‘අඳුරු යුගය’ හරිම කළුවරලු



ගාමිණී වියන්ගොඩ

එක තැන කැරකෙන, තත්කාලීන දේශපාලනයේ පිලුනු කතාවලින් ඇති කෙරෙන තෙහෙට්ටුව මකාගැනීම සඳහා, ඉතිහාසයේ සිල්ලර කතා කිහිපයක් වෙනුවෙන් මීට කලින් ලිපි කිහිපය වෙන් කෙරුණි. ඒවා තුළ අවධාරණය කෙරුණු කරුණු කිහිපය සංක්ෂිප්තව මෙසේ ය: 

(1) මිනිස් ශිෂ්ටාචාරය බිහි වුණේ මීට වසර 10,000 කට පමණ කලින් යැයි කියති. ඊට කලින්, ‘ශිෂ්ටාචාරය’ යැයි ගත හැකි දෙයක් මිනිසාට නොතිබුණු බවක් එයින් ඇඟවෙයි. එහෙත්, අලුත් පුරාවිද්‍යා සාක්ෂි අනුව ඒ අදහස නිවැරදි නොවන බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති. එනම්, අලුතෙන් බිහි විණැයි කියූ ශිෂ්ටාචාරයේ තිබූ බොහෝ සංස්කෘතික අංග ඊට කලින් ජීවත්ව සිටි ‘නොදියුණු’ යැයි සිතා සිටි ජන කොටස් අතරද තිබී ඇති බව ඔවුන් පෙන්වා දී ඇත. පූර්ව-ශිෂ්ටාචාරය සහ ශිෂ්ටාචාරය අතර සිදුව ඇතැයි පෙනෙන මූලික වෙනස වන්නේ, අලුතෙන් ඇති වූ ශිෂ්ටාචාරයට ‘ස්ථිර ලිපිනයක්’ ලැබීමත්, ඊට කලින් පැවති මිනිස් සංවිධානයට ‘ඇඩ්‍රස් නැති’ කිරීමත් ය.     

(2) දෙවැනුව සාකච්ඡා වුණේ, ප්‍රජාතන්ත්‍රවාදයේ සුපිරිසුදු බව හුවාදැක්වීම සඳහා නිතර පාවිච්චියට ගැනෙන, ග්‍රීසියේ ඇතන්ස් නුවර සෘජු ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන සමාජ සංවිධානය තුළ පවා, ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි බොහෝ දේවල් තිබී ඇති බවයි. උදාහරණයක් වශයෙන්, ඒ සමාජය තුළ ‘මහජනතාව’ වශයෙන් සැලකුණු ජන කොටස, ඇත්තෙන්ම ‘මහ ජනතාවක්’ නොවුණු බව එහිදී කියැවුණි. ඒ ක්‍රමය තුළත්, ඉතා බරපතල ආකාරයේ ‘වෙනස්කොට සැලකීමකට’ මිනිසා (විශේෂයෙන් ගැහැනිය) ලක් වී තිබේ. ඒ ක්‍රමය තුළ, ප්‍රජාතන්ත්‍රවාදයෙන් කාලක්ද, නිර්-ප්‍රජාතන්ත්‍රවාදයෙන් තුන්කාලක්ද තිබී ඇත.   

(3) තුන්වැනුව සාකච්ඡා කෙරුණේ, එයින් සියවස් කිහිපයකට පසු, අධිරාජ්‍ය යුගයක් බිහි වීම ගැනයි. එහි බලවන්ත අවස්ථාව වුණේ රෝම අධිරාජ්‍යයයි. ඉතා දියුණු සමාජ සංවිධානයක් වශයෙන් තිබූ මේ රෝම අධිරාජ්‍යය, ‘බාබේරියන්ලා’ හෙවත් ම්ල්ච්ඡ ජන කණ්ඩායම් වශයෙන් සැලකෙන බාහිර ආක්‍රමණිකයන් අතින් විනාශයට පත් විය. මේ ම්ලේච්ඡයන් ඉතා නරක මිනිසුන් වශයෙනුත්, අධිරාජ්‍යවාසී රෝමවරුන් ඉතා හොඳ මිනිසුන් වශයෙනුත් ඉතිහාසයේ ලියැවී තිබේ. එහෙත්, බාබේරියානු ආක්‍රමණිකයාට එවැනි ‘ම්ලේච්ඡ’ ලේබලයක් අලවන ලද්දේ, පරාජයට පත් රෝම අධිරාජ්‍යය වෙනුවෙන් පෙනී සිටි ඉතිහාසඥයන් විසිනි. ඉතිහාසයේ සැබෑ තතු සොයා බලද්දී, අර කී ‘ම්ලේච්ඡයාගේ’ කතාව සත්‍යයක්ම නොවන බව නූතන ඉතිහාසඥයෝ පෙන්වා දෙති. (‘බර බරේ දානවා’ යැයි කියමනක් නාගරික සිංහල ව්‍යවහාරයේ තිබේ. ඇත්තෙන්ම, මෙහි නිරුක්තිය සහ බා(ර්)බේරියන් යන වචනයේ නිරුක්තිය අතර යම් සම්බන්ධයක් ඇත්දැයි වාග්විද්‍යාඥයන් නැතත්, මනෝවිද්‍යාඥයන් විසින් හෝ සොයා බැලීම වටී. මන්ද යත්, මුලින්ම මේ වචනය ග්‍රීකයන් විසින් පාවිච්චියට ගෙන ඇත්තේ, (ඔවුන්ට) කිසි අර්ථයක් නොදෙන ශබ්ද ගොඩක් හෙවත් දෙඩවිල්ලක් වෙනත් පිරිසක් විසින් වහරනු ලැබීම හැඳින්වීමට වන බැවිනි. එනම්, ග්‍රීක භාෂාවට ඉඳුරා වෙනස් ගෝත්‍රික භාෂා හැඳින්වීමට ග්‍රීකයන් ‘බාර් බාර්’ යන උපහාසාත්මක යෙදුම යොදාගෙන ඇති බවයි. බාබේරියන් යන්න ව්‍යුත්පන්න වී ඇත්තේ එලෙසිනි. අදටත්, උතුරු අප්‍රිකාවේ ‘බර්බර්’ නමින් හැඳින්වෙන විශාල ගෝත්‍රික ජනතාවක් වෙසෙති).   

මේ ලිපියේ සාකච්ඡා කෙරෙන එක් කාරණයක් වන්නේ, රෝම අධිරාජ්‍යයේ විනාශයට, බාබේරියාන්ලාට අමතරව රෝමවරුන්ම කොපමණ දුරට දායක වී ඇත්ද යන්නයි. (මීට සමාන ප්‍රශ්නයක්, ලංකාවේ කන්ද උඩරට ඉංග්‍රීසීන්ට යටත් වීමට, උඩරට රදල පවුල් සහ සිංහල වැසියන් කොතෙක් දුරට දායක විණිද යනුවෙන් මතු කළ හැකිය). තවත් කාරණයක් වන්නේ, බාබේරියන්ලාට කරන සමච්චලය කොච්චර සාධාරණද යන්නයි. 

රෝම අධිරාජ්‍යයේ ඉතිහාසය සම්බන්ධයෙන් මුලින්ම කිව යුතු දෙයක් තිබේ. එනම්, බාබේරියන්ලාගේ ආක්‍රමණ නිසා විනාශ වුණේ ඉතාලියේ රෝමය නමැති නගරය මුල් කරගෙන පිහිටි ‘බටහිර රෝම අධිරාජ්‍යය’ වශයෙන් හැඳින්වෙන කලාපය පමණක් බවයි. රෝම අධිරාජ්‍යයේ නැගෙනහිර කලාපයක්ද මේ වන විට ගොඩනැඟී තිබුණි. එහි කේන්ද්‍රස්ථානය වුණේ කොන්ස්තන්තිනෝපල් නගරයයි. අද සිතියමෙන් ගත්තොත්, තුර්කියේ ඉස්තාන්බුල් නගරයයි. මෙය, නැගෙනහිර රෝම අධිරාජ්‍යය වශයෙන්ද, බිසන්තියානු අධිරාජ්‍යය වශයෙන්ද හැඳින්වෙයි. මේ බිසන්තියානු අධිරාජ්‍යය (තුන්වැනි සියවසේ පටන්) අවුරුදු දහසකට වැඩි කාලයක් ආයු වළඳා අවසන් වුණේ 15 වැනි සියවසේදී ය. ‘අඳුරු යුගය’ වශයෙන් ඉතිහාසය තුළ හැඳින්වෙන්නේ එම කාලයයි. ඊට ප්‍රතිපක්ෂව, රෝමය අගනුවර කරගත් බටහිර රෝම අධිරාජ්‍යය, ‘ආලෝකමත් යුගය’ වශයෙන් සැලකේ. 

මේ කියන බටහිර රෝම අධිරාජ්‍යය සතුව ඒ කාලයේ 500,000 (පන් ලක්ෂයක) හමුදාවක් සිටියේය. එහෙත්, අර කියන බාබේරියන්ලාගේ හමුදා ශක්තිය 25,000 (විසිපන් දහස) ඉක්මවා ගියේ ඉතා කලාතුරකින් බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති. එවැනි කුඩා සහ විසිරුණු ශක්තියක් ඉදිරියේ අර තරම් දියුණු සහ ශක්තිමත් රාජ්‍ය ක්‍රමයක් විනාශ වී ගියේ කෙසේද? 

හතරවැනි සියවස අවසාන භාගය වන විට රෝමය ඇතුළතින්ම ‘ගිනි ගැනීමට’ පටන්ගෙන සෑහෙන කාලයකි. (හැබැයි, රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කෙළේ යැයි කියන කතාව බොරුවකි). අධිරාජ්‍යයක් යනු, එක රාජ්‍යයක් විසින් වෙනත් රාජ්‍යයන් යටපත් කරගැනීමෙන් ගොඩනඟාගන්නා මහා රාජ්‍යයකි. අධිරාජ්‍යවාදී බලවතුන් යැයි අපේ කාලයේ අප දන්නා (ඉංග්‍රීසි, පෘතුගීසි, ප්‍රංශ, ලන්දේසි, රුසියානු, ජපාන සහ බෙල්ජියානු ආදී) සියලු ජාතීන්ගේ ඉතිහාසය එසේ ය. එක්තරා කාලයක් යද්දී මෙවැනි අධිරාජ්‍යයන්, එක මධ්‍යස්ථානයකින් නඩත්තු කරගත නොහැකි තත්වයකට පත්වෙයි. එවිට ඒවා කඩාඉහිරෙයි. 

රෝම අධිරාජ්‍යයේ කඩාවැටීමට එක් හේතුවක් වී ඇත්තේ එයයි. විශාලත්වය වැඩි වන තරමට, ආර්ථික කළමනාකරණය අයාලේ ගියේය. දේශපාලන ස්ථාවරත්වය බිඳී ගියේය. එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ මර්දනයයි. මර්දනයේ පළමු බිල්ල වන්නේ නිදහසයි. එතෙක් කල් නිදහසේ සිටි අධිරාජ්‍යවාසීන් තුළ අධිරාජ්‍යය කෙරෙහි පැවති ප්‍රසාදය එහිදී දිය වීමට පටන්ගත්තේය. රෝමය සම්බන්ධයෙන් ගත් විට, විශාල හමුදාවක් නඩත්තු කිරීම සඳහා විශාල වශයෙන් ජනතාව මත බදු බර පැටවුණි. ජනතා අසහනය ඉන් වැඩි වුණි. 

මේ කියන රෝම අධිරාජ්‍යයේ දේශපාලන අස්ථාවරත්වයේ ස්වභාවය දළ වශයෙන් වටහාගැනීමට පාවිච්චි කළ හැකි එක කෝදුවක් මෙසේ දැක්විය හැකිය: පස්වැනි සියවස වන විට (එනම්, රෝම අධිරාජ්‍යය අභාවයට පත්වන කාලයේ) රෝම අධිරාජයෙකු බලයට පත්වීමෙන් පසුව ජීවත් වීමට ලැබී ඇති සාමාන්‍ය ආයු කාලය අවුරුදු හතක් පමණි! එනම්, තවත් බලකාමියෙකු අතින් අධිරාජයා ඉතා කෙටි කාලයක් තුළ ඝාතනයට ලක් වූ බවයි. එසේ ඝාතනයට ලක්ව ඇති අධිරාජයන්ගේ සංඛ්‍යාව 25 කි. මේ කාලයේ පුද්ගල බල අරගලය මොන තරම් තීව්‍ර වී තිබෙන්නට ඇත්දැයි එයින් අපට සිතාගත හැකිය. මේ අය අතරින්, අර කී බාබේරියන්ලා හෙවත් ම්ලේච්ඡයන් අතින් ඝාතනයට ලක්ව ඇත්තේ තුන්දෙනකු පමණි! ඉතිං, රෝම අධිරාජ්‍යයේ අභාවයට, තමන් ඇතුළේම තිබූ බල පොරය සහ ඇනකොටා ගැනීම් තරම්, බාබේරියන්ලාගේ ‘ම්ලේච්ඡත්වය’ හේතු විණැයි කෙසේ නම් කෙනෙකුට කිව හැකිද?

අධිරාජ්‍යය යන සංකල්පයට අධිරාජ්‍යවාදීන් විසින්ම ඓතිහාසික අරුතක් ආරෝපණය කොට තිබුණි. එනම්, තමන්ට පිටස්තර වෙනත් රාජ්‍යයන් සහ වෙනත් ජන කොටස් ‘ශීලාචාර’ කිරීමේ වගකීමක් තමන්ට ඇතැයි යන්නයි. ඒ සදාචාරමය රාජකාරිය ඔවුන් තමන් වෙත පවරාගත්තේ, වෙනත් ප්‍රදේශ තමන්ගේ ආර්ථික සහ භූ-දේශපාලනික වාසි සඳහා යටත් කරගැනීමේ අරමුණෙන් බව අද කවුරුත් දනිති. පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී ජාතීන් ලංකාව යටත් කරගෙන පාලනය කරන අතරේ විවිධ ආකාරයෙන් මේ මතය සමාජගත කිරීමට වෙහෙස වී ඇති බව ඉතිහාසය පිරික්සුවොත් පෙනෙන්ට තිබේ. (මෙය මොන විදිහකින්වත්, අප තරම් ශිෂ්ට ජාතියක් වෙන කොහේවත් නැතැයි යන අපේ මිථ්‍යාව අනුමත කිරීමක් නොවන බව සලකන්න). එසේ වෙතත්, මේ ක්‍රියාවලිය අභව්‍ය හෝ අස්වාභාවික දෙයක් නොවන්නේ, සමස්ත මිනිස් ශිෂ්ටාචාරයේ ඉතිහාසයම පිරී ඇත්තේ එවැනි ක්‍රියාදාම රාශියකින් වන බැවිනි.

ඉතිං, රෝම අධිරාජ්‍යයත් ගොඩනැඟුණේද, ‘අනෙකා’ ශිෂ්ටසම්පන්න කිරීමේ අරමුණෙන් බව කිව හැකිය. එසේ තිබියදී, ක්‍රි.ව. 410 දී, ශිෂ්ටත්වයක් නැතැයි කියන බාබේරියන්ලා රෝමයේ ගේට්ටුව ළඟට ඇවිත් සිටියහ. මෙය හැඳින්වෙන්නේ ‘රෝම කොල්ලය’ වශයෙනි. එදා කාලයේ කොල්ලකෑම් හැටියට බලද්දී සත්තකින්ම මෙය, බාබේරියන්ලා විසින් රෝමය යටත් කරගැනීමක් වශයෙන් මිස කොල්ලයක් වශයෙන් හැඳින්විය නොහැකි යැයි ඉතිහාසඥයෝ කියති. ඔවුන් පෙන්වා දෙන පරිදි මේ කියන ‘කොල්ලය’ පැවතියේ දින තුනක් පමණි. (ලංකාවේ ‘කළු ජූලිය’ දින කීයක් තිබුණේද!). මියගියේ සීමිත පිරිසකි. නුවරට ඇතුළු වූ සොල්දාදුවන්ට ඉතා තද නියෝගයක් ලැබී තිබුණි. එනම්, ශාන්ත පීතර සහ ශාන්ත පෝල් වැනි දේවස්ථානවලට අතක් නොතියන ලෙස ය. ඒ නිසා විනාශය අවම විය. කොටින්ම, අවුරුදු දෙක තුනක් යන විට, තමන් වෙනත් පාලනයකට යටත් විණිද යන්න පවා එහි වැසියන්ට අමතකව ගිය බව ඉතිහාසඥයෝ කියති. 

හේතුව කුමක්ද? ආක්‍රමණික බාබේරියන්ලා, කලින් පැවති සමාජ සංවිධානය විනාශ නොකිරීමයි. (එළාරගේ රාජ්‍ය කාලයේ එහි වැසියන්ට තමන් පිටදේසක්කාරයෙකු යටතේ විසීම බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවක් නොපෙනේ). බාබේරියන්ලා රෝම අධිරාජ්‍යයේ පැවති පරිපාලන ක්‍රමයම පවත්වාගෙන ගියහ. ආගමික සහජීවනය ප්‍රවර්ධනය කළහ. රෝම නීතියම, තමන්ගේ භාවිතයටත් ගත්හ. ඉන්පසු බලයට පත් මේ ‘පිටදේසක්කාර’ රජවරුන්ගෙන් සමහරෙකු, කලින් පැවති රෝම අධිරාජ්‍යයේ ප්‍රෞඪත්වය පවා යළි නඟා සිටුවීමට කටයුතුකොට ඇති බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති. සමහර බාබේරියන් රජවරු, කලාවේ අනුග්‍රාහකයෝ වූහ. තවත් රජවරු කවියට පෙම් බැන්දෝය. ඒ අනුව ගත් විට, මොවුන් රෝම අධිරාජ්‍යය උරුමයේ හිමිකාරයන් වූවා මිස එය විනාශ කළ පිරිසක් නොවූ බව පෙනේ.

අනිත් අතට, රෝම අධිරාජ්‍යයේ නැගෙනහිර කලාපය හෙවත් බිසන්තියානු අධිරාජ්‍යය, මේ කියන ‘අඳුරු යුගය’ පුරා නොනැසී පැවතුණි. එය බාබේරියන්ලා යටතට පත්වුණේ නැත. රෝම අධිරාජයෙකු වූ කොන්ස්ටන්ටයින් එය ‘අලුත් රෝමය’ යැයි නම් කෙළේය. රෝමයේ පැවති ශ්‍රී විභූතිය ඔහු එහි බිහි කළේය. අද ඉස්තාන්බුල් නමින් හැඳින්වෙන තුර්කි නුවර, ඔහුගේ නමින් කොන්ස්තන්තිනෝපල් ලෙස එදා බෞතීස්ම විය. මේ අධිරාජ්‍යය ඉතා ධනවත් විය. කොන්ස්තන්තිනෝපලයේ පාරවල් රනින් සැරසී තිබුණු බවට වර්ණනා, සාහිත්‍යයේ ඇතැම් තැන්වල හමු වෙයි. පැරණි රෝම නගරයේ තිබූ ඓතිහාසික දේවස්ථාන, අධ්‍යාපනික ආයතන, රෝහල්, රජ මාලිගා සහ ස්ථම්භ ආදිය මේ නගරයේ ස්ථාපිත කෙරුණි. මෙහි සශ්‍රීකත්වය ඇත්තෙන්ම රෝමයත් පරයා ගිය බව කියති. බටහිර යුරෝපයේ රෝමය වැනි පැරණි නගර කෙමෙන් ජනශූන්‍ය වෙද්දී බිසන්තියානු අධිරාජ්‍යයට අයත් ආසියාව පැත්තේ නගර ජනාකීර්ණ විය. 

අරාබි සංස්කෘතිය සහ අරාබි දැනුම ඒ දියුණුව පසුපසින් පැවති ප්‍රධාන සාධකයක් බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති. 7 වැනි සියවසේ සිට සෞදි අරාබියෙන් පටන්ගෙන උතුරට පැතිරෙමින් තිබුණු මුස්ලිම් දිග්විජය, ඉරාන අධිරාජ්‍යය අභිබවා විත් බිසන්තියානු අධිරාජ්‍යයේ විශාල කොටසකුත් අත්පත් කරගැනීමත් සමග, භෞතික දියුණුව සහ විද්‍යාලෝකය සීග්‍රයෙන් එහි ව්‍යාප්ත විය. එතෙක් රෝම ඉලක්කම් පාවිච්චි කරමින් සිටි බිසන්තියානු අධිරාජ්‍යයට අද අප භාවිත කරන 1-9 දක්වා ඉලක්කම් මාදිලිය ලැබුණේ ඒ ආක්‍රමණික මුස්ලිම්වරුන්ගෙනි. ඔවුන් එය ලබාගෙන තිබුණේ ඉන්දියානුවන්ගෙනි. එහෙත් මුස්ලිම් ගණිතඥයෝ එය තවත් වර්ධනය කරමින් ඒ ඉලක්කම් පෙළට බිංදුවත් එක් කළෝය. (එක් ගණිතඥයෙකු පෙන්වා දෙන පරිදි රෝම ඉලක්කම් ක්‍රමයට අනුව ක්‍ඞඛෂඪ නමැති සංඛ්‍යාව ඞෂෂ අගයෙන් බෙදීමට ගියොත් වෙන අබග්ගයක තරම අපට සිතාගත හැකිය!) මේ කාලයේ දැනුම වර්ධනයේ ස්වභාවය මැනගැනීමට තව එක සාධකයක් පමණක් දැක්වීම වටී. පෘථුවියේ වටප්‍රමාණය ඔවුන්ගේ ගණනයට අනුව, සැතපුම් 24,835 කි. අද නවීන විද්‍යානුකූලව අප සොයාගෙන ඇති වටප්‍රමාණයේ සැතපුම් සංඛ්‍යාවට වඩා මෙය වෙනස් වන්නේ සැතපුම් 39 කින් පමණි!     

එහෙත් සම්භාව්‍ය ඉතිහාසය ලියැවුණේ බටහිර යුරෝපීය දෘෂ්ටිකෝණයකින් නිසා, බටහිර රෝම අධිරාජ්‍යය අධිකතර වර්ණනාවටත්, ආසියාතික නැඹුරුවක් ඇති නැගෙනහිර රෝම අධිරාජ්‍යයේ ඉතිහාසය හෑල්ලුවට ලක්කිරීමටත් ප්‍රධාන පෙළේ ඉතිහාසඥයන් පෙළඹී ඇති බවක් පෙනේ. ඒ සමගම, රෝම අධිරාජ්‍යයට අයත් නැති පිටස්තර සියල්ලන් බාබේරියන්ලා හෙවත් ම්ලේච්ඡයන් වශයෙන් හංවඩු ගැසීමත්, යළි යුරෝපීයයන් අතට අධිරාජ්‍ය බලය ගන්නා තෙක් ගත වූ දීර්ඝ කාලය ‘අඳුරු යුගය’ වශයෙනුත් සැලකී තිබේ.

අලුතෙන් යළි සොයාගත් ආලෝකමත් යුගය වශයෙන් සැලකෙන, 14 වැනි සියවසෙන් පටන්ගෙන 17 වැනි සියවස දක්වා විහිදෙන ‘පුනරුද යුගය’ නමින් හැඳින්වෙන කාලයත්, 17-18 වැනි සියවස් දෙක තිස්සේ දිගහැරුණු ‘ප්‍රබුද්ධ යුගය’ නමින් හැඳින්වෙන කාලයත් සමග සසඳන විට, මේ කියන ‘අඳුරු යුගය’ තුළ එක්තරා කළුවරක් තිබී ඇති බව ඇත්ත. එහෙත් එය සාධාරණ සන්සන්දනයක් නොවේ. එය හරියට, විදුලිය සොයාගැනීමට කලින් පැවති කාලය ‘අඳුරු යුගයක්’ වශයෙන් සමච්චලයට ලක්කරනවා වැනි දෙයකි.