කාදිනල්ගේ නත්තල් තෑග්ග : VOICE OF KHURASAN


රංජිත් ප්‍රේමවර්ධන

පාස්කු කුමන්ත්‍රණ තියරිය "ගෝටා ගෝ හෝම්" කැම්පේන් එකේ ප්‍රධාන සටන් පාඨයක් බව දැන් කාටවත් මතක නැත. මොකද "ගෝටා වෙන්ට් හෝම්" වූ පසු පාස්කු කුමන්ත්‍රණ තියරියේ  පිකාසෝලාට පාස්කු කුමන්ත්‍රණයක් තිබුනාද නැද්ද කියන එක අදාල නැති නිසාය.

අන්තිමේදී පාස්කු කුමන්ත්‍රණ ලනුව හොදටම කෑවේ කාදිනල්ය. ඒ ලනුව කාදිනල්ට දුන්නේ සිරිල් ගාමිණීය. දැන් සිරිල් ගාමිණී ලොවෙත් නැතිය. කාදිනල්ලා, සිරිල් ගාමිණීලා එක්ක zoom මීටින් දාපු අය, රට වටේ, ලෝකේ වටේ උද්ඝෝෂණ කරපු කට්ටිය, ශෙහාන් මාලකලා, බයිසිකල් සංගමයේ චින්තකලා දැන් කවුරුත් නැතිය. 

ජාතික ආරක්‍ෂාව කුණු බක්කියට දාපු යහපාලන ආන්ඩුව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ඉල්ලන් කාලා ගෙදර ගිය හැටි, පාස්කු ප්‍රහාරයේ වගකීමේ ලේ සෝදා ගන්න ඒක ගෝඨාභයටම බැර කරන්න යහපාලනේ අය ගේම ගහපු හැටි, SJB, UNP, JVP, FSP ඔය ඔක්කොම පොදු සතුරා වන ගෝඨාභය ගෙදර යැවීම වෙනුවෙන් පාස්කු කුමන්ත්‍රණ තියරිය සමාජගත කරපු හැටි, පාස්කු ප්‍රහාරයට බුද්ධි අංශ පටලවා ජාතික ආරක්‍ෂාව බිංදුවට දාපු හැටි, කාදිනල් පාස්කු කුමන්ත්‍රණ තියරි ගෙඩිය පිටින් කාපු හැටි, සිරිල් ගාමිණීලා ඇටිකෙහෙල් කාපු උගුඩුවෝසේ CID ගිය හැටි, කාදිනල් පාස්කු කුමන්ත්‍රණ ගැන පාප්තුමාට ලියුම් ලියපු හැටි, මිකෙලා බැචෙලේට් රිපෝට් කරපු හැටි, රෝමෙට ගිහින් අන්තර්ජාතික පරීක්ෂණ ඉල්ලපු හැටි, පාස්කු ඉරිදා ප්‍රහාරයේ එකී, නොකි, මෙකී දේවල් ගැන ලියුම්කරු සබුද්ධිකව විවිධ අවස්ථාවල ලියුවත් වැඩක් උනේ නැත. මොකද තිරිවාන ගල් යට යනවාය, ගොමරිටි උඩ එනවාය.

කාදිනල් ඇතුළු කතෝලික සභාව ප්‍රහාරය කල සහරාන්ව අමු අමුවේ අමතක කර, ප්‍රහාරයේ නොදන්න commamd responsibilityයක් ගැන සොයන්න ගොස් යුක්‍තිය පසදලීම අනියමාර්තයේ අසම්භාව්‍යක් ක්‍රියාවක් කලේය. දැන හෝ නොදැන කාදිනල් SJB, UNP, JVP, FSP ඔය ඔක්කොමලාගේ දේශපාලන ගේමට ලස්සනට සපොර්ට් එක දුන්නේය. කාදිනල්ගේ වෛරයෙන් SJB, UNP, JVP, FSP ප්‍රයෝජන ගත්තේය. අරගලයත් එක්ක ගෝඨාභය ගෙදර ගිය ගමන් SJB, UNP, JVP, FSP කාටවත් පාස්කු කුමන්ත්‍රණ තියරියක් අවශ්‍ය නැත. මොකද, ගෝඨාභය සාධකය දැන් අවලංගු කාසියක්ය.

පාස්කු ප්‍රහාරය එල්ල කොට 2023 අප්‍රේල් වලට අවුරුදු 4කි. පාස්කු ප්‍රහාරයේ යුක්‍තිය පේනතෙක්මානයක නැත. දැන්නම් පාස්කු ප්‍රහාරයේ යුක්‍තිය ඕන එකෙකුත් පේන්න නැතිය. හැමදේම දේශපාලනීකරනය වන ලංකාවේ ප්‍රාස්කු ප්‍රහාරයේ යුක්‍තියද දේශපාලනීකරනය වී අවසන්ය. ඒකට සම්පූර්ණයෙන්ම වගකියයුත්තේ කාදිනල් සහ පල්ලියය. පාස්කු ප්‍රහාරය කල එකා (සහරාන්) සක්සුදක් සේ දැන දැන, නොදන්න commamd responsibilityක් ගැන කුනු බක්කි අවුස්සන්න ගිහින් කාදිනල්ම පාස්කු ප්‍රහාර පරීක්ෂණ වැඩ අල කලේය. 

හැබැයි කාදිනල්ගේ commamd responsibility ප්‍රශ්නේට හොදම උත්තරේ දුන්නේ VOICE OF KHURASAN සගරාවය. VOICE OF KHURASAN සගරාව දකුණු ආසියාවේ ISIS ප්‍රොපගැන්ඩා එකය. 2022 දෙසැම්බර් මාසේ ඔය VOICE OF KHURASAN සගරාව ඒ අයගේ 19 වන කලාපය එලි දැක්වූවාය. ඒකේ 12 පිටුවේ සිට ලස්සනට පාස්කු ප්‍රහාරය ගැන ලියලා තියෙනවාය. පාස්කු ප්‍රහාරය කලේ ඇයි, පල්ලි වලට, හෝටල්වලට ගැහුවේ ඇයි, සල්ලි ලැබුනේ කොහොමද, පුපුරන ද්‍රව්‍ය ලැබුනේ කොහොමද ඔය ඔක්කෝටම උත්තරේ එකේ තියෙනවාය. කාදිනල්ට ඉංග්‍රීසි තේරෙනවානම් පාස්කු ප්‍රහාරයේ ideology එක ඔය ආර්ටිකල් එකෙන් තේරුම් ගත හැකිය. කාදිනල්ට ඉංග්‍රීසි තේරෙනවානම් පාස්කු ප්‍රහාරයේ commamd responsibility එකද ඔය ආර්ටිකල් එකෙන් තේරුම් ගත හැකිය. නැත්නම් ඉතින් ඉංග්‍රීසි තේරැනේ නැති ගානට පාස්කු කුමන්ත්‍රණ සිහිනයේ තව දුරටත් ගිලී සිටිය හැකිය. 

ඒත් නැත්නම් කාදිනල්ට හරි, සිරිල් ගාමිණීට හරි, පල්ලියට හරි තවත් දෙයක් කල හැකිය. ඒ අය කැමතිම ජාත්‍යන්තර හරි, ජාතික හරි මොකක්ම හරි media channel එකක් අල්ලගෙන බොරු කියනවාට VOICE OF KHURASAN එකට හොද හැන්ඩ්ස්-අප් එකක් දිය හැකිය. නැත්නම් කෙලින්ම VOICE OF KHURASAN එකෙන් ගේම ඉල්ලිය හැකිය. සහරාන්ගේ වීඩියෝ ගැන විශ්ලේෂණය කරපු රොහාන් ගුණරත්නව පට්ට ගහපු විදිහටම VOICE OF KHURASAN එකත් පට්ට ගැසිය හැක. ඕනනම් VOICE OF KHURASAN එක බොරු කියා ඇතිබව පාප්තුමාටද රිපෝට් කල හැක. බැරිනම් ඔය වැඩේ ශෙහාන් මාලක වගේ කෙනෙකුටද දිය හැක.

ඒත් නැත්නම් ISIS එකත් නොමග ගොස් ඇති බවට ISIS එකටමද මේක රිපෝට් කල හැකිය. අන්න එතකොට අපිට සත්‍ය දැන ගැනීමේ සහ යුක්‍තිය පසදලීමේ කාදිනල්ගේ, සිරිල් ගාමිණීගේ, පල්ලියේ දැඩි උනන්දුව තේරුම්ගහ හැක. හැබැයි තාම මේ කවුරැත් මීක් නැත. මොකද නිකන් ලැබුන මේ නත්තල් තෑග්‍ග ඇරලා බලන්න මේ කවුරැත් මර බයය. කාදිනල්ලා, සිරිල් ගාමිණීලා, පල්ලිය ගෝඨාභය එක්ක, බුද්ධි අංශ එක්ක ගේම ඉල්ලුවාට VOICE OF KHURASAN එකත් එක්ක, ISIS එකත් එක්ක ගේම් ඉල්ලන්න යන්නේ නැතිය. මොකද එහෙම කරලා ආයිත් පාරක් අන්තවාදීන්ගෙන් සිල්ලරට ඉල්ලන් කන්න කැමති නැති නිසාය. 

VOICE OF KHURASAN එක සත්‍ය දැන ගැනීමට කාදිනල්ට ස්වර්ණමය අවස්ථාවක් දී ඇත. ඒක පාවිච්චි කිරීම හෝ නොකිරීම කාදිනල්ගේ choice එකය. සමහර විට මේ කාදිනල්ට ලැබෙන ලාස්ට් චාන්ස් එක වෙන්නත් පුලුවන්ය. නැත්නම්  කාදිනල්ට 2023නේ අප්‍රේල් වල පාස්කු ප්‍රහාරයේ 4වන සංවත්සරයේදි කියන්න කතාවක් දැම්ම හදා ගන්න වෙනවාය. ඕනමනන් ඉතින් අපේ බුද්ධි අංශ තමයි VOICE OF KHURASAN එක run කරන්නේ වගේ අන්ධබූත කතාවක් ගොතන්නත් පුලුවන්ය. ඔය මොක කරත් ඇත්ත ඇත්තමය. ඇත්ත බොරු කරන්නත්, බොරුව ඇත්ත කරන්නත් බැරිය. ඇත්ත එලි වෙනවාමය. එදාට බොරුවේ ගිලුනු කාදිනල්ලා, සිරිල් ගාමිණීලා, පල්ලිය කියනදේ ගැන අපි උපේක්ෂාවෙන් බලා ඉන්නෙමු.

දැන් බැලුවාම  VOICE OF KHURASAN එක ගමයාගේ මල්ලේ ඉන්න නයා වගේය. "ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී කිවුවාලු...!"