උසස් තාක්ෂණ සිසු ගැටළු වලට බන්දුලගෙන් විසඳුම්



අන්තර් උසස් ජාතික ගණකාධිකරණ පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (3) දින උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙත පැමිණි අතර එහි දී විෂය භාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය අමතා අවධාරණය කළේ තමන් සිසු ගැටළු වලට කඩිනම් විසඳුම් ලබාදෙන බවයි. 

මෙහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ,  

‘‘උසස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලබන සිසුන් තුළ විශාල වැරදි වැටහීමක් ඇතිවෙලා තිබෙනවා එම ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් වෙනත් අමාත්‍යංශයකට පවරා ඇති බවට. අතිගරු ජනාධිපතිතුමා ව්‍යවස්ථානුකූල ව මට පවරා තිබෙන අමාත්‍යංශ ආයතන 69 අතරේ මේකත් එකක්. එය උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ මිස වෙනත් අමාත්‍යංශයක් යටතේ පවතින්නේ නැහැ. ජනාධිපතිතුමා පවරා දීමෙන් පසුව මා විසින් රාජ්‍ය අමාත්‍යතුමාට ආයතන පවරා දීමක් හැරෙන්නට අමාත්‍යංශ මාරු කිරීමක් සිදු වුණේ නැහැ. ශිෂ්‍යයන්ට අවබෝධ වෙලා තිබෙන්නේ මෙය රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මැතිතුමා යටතේ වෙනත් අමාත්‍යංශයකට පවරලා කියලා. නමුත් එය එසේ නොවෙයි. ඒවගේ ම මම නැවත කැබිනට් මණ්ඩලයට මේ පිළිබඳ ඉදිරි කැබිනට් මණ්ඩලයේ දී ම කරුණු පැහැදිලි ව ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා.

සිසුන්ගේ ඊළඟ ඉල්ලීම තමයි මේ අයගේ ඩිප්ලෝමා පාඨමාලාවන් උපාධියක් දක්වා උසස් කිරීම. අපි දන්නවා උසස් තාක්ෂණ ආයතන තිබෙන්නේ විශ්වවිද්‍යාල පනත යටතේ නොවෙයි. විශ්වවිද්‍යාල පනත වෙන ම එකක්. විශ්වවිද්‍යාල විද්‍යායතන වෙන ම පනතක් යටතේ තියෙන්නේ. මේ වනවිට ත් ඒ ඒ ආයතනවලට අදාළ ව වෙන ම කමිටු පත්කොට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා වෙන ම කමිටු අපි පිහිටුවලා තිබෙනවා. මේ දරුවන්ගේ ආයතනය සම්බන්ධව පත්කොට තිබෙන කමිටුවට සෑම උසස් තාක්ෂණ ආයතනයක ම නියෝජිතයා බැඟින් අවශ්‍ය නම් ඇතුළත් කරන්නට පුළුවන්. ඔබ කැමති නම් ලිඛිත ව ඔබේ යෝජනා ඉදිරිපත් කරන්නට ත් පුළුවන්.

ඒවගේ ම උසස් තාක්ෂණ ආයතන සඳහා ඇතුළත් වන සිසුන්ගෙන් කිසිදු මුදලක් අය නොකරන බව ද ස්ථිර ව ප්‍රකාශ කරන්නට පුළුවන්. ඒ පිළිබඳව ත් ඔවුන්ට ලැබී තිබෙන්නේ වැරදි තොරතුරු. ඔවුන් වෙනුවෙන් ලබාදෙන මහපොළ වාරිකය රු.2500 මුදල වැඩි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. නමුත් එය සිදු කළ හැක්කේ අය-වැයක් තුළින්. ඒ විතරක් නොවෙයි පසුගිය කාලය තුළ මහපොළ මුදල් කෝටි ගණන් හොරකම් කරලා. නමුත් නැවත වතාවක් ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා වගේ ලොතරැයියක් හඳුන්වලා දීම, මහජනතාවගේ ආධාර, සුබපතන්නන්ගේ ආධාර ආදිය තුළින් මහපොළ ශක්තිමත් කරන කටයුත්ත ත් අපි කරනවා. යනුවෙන් ද පැවසී ය.‘‘ යන්නයි.