්තුව අමතා කළ කතාව අවසන් කෙළේ, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පාර්ලිමේන්තුවේ කර්තව්‍යයක් බව පෙන්වා දෙන සඳහනක් කරමිනි. 

ලංකාවේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම යථාර්ථයක් වීමේ අවසාන පරිසරය ගොඩනැගෙන්නේ, ඉදිරියේ පැවැත්වීමට නියමිත යම් ජනාධිපතිවරණයක් තුළ මතු කෙරෙන සුවිශේෂී පුද්ගල කාරණා ගණනාවක ප‍්‍රතිඵලයක් වශයෙන් වීම, ඇත්තෙන්ම දේශපාලනික සරදමකි. ඉදිරි ජනාධිපතිවරණය, රජ තුන් කට්ටුවට නොසිතූ විරූ මරාලයක් වී තිබේ. ඒ සියලූ අර්බුද, අවසාන විග‍්‍රහයේදී, පෞද්ගලික ය. නාමල් කුමාරයා ලොකු මහත් වන තෙක් ගෝඨාභයට එම ධුරය භාර කිරීම මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් ගත් විට භයානක සූදුවකි. එක්සත් ජාතික පක්ෂයෙන්වත්, පොහොට්ටුවෙන්වත් අපේක්ෂකත්වය නොලැබීම සිරිසේන ඉදිරියේ ඇති ලොකුම හෙනහුරු අපලයයි. එය ඔහුට ලබා ගත හැකි වෙතත්, ? වැටුණු වළක මේ රටේ ජනතාව ඊට පහුව දා දවල්ම වැටෙන්ට හේතුවක් නැත. ප‍්‍රගතිශීලී සහ ලිබරල් බලවේගවල පොදු අපේක්ෂකයා වීම සඳහා රනිල් වික‍්‍රමසිංහට තිබුණු සුදුසුකම්, පසුගිය සිව් වසක කාලය තුළ ඔහු ගෙන ගිය ‘ඞීල් දේශපාලනය’ විසින් දිය කොට හැර තිබේ. දැන්, ජනාධිපති ක‍්‍රමය අවසන් කොට පාර්ලිමේන්තු ක‍්‍රමයකට යාම, පොදුවේ රටට වැඩදායක සිද්ධියක් වීමට අමතරව, ඔවුන්ටත් වැඩදායක දෙයක් බවට පත්ව ඇත.

මේ ලිපියේ ඉහතින් කී පරිදි, ඉතිහාසය වෙනස් වී තිබෙන්නේ, එයාකාරයෙනි. එනම්, පොදු සාධක සහ පුද්ගල බද්ධ සාධක සම්මිශ‍්‍රණයෙනි. අප සැලකිල්ලට ගත යුතු කාරණය වන්නේ, කෙනෙකුගේ පෞද්ගලික අවශ්‍යතාවක් වුව රටක පොදු සුභසිද්ධියට සහ රටක අනාගත අභිවෘද්ධියට වැඩදායක වන්නේද යන්නයි. විධායක ජනාධිපති ක‍්‍රමය ඉවරයක් කර ගැනීම මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හෙට දවස සමග කෙලින්ම ගැට ගැසී ඇති බව එහිදී අප තේරුම්ගත යුතුය. හිට්ලර්ලා බලයට පත්වීමේ ව්‍යවස්ථාමය සහ දේශපාලනමය ව්‍යුහයන් දැන් තියාම වෙනස් කර ගත යුතුව තිබේ. එබැවින්, සිරිසේන, වික‍්‍රමසිංහ සහ රාජපක්ෂ දැන්වත් මේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා පොදු එකඟත්වයකට පැමිණෙන්නේ නම් අප ඉත සිතින් එය අගය කළ යුතුව තිබේ.

ඇමරිකාවේ හා මෙරට ආණ්ඩුව ඇණහිටීම එක හා සමාන තත්ත්වයක්



මේ ඇමරිකාවේ තත්ත්වය 

අනිවාර්ය නිවාඩු යවා සිටි රජයේ සේවකයන් සහ තමන්ගේ ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට නොහැකිව සිටි ආණ්ඩුවේ ව්‍යාපෘති කොන්න්ත‍්‍රාත්කරුවන් සිය ගණනක් පසුගිය ජනවාරි 11 වැනි දා ධවල මන්දිරය ඉදිරිපිට විරෝධතා දැක්වූහ. ‘අතකොළු වෙච්ච සගයිනි’ යනුවෙන් ඔවුනොවුන් ආමන්ත‍්‍රණය කර ගත් මේ පිරිස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ආණ්ඩුවේ ඇනහිටීම වහා අවසානයක් කරන ලෙසයි. ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් ආණ්ඩුවේ කෙටිකාලීන වැය ශීර්ෂයකට අත්සන් කිරීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා මෙයින් පිරිසකට තමන්ගේ වැටුප් අහිමි වී ඇති අතර, තවත් ව්‍යාපාරිකයන් පිරිසකට තමන්ගේ ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් ආණ්ඩුවෙන් ලැබීමට නියමිත වෙනත් ගෙවීම් පමා වී තිබේ. ජනාධිපතිවරයා ආණ්ඩුවේ කෙටිකාලීන වැය ශීර්ෂයකට මෙසේ තමන්ගේ අත්සන යෙදීම ප‍්‍රතික්ෂේප කොට ඇත්තේ, ඇමරිකාව සහ මෙක්සිකෝව අතර තාප්පයක් බැඳීම සඳහා ජනාධිපතිවරයා අදහස් කරන ව්‍යාපෘතියක් වෙනුවෙන් මුදල් වෙන් කිරීම ඇමරිකානු පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකය හෙවත් කොන්ග‍්‍රස් මණ්ඩලය විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීමයි. 

ඇමරිකාව සහ මෙක්සිකෝව දේශ සීමාව අතර බැඳීමට ජනාධිපතිවරයා යෝජනා කරන මේ තාප්පයේ වියදම ඩොලර් බිලියන 5 කි. කොංග්‍රස් මණ්ඩලය ප‍්‍රතික්ෂේප කරන්නේ එම මුදලයි. ඔවුන් කියන පරිදි, එය අති විශාල වියදමකි. එසේම, ඔවුන් කියන පරිදි, එය අනවශ්‍ය ව්‍යාපෘතියකි. ඇමරිකාවේ රාජ්‍ය වියපැහැදම් සඳහා කොන්ග‍්‍රස් මණ්ඩලයේ අනුමැතිය තිබිය යුතු අතර, ජනාධිපතිවරයාගේ අත්සනත් අවශ්‍ය කෙරේ. මේ ආකාරයට, ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර කඹ ඇදිල්ල හේතුවෙන්, පසුගිය දෙසැම්බර් 22 වැනි දා සිට ඇමරිකානු ආණ්ඩුව අර්ධ ඇනහිටීමකට ලක්ව තිබේ. ට‍්‍රම්ප් ජනාධිපතිවරයා නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ බහුතරයක් ඇති ඇමරිකානු සෙනේට් මණ්ඩලය පසුගිය බදාදා කෙටිකාලීන වියදම් ඇස්තමේන්තුවක් සම්මත කර ගත්තේය. එහෙත් ඒ ඇස්තමේන්තුවට මේ කියන තාප්පයේ වැය ශීර්ෂය ඇතුළත්ව නැත. මේ නිසා තමන් ඒ ලියවිල්ලට අත්සන් නොකරන බවත්, ඒ හේතුවෙන් ආණ්ඩුව ඇනහිටීම ගැන තමන් සතුටට පත්වන බවත් පසුගිය බ‍්‍රහස්පතින්දා ජනාධිපතිවරයා කියා සිටියේය. එහි ප‍්‍රතිඵලය වී ඇත්තේ, ඇමරිකානු ෆෙඩරල් ආණ්ඩුවේ සේවකයන් 800,000 කට තමන්ගේ වැටුප් අහිමිව යාමයි.

ඇමරිකාවේ අයවැය වර්ෂය පටන් ගැනෙන්නේ ඔක්තෝබර් මාසයෙනි. ජනාධිපතිවරයා මෙසේ අත්සන් කිරීම ප‍්‍රතික්ෂේප කිරීමට කලින්, ආණ්ඩුවේ වැය ශීර්ෂයෙන් සියයට 75 ක් සඳහා ඒ වන විටමත් අත්සන් කොට තිබුණි. ත‍්‍රිවිධ හමුදාව සඳහා වන වියදම් ඊට ඇතුළත් විය. එබැවින් දැන් ඇනහිට ඇත්තේ වියදම්වලින් සියයට 25 ක ප‍්‍රමාණයකි. එසේ වෙතත්, ඒ වියදම්වලට කැබිනට් මට්ටමේ රාජ්‍ය දෙපාර්තමේන්තු 15 න් 9 ක්ම අයත් වන්නේය. අර්ධ වශයෙන් ආණ්ඩුව ඇනහිට ඇති බව කියන්නේ එබැවිනි.

ලංකාවේ සිදුවූ ව්‍යවස්ථාමය ඇණහිටීම 

මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ ලංකාවේත් ව්‍යවස්ථාමය ඇනහිටීමක් තිබුණේය. එය සමථයකට පත්කෙරුණේ අධිකරණයේ මැදිහත් වීමෙනි. එබැවින්, ඇමරිකානු ෆෙඩරල් ආණ්ඩුවේ සේවකයන්ගේ අර්බුදය අපට හොඳින් තේරුම් ගත හැකිය. ඔවුන්ගේ තත්වය සහ මීට මාස කිහිපයකට කලින් අපේ පැවති තත්වය බොහෝ දුරට එක සමාන ය. ශ‍්‍රී ලංකාවේ දී සිදු වුණේ, ජනාධිපතිවරයා තුළ අගමැතිවරයා කෙරෙහි ඇති නොසතුටක් නිසා රටේ ව්‍යවස්ථාව පවා උල්ලංඝණය කරන තත්වයකට රටේ ජනාධිපතිවරයා පත්වීමයි.

ඒ ආකාරයෙන්ම, ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ද, තමන්ගේ හිතුමතේට කටයුතු කිරීමට ගොස්, තමාගේ පෞද්ගලික ආශාවන් සඳහා අවශ්‍ය කරන ප‍්‍රතිපාදන ව්‍යවස්ථාදායකයෙන් සපයා නොදෙන තාක් කල්, තමන් විසින් රජයේ සේවකයන් ප‍්‍රාණඇපයට තබා ගන්නා බව කියා සිටී.

අපේ ජනපති එදා කී කතා 

අපේ ජනාධිපතිවරයාත් මීට සමානව, තමා මොන විදිහකින්වත් රනිල් වික‍්‍රමසිංහව අගමැති තනතුරට පත් නොකරන බව කීවේය. එසේ ඔහුව අගමැති තනතුරට පත්කළොත් තමා එක පැයක්වත් ජනාධිපති ධුරයේ නොසිිටින බවත් ඔහු කීවේය. දැන් ඒ අගමැතිවරයාව ඔහු විසින්ම ආපසු එම තනතුරට පත්කොට සති දෙකකටත් වැඩි කාලයක් ගතව තිබේ. එහෙත් ජනාධිපතිවරයා තවමත් තමන්ගේ ධුරයේ රැඳී සිටී. 

මේ හා සමානවම, ඇමරිකානු ජනාධිපතිවරයා ද, තමාගේ හුරතල් ව්‍යාපෘතිය වන තාප්පය සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීම ඉලක්ක කරගෙන ජාතික හදිසි අවස්ථාවක් ප‍්‍රකාශයට පත්කරනු ඇතැයි කලින් කියා සිටියේය. (එවැන්නක් ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායකයේ අනුමැතිය නැතිව පවා ඇමරිකානු ජනාධිපතිවරයාට අවශ්‍ය කරන වියදම් සපයා ගත හැකිය). එහෙත් පසුගිය 21 වැනි දා ඔහු වෙනත් කතාවක් කියා සිටියේය. එනම්. ජාතික හදිසි අවස්ථාවක් ප‍්‍රකාශයට පත්කිරීමේ අදහසක් දැනට තමාට නැති බව ය.

ඔහුගේ ඒ ස්ථාවරය වෙනස් කර ගැනීමට හේතු වන්නට ඇතැයි ‘ගාර්ඩියන්’ පුවත්පත සැක කරන්නේ, දහස් ගණන් සේවකයන් වැටුප් අහිමි වීමෙන් අර්බුදයකට පත්ව සිටීමත්, සේවකයන්ගේ හිඟකම නිසා මියාමි ගුවන් තොටුපොළේ එක් පර්යන්තයක් පසු ගිය දා වසා දැමීමට සිදු වීමත් නිසා විය හැකි බව ය. මේ අතර, කොංග්‍රස් මණ්ඩලය, සේවකයන්ගේ වර්තමාන වැටුප් අනාගතයේ ගෙවීමට හැකි වන ආකාරයේ පනතක් පසුගිය දා සම්මත කර ගත්තේය. ඊට ජනාධිපතිවරයා අත්සන් කරනු ඇතැයි ඔහුගේ පක්ෂයේ සෙනේට් මණ්ඩලයේ සභාපතිවරයා කියා ඇතත්, මේ දක්වා ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ද ඉතා දැඩි මතයකට පිහිටා සිටින බව පෙනේ. 

මේ ගැන සාකච්ඡාමය විසඳුමකට පැමිණීමට තවමත් යම් ඉඩක් ජනාධිපතිවරයාට තිබේ. කෙසේ වෙතත්, ඔහුට විරුද්ධ පාර්ශ්වය වන ඩිමොක‍්‍රටික් පක්ෂය බහුතරයක් හොබවන කොන්ග‍්‍රස් මණ්ඩලය මේ කියන තාප්පය සඳහා අවශ්‍ය මුදල තමන් විසින් අනුමත නොකරන බව උදක්ම කියා සිටී. මේ අතර, වර්තමානයේදී ආණ්ඩුව අර්ධ වශයෙන් ඇනහිටින තත්වයකට පත්ව තිබීම ගැන වගකීම තමන් භාර ගන්නා බව ජනාධිපතිවරයා විසින් කියා සිටීමත් ඔහුගේ තත්වය තවත් නරක අතට පත්කොට තිබේ. එය ආඩම්බරයට කාරණයක් වශයෙන් ඔහු ගන්නා බවකි පෙනෙන්ට තිබෙන්නේ. ‘‘මං කියන්න  ඕනේ, අපේ දේශ සීමාවේ ආරක්ෂාව වෙනුවෙන්, ආණ්ඩුව ඇනහිටින මට්ටමට කටයුතු කිරීම ගැන මං ආඩම්බර වෙනවා.’’ යැයි ඔහු කීය. ‘‘මමයි ආණ්ඩුව වහලා දාන්නේ. ඒ ගැන මං තමුන්නාන්සේලාට (ඩිමොක‍්‍රටික් පක්ෂයට) වගකීම පටවන්නේ නැහැ.’’ ඔහු තවදුරටත් කීය.

ව්‍යවස්ථාදායකය - විධායකය ආණ්ඩුවේ අර්ධ දෙකක් නියෝජනය කරන බව දතයුතුයි 


ව්‍යවස්ථාදායකයත්, විධායකයත් උගත යුතු පාඩම වන්නේ තමන් ආණ්ඩුවේ අර්ධ දෙකක් නියෝජනය කරන බවයි. එක අර්ධයකට අනිත් අර්ධයේ සහයෝගයෙන් තොරව පැවතිය නොහැක. විධායකය සහ ව්‍යවස්ථාදායකය එකිනෙකාව අස්ථාවර කරනවා වෙනුවට, එකිනෙකා අතරේ සම්මුතිකාමී විය යුතුය. එසේ නොමැති වුවහොත්, රට අස්ථාවරත්වයටත්, සමහර විට අරාජකත්වයටත් ගොදුරු විය හැකිය.


(2019 ජනවාරි 21 වැනි දා Daily Mirror පුවත්පතේ පළවූ “US & Sri Lanka Government Shut Downs, Distinctions without Difference"නමැති කතුවැකියේ සිංහල පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි )