තද කළු ම්ලේච්ඡයා සහ සුදෝසුදු ශිෂ්ටයා


ගාමිණී වියන්ගොඩ


‘තද කළු’ සහ ‘සුදෝසුදු’ යන වර්ගීකරණය අයෝමය නියාමයක් සේ භාවිතයේ යෙදී ඇති ප්‍රධාන අවස්ථා දෙකක් ඉතිහාසයේ දක්නට ලැබේ. එකක් වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදයේ සුපිරිසුදු ආරම්භය ගැන කියැවෙන ග්‍රීසියේ ඇතන්ස් නුවර කතාවස්තුවයි. දෙවැන්න වන්නේ, දියුණු රෝම අධිරාජ්‍යය ම්ලේච්ඡයන් විසින් විනාශ කර දමන ලද කතාවස්තුවයි.

අපේ වර්තමාන ලෝකය ප්‍රජාතන්ත්‍රවාදී ය. ඒ කෙතෙක්ද යත්, ඒකාධිපතියා පවා තමා ප්‍රජාතන්ත්‍රවාදියෙකැයි හඳුන්වාගැනීමට කැමත්තක් දක්වයි. විවිධ රටවල කුමන්ත්‍රණවලින් බලය අල්ලාගන්නා හමුදා ප්‍රධානීන් ජාතිය අමතා කරන පළමු කතාවේදීම කියන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම සඳහාම තමන් බලය අල්ලාගත් බව ය. එසේම, අහවල් කාලයේදී මැතිවරණ පවත්වා සිවිල් පාලනයට හෙවත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට නැවත ඉඩ සලසන බවටත් එවැනි හමුදා ප්‍රධානීහූ ප්‍රතිඥා දෙති. එහි අදහස වන්නේ, පොදුවේ ලොව පුරා වෙසෙන සකල ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රිය කරන බව, ඒකාධිපතියන් පවා දැන සිටින බවයි.

මේ ප්‍රජාතන්ත්‍රවාදය මුලින් ආවේ ‘සෘජු’ පාලනයක් වශයෙනි. එනම්, ජනතාව සඳහා ජනතාව විසින්ම පාලන කටයුතු කරගෙන ගිය මාදිලියක් වශයෙනි. ස්ථානය, ග්‍රීසියේ ඇතන්ස් නුවරයි. මේ නගරයේ විසූ මිනිස්සු එක තැනකට රැස් වී, තමන් පිළිබඳ ප්‍රතිපත්ති තීරණ ගනිමින්, තමන්ගේ දෛනික කටයුතු පාලනය කරගත්හ. අතරමැදියෝ නොවූහ. එහෙත්, ජනගහනය වැඩි වන විට සියල්ලන්ට එක්රැස් වී සියල්ලන් සඳහා තීරණ ගැනීමේ ප්‍රායෝගික අපහසුවක් ඇති වුණි. එසේම, ජනගහනය වැඩි වීම නිසා, වඩාත් සංකීර්ණ පාලන කාර්යාවලියක අවශ්‍යතාව මතු විය. එවිට මේ මහජනතාව කෙළේ, තමන් වෙනුවට සීමිත නියෝජිතයන් පිරිසක් පත්කොට, ඒ නියෝජිතයන් මාර්ගයෙන් තමන්ගේ ප්‍රතිපත්ති තීරණ ගනිමින්, ඔවුන් මාර්ගයෙන්ම ඒ ප්‍රතිපත්ති ක්‍රියාවේ යොදවන පාලන මොඩලයකට මාරු වීමයි. 

මේ ක්‍රමය තුළ එක්තරා අවදානමක් තිබුණි. එනම්, ජනතාව විසින් පත්කරනු ලබන නියෝජිතයන්, ජනතාව විසින් ඔවුන්ට පවරන ලද බලය යම් මොහොතක අයුතු ලෙස ප්‍රයෝජනයට ගනීද යන සැකයයි. ඒ නිසා, පාලන බලය අභ්‍යාස කිරීමේ ක්‍රියාවලිය තුළ, එකිනෙකට වගකියන සහ එකිනෙකින් බැඳී පවතින ආයතන ත්‍රිත්වයක් ඇති කරගැනුණි. ඒ ආයතන ත්‍රිත්වය වන්නේ, (ජනාධිපති හෝ අගමැති හෝ කොන්සල් ජෙනරාල් ආදී වශයෙන් වන) විධායකයකුත්, (ව්‍යවස්ථාදායකය සහ සෙනේට් සභා ආදී වශයෙන් වන) පාර්ලිමේන්තුවකුත්, අධිකරණයකුත් ය. අද අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ආකෘතිය එයයි. මේ අයවළුන් සහ ආයතන අතර රණ්ඩුසරුවල් නැතිවා නොවේ. අපේ ජනාධිපතිවරයා සහ කතානායකවරයා පසුගිය දා අධිකරණය ගැන කළ චණ්ඩි කතා උදාහරණයට ගත හැකිය. ඒ සියල්ල තිබියදීත්, ඒ ආයතනික ආකෘතිය අප ප්‍රතික්ෂේප කරන්නේ නැත. කොටින්ම, අපේ පරමාදර්ශී සහ පූර්වාදර්ශී ආකෘතියේ මූලික ව්‍යුහය, හැමදාමත් ඇතන්ස් ප්‍රජාතන්ත්‍රවාදයයි. ඒ තරමට එය, ශුද්ධ වූත්, සුපිරිසුදු වූත් ඓතිහාසික භාවිතයකැයි සැලකේ. 

හැබැයි ඡන්ද බලය මෙහෙමයි        

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලය, ඡන්ද බලය බව අපි දනිමු. ක්‍රි.පූ. 5 වැනි සියවසේ ග්‍රීසියේ ඇතන්ස් නුවර පළමු ප්‍රජාතන්ත්‍රවාදය ඇති වන අවස්ථාවේ ඡන්ද බලය හිමි රටවැසියන් (පුරවැසියන්) එහි සිටියේ 20,000 ක් පමණි. මෙය නගර රාජ්‍යයක් නිසා එහි අරුමයක් නැතැයි කෙනෙකුට සිතෙන්ට පුළුවනි. එහෙත් මේ කියන කාලයේ එමෙන් දෙගුණයක් හෙවත් 40,000 ක් ‘විදේශිකයෝ’ ඇතන්ස් නුවර ජීවත්ව සිටියහ. විදේශිකයන් යනු, ග්‍රීසිය නමැති රටට පිටස්තර වෙනත් රටකින් පැමිණ පදිංචි වී සිටි පිරිසක් නොවේ. එකම රටේ, වෙනත් ප්‍රදේශවලින් පැමිණ ඇතන්ස් නුවර ජීවත් වෙමින් සිටි පිරිසයි. ඔවුන්ට ඡන්ද බලය හිමි වුණේ නැත. තේරුම්ගැනීමේ පහසුව සඳහා, අපේ රටේ පරම්පරා ගණනක් ජීවත් වූ දෙමළ වතුකරේ ජනතාවගේ ඡන්ද බලය අපේ පළමු නිදහස් ලංකාව තුළ අහිමි කෙරුණු අවස්ථාව ගන්න. (එය, අප කළ ඓතිහාසික වරදක් බව අද කවුරුත් පිළිගනිති). 

දැන් අප ඇතන්ස් කතාවට ආපසු ගියොත්, ඡන්ද අයිතියක් නැති ඉහත කී අය අතරේ අප කවුරුත් දන්නා මහා පඬිවරයෙකු වන ඇරිස්ටෝටල්ද සිටියේය. ඔහු මැසඩෝනියාව නමැති ග්‍රීසියේ වෙනත් ප්‍රාන්තයක සම්භවය ඇති කෙනෙකි. සිය ජීවිතයේ අවසාන වසර 20 ඔහු ගතකොට ඇත්තේ ඇතන්ස් නුවරයි. එහෙත් ඒ මහා පඬිවරයාට පවා, මේ ඡන්ද අයිතිය දීම එදා බලධාරීන් ප්‍රතික්ෂේපකොට තිබේ. 

ඊළඟට, පුරවැසි භාවය තිබුණත්, කිසි ගැහැනියකට මේ කියන ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඡන්ද අයිතිය නොතිබුණි. ඡන්ද අයිතිය පමණක් නොව, මේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ගැහැනුන්ට දේපළ අයිතිය තිබුණේද නැත. ගැහැනියකට නඩු කටයුත්තක් තිබුණොත්, ඇය උසාවියේ පවා පෙනී සිටිය යුත්තේ පිරිමි භාරකාරයෙකු සමග ය. 40,000 කට ඡන්ද බලය අහිමි කෙළේ පිටස්තර ප්‍රාන්තවල සම්භවයක් තිබුණු නිසා යැයි නිදහසට කරුණක් වශයෙන් කිව හැකි වෙතත්, ගැහැනිය ඡන්ද බලයෙන් ඉවත් කරනු ලැබුවේ සහ දෙවැනි පුරවැසියෙකු වශයෙන් සැලකීමට ලක්කෙළේ මොන ප්‍රජාතන්ත්‍රවාදී ආකල්පයක් පෙරදැරිවද යන ප්‍රශ්නය මතු වෙයි. මේ සියල්ල එකට ගත් විට, ඇතන්ස් ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඡන්ද අයිතිය තිබුණේ, එහි විසූ මුළු ජනගහනයෙන් දහයෙන් පංගුවකට පමණි.

මොවුන්ට අමතරව, ඇතන්ස් නුවර වහලුන් 150,000 ක් ජීවත්ව ඇත. ඔවුන්ට ඡන්ද බලය නැති බව අමුතුවෙන් කිව යුතු නැත. වහල් සේවය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර කිසි පරස්පරයක්, මේ කියන මුල් ප්‍රජාතන්ත්‍රවාදය තුළ නිරීක්ෂණය වී නැති බව එයින් පෙනේ. වහලා සහ ප්‍රජාතන්ත්‍රවාදය අහසට පොළොව මෙනි. වහලාට ඡන්ද බලය නොතිබුණා පමණක් නොව, වහලෙකු ඝාතනය කිරීම නීතිය යටතේ අපරාධයක් වශයෙන් නොසැලකුණි. මේ නෛතික වෙනස, පුරවැසියන් නොවන අය සම්බන්ධයෙන්ද, මීට අඩු මට්ටමකින් ක්‍රියාත්මක වුණි. ඝාතනයට ලක්ව ඇත්තේ විදේශිකයෙකු නම් සහ අපරාධකරුවා ඇතන්ස් පුරවැසියෙකු නම්, එම අපරාධයේ බරපතලකම සැලකුණේ අඩු ලංසුවෙනි. 

ඉතිං, ඉතා සෘජු සහ ආශ්වාදජනක මුල් ප්‍රජාතන්ත්‍රවාදය, ජනප්‍රිය ඉතිහාසය තුළ කියන තරම් සුදෝසුදු නැති බව පෙනී යයි. එහෙත්, ජන්මයෙන් එන රාජකීය උරුමයක් වෙනුවට, ජනතාව මූලිකත්වයේ ලා සැලකෙන පාලන ප්‍රතිපත්තිය සහ ආකල්පය බිහි වුණේ, ඇතන්ස් ප්‍රජාතන්ත්‍රවාදයෙන් බව, මේ කිසිවකින් බැහැර නොකෙරෙන බවත් අප අමතක නොකළ යුතුය. 

බාබේරියන්ලා සහ ශිෂ්ටයන් 

බාබේරියන් යන යෙදුම පොදුවේ අශිෂ්ටයන් හෝ ම්ලේච්ඡයන් හැඳින්වීම සඳහා භාවිත කෙරේ. එහෙත් මුලින්ම මේ වදනින් අදහස් වුණේ, අදාළ පුද්ගලයාගේ සමාජ සහ අශිෂ්ට යැයි කියන චරිත ලක්ෂණවලට වඩා, ශිෂ්ට යැයි පිළිගත් බලවන්ත රාජ්‍ය කලාපයට එපිටින් ජීවත්ව සිටි ඕනෑම කෙනෙකි. ඒ අනුව, වර්තමාන ජර්මනිය, රුමේනියාව, ඔස්ටි්‍රයාව, සර්බියාව, නෝර්වේ සහ ස්වීඩනය ඇතුළු රටවල් පමණක් නොව, ග්‍රීසිය පවා විටින්විට මේ කියන බාබේරියන් කලාපයට අයත්ව සිට තිබේ. 

ශිෂ්ට රාජ්‍ය කලාපය වුණේ රෝම අධිරාජ්‍යයයි. එහි කේන්ද්‍රය වුණේ ඉතාලියේ රෝමයයි. යුරෝපයේ විශාල කොටසක් සහ බටහිර ආසියාවේ සහ උතුරු අප්‍රිකාවේ විශාල කොටසක්ද ඊට අයත් විය. අවුරුදු 600 කට වැඩි ආයු කාලයක් ඊට තිබුණි. එහෙත් පස්වැනි සියවසේදී ඒ මහා බලවතා විනාශයට පත්විය. ඒ වන විට එහි පැවති ශක්තිමත් රාජ්‍යය ව්‍යුහයත්, උසස් සංස්කෘතිය සහ විද්‍යාලෝකයේ බුද්ධි සම්ප්‍රදායත් නිසා, එවැනි විනාශයක් ඊට අත්වෙතැයි එදා කිසිවෙකුට උපකල්පනය කළ නොහැකි තරම් විය. එතැනින් පසු බිහි වූ ඉදිරි අවුරුදු දහසක කාලය හැඳින්වෙන්නේ ‘අඳුරු යුගය’ වශයෙනි. 

මේ විනාශය ඇති කළෝ, ජනප්‍රිය ඉතිහාසයට අනුව, ‘බාබේරියන්ලා’ ය. මේ ආක්‍රමණිකයන්ගේ සංස්කෘතිය සහ සභ්‍යත්වය, රෝම අධිරාජ්‍යයේ මට්ටමින් සලකන විට පහත් බව කියැවෙයි. විද්‍යාව සහ දැනුම වෙනුවට ඔවුන්ට තිබුණේ අධිකතර මිථ්‍යාව බව කියැවෙයි. කොටින්ම, ඔවුන් සැලකුණේ, ශිෂ්ට සංස්කෘතිය වෙනුවට ම්ලේච්ඡ සංස්කෘතියක සාමාජිකයන් වශයෙනි. එය මුළුමණින්ම බොරුවක්මත් නොවේ. මන්ද යත්, ඔවුන් අතින් විනාශයට පත් දේශයන්හි ජනතාව අත්දුටු රුදුරු බව සහ ක්‍රෑර බව ඊට සාක්ෂි වශයෙන් පවතින බැවිනි.

එහෙත්, හැම අතකින්ම දියුණු යැයි සැලකුණු රෝම අධිරාජ්‍යය බිඳවැටුණේ ඇත්තෙන්ම මේ කියන බාබේරියන්ලාගේ ආක්‍රමණ නිසාමද යන්න ප්‍රශ්නකාරී වන බව නූතන ඉතිහාසඥයෝ පෙන්වා දෙති. බාබේරියන්ලාගේ තිරිසන් ගති ස්වභාවයට අමතරව, ඔවුන්ගේ කැලෑ රූප සොබාවත්, පැරණි රෝම ඉතිහාසඥයන් පුනපුනා කියා ඇත. ඔවුන් කොණ්ඩ ගොතාගෙන සිටීම සහ රැවුල් වවාගෙන සිටීම ඔවුන්ගේ අපිරිසුදුකමේ ලක්ෂණ වශයෙන් සැලකුණි. ඔවුන් ළඟින් තද දුර්ගන්ධයක් හැමූ බව කියැවුණි. රෝම අධිරාජ්‍යයේ විසූ මිනිසුන්ට වඩා ඔවුන් ශරීර ප්‍රමාණයෙන් විශාල බව කියැවුණි. එපමණක් නොව, කලිසම් හැඳ සිටි බවත් කියැවුණි. (කලිසමත් ඒ කාලයේ අශිෂ්ට බවේ සංකේතයක් වී ඇති සැටි!) 

කලකදි වහලු කලකදි රස වෙනවාලු

මේ සියලු ‘නුගුණ’, කලක් යද්දී උසස් සංස්කෘතිකාංග බවට රෝම අධිරාජ්‍යය තුළම පිළිගැනීමට ලක්ව ඇති බව නූතන ඉතිහාසඥයෝ පෙන්වා දෙති. ඇත්තෙන්ම, රෝම අධිරාජ්‍යය අභාවයට ගියේ, බාබේරියන්ලාගේ යුද ආක්‍රමණවලට ගොදුරු වීමට වඩා, ඔවුන්ගේ සංස්කෘතික ආක්‍රමණවලට ගොදුරු වීම නිසා බවට ඒ අනුව තර්ක කෙරේ. ඒ අතින් ගත් විට එය, රෝමවරුන්ගේ විශේෂ ‘පරාජයක්’ නොව, මිනිස් ඉතිහාසයේ මුල පටන් සිදුව ඇති, විවිධ සමාජ එකට මුණගැහීමේ ස්වභාවික ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් බව පෙනී යයි. මෙවැනි අවස්ථාවන්හිදී සාමාන්‍යයෙන් සිදුවන්නේ, තමන් ළඟ නැති, අනුන් ළඟ ඇති සියලු දේවල් දිහා වපර ඇහින් බැලීමයි. උදාහරණයක් වශයෙන් ගත්තොත්, රෝම සංස්කෘතියේ පිරිමි රැවුල බාති. කොටින්ම, ඒ කාලයේ උඩුරැවුල හැඳින්වෙන වචනයක් පවා රෝමවරුන්ට තිබී නැත. ඉතිං, උඩුරැවුල්/යටිරැවුල් සහ කොණ්ඩ වවාගෙන සිටි බාබේරියන්ලා ‘අපිරිසුදු’ සේ රෝමවරුන්ට පෙනෙන්ට ඇති. ‘දිග යටරැවුලක් ඇති එකා’ යන අරුතින් පටබැඳුණු ‘ලෝං බියර්ඩ්ස්’ යන්න පසුව ඉතාලියේ ලොම්බාර්ඩි යන ප්‍රදේශ නාමයට මුල් වී තිබේ. (අද පවා, රැවුල් වවාගෙන සිටින පිරිමි පිළිබඳ එක්තරා ‘අපිරිසුදු’ ගතියක් සමහරු දකිති). 

රෝමවරුන්ට ‘සබන්’ යන වචනය ලැබී ඇත්තේ, බාබේරියන්ලාගෙනි. බාබේරියන්ලා දිනපතා නෑම පුරුද්දක් කරගත් ගෝත්‍රිකයන් ය. මෙය පවා එදා රෝමවරුන් සලකා ඇත්තේ, ම්ලේච්ඡ ගතියක් ලෙසයි. මේ නිසා, බාබේරියන්ලා ළඟ ගඳ යැයි කියන රෝමවරුන්ගේ කතාව ප්‍රශ්න කරන නූතන ඉතිහාසඥයෝ, රෝම අධිරාජ්‍යයේ කේන්ද්‍රය වූ අතිශය ජනාකීර්ණ රෝම නගරය තුළ මේ කාලයේ කසල බැහැර කරන ක්‍රමයක් හෝ මලමූත්‍ර බැහැර කරන ක්‍රමයක් හෝ නොතිබුණු බව පෙන්වා දෙති. ඉතිං, ගඳක් ආවේ නම් ඒ බාබේරියන්ලා ළඟින් නොව, උසස් යැයි සම්මත රෝමවරුන් ළඟින් විය හැකි යැයි කෙනෙකුට අනුමාන කළ හැකිය. 

බාබේරියන්ලාට මෙසේ අවමන් කරන අතරේ ඔවුන්ගේ සංස්කෘතිකාංග වැලඳගැනීමටත් රෝමවරු අමතක නොකළහ. ඒ සමාජ අනුකරණය කෙතෙක් දුරදිග ගොස් තිබෙන්ට ඇත්දැයි සිතාගත හැකි සිද්ධි දෙකක් මෙසේ ය: ක්‍රිස්තු වර්ෂ 399 දී රෝම නගරය තුළ පිරිමියෙකු කලිසමක් හැඳීම අපරාධයක් බවට නීතිගත කෙරුණි. ක්‍රිස්තු වර්ෂ 416 දී, රෝම නගරයේ පිරිමියෙකු කොණ්ඩය වැවීම නීතියෙන් තහනම් කෙරුණි.

ඉතිං, උසස් සංස්කෘතිය සහ උසස් සදාචාරය වෙනුවෙන් මෙසේ පෙනී සිටි රෝමවරු, බාබේරියන්ලාට වඩා සාමකාමීද, ශිෂ්ටසම්පන්නද? කොලෝසියම් නමින් හැඳින්වෙන කවාකාර, විවෘත රඟමඩලක් රෝමය මධ්‍යයේ තිබුණි. (මෙහි නටබුන් තවමත් එහි තිබේ). ග්ලැඩියේටර් නමින් හැඳින්වෙන මල්ලවයන්, රුදුරු මෘග සතුන් සමග, තවත් ප්‍රතිමල්ලවයන් සමග හෝ හිරේට නියම වූ අපරාධකරුවන් සමග මේ වටමඬලේ සටනට දැමෙති. ඒ, වෙන කිසිවක් සඳහා නොව, ප්‍රේක්ෂකයන්ගේ විනෝදය සඳහා ය. සතෙකු අතින් හෝ වෙනත් ප්‍රතිමල්ලවයෙකු අතින් කෙනෙකු ඝාතනය වන මේ දසුන නැරඹීමට වරකට පැමිණි පිරිස 50,000-80,000 ත් අතර විණැයි කියති. ඒ ප්‍රේක්ෂක විනෝදය මධ්‍යයේ මෙහි ඝාතනයට ලක්ව ඇති පිරිස තිස් ලක්ෂයකි. වරක්, බාබේරියානු යුද සිරකරුවන් කොපමණ ප්‍රමාණයක් මේ වටමඬලේ පොරයට දැමුණේද යත්, ඔවුන් සියල්ලන් විනාශ කර දැමීමට බැරි තරමට සිංහයන් අවසානයේ තෙහෙට්ටුවට පත්වීලු! අප අද ඊට වඩා ‘තරමක්’ දියුණුයි. අපි දැන් කුකුළන් කොටවමු. බොක්සිං බලමු!  

දීර්ඝ කාලයක් තිස්සේ දිගහැරෙන ඓතිහාසික යුග පිළිබඳ අවසාන සත්‍යය කියා දෙයක් ඇතැයි ගැනීම නිරර්ථක බව ඇත්ත. එහෙත්, ඉස්සර කාලෙක ඇත්තෙන්ම සිදුවන්ට ඇත්තේ කුමක්දැයි දළ වශයෙන් දැනගැනීමේ අසලකට හෝ පැමිණිය හැකි වන්නේ, කළු-සුදු වර්ගීකරණයේ පිහිට පැතීමෙන් නොවන බව නම් සහතික ය.