එසේ නම් අප කළ යුත්තේ කුමක්ද ?
නිර්මාණශීලී ලෙස හිතන්නට, නව මානයකින් පරිකල්පනය කරන්නට - ඉහළ ලංසුවකින් ප්‍රාර්ථනා කරන්නට සහ එම අපේක්ෂාවන් පල ගැන්වීම් උදෙසා ක්‍රියාත්මක වෙන්නට අප නොබිය විය යුතුය. එහෙත් අප ක්‍රියාත්මක විය යුත්තේ සම්පූර්ණයෙන් අලුත් ආකාරයකටය ; එනම් , හරියට අපේ ග්‍රහලෝකයේ ජෛව ජාලයේ ඓන්ද්‍රීය පුරුකක් ක්‍රියාත්මක විය යුතු ආකාරයෙන්ය ; ඊට පිටස්තරව සිටින ඊට ආගන්තුක බලවේගයක් ලෙස නොවේ. අප අතර බොහෝ දෙනෙක් තේරුම් නොගත්තත් , ඒ අනුව ක්‍රියාත්මක නොවුනත් ඇත්ත වශයෙන් අපේ සැබෑ ස්වභාවය නම් එයයි.
අපි අපේ ග්‍රහ ලෝකයට හානි කළෙමු, ඒ හේතුව නිසා, අපටමද හානි කරගත්තෙමු. අපි අන්තර් -සබැඳියාවේ මූලධර්මය නොසලකා හැරියෙමු. ජීවිතයාගේ ඒකාබද්ධතාවය කෙරෙහි අන්ධ වූයෙමු. ඉතින් , වඩා උසස් පරමාර්ථ දැන් අපට තිබිය යුතුය. ‘පළමුව අපේ ජනතාව, අපේ ජාතිය‘ යන යල් පිනූ සූත්‍රයේ යුගය දැන්වත් අපි පසුකර යා යුතුය.; ‘පළමුව සියලු මනුෂ්‍යත්වය’ පවා දැන් ඉතින් පරණයි . මේ පෘථිවිය මත පවතින්නා වූද විකාසනය වන්නා වූද ජෛව ජාලය පළමුව ! ඒ ජාලය සුරක්ෂිත ද , එසේ නම් අපද සුරක්ෂිතය ; අන්න එවිට අපට අර්බුදයෙන් අර්බුදයට ගමන් නොකර , සුපුෂ්පිත වීමට මාර්ගය පැනෙනු ඇත.
අපේ ශරීරය පූර්ණ භාවයෙන් පවතින විට එය නීරෝගිමත්ය. මනුෂ්‍යත්වයේ ශරීරය ද එය පූර්ණව පවතින විට නිරෝගිමත් වනු ඇත- පෘථිවිය මත පවතින්නාවූ, සරන්නාවූ සියළුම ජීවීන් භාරගෙන අගයන්නේ කවදාද , අන්න එවිට මනුෂ්‍යත්වය පූර්ණත්වයට පැමිණෙනු ඇත. ඇත්ත වශයෙන් අපි මෙය දනිමු ; අපි මෙය සෑමවිටම දැන සිටියෙමු. එහෙත් නූතන යූගයේ දී මුදල් සහ බලය සඳහා වූ අපේ අසිහිමත් නිනව්වක් නැති දිවිල්ල තුළ මේ දැනුම අපි යටපත් කර දැමීමු. උත්කෘෂ්ට මිනිස් බුද්ධිප්‍රභාවන් අපි විශාල වශයෙන් වැය කර ඇත්තේ කෙටිකාලීන තෘෂ්ණාභරිත ඉලක්ක හඹා යෑම සඳහායි.
අපි මේ වනවිට විස්මජනක ශක්ති හා සන්නිවේදන තාක්ෂණයන් වර්ධනය කර ඇත්තෙමු. එහෙත් අපි ඒවා භාවිතා කරන්නේ විපාක ගැන නොසිතා අපේ අරමුණු කෙසේ හෝ සාක්ෂාත් කර ගැනීමේ පටු මනසින්ය මෙහි ප්‍රතිපලය වන්නේ අපේ තාක්ෂණයන් අපේ කෙටිකාලීන උවමනාවන්ට පෑහුනත් ඒවා අපේ දීර්ඝකාලීන අවශ්‍යතාවන් කෙරේ සපුරා අන්ධ වීමයි.
අපේ සමහර තාක්ෂණ විශේෂ ඒවාට ම අයත් ස්වායත්ත ජීවිත වර්ධනය කරගනිමින් සිටිති . ඒවා මිනිස් ජීවිතය සහ මිනිස් ලෝකය අළුතින් හැඩගස්වති. මෙය අනතුරුදායක තත්ත්වයකි.; අනුෂාංගික අලාභහානි වර්ග කිහිපයක්ම වෙත - මාරක වෛරස් වර්ග වැනි අර්ධ -ජෛව ඒකකයන් වැනි දේ නිර්මාණය කිරීම දක්වා - අප ඉන් තල්ලු විය හැකිය.
හිතකර සංතුලනයක් දිනා ගැනීමේ අවශ්‍යතාව
අපේ තාක්ෂණ අපේ අවශ්‍යතාවන්ට සේවය කරන අතරේ ඒවායේ සුරක්ෂිත බවද අපි සහතික කර ගත යුත්තෙමු . මෙයින් අදහස් කෙරෙන්නේ, පෘථිවිය මත සකල ජීවය ට සුසංවාදී ව සුපුෂ්පිත වන්න ට අවකාශයක් ලබා දෙන්නාවූ හිතකර සංතුලනයක් සාක්ෂාත් කර ගැනීමයි . එය අති -දැවැන්ත කාර්යභාරයකි. එහෙත් ඒ සඳහා ප්‍රෝත්සාහි වෙද්දී , අපේ ආයතන සහ බලාධිකාරියේ සීමිත ඥානය මත පමණක් විශ්වාසය තැබීම ප්‍රමාණවත් නැත, නොහොත් අනතුරුදායකය .
අපේ සැබෑ මාර්ගෝපදේශකත්වය එන්නේ ඉහළින් හෝ දුර සිට නොවේ - එය එන්නේ ඇතුළින් සහ පහළිනි .
එනම් , අපි අපේ මාර්ග සංඥා උකහා ගත යුත්තේ , අපි කවුද , අප එකීනෙකා සමගින් මෙන්ම ස්වභාවික පරිසරය සමග සම්බන්ධව සිටින්නේ කෙසේද යන්න පිළිබඳ සංවේදනාවන් ඔස්සේ යි. අපේ සැබෑ බලාධිකාරිය ගැඹුරුය , ප්‍රඥාවන්තය; ඒ වනාහී අපේම ගැඹුරු අභ්‍යන්තරයයි.
ජෛව ජාලය : සහසම්බන්ධිත සුසංවාදී පද්ධතියක්
ජෛව ජාලයක සංරචකයක් වීමේ තේරුම ගැන මොහොතක් සිතන විට මේ සත්‍යය අප ඉදිරියේ දිස් වේ ; එකී ජාලය සකස්වීමට එය චලනය වීමට බලපාන්නාවූ කවර බලයක් හෝ බලපෑමක් ක්‍රියාත්මක වන්නේ ‘ අප තුළින්මය , අප හරහාය’- එය අපේ සවිඥානික සහ අවිඥානික මනසේ දැනටමත් අන්තර්ගතය. එබැවින් , ජීවිතය යනු වඩාම ශක්තිවන්තයා ජයගන්නා හුදු කැලයක් නොවන බවත් , එය, සහනුකම්පනයෙන් ද , අයත්ව සිටීම පිළිබඳ සංවේදනයෙන්ද , සහ අවසානයේ කොන්දේසි විරහිත ආදරයෙන්ද මෙහෙයවෙන්නා වූ අනෙයෝන්‍ය වශයෙන් සුසංවාදී පද්ධතියක් බව අප ඉවෙන් සහ අන්තර්ඥානයෙන් දනිමු . එසේම , මේ වූ කලී හුදෙක් ආගමික අනාගතවක්තෘන් සහ ආධ්‍යාත්මික ගුරුවරුන් අද අපට කියා සිටින දෙයක් ම නොවේ; පොළොවේ පය ගසා සිටින ක්වන්ටම් භෞතික විද්‍යාඥයන්, ක්වන්ටම් ජීව විද්‍යාඥයන් සහ පාරපුද්ගල මනෝවිද්‍යාඥයන් කියන්නේත් මෙයමයි.
ධනය සහ බලය හඹා යන හුස්මකට ඉඩ නැති නිර්දය දිවිල්ල විසින් දෙන සියළු සංවේදනයන් සහ උත්තේජනය න්ට වඩා සිය අභ්‍යන්තරයෙන් ලැබෙන මාර්ගෝපදේශකත්වය හොඳට ම නිරෝගිමත්ය. අප වනාහි සමාජ සත්වයින් වෙමු . ඉදින් , අපගේ ඒ ස්වභාවයට අනුකූලවම ජීවත් විය හැකිය . එලෙස ජීවත් වීම අපටත් ලෝකයටත් හිතකරය . ස්වයංකේන්ද්‍රීය සහ කෙටිකාලීන තෘප්තීන් හඹා යාමට සාපේක්ෂව අනෙකා සහ පරිසරය සමග සුසංවාදීව ජීවත්වීම වඩා නිරෝගිමත්ය , වඩා සන්තුෂ්ටිජනකය, මහත් පල මහත් ආනිසංස ලබා දෙන සුලුය.
වඩා යහපත් ලොවක් නිර්මාණය කිරීම වනාහී අපේ යුගකාරක කාර්යභාරයයි
අපේ ජීවන රටාවන් සහ අපේ ඉරණම කරා යන මාවත ගැන තීරණයක් ගත යුතු මේ මොහොතේ අළුත් ‘ පරම නිර්ණායකයක්’ පැනී ඇති බව අප දැකිය යුතුය; අපේ ජීවිතයත් අපේ ඉරණමත් අපේ අතට ගත හැකිය . ලෝකයේ අප බලාපොරොත්තු වන වෙනස කුමක්ද , එය අපම විය හැකිය . ගෝලීය දෙබෙදුම් මොහොතක , අප අපේ ඉරණමේ ස්වාමීවරුන්ය. අප වටහා ගත යුත්තේ මේ මූලධර්මයයි , අප භාවිතාවට නැගිය යුත්තේ මෙයයි. අපේ නිරෝගිමත් බව , අපේ යහපැවැත්ම , ඇත්ත වශයෙන් මිහිපිට අපේ පැවැත්ම ම මේ කරුණ මත රඳා පවතින්නේය.
ගෝලීය පෙරළියක් සඳහා දොර හැර දීම ගැන අප ගෝලීය වසංගතයට යම් අර්ථයකින් ස්තුතිවන්ත විය යුතුය . මනුෂ්‍යත්වයේ බලයට සහ මනුෂ්‍ය ජීව ගුණයේ විභවයන්ට ගැලපෙන වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමට මාර්ගය දැන් හොඳින්ම විවෘතය. වසංගතයේ රැල්ල හීන වෙමින් ඉතිහාසයට එක්වෙන අවස්ථාව වඩා යහපත් ලොවක් නිර්මාණය කිරීමේ යුගකාරක කාර්යභාරය සඳහා අපට ලැබෙන අවස්ථාවයි. මීට වඩා උද්වේගකර මීට වඩා වැදගත් කාර්යභාරයක් මනුෂ්‍ය ඉතිහාසයේ කිසි කලෙක තිබී නැත.
(මහාචාර්ය අර්වින් ලැස්ලෝ, කෝවිඩ් 19 වසංගත තත්ත්වය ගැන පසුගිය දා ප්‍රසිද්ධ කළ රචනාවක සිංහල පරිවර්තනය)
සටහන - ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
සබැඳි ලිපි
Post a Comment