‘ගෝලීය වසංගතයක් යනු ගෝලීය පෙරළියක් සඳහා අවස්ථාවකි‘ - ලැස්ලෝ



දෙබෙදුම අභියස

ඇතැම් මිනිසුන් මානසික අවපාතයට ගොදුරු වී , උමග කෙළවර එළියක් දකින්නට අසමත් වුනත් අප අත් විඳින ගෝලීය වසංගතය තාවකාලිකය; එය , මීට පෙර පැමිණි සෑම මහා වසංගතයක් මෙන්ම දුරුව ගොස් ඉතිහාසයට එකතු වනු ඇත. එහෙත් එය විසින් මිනිස් වර්ගයා වෙත ගෙන එන්නට නියමිත් පරිවර්තන , සමහර විටක , බොහෝ කල් අල්ලා සිටිනු ඇත. මින් ඇති කෙරෙන්නට නියමිත වෙනස් කම් වඩා යහපත් පැත්තට නැඹුරු විය හැකිය . එහෙත් , වඩා නරක තත්ත්වයන් ගෙන ඒමට ද ඒවා තුඩු දිය හැකිය. කරුණු එසේ බැවින් , වඩා යහපත් ලෝකයක් උදෙසා එම වෙනස්කම් හැරවීමට අපට ඇති අවස්ථාව අප විසින් මග හැරිය යුතු නොවේ.

අප මේ කාලයේ ස්ථානගතව සිටින්නේ ‘දෙබෙදුමක්‘ (bifurcation) මධ්‍යයේය (සංකීර්ණ ගතික පද්ධතියක පරිණාමීය ගමන් පථය හදිසි දෙබලකට ඇතුල් වීම ‘දෙබෙදුම ‘නමින් විද්වත්තු හඳුන්වති) වසර ගණනාවක්ම තිස්සේ අප විසින් සාකච්ඡා කරන ලද , පුරෝකතනය කරන ලද ගෝලීය වශයෙන් පද්ධතිමය - සංක්‍රාන්තික සන්දර්භයක් තුළයි අප ජීවත් වන්නේ.

මෙවැනි සංක්‍රාන්තියක් ගැන කරුණු ස්වල්පයක් අපි උගෙන සිටින්නෙමු . එය ගමන් කරන්නේ තනි දිශාවකටයි . ආපසු හැරීමක් නැත . එහෙත් පූර්වනිර්ණිත (not predetermined ) නොවේ - එනම් එහි අවසානය කලින් අවසන් වශයෙන් නිශ්චය වී නැත. එය තෝරා ගැනීම්වලට අවකාශ සලසයි. දෙබෙදුමක දී , අප යා යුතු දිශාව අපට තෝරා ගත හැකිය. මෙවර , මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට , අපට අපේ ඉරණම සවිඥානිකව සහ අරමුණු සහිතව තෝරා ගැනීමට අවකාශයක් තිබේ. එය මිනිසාට දීප්තිමත් ඉරණමක් ප්‍රදානය කරන්නා වූ අවස්ථාවක් - සිහිමත් බවේ සහ සුපුෂ්පිත වීමේ නව යුගයක හිමිදිරිය - විය හැකිය. නමුත් එය එසේ වේ යැයි පූර්වනිර්ණිත නොවේ. එය ඇත්තේ අප අතේය .

අර්බුදයක් යනු අවදානමක් මෙන්ම අවස්ථාවක්

දෙබෙදුම අර්බුදයක් නිර්මාණය කරයි, අර්බුදයක් අප දන්නා පරිදි අවදානමක් වන අතර අනෙක් පැත්තෙන් එය අවස්ථාවක් ද වේ . එය වෙනසක් සඳහා පූර්විකාවකි. අභියෝගය නම් සිහිනුවණින් යුත් සුපුෂ්පිත වන්නාවූ ලෝකයක් කරා යන වෙනසක් තෝරා ගැනීමයි.

මේ අවස්ථාව යථාර්ථයක් වන අතරේම එහි පුනරාවර්තනය ක් සිදුවිමට ඉඩක් නොමැත. එය අල්ලා ගැනීමට අපට නොහැකිවනවා යන්නේ තේරුම නම් , අපට අප සිටි තැනට ආපසු යන්නට සිදුවීමයි ; නමුත් එවිට ඉදිරියේ පවතිනු ඇත්තේ මිනිසුන් වශයෙන් අපගේ සාමුහික විනාශයට ගොදුරු වීමේ විකල්පය පමණයි. මන්ද යත් , පසුගිය දශක කිහිපය තුළ අපි අර්බුද රාශියකට මුහුණ දෙමින් සිටියෙමු . ඒවා බොහෝ වශයෙන් කෝවිඩ් වසංගතය මෙන්ම ගෝලීය ස්වභාවයක් දරති. නමුත් ඒවා වසංගතය ආකාරයේ තාවකාලික තත්ත්වයන් යයි කිව හැකි නොවේ . එමෙන්ම ඒවා වසංගතය මෙන්ම , ඇතැම් අර්ථයෙන් ඊට වඩා නරක හා භයානක තත්ත්වයන් මිටි කරගෙන සිටිති.

උදාහරණ වශයෙන් කිවහොත් ; දුගීබවින් හා සාගින්නෙන් මිලියන ගණනින් ජනයා මිය යති - වසංගත හා ප්‍රචණ්ඩත්වය විසින් තවත් මිලියන ගණන් බිල්ලට ගනු ලැබේ . අවතැන් වූ සරණාගතයින් ලක්ෂ ගණන් විසින් එන්න එන්නම සංඛ්‍යාත්මකව දෙගුණ තෙගුණ වන සමාජවල වියමන ඉරා දමනු ලැබේ . අවාරික නියඟය වඩ වඩා ව්‍යාප්ත අකාරයෙන් සරු හරිත බිම් ශුෂ්ක අජීවී තැනිතලා බවට හරවමින් තිබේ. ඉහළ යන මුහුදු මට්ටම් විසින් ග්‍රහලෝකයේ මිනිස් වාසභූමිවලින් තුනෙන් එකක් යටකරමින් තිබේ . ප්‍රචණ්ඩ කුණාටු තත්ත්වයන් විසින් දුප්පත් පොහොසත් භේදයක් නොතකා මිනිස් වාසස්ථාන විනාශ කරමින් තිබේ. දේශීය මට්ටම්වල ගැටුම් උග්‍රව ගොස් කලාපීය යුද්ධ බවටත් , අනතුරුව ගෝලීය මට්ටමේ න්‍යෂ්ටික අභිමුඛන බවටත් හැරීමේ ප්‍රවණතාවක් අද අපි දකින්නෙමු 

මේ ලැයිස්තුව තව බොහෝ දිගු කළ හැකිය. එහෙත් , නිගමනය ඉතා පැහැදිලිය. අප විසින් නිර්මාණය කරන ලද අධාරණීය හෙවත් ඔරොත්තු නොදෙන ක්‍රියාවලීන් අවසානයේ ඉරණම්කාරී හෙළුම් ලක්ෂ්‍යයකට - ආපසු හැරීමක් නැති අප්‍රතිවර්ත්‍ය ලක්ෂ්‍යය ට - ලඟා විය හැකිය. අපි එක්කෝ සිහිනුවණින් සහ තිරසාර ආකාරයට ජීවත් වීමට ඉගෙන ගත යුතුය. නැත්නම් අපි ඉතිහාස වේදිකාවෙන් බැස යා යුතුය. මේ වනාහී න්‍යායික භූමියේදී අපි උගත් පාඩමයි. දැන් අපි ඒ පාඩමට ප්‍රායෝගිකව මුහුණ දී සිටිමු .

අවුල්කාරී වෙනස : මහා පෙරළියකට පූර්විකාවකි

පූර්ව-වසංගත ලෝකයේ ‘ සාමාන්‍ය ‘ තත්ත්වයට ආපසු එළඹීම - නොහොත් සාමාන්‍ය ජීවිතය කරා ආපසු යෑම , එම ප්‍රතිමාන සහ භාවිතාවන්ට , එම වටිනාකම් සහ පිළිගැනීම්වලට ආපසු යෑම වූ කලී සියදිවි නසාගන්නවා වැනි වැඩකි . වාසනාවට එසේ කළ නොහැකිය. එය එලෙස වීම අප සතු විකල්ප මාවත ගැන අනියම් අවධාරණයක් වැනිය. අපගේ ජීවිත රාමු කරන ලද්දාවූ සමාජ , ආර්ථික, දේශපාලන, සහ සංස්කෘතික පද්ධතින් ඒවායේ මුල්වලට යන තුරු සොලවමින් තිබේ. දැන් අවුල්කාරී පෙරළියක් සිදු වෙමින් පවතී . එය මහා පෙරළියකට පූර්විකාවකි. නමුත් මතක තබා ගත යුතු කාරණය නම් : මහා පෙරළිය එක්කෝ අර්ථසාධනීය විය හැකිය - නිර්මාණාත්මක විය හැකිය , නොඑසේ නම් විනාශකාරි ද විය හැකිය

එක පැත්තකින් බලන කල ගෝලීය වසංගතය වෙස්වලාගෙන එන ආශීර්වාදයකි. අපි එකම ගෝලීය පවුලක් බව එය අපට උගන්වයි. අපි වනාහි අන්තර් - පරායත්ත , එකිනෙකා මත රඳා සිටින්නාවූ , සහ-විකාසනය වන්නාවූ , නැතහොත් සහ -සාරෝපණය වන්නාවූ ජෛව පද්ධතියකි. අප අපට ප්‍රදානය කෙරී ඇති මේ මහඟු අවස්ථාව මග හැරියොත් ගොඩ එන්නට බැරි අර්බුද අගාධයකට වැටෙන්නෙමු , එහෙත් අප එය වැඩදායක ලෙස භාවිතා කළොත් අපට වඩා යහපත් ලොවක් නිර්මාණය කළ හැකිය.

අපට මෙතැන එක්තරා සුවිශේෂ පාඩමක් ඉගෙන ගැනීමට තිබේ . ෆ්රැන්ක්ලින් ඩි රූස්වෙල්ට් ජනාධිපතිවරයා ඔහුගේ පදවිප්‍රාප්ත දෙසුමේදී , අපි බිය විය යුත්තේ බියට පමණයි කියා කීවේය. අද්‍යතන ලෝක සන්දර්භයට ගැලැප්පීමේදී එය සැබැවින් අදාළ සහ අර්ථසම්පන්න සංදේශය ක් බවට පත්වේ. සුසමාදර්ශී පිම්මකට යා නොදී අපව පාගන බියෙන් අපි අත්මිදෙන්නෙමු නම් අපට වඩා යහපත් ලොවක් නිර්මාණය කළ හැකිය. වඩා යහපත් ලෝකයක් අප වෙනුවෙන් බලා සිටී. අපට බිය වීමට තිබෙන්නේ බියට පමණයි.


(මහාචාර්ය අර්වින් ලැස්ලෝ, කෝවිඩ් 19 වසංගත තත්ත්වය ගැන පසුගිය දා ප්‍රසිද්ධ කළ රචනාවක සිංහල පරිවර්තනය)


සටහන - ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන