පාස්කු ප්‍රහාරය සහ ඕක්ලන්ඩ් වෙළඳ සංකීර්ණයේ ප්‍රහාරය

 කතුවැකිය

නවසීලන්තයේ අද සිදු වූ තනි ප්‍රහාර ( ලෝන් වුල්ෆ් ඇටෑක්) ගණයට අයත් ත්‍රස්තවාදී  ප්‍රහාරය  අයිඑස් සංවිධානය ඇතුළු ජිහාඩ් ත්‍රස්තවාදීන් විසින් නඩත්තු කරනු ලබන මතවාදය අවබෝධ කරගැනීම සඳහා ලබා දී ඇති තවත් එක් බියකරු අත්දැකීමකි.  කුමන්ත්‍රණ න්‍යායාචාර්යවරුන් විසින් යලි යළිත් ගොඩ නගන තර්ක හමුවේ  මෙරට ජාතික ආරක්ෂාවට අදාළ විෂය ක්ෂේත්‍රය අබියෝගයකට ලක් වී ඇති වටපිටාවක මෙම සිදුවීම ගැන විමසා බැලීම වැදගත් වේ. 

නවසීලන්තයේ ඕක්ලන්ඩ් වෙළඳ සංකීර්ණයේ සිදු ප්‍රහාරය සිදුකළ ඝාතකයා  වසර ගණනාවක් තිස්සේ නවසීලන්ත ආරක්ෂක අංශවල නිරීක්ෂයට ලක් වී සිටි අයෙක් වන අතර මීට පෙර අවස්ථාවකදී අත්අඩංගුවට පත්වූ අයෙකි. ඔහුගේ මෙම ප්‍රහාරය සහ ඔහු ඒ සඳහා අභිප්‍රේරණය කරනු ලැබූ මතවාදය ගැන පැහැදිලි අදහසක් එරට අගමැතිනිය විසින් ඉදිරිපත් පත් කළාය. ඒ අනුව යමින් අදාළ සිදුවීම් ඉතාම විනීතව වාර්තා කිරීමට එරට ජනමාධ්‍යය ආයතන  කටයුතු කොට ඇත. තවත් දින කිහිපයකින් එරට කතෝලික පල්ලියේ අයෙකු හෝ වෙනයම් සිවිල් ක්‍රියාකාරී කණඩායමක අයෙකු ජනමාධ්‍යය ඉදිරියට පැමිණ එරට අගමැතිවරිය හෝ එරට බුද්ධි අංශ ප්‍රධානියා එම ප්‍රහාරය කුමන්ත්‍රණය කළේ යැයි නොකියනු ඇත. මන්ද එරට බොහෝ දෙනෙකු මිත්‍යාවට වඩා විද්‍යාව සහ හේතුව විශ්වාස කරන හෙයිණි. 

2019 වර්ෂයේ සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බ්න්ධයෙන්ද වැදගත් වන්නේ මෙවැනි විද්‍යානුකූල එකඟතාවයකට පැමිණ සමාජ කතිකාවක් ගොඩ නැගීම මිස විවිධ හිතලුමත පදනම් වෙමින් වැරදි මතවාද සමාජය පුරා ප්‍රචාරණය කිරීම නොවේ. අදාළ ප්‍රහාරය සිදුවීමෙන් දින කිහිපයකට පසු රෑන්ඩ් ආයතනයේ විශ්ලේෂකයෙකු ශ්‍රී ලංකා ගාර්ඩියන් පුවත්පතට සඳහන් කළ කාරණය යළිත් අවදාරණය කිරීම මෙහිදී වැදගත් වේ. එනම් ප්‍රහාරය සිදු වූයේ අයිඑස් සංවිධානය ශ්‍රී ලංකාව තෝරා ගැනීමේ ප්‍රතිඵලයක් නිසා නොව අයිඑස්  ඇතුළු ජිහාඩ් සංවිධාන විසින් පතුරුවා හරින මතවාදය ලංකාවේ ඉස්ලාම් අන්තවාදීන් විසින් අභිප්‍රේරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. ඒ වනවිට රාජ්‍යය පරිපාලනය භාරව කටයුතු කළ ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයින් අතර තිබු අභ්‍යන්තර කුළල් කාගැනීම ඒ සඳහා අවශ්‍යය පසුබිම සකස් කරනු ලැබීය. 

නමුත් මෙම සමස්ත සිදුවීමෙන් විපතට පත්වී සිටින අයවලුන් දුකින් මුදා ගැනීමේ නූතන මෝසෙස් බවට තමන් විසින්ම කරගෙන සිටින කතෝලික පල්ලියේ කාදිනල් හිමි සහ මානව හිමිකම් රැකීම අදායම් මාර්ගය කරගෙන සිටින ඇතැම් කණඩායම් සිදුවීම අවභාවිතා කරමින් ඉතාම අවලස්සන දේශපාලනයක නිරත වෙති.  ඔවුහු ප්‍රහාර සිදුවූ දින පටන් විවිධ මතවාද පතුරුවා හරිමින් සමාජය ව්‍යාකූල කිරීම සඳහා අශික්ෂිත දේශපාලනයක් ඈඳා ගනු ලැබීය. 

ඕනෑම රටක බුද්ධි අංශ ක්‍රියත්මක වන ක්‍රමෝපායික පිළිවෙලක් තිබේ. විශේෂයෙන් තොරතුරු හුවමාරු කිරීම සඳහා වෙළඳපොළට හඳුන්වා දී ඇති මෙවලම්  නිසා නූතන බුද්ධි සේවාවන් වල කටයුතු සහ වගකීම් වඩාත් සංකීරණ වී තිබේ. මෙවැනි තත්වයකදී ලැබෙන තොරතුරු බුද්ධි විශ්ලේෂණ බවට පත්කිරීම යනු මහත් පරිශ්‍රමයෙන් කළයුතු කාර්යයකි.  පාස්කු ප්‍රහාරය  දේශපාලනීකරණය කිරීමෙන් සිදුවන්නේ සත්‍යය යටපත්වීම පමණක් නොව සතුරා පෙරට වඩා තවත් උපායසීලි වීමය. 

නවසීලන්තයේ සිදුවූ ප්‍රහාරයවිසින් අපට උගන්වන මූලික පාඩම නම් තනි පුද්ගලයෙකු විසින් මෙහෙයවන ත්‍රස්තවාදී කණඩායම් සහ සදකලිකබව මත නිර්මාණය කර ඇති මතවාදයක් විශ්වාස කරමින් අභිප්‍රේරණය වන ත්‍රස්තවාදීන් අතර ඇති වෙනසයි. මෙම බරපතළ සමාජ උවදුරට කුමන්ත්‍රණ න්‍යායන් වලින් පිළිතුරු සොයාගත නොහැකිය.  කුමන්ත්‍රණ න්‍යායන් වලට කළ හැක්කේ සතුරාගේ මීළඟ ප්‍රහාරය වඩාත් සූක්ෂ්මව කිරීම සඳහා සතුරාට අවශ්‍යය වටපිටාව සකස්කර දීම පමණි. අති උතුම් කාදිනල් හිමිපාණන්ගේ දෑස් විවර කර ඔහුට සහ ඔහු වටා සිටි අයට ඔවුන්ගේ විකාර කුමන්ත්‍රණ න්‍යායන් හැර යාමට ප්‍රඥාව ලබා දෙන ලෙස සර්වබලධාරි දෙවියන් වහන්සේගෙන් ප්‍රාර්තනා කරමු. ආමෙන්!