පොල් කෝම්බ ඇහිඳීමේ පුරුද්ද වෙනුවට

රාජපක්ෂලා යුද්ධය අවසන් කිරීමෙන් පසු දෙවන ජනාධිපති ධුර කාලය වැය කෙරුවේ යෝධ වංචා හා දූෂණ වෙනුවෙනි. 

කුසල් පෙරේරා 

කවුරුන් පිළිගත්තත් නොගත්තත් 2015 ජනවාරි “විප්ලවය” යැයි කොළඹ මැද පංතිකයින් ආඩම්බරයෙන් කියුවේ බහුතර ජනතාවගේ ඇත්ත සමාජ ආර්ථික ගැටළු වෙනුවෙන් විසඳුම් සඳහා ජනතාව විසින් තීන්දු කළ පාලනයේ වෙනසක් ගැන නොවේ. ජාත්‍යන්තර ප්‍රජාව ලෙස පෙනී සිටින, දෙවන ලෝක යුද්ධයෙන් පසු ගෝලීය දේශපාලනය තීන්දු කිරීමේ අයිතිය තමන් වෙත පවරාගත් ඇමෙරිකාව හා පෙළ ගැසුනු බටහිර බලවතුන් කිහිප දෙනෙකුගේ භූ-දේශපාලන න්‍යාය පත්‍රයට අවශ්‍ය ලෙස වසර කිහිපයක් පුරා ඔවුන් සැළසුම් කර මුදල් පොම්ප කළ “කොළඹ මැද පංතික මෝඩයින්ගේ ආණ්ඩු පෙරැළියට”ය. එය හිස් ප්‍රජාතන්ත්‍රවාදී ගෝසා සමගින් “යහපාලන ලේබලය” අලවා කිසිදු එල්ලයක් නැති හඩු ජාවාරම්කාරයින්ගේ ආණ්ඩුවක් හැදීමකි. රාජපක්ෂ යුගයේ සිදු කළ සියලු මෝඩ, බලහත්කාර, ජාතිවාදී හා දූෂිත ක්‍රියාවන් මේ “යහපාලනය” අටවා ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් විය. එයට හවුල්වූ හඩු ජාවාරම්කාරයින් රාජපක්ෂ පාලනයේද හරි හම්බ කරගත් ගනුදෙනු කරුවන් විය. එබැවින් රාජපක්ෂ යුගයේ දූෂණ වංචා පිළිබඳව ස්වාධීන පරීක්ෂණ කාර්යක්ෂමව පැවැත්වීම මේ යහපාලන ආණ්ඩුවට කළ හැක්කක් නොවන බැව් තේරුම් ගැනීමට කොළඹ මැද පංතිකයින්ට අවශ්‍ය නොවුනි. ඔවුන්ට අවශ්‍ය වූයේ ඇමෙරිකානු භූ-දේශපාලනයට ගැලපෙන අයුරු රාජපක්ෂ පාලනය ඉවත්කර කුමන හෝ අට්ටාලයක් අටවා ගැනීම පමණි. 

ඒ වෙනුවෙන් දූෂණ වංචා තුරන් කරන්නටත් රාජපක්ෂ යුගයේ දූෂකයින්ට හා වංචනිකයින්ට නීති මගින් දඬුවම් කරන්නටත් යැයි කියමින් බලයට පත් කළ මේ ආණ්ඩුවෙන් වහා සිදු කෙරුණේ මෙතෙක් මහ බැංකු ඉතිහාසයේ සිදු නොවුනු යෝධ බැඳුම්කර වංචාවන් ය. අවුරුද්දකට පසු දෙවැන්නද සිදු කෙරිණ. දෙවැන්න තවමත් පරීක්ෂාකර නැත. බලයට පත්ව මාස 03 ක් යත්ම යහපාලනයේ නායකයින් සිදු කළ මීතොටමුල්ල කුණු කන්දටත් වඩා විශාල කුණු ගොඩක් යැයි ඔප්පු වු යෝධ බැඳුම්කර වංචාව වසා ගැනීමට දැරූ නිවට උත්සාහ හමුවේ අගමැති වික්‍රමසිංහට නීතිය හමුවේ කෙසේ වූවත් ඒ සම්බන්ධ ආණ්ඩු පාලනයේ වගකීමෙන් මිදෙන්නට නොහැක. අවුරුදු ගණන් පාව්ච්චියට නොගෙන මසකට රුලියල් දස ලක්ෂ 21 ක් කුලී ගෙවන රාජගිරියේ ජයසිංහ මහල් ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා කුලියට ගැනීමේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේද අගමැති වික්‍රමසිංහ බැව් අමතක නොකළ යුත්තකි. ඉන් අනතුරුව සිදුකළ යෝධ වංචා තවත් ගණනාවක් ඇත. එනිසා යුද්ධය අවසන් කිරීමෙන් පසු ආරම්භ කෙරුණු රාජපක්ෂ පාලනයේ දෙවන යුගය හා මේ යහපාලන ආණ්ඩුව අතර කිසිදු වෙනසක් නැත. 

රාජපක්ෂලා යුද්ධය අවසන් කිරීමෙන් පසු දෙවන ජනාධිපති ධුර කාලය වැය කෙරුවේ යෝධ වංචා හා දූෂණ වෙනුවෙනි. ඒ දූෂණ වංචා තවමත් කෙළවර නොවන්නේ මේ “යහපාලනය” ආරම්භ වන්නේද රාජපක්ෂ පාලනය ඉවත් කෙරුණු තැනින්ම වන හෙයින්ය. ඒවාට හවුල් වන්නේද එකම හඩු සල්ලිකාර පැලැන්තියම ය. යෝධ දූෂණ වංචා වසා ගැනීමට දැන් “සුදු වෑන්” නැතැයි කියන කොළඹ මැද පංතික මෝඩ රැළට 2010 අප්‍රේල් මහ මැතිවරණයෙන් පසු “සුදු වෑන්” නොතිබුණු බැව් අමතක වූවක් නොවේ. ඔවුන්ගේ ආත්මාර්ථකාමය වෙනුවෙන් ඔවුහු දැනුවත් උගත් වංචනිකයින් ලෙස ඒ හැම අමතක කරති.

මේ යහපාලනය බලයට ගෙනෙන්නට පොරොන්දු වූයේ “සුදු වෑන්” නතර කරන්නට නොවේ. මේ යහපාලන අටමගල අටවා ගනු ලැබූයේ දූෂණ වංචා නතර කරන්නටත් ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරන්නටත් අන්තවාදී මුස්ලිම් විරෝධය සඳහා නැවත ඉඩ නොතබන්නටත් යුද්ධයෙන් විනාශ වූ උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කරන්නටත් දුන් පොරොන්දු ප්‍රතිඥා සමගය. ඒ පොරොන්දු නිකම්ම දේශපාලන පොරොන්දු නොවුනි. ඒවා ජනතාව වෙනුවෙන් සහතික කර ජනතාවට දෙනු ලැබූ පොරොන්දු විය. ඒ වෙනුවෙන් සිවිල් සමාජය නියෝජනය කිරීමේ අයිතිය බාර ගෙන සිටින කොළඹ මැද පංතික කණ්ඩායම් නොයෙකුත් ලේබල් අලවා ගෙන දිවා රෑ නොබලා වැඩට බැස සිටියහ. 

අවුරුදු 04 ට පසු ඔවුන්ගේ සහතික ලත් යහපාලනයේ ශේෂ පත්‍රය කුමක්ද? 

01. ස්වාධීන කොමිසම් පිහිටවූ බව කියති. ඒවා පත් කිරීමේ බලය ඇති ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තු බලයක් තුල දූෂිතයින්ගේ දේශපාලන මණ්ඩලයක් වන හෙයින් ඒවායේ ඇති ස්වාධීනත්වයක් නැත. මානව හිමිකම් කොමිසම ඇතැම් කාරණා සම්බන්ධයෙන් යම් ප්‍රතිපත්තිමය ස්වාධීනත්වයක් තබා ගත්තාට එයට මේ සමාජයේ කිසිදු වෙනසක් කළ නොහැක. මහ උජාරුවට කතා කරන ස්වාධීන කොමිසම් මගින් කළ හැකි කිසිවක් නැතැයි දැන් පොලිස්, අල්ලස්, රාජ්‍ය සේවා හා මැතිවරණ කොමිසම් විසින් ඔප්පුකර හමාරය.

02. මහ ඉහළින් කතා කරන 19 වන ව්‍යවස්ථා සංශෝධනය අතිශය කුහක විකාරයකි. ඉන් ඇති කළ ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති කිසිදු ආකාරයකින් අන් සතු කළ නොහැකි යටපත් කළ නොහැකි හා කල් තැබිය නොහැකි ජනතා පරමාධිපත්‍යයෙහි පාර්ලිමේන්තු මැතිවරණය සඳහාවන අයිතිය අවුරුදු 04 කුත් මාස 06 ක් මේ 19 න් අත්හිටුවා ඇත. සියලු පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩා දමා අන්තිම මොහොතේ ඉංග්‍රීසයෙන් පමණක් ලියා බලහත්කාරයෙන් රිංගවා සම්මත කළ වගන්ති සහිත ව්‍යවස්ථා සංශෝධනයක ඇති ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද?

03. නාම මාත්‍රික ප්‍රජාතන්ත්‍රවාදයක් වූවත් අවුරුදු 02 ට වැඩි කලක් පළාත් පාලන මැතිවරණය කල් තැබූ මේ අරුම යහපාලනය, පළාත් සභා මැතිවරණය අත්හිටුවන්නට අවශ්‍ය ලෙස කටයුතු කර ඇත. පසුගිය ඔක්තෝම්බර 28 වන දිනට පෙර ජනාධිපති වෙත බාර දිය යුතු වූ අගමැති විශේෂ නිරීක්ෂණ වාර්තාව අද වනතෙක් නොදී සිටීමෙන් යහපාලනයේ සුනඛ පැටිකිරිය හෙළිදරව් වන්නේය. ස්වාධීන කොමිසම් කෙතරම් දේශපාලනීකරණයවී ඇතිදැයි පෙන්නුම් කරමින් මැතිවරණ කොමසාරිස් හා කොමිසමද ආණ්ඩුවට අවශ්‍ය ලෙස ප්‍රසිද්ධ ප්‍රකාශ කරමින් පළාත් සභා මැතිවරණය දැනට පවතින 1988 අංක 02 දරණ පළාත් සභා මැතිවරණ පනත යටතේ නොපවත්වා නීති විරෝධීව කල් තබමින් සිටිති. රාජපක්ෂ යුගයේ මෙවැනි දේ සිදු වූවානම් ජාත්‍යන්තර ප්‍රජාවද ශ්‍රී ලංකාණ්ඩුවට එරෙහිව යෝජනා සම්මත කරනු ඇත. මේ එනමුත් “විප්ලවීය යහපාලනයේ” ප්‍රජාතන්ත්‍රය වේ.     

04. පොඩි පොඩි දෝස තිබුණත් දැන් ප්‍රජාතන්ත්‍රවාදය ඇතැයි කොළඹ උන්මත්තක නඩ කියති. එහෙත් මේ යහපාලන ආණ්ඩුව බලයට පත් කළ පළමු දිනයේ සිට හාම්පුත්තු ඉතා විවෘතව සේවක අයිතිවාසිකම් හා වෘත්තීය සමිති පැවැත්ම බලහත්කාරයෙන් අහෝසි කරති. රාජපක්ෂ යුගයේ අකාර්යක්ෂම රාජ්‍ය පාලනයේ වාසිය දූෂිත ලෙස යොදා ගත් හාම්පුත්තු දැන් මේ යහපාලනයේ දේශපාලන බලය මත කම්කරු දෙපාර්තමේන්තුවේත් ආයෝජන මණ්ඩලයේත් සහාය ඇතිව වැඩ වර්ජන බිඳින්නටත්, වෘත්තීය සමිති කඩා දමන්නටත් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සේවයෙන් නෙරපීමටත් විවෘතව පියවර ගනිති. පෞද්ගලික අංශයේ විශේෂයෙන්ම අපනයන ආදායම් උපයා දෙන සේවක සේවිකාවන් මිලියන 02 ට වැඩි පිරිසකගේ මූලික අයිතීන් එළෙස අහෝසි කිරීම යහපාලනයේ දේශපාලනයට අනුව කෙරෙන්නකි. සේවා කොන්දේසී හාම්පුතුන්ට අවශ්‍ය පරිදි සැකසීම වෙනුවෙන් පවතින කම්කරු නීති අහෝසි කරන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඈ) යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් මහ දවල් උල්ලංඝණය කිරීමට ඉඩ ලබා දෙන ආණ්ඩුවක් ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියන්නේ කවුරුන්ද?   

05. උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට සාධාරණය ඉටු කිරීමට ඔවුන්ගේ ඡන්දය ලබා ගත් ආණ්ඩුව යුධ අනාථයින්ට අවුරුදු 04 ක් ගතවී තවමත් ඔවුන්ගේ ඉඩම් නැවත ලබා දීමට සූදානම් නැති විට, කිසිදු චෝදනාවක් නැති දෙමළ තරුණ පිරිස් දේශපාලන සිරකරුවන් නොව ත්‍රස්තවාදීන් යැයි කියමින් අවුරුදු ගණන් රඳවා ගෙන සිටින විට, යුධ අපරාධ පරීක්ෂණ සම්බන්ධයෙන් රාජපක්ෂලා කියූ කතා එසේම කියනවිට, යහපාලන ආණ්ඩුව රාජපක්ෂලාට වඩා වෙනස් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් වන්නේ කෙසේද?

06. ජාතික සංවර්ධනයක් තබා විවෘත වෙළඳපල ආර්ථික වර්ධනයක් හෝ මේ යහපාලනයට ලබා ගත නොහැකිව ඇත. ග්‍රාමීය ජීවිතය බරපතල ලෙස බිඳ වැටී ඇත. ගම හා වැවිලිකරය අත හැර තරුණයින් සිය දහස් ගණන් කොළඹට හා ප්‍රධාන නගර වෙත ආදායම් මාර්ග සොයා ඇදෙති. ගමේ ජීවත් විය නොහැකි හෙයින් ඇණ ගසන්නේ යැයිද ලිංගිකව හා ශාරීරිකව අතවර කෙරෙන්නේ යැයිද අනේක විධ කතා තිබියදීත් ලක්ෂයකට ආසන්න තරුණියෝ වසරක් පාසා ගම අතහැර මැද පෙරදිග ගෘහ සේවයට යති. ගමේ සංවර්ධනය එබඳුය.   

07. අධ්‍යාපනය, රෝහල් සහ සෞඛ්‍ය සේවය, පොදු ප්‍රවාහනය සහ ජනමාධ්‍යයද ගොඩ දැමිය නොහැකි තරමට කඩා වැටී ඇත. කිසිදු වග විභාගයක් නැතිව ඒ සියල්ල පෞද්ගලික ලාභ උපයන්නන් වෙනුවෙන් ආණ්ඩුව තම වගකීම් අතහැර දමා ඇත. දැන් ඒ සියලු අංශ දුර දිග යන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටිති. එවැනි කිසිවකට මේ යහපාලනයේ උත්තර නැත.

08. නීතිය ක්‍රියාත්මක කිරීමත් අධිකරණ ක්‍රියාවලියත් මේ සමාජයේ සමච්චලයට පත් හා සමාජ විශ්වාසයක් නොමැති ක්ෂේත්‍ර බවට පත්ව ඇත. ඒ අතර මත්කුඩු ජාවාරමට එරෙහි වැඩ සටහන් දියත් කෙරෙන්නේ නීතිය අකුරට ක්‍රියාත්මක වන්නේ යැයි අඟවමින්ය. ඒ මත් ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනය කෙරෙන්නේ නැත. ඒවා පිටරටින් කවුරුන් හෝ රටට ගෙන්වා බෙදා හැරිය යුතු අධික ලාභ ලබන පාතාල ව්‍යාපාරයකි. ඒවා මෙරටට ගෙන්වන පුද්ගලයින් දුසිම් ගණන් සිටිය නොහැක. කිලෝ ගණනින් හෙරෝයින්, කොකේන් අල්ලන පොලීසියට ඒ කිහිප දෙනා අල්ලා ගැනීමට නොහැකි තරමට ඒ සියලු ක්ෂේත්‍ර දේශපාලනය සමග දූෂිතව ඇත. එබැවින් එල්ලුම් ගහ සමග මත් ද්‍රව්‍ය විරෝධී වැඩ සටහන් හා ප්‍රතිඥා ඊළග මැතිවරණ සඳහා ජනප්‍රිය කතා ලෙස සීමා වන්නේය. 

ඒ සියල්ලට රටක් ලෙස විසඳුම් සෙවීම පැත්තකින් තබා ජනාධිපති අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වන වංචනිකයින් පිටුපස දිවීම නැවත 2015 ජනවාරියක් නිර්මාණය කරීමට වඩා කිසිවක් නොවේ. ඉතාම ආත්මාර්ථකාමී කොළඹ මැද පංතික උගතුන් වෘත්තිකයින් ඇතුලු අලුත් හඩු ජාවාරම්කාරයින්ට රටේ ජනතාවට අදාල ප්‍රශ්න වෙනුවෙන් විසඳුම් අවශ්‍ය නැත. මේ අන්ත දූෂිත විවෘත වෙළඳපල ඔවුන්ගේ ආර්ථිකයට නොයෙකුත් ආකාරයේ ආදායම් මාර්ග හදාදී ඇත. එනිසා ඔවුන්ට අවශ්‍ය වන්නේ බහුතර ජනතාව අතර අප්‍රසාදයට, අවිශ්වාසයට පත් ඔවුන් පත්කරගත් සිංහල බෞද්ධ රාජ්‍ය නායකයා හා ආණ්ඩුව වෙනුවට ඔවුන්ට රිසි තවත් ආණ්ඩුවක් හැදීමය. ඔවුන්ට දැන් අවශ්‍යව ඇත්තේ ඒ වෙනුවෙන් තවත් සිංහල බෞද්ධ අපේක්ෂකයෙකු පමණි. ඔවුන් සටන් පාඨ හදන්නේ ඒ වෙනුවෙනි. විධායක ජනාධිපති ධූරය වෙල්ලාවට ගන්නේ ඒ වෙනුවෙනි. එහෙත් ඉන්දියාවේ මෝඩි විධායක ජනාධිපතිවරයෙකු නොවේ. මේ ආණ්ඩුවේ සියලු යෝධ දූෂණ වංචා කෙරෙන්නේ විධායක බලය සමග නොව, අගමැති වික්‍රමසිංහ යටතේ ය. එහෙත් ඔවුන්ට විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වැදගත්ය. 

මෙය අති දැවැන්ත දූෂණ සමග හඩු ජාවාරම්කාරයින්ගේ පිහිටෙන් පවතින කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති දේශපාලන පක්ෂ සමග ආණ්ඩු හැදීමකි. මේ අසික්කිත විවෘත වෙළඳපල ආර්ථිකයෙහි කවුරුන් බලයට ආවත් මීට වඩා වෙනස් කිසිවක් සිදුවන්නේ නැත. ඇත්තටම සිදුවන්නේ හැම වාරයකම තිබුණාට වඩා කාලකණ්නි ආණ්ඩුවක් පත්කර ගැනීම පමණි. එය ජයවර්ධනගෙන් පටන් ගත් පසු හැම ජනාධිපති හා ආණ්ඩු මාරුවකින්ම මේ සිරිසේන-වික්‍රමසිංහ දක්වාම සිදුවූවකි. 

එනිසා ප්‍රශ්නය ඇත්තේ වැල්ලට ගසා ගෙන එන පොල් කෝම්බ අතරින් අලුත් පෙනුමක් ඇති කෝම්බයක් තේරීම නොවේ. එය කිසිදු පලක් ඇති වැඩක් නොවන බැව් අවුරුදු 40 ක විවෘත වෙළඳපල ආර්ථිකයෙන් මේ වනවිට අප ඉගෙන ගත යුතුව තිබිණ. කොළඹ මැදපංතික උගත් වංචනිකයින්ට එය අදාල නොවන නමුත් මේ රටේ ඉදිරි අනාගතයට ඉදිරි පරම්පරාවන්ට එය අත්‍යාවශ්‍ය පාඩමකි. 

අද අප මැදිහත්විය යුත්තේ පොල් කෝම්බ තෝරන්නට නොවේ. ඔවුන් ඉදිරිපත් කරන මැතිවරණ සටන්පාඨ අහුලා ගැනීමටද නොවේ. අපට දැන් බරපතල සමාජීය වගකීමක් ඇත. මේ රට දකුණු ආසියානු කලාපීය වර්ධන මධ්‍යයේ අති බහුතරයකගේ සමාජ ආර්ථික අර්බූද සඳහා විසඳුම් සොයා ගන්නේ කෙසේද යන්න ඒ වගකීමය. 

අධ්‍යාපනය සියලු දරුවන්ට එක හා සමාන පොදු අවකාශ හා පහසුකම් සමගින් නම්බුකාර ගුරු සේවාවක් සමග අනාගතය සඳහා යළි ප්‍රතිසංස්කරණය කර ගන්නේ කෙසේද? රෝහල් හා සෞඛ්‍ය සේවය වෛද්‍යවරුන්ගේ නරුම ආධිපත්‍යයෙන් මුදවා වැඩිවන රෝගීන් වෙනුවෙන් ඇඳන් හා වෛද්‍යවරුන් හැදීම වෙනුවට, රෝගීන් සංඛ්‍යාව ක්‍රමානුකූලව අඩු කෙරෙන සමාජයක් වෙනුවෙන් ප්‍රජා සෞඛ්‍ය සේවා දියුණු කෙරෙන්නේ කෙසේද? නිමක් නැති පෞද්ගලික වාහන ආනයනය නවතා පොදු ප්‍රවාහනය සුවපහසු කාර්යක්ෂම සේවාවක් ලෙස දියුණු කෙරෙන්නේ කෙසේද? ග්‍රාමීය ආර්ථිකය ග්‍රාමීය ජනතාවට ප්‍රමාණවත් ආදායම් ලැබිය හැකි පලදායි ආර්ථිකයක් බවට පත් කර ගන්නේ කෙසේද? රාජ්‍ය හා පෞද්ගලික ජනමාධ්‍ය සමාජ වගකීම මුල් කෙරුණු අධ්‍යාපනික වැදගත්කමක්ද සහිත රසාස්වාදයද ගෙනෙන ආචාර ධර්ම සුරකින ජනමාධ්‍යයක් බවට පත්කර ගැනීමට නියාමනය කෙරෙන්නේ කෙසේද? ඒ සියල්ලත් සමග නගරයට පමණක් නොව ගමටත් පොදු නිදහස් සමාජ අවකාශ සඳහා දියුණු පුස්තකාල, නෘත්‍යාගාර, කෞතුකාගාර, සම්මන්ත්‍රණ ශාලා සහ පොදු උද්‍යාන සැළසුම් කර වගකීම් බාර ගන්නා ප්‍රාදේශීය හා නගර සභා ජනතාවගේ සහභාගි ප්‍රජාතන්ත්‍රවාදය සමගින් ප්‍රතිසංස්කරණය කරගන්නේ කෙසේද?     

අප අද ඉදිරපත් විය යුත්තේ රටට අවශ්‍ය විසඳුම් හදා ගැනීම සඳහා ඒ සංවාදය පෙරට ගැනීමට මිස අයාලේ යන තවත් ජනාධිපති අපේක්ෂකයෙකු තේරීමේ නාගරික මැද පංතික අවස්ථාවාදය හා ආත්මාර්ථය සමග නොවේ.