මෙරට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධ සේවාවන් වෙත ප්‍රවේශය වැඩිදියුණු වේ


ශ්‍රී ලංකා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2016දී සිදුකරන ලද ජනවිද්‍යාත්මක හා සෞඛ්‍ය සමීක්ෂණය අනුව, ශ්‍රී ලංකාවේ කිසියම් කලෙක විවාහ වී සිටි වයස අවුරුදු 15-49 අතර කාන්තාවන් අතරින් 17%ක් සමීපතම සහකරුගේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී තිබේ. ශ්‍රී ලංකාවේ තරුණ පුද්ගලයන් අතරින් 50%කට තම ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධයෙන් ඇත්තේ සීමිත දැනුමක් බව සහ විවාහක කාන්තාවන් අතරින් 35%ක් කිසිදු ආකාරයක ප්‍රතිසන්ධිරෝධක භාවිතා නොකරන බව ද සමීක්ෂණය විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී. 

ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සහ හිමිකම් පිළිබඳවත්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳවත් දැනුම අඩුකම එකිනෙක සමග සමීපව සම්බන්ධ ය. එපමණක් නොව, ඒ හේතුවෙන් කාන්තාවන්ට සහ තරුණ පුද්ගලයන්ට රටේ සාමය, වර්ධනය සහ සංවර්ධනයට දායක වීම ද අපහසු වේ. 

පසුගියදා (31) එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ එහි ක්‍රියාත්මක කිරීමේ හවුල්කරුවන් වන කාන්තා පිහිට (Women in Need), කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය (Women Development Center), යාපනය සමාජ ක්‍රියාකාරිත්ව මධ්‍යස්ථානය (Jaffna Social Action Center) සහ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPA)   2020 වසරේ වැඩ සැලසුම් අත්සන් තැබූ හ. ඒවායේ අරමුණ වන්නේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය තොරතුරු වෙත ප්‍රවේශය අඩුකම යන ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කිරීමයි. 

මෙම හවුල්කාරිත්වය ක්‍රියාත්මක වන්නේ ජපාන රජය විසින් සපයන ලද ඩොලර් මිලියන 1.4ක ව්‍යාපෘති ආධාර මත ය. එය වනාහි කාන්තාවන් සහ තරුණ පුද්ගලයන් රටේ සාමය, ආරක්ෂාව සහ සංවර්ධනය පවත්වාගෙන යාම සඳහා කරනු ලබන දායකත්වය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමග වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ පුළුල් ඇපකැපවීමක කොටසකි. මෙම වැඩසටහනෙහිදී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල, සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය එක්ව වැඩ කරති.