ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (23) පෙරවරුවේ එහි සභාපති හා හිටපු කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී පැවති අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ආර්. සම්බන්ධන්, මහින්ද සමරසිංහ, බිමල් රත්නායක සහ තලතා අතුකෝරළ ඊට සහභාගී වූහ. ඔවුනට අමතරව සිවිල් සංවිධාන නියෝජිතයන් වන ජාවෙඩ් යූසුෆ් සහ නාගනාදන් සෙල්වකුමාරන් යන ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක හා නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල ද ඊට එක්ව සිටියහ.
සාකච්ඡාව ආරම්භයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෝ සියළුම ස්වාධීන කොමිෂන් සභා වල ප්‍රගතිය සමාලෝචනයට ලක් කළහ. ස්වාධීන කොමිෂන් සභා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට එවා තිබූ කාර්ය සාධන වාර්තා මෙහිදී අවධානයට ලක් විය.
ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත එවා තිබූ ලිපි 02ක් ද මෙහිදී අවධානයට ලක් විය.
මැතිවරණ කාලසීමාවේදී පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිදුකරන පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සහ පත්වීම් ලබාදිම් පොලිස් කොමිෂන් සභාව විසින් මැතිවරණ කොමිසමේ එකඟත්වය ඇතිව සිදුකළ යුතු බව එක් ලිපියක සඳහන් විය.
මේ අවස්ථාවේදී අදහස් දැක්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් කිහිපදෙනෙක් මේ වන විට සිදු කර ඇති පොලිස් ස්ථාන මාරුකිරීම් පිළිබඳව කරුණු මතු කළහ.ඒ අනුව මේ පිළිබඳ පොලිස් කොමිෂන් සභාවේ අවධානය යොමු කරවීමට මෙහිදී තීරණය කරන ලදී.
එමෙන්ම හානිපූර්ණය සම්බන්ධව වන කාර්යාලයේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරුණු අතර එම කාර්යාලයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට හැකි වන ලෙස එම පුරප්පාඩු මීළඟ රැස්වීමේදී සම්පූර්ණ කිරීමටද මෙහිදී තීරණය විය.
ඉන්පසුව කෝවිඩ් 19 වසංගතය මෙරට පවතින තත්ත්වය හා එය වැලැක්වීමට රජය ගෙන ඇති පියවර මෙන්ම ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අනුගමනය කරමින් තිබෙන පියවර ද මහින්ද රාජපක්ෂ විසින් දීර්ඝව පැහැදිලි කරන ලදී.
කෝවිඩ් 19 වසංගතය හමුවේ මැදපෙරදිග රටවල සේවය කරනු ලබන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ගැටළු සොයාබලා එම ගැටළු නිරාකරණය කිරීමට පියවර ගනිමින් සිටින බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේය. එමෙන්ම විදේශ රටවල අධ්‍යාපනය සඳහා ගොස් සිටින සිසුන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට ගනු ලබන පියවර ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
මේ අතර කෝවිඩ් 19 වසංගතය සමඟ රට තුළ ඇති වී තිබෙන ජාතික ව්‍යසනය විසඳීමට පටු දේශපාලන වාසි නොතකා සියළු දේශපාලන පක්ෂ භේදයකින් තොරව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී කරු ජයසූරිය අවධාරණය කළේය.
එමෙන්ම මෙම ව්‍යසනයට මුහුණ දීමේදී විධායකය පසුගිය පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේද අදහස් ලබා ගනිමින් කටයුතු කිරීම සුදුසු වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් කිහිපදෙනෙක්ම අදහස් දක්වමින් කියා සිටිය හ.
පාර්ලිමේන්තුව නැවත කැඳවීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය තුළ පවතින කතාබහ පිළිබඳව අදහස් දැක්වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා පාර්ලිමේන්තුව තමන් විසින් කැඳවා තවත් අර්බුදයක් ඇති කිරීමේ අදහසක් නොමැති බව සඳහන් කළේය.
මෙවැනි ව්‍යවස්ථාමය ගැටළුවකදී අර්ථ නිරූපණයක් ලබා දිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් ලබා දෙන තීන්දුවකදී ඒ අනුව කටයුතු කිරීමට තමන් බැඳී සිටින බවත් ජයසූරිය පැවසුවේය.
එමෙන්ම ලොවටම බලපාන දරුණු වසංගත තත්ත්වයක් පවතින මේ මොහොතේ ව්‍යවස්ථාමය අර්බුදයක් ඇති කර නොගන්නා ලෙස තමන් සියලු පක්ෂ නායකයන්ගෙන් සහ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
Post a Comment