''නව සන්ධානය ලියාපදිංචි කර අවසන් - එජාපය අතාරින්නේ නෑ'' - අජිත් පී. පෙරේරා


තමන් ඇතුළු පිරිස කිසිවිටෙක එජාපයෙන් ඉවත් වන්නේ නැති බවත් නව සන්ධානයේ ලියාපදිංචි කිරීමේ කටයුතු ද අවසන්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා අද (11) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පෙන්වා දුන්නේ, 

රටේ මිනිස්සු ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස

‘‘රටේ මිනිස්සු ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස නිසා, ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීමේ විභවයක් තියෙන්නේ සජිත් ප්‍රේමදාසට නිසා, ඡන්දේ ඉල්ලන අපි කැමතියි සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ඉදිරිපත් වන නිසා, අපේ සන්ධානයේ අනෙක් පක්ෂ කැමති වෙන්නේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිහිටවන නීත්‍යනුකූල, අලුත් දේශපාලන පක්ෂයක් හරහා සන්ධානයක් තුළින් මැතිවරණයට තරඟ කිරීමට නිසා, ඒ අදහසට ගෞරවය සහිතව තමයි මේ එකඟතාවයන් ඇතිවුණේ. ඒක බොහොම පැහැදිලියි.

දැන් ඊයේ රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමාගේ නමට එකඟතාවය පළකරන අතර අර මුල් එකඟතාවයෙන් පිටුපසට යාමට උත්සහයක් ගත්තා. ඒක කිසියම් සංවිධානාත්මකව සිදුවෙච්ච බව නිරීක්ෂණය වුණා. මෙහෙම කරන එක හරි වැරදියි. අපි එකඟතාවයන් මත ඉදිරියට ගියත් ප්‍රශ්න විසඳගන්න එකයි කරන්න ඕන. අලියා ලකුණින් තරඟ කරන්න අපි ඔක්කොම කැමතියි. 

හැබැයි, අලියා ලකුණින් අපි තරඟ කරනවා නම් රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා ලේකම්ධූරය දරන, නව සන්ධානයට අලියා ලකුණ නීත්‍යනුකූලව ලබාදිය යුතුයි. මැතිවරණ කොමසාරිස්තුමාට දැනුම්දීලා, එජාපයේ අලියා ලකුණ අත්හැරලා නව සන්ධානය සඳහා එක්සත් ජාතික පක්ෂයේ කැමැත්තෙන් අලියා ලකුණ ලබාදුන්නොත් ඒ අවුරුදු 70 තිස්සේ අපි තරඟ කරපු, අපේ ජීවිත වලට බද්ධවෙච්ච අලියා ලකුණින් තරඟ කරන්න අපි සූදානම්. 

අපි අලියට ආදරෙයි 

දැන් එහෙම කියලා කිව්වම ඒකට මුකුත් උත්තරයක් නෑ. දැන් නාමික සන්ධානයක නායකයා වෙන්න, නාමික පක්ෂයක ලේකම් වශයෙන් මද්දුමබණ්ඩාර මැතිතුමා වැඩකරන්න, ඒකට එතුමාලා ලෑස්තිත් නෑ, අපි ලෑස්තිත් නෑ. එහෙම කරලා මිනිසුන්ව රවට්ටන්නත් බැහැ. 

අලුත් නායකත්වයක් අවශ්‍ය ඇයි, අලුත් ප්‍රතිපත්ති, වැඩපිළිවෙලක්, මහ ලේකම් අවශ්‍ය ඇයි, ජනතාව ඉල්ලන, ජනතාවට තේරෙන, අපිට මැතිවරණ ජයග්‍රහණයක් සඳහා යා හැකි පරිසරය සකස්වෙන්න ඕන. ඒ නිසා අලියා ලකුණ නීත්‍යනුකූලව මෙම රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමාගේ ලේකම් ධූරයෙන් යුතු නව සන්ධානයට, නව දේශපාලන පක්ෂයට ලබාදීමට සූදානම් නම් අපි දොහොත් මුදුන් නගා අලියා භාරගන්නවා. අපි අලියට ආදරෙයි. අපි සන්ධානයෙන් තරඟ කළා කියලා එජාපය අතාරින්නේ නෑ. අපි හොඳ යූඑන්පී කාරයෝ. නොම්බර 1 යූඑන්පී කාරයෝ. කවදාවත් මේ පක්ෂය දාලා යන්නේ නෑ. එජාපය අපේ පක්ෂය. හැබැයි, සන්ධානය කියන්නේ එජාපයට වඩා ලොකුයි...‘‘ යන්නයි.