විශාල විදේශ ණය කන්දරාවක ගිලී, අපනයන ආදායම පහත වැටීමට මුහුනදී සිටින රාජපක්ෂ තන්ත්‍රය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු වී ඇති අතර සාමාජික රටවල් සඳහා බැංකුවේ ඩොලර් බිලියන 650 වැඩසටහන යටතේ ඩොලර් මිලියන 800 ක පමන නයක් ලබා ගනු ඇත.
සමන් ගුනදාස
අප්‍රේල් සහ ජුනි අතර කාලය තුලදී ශ‍්‍රී ලංකාවේ ඉහලම සමාගම් නවයක් රුපියල් බිලියන 364 ක් (ඩොලර් බිලියන 1.8 ක්) උපයා ගත් අතර ඔවුන්ගේ මූල්‍ය වර්ෂයේ මුල් කාර්තුවේදී රුපියල් බිලියන 21 ක සාමූහික ලාභයක් සාක්කුවට දමා ගත්හ. මෙම මුදල සුපිරි ධනවතුන් විසින් අත් කරගත් ධනයෙන් සුළු කොටසක් පමනි, මේ වසරේ මේ දක්වා කාලය තුල බැංකු සහ අනෙකුත් විශාල සමාගම් සඳහා ලාභ ඉහල යන බව දැක ගත හැකිය.
Courtesy: dreamstime.com |
මුල්‍ය, අපනයන, සැපයුම් (ලොජිස්ටික්), මත්පැන්, සෞඛ්‍ය සහ කොටස් වෙලඳාම ආදියෙහි නියුතු සමාගම් විසින් සිදු කල විශාලතම ඉපැයීම් අනුව, පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව කොලඹ කොටස් වෙලඳපොලේ ලැයිස්තුගත සමාගම් 2021 මුල් මාස තුනේදී සියයට 189 ක වර්ධනයක් වාර්තා කලේය.
ආදායම හා රැකියා අහිමිවූ කම්කරුවන්ට, කුඩා ව්‍යවසායකයින්ට, ස්වයං රැකියාකරුවන්ට සහ දුප්පතුන්ට සිදු වූ විනාශකාරී ආර්ථික බලපෑමට තියුනු ලෙස වෙනස්ව, කොවිඩ්-19 වසංගතය අතරතුරදී අඛන්ඩව ක්‍රියාත්මක වීමට අවසර ලද සමාගම් ඉහලම ලාභ උපයන ඒවා බවට පත්විය. ඊයේ (29) වන විට, කොවිඩ්-19 හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 8,500 කට වැඩි පිරිසකගේ ජීවිත බිලිගෙන ඇති අතර, සමස්ත ආසාදන සංඛ්‍යාව 425,000 ඉක්මවමින් ඉහල ගොස් තිබේ.
රටවල් 20 ක ශාඛා ඇති ප්‍රධාන ලොජිස්ටික් සමාගමක් වන එක්ස්පෝලංකා ඉහලම ආදායමක් ඉපයූ සමාගම් නවය අතර විය. මෙම කාර්තුවේදී එය රුපියල් බිලියන 95 ක පිරිවැටුමක් සහ රුපියල් බිලියන 6.3 ක ශුද්ධ ලාභයක් ලබා ඇත.
දෙවන ස්ථානය ගත්තේ ලීසිං, කුලී පිට ගැනීම් (හයර් පර්චේස්), රක්‍ෂන සහ අනෙකුත් මූල්‍ය කටයුතු වල ප්‍රමුඛයා වූ එල්ඕඑල්සී සමාගම විය. එය රුපියල් බිලියන 4 ක ශුද්ධ ලාභයක් සමඟින් රුපියල් බිලියන 55 ක් උපයා ඇත. පසුගිය වසරේදී, බදු ගෙවූ පසු ශුද්ධ ලාභය ලෙස එල්ඕඑල්සී රුපියල් බිලියන 53 ක් සාක්කුවේ දමාගත් අතර එය මෙතෙක් ශ්‍රී ලංකාවේ සමාගමක් වාර්තා කල ඉහලම අගයයි. එහි හිමිකරු වන ඉෂාර නානායක්කාර මෙරට බිලියනපතියන්ගෙන් කෙනෙකි.
ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා වන ධම්මික පෙරේරාට අයත් හේලීස් සහ වැලිබල් වන් මුල්‍ය ආයතනය අප්‍රේල් සිට ජුනි දක්වා වූ කාර්තුවේදී රුපියල් බිලියන 6.4 ක ශුද්ධ ලාභයක් සමඟින් රුපියල් බිලියන 90 කට ආසන්න මුදලක් උපයා ඇත.
30,000 කට අධික සේවකයින් සංඛ්‍යාවක් සිටින හේලීස් සමාගම, රබර් නිෂ්පාදනය හා වතු ආශ්‍රිත ආනයන-අපනයන කර්මාන්ත තුල කටයුතු කරයි. එම සමාගම වසර 143 ක ඉතිහාසයේ ලද ඉහලම ආදායම ලෙස පසුගිය වසරේ රුපියල් බිලියන 242 ක ආදායමක් සහ රුපියල් බිලියන 14 ක ශුද්ධ ලාභයක් උපයා ඇත.
තවත් ඉහල පෙලේ ව්‍යාපාරික ආයතනයක් වන ජෝන් කීල්ස් මෙම කාර්තුවේදී රුපියල් බිලියන 1.2 ක ශුද්ධ ලාභයක් සමග රුපියල් බිලියන 38 ක් උපයා ඇත. වසංගතයෙන් බලපෑමට ලක් වූ සමාගමේ එකම අංශය වූයේ සංචාරක ව්‍යාපාරයයි.
ඉහල පෙලේ සමාගම් නවයට අමතරව, රටේ සිව්වන විශාලතම පුද්ගලික වානිජ බැංකුව වන එන්ඩීබී, ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 5 ක් ලෙස වාර්තා කලේය—එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 15 ක වැඩිවීමකි. එම කාර්තුවේදී සම්පත් බැංකුවේ ශුද්ධ පොලී ආදායම බිලියන 10.8 දක්වා, සියයට 34 කින් ඉහල ගිය බව වාර්තා කලේය.
බිලියනපති ධම්මික පෙරේරා පසුගිය සතියේදී මාධ්‍ය තුල මැදිහත් වූයේ කිසිදු හේතුවක් මත ලංකාව අගුළු දැමිය යුතු නැති බවට කල උද්දච්ච ප්‍රකාශය සමගිනි.
'රටක් සම්පුර්නයෙන්ම අගුලු දමා පාලනය කිරීමට ආන්ඩුවකට නොහැකිය, එහෙම කල හැකිද?' කියා සිටි ඔහු, “අපනයන හරහා ඩොලර් ආදායමක් නොමැතිව” පෙට්‍රල්, ඖෂධ, කිරිපිටි සහ අනෙකුත් අත්‍යවශ්‍ය දේ ආනයනය කල නොහැකි බව පැවසීය. තම සමාගම් සහ අනෙකුත් ව්‍යාපාර විසින් ගොඩ ගසා ගන්නා ලද, අති විශාල අපනයන ලාභය ගැන පෙරේරා කිසිවක් කීවේ නැත.
පසුගිය මාසය පුරාම මහ ව්‍යාපාරිකයින් වෙනුවෙන් කතා කරමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඉහල යන කොවිඩ්-19 ආසාදන හා මරන සහ දැඩි සෞඛ්‍ය පියවර ගැනීම සඳහා ස්වාධීන සෞඛ්‍ය විශේෂඥයින්ගේ හදිසි ඉල්ලීම් මධ්‍යයේ, ඕනෑම අගුලු දැමීමකට විරුද්ධ විය.
රාජපක්ෂ විසින් අගෝස්තු 20 දා අකමැත්තෙන් වුවද පනවනු ලැබූ සීමිත අගුලු දැමීම් මධ්‍යයේ තවමත් විශාල ව්‍යාපාරිකයින්ට අත්‍යවශ්‍ය සේවාවන් ලෙස තම ව්‍යාපාර පවත්වාගෙන යාමට ඉඩ සලසයි. ආන්ඩුවේ සීමා පැනවීම් වල සඵලතාවය පිලිබඳව සෞඛ්‍ය විශේෂඥයින් සිය කනස්සල්ල පල කර තිබේ.
පසුගිය වසරේදී මහා ව්‍යාපාරිකයින් සඳහා අතිවිශාල සහන අරමුදල් ලබා දෙන ලෙස (මුලු එකතුව රුපියල් බිලියන 230 ක්) ජනාධිපති රාජපක්ෂ මහ බැංකුවට නියෝග කලේය. අනෙකුත් මූල්‍ය පහසුකම් සහ තවත් බදු සහන ද ලබා දෙන ලදී. නිදසුන් ලෙස බොහෝ ආයතනික බදු සියයට 14 සහ 18 දක්වා අඩු කරන ලද අතර එය දකුනු ආසියාවේ අඩුම රේට්ටුව යි.
රාජපක්ෂ, පසුගිය දෙසැම්බරයේ පැවති ලංකා වානිජ මන්ඩල සම්මන්ත්‍රනයකදී පැවසුවේ, ආයෝජකයින් කොරෝනා වෛරස් වසංගතය විසින් ලබා දී ඇති “අවස්ථාවන් ප්‍රයෝජනයට ගත යුතු” බවයි.
වෘත්තීය සමිතිවල පිටුබලය ලැබූ ආන්ඩුව, පසුගිය වසරේ මුලදී, රටේ පවතින සීමිත කම්කරු නීති පවා නොසලකා හරිමින්, හිතුවක්කාර ලෙස සේවකයින් ඉවත් කිරීමේ අයිතිය ව්‍යාපාරවලට ලබා දුන්නේය. වසංගතය සමඟ කටයුතු කිරීමේ ධජය යටතේ, සේවා යෝජකයින්ට වැටුප් කප්පාදු පැනවීමට, වැඩ බර වැඩි කිරීමට සහ සේවා කොන්දේසි කප්පාදු කිරීමට ද අවසර දෙන ලදී.
රාජපක්ෂ අගෝස්තු 20 දා ඔහුගේ සීමිත අගුලු දැමීමේ පියවර නිවේදනය කරමින්, “තවත් කැපකිරීම්” කිරීමට සූදානම් වන ලෙස ජනගහනයෙන් ඉල්ලා සිටියේය. මිලියන 1.4 ක් පමන වූ රජයේ සේවකයින්ගේ වැටුප් සියයට 50 කින් අඩු කරන ලෙස ආන්ඩුවේ ඇමතිවරු දැනටමත් උද්ඝෝෂනය කරති.
පසුගිය සතියේදී කැබිනට් මන්ඩලය නිවේදනය කලේ කොවිඩ්-19 සෞඛ්‍ය සේවා සහ ආරක්ෂක අරමුදල සඳහා මාසයක වැටුප පරිත්‍යාග කරන බවයි. මාසික වැටුපට වඩා ඉහලින් වෙනත් වරප්‍රසාද ලබන ආන්ඩුවේ සහ විපක්ෂ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වැලඳගෙන ඇති “පරිත්‍යාගය” ඔවුන්ගේ මාධ්‍ය ප්‍රයෝගයකි. එය රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදු කිරීම සඳහා මහජන සම්බන්ධතා සූදානම් කිරීමේ ව්‍යායාමයකි.
සති දෙකක අගුලු දැමීම ආවරනය කිරීම සඳහා අඩු ආදායම්ලාභී පවුල් වලට රුපියල් 2,000 ක් ලබා දෙන බව ආන්ඩුව පවසා තිබේ. මෙය දිනකට එක් ආහාර වේලක් සඳහාවත් අගුලු දැමීමේ කාලය තුල ප්‍රමානවත් නොවේ.
විශාල ව්‍යාපාර දියුනු වන අතරම, අත්‍යවශ්‍ය භාන්ඩ සඳහා මිල ඉහල දැමීම නිසා වැඩ කරන ජනතාව පීඩාවට පත් වෙති. ජනවාරියේ සිට උද්ධමන රේට්ටු ඉහල යමින් පවතින අතර පසුගිය වර්ෂය සමඟ ගත්විට ජුනි මාසයේදී සියයට 6.1 ක් සහ ජූලි මාසයේදී සියයට 6.8 ක් ලෙස ඒම රේට්ටු ඉහල ගොස් තිබේ. ජූලි මාසයේදී ආහාර උද්ධමනය සියයට 11 ක් වූ අතර ආහාර නොවන ද්‍රව්‍ය සඳහා සියයට 3.2 ක් විය.
රාජපක්ෂ ආන්ඩුව විදේශ සංචිත පහත වැටීමකට මුහුන දී ඇති බැවින් (ඒවා ප්‍රමානවත් වන්නේ මාස දෙකක ආනයන සඳහා පමනි) අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාන්ඩ ආනයනය කිරීම තහනම් කර ඇත.
සංවර්ධන අධ්‍යයන ආයතනය විසින් මෑතකදී කරන ලද ගෝලීය සමීක්ෂනයකට අනුව, මූලික ආහාර මිලට ගැනීම අසීරුතම රටවල් ලැයිස්තුවේ සිරියාව, නයිජීරියාව සහ ඉතියෝපියාවට පසු ශ්‍රී ලංකාව හතරවන ස්ථානයේ පවතී.
අත්‍යවශ්‍ය ඖෂධ 60 කට උපරිම මිලක් නියම කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පසුගිය සතියේ ගැසට් නිවේදනයක් නිකුත් කලේය.
කෙසේ වෙතත්, ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මාධ්‍ය වෙත පැවසුවේ ඖෂධ බොහොමයක මිල සියයට 9 කින් ඉහල දැමීමට ඔහු ගැසට් පත්‍රය භාවිතා කල බවයි. ගැසට් පත‍්‍රයේ ලැයිස්තුගත කර ඇති ඖෂධ අතර කොවිඩ්-19 ආසාදිතයින් හෝ දියවැඩියාව සහ අධි රුධිර පීඩනයෙන් පෙලෙන අය සඳහා ලබා දෙන වේදනා නාශක ද ඇතුලත් වේ.
විශාල විදේශ නය කන්දරාවක ගිලී, අපනයන ආදායම පහත වැටීමට මුහුනදී සිටින රාජපක්ෂ තන්ත්‍රය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) වෙත යොමු වී ඇති අතර සාමාජික රටවල් සඳහා බැංකුවේ ඩොලර් බිලියන 650 වැඩසටහන යටතේ ඩොලර් මිලියන 800 ක පමන නයක් ලබා ගනු ඇත.
මුදල් සහ ප්‍රාග්ධන වෙලඳපොල පිලිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය සතියේ උද්දාමයෙන් ප්‍රකාශ කලේ, “අපි පුරෝකථනය කල ගලා ඒම එකින් එක සිදුවන” බව යි, එයට ඩොලර් මිලියන 300 ක නයක් චීනය විසින් ලබා දෙන බව ද එකතු කලේ ය.
ජාමූඅ අවධාරනය කර ඇත්තේ නය ලබා ගන්නා ඕනෑම රටක් තම ආර්ථික දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා “ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ සටහන්” ක්‍රියාත්මක කල යුතු බවයි. වෙනත් වචන වලින් කිවහොත්, මෙම නය ගෙවනු ලබන්නේ රාජපක්ෂ ආන්ඩුව විසින් කම්කරු පන්තියට හා දුප්පතුන්ට එල්ල කරන වඩාත් නිර්දය කප්පාදු ප්‍රහාරයන් මගිනි.
Post a Comment