මහ බැංකු වෝහාරික විගණන වාර්තාවන් ප්‍රසිද්ධියට පත් කළ යුතුයි


ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) වෝහාරික විගණන වාර්තාවන්හි ඇතුලත් කාරණාවන් හැකි ඉක්මනින් මහජනතාවට හා පාර්ලිමේන්තු නියෝජිතයන්ට අනාවරණය කරන මෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) කතානායකවරයාගෙන් ඉල්ලා සිටී. මෙම වාර්තාවන් රාජ්‍ය ව්‍යවසාය පිලිබඳ කාරක සභාවට (COPE) කැඳවීමට සහ පාර්ලිමේන්තු පෙර සැසි වාරයේදී විවාදයට ගැනීමට නියමිතව තිබුණි. කෙසේවුවද, අදාළ වාර්තාවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විවෘතව සංසරණය වීම වැලැක්වීමට නීතිපතිවරයා විසින් කතානායකවරයාට උපදෙස් දීම සම්බන්ධයෙන් TISL ආයතනයේ අවධානය යොමුව තිබේ.

TISL ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ අසෝක ඔබේසේකර පැවසුවේ නීතිපති දෙපාර්තුමේන්තුවේ ආයතනික ව්‍යුහයේ සැකැස්මේ ඇති දෝෂයන්  හේතුවෙන්, නීතිපති දෙපාර්තුමේන්තුව රජයේ නඩු පවරන්නා හෙවත් රජයේ අභිචෝදක වශයෙන් සහ ආණ්ඩුවේ නීති උපදේශකවරයා වශයෙන් සපයන ද්විත්ව භූමිකාව, අභිලාෂයන් අතර ඝට්ටනයකට තුඩු දෙනු ඇත. නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් කෙතරම් නිර්ව්‍යාජ අයුරින් කටයුතු කලද, වෝහාරික විගණන වාර්තාවන් නිකුත් කිරීමේ සිදුවීමට අදාළව, නීතිපති දෙපාර්තුමේන්තුවේ ද්විත්ව භූමිකාව තුළ, රජයේ සුභසිද්ධිය හා මහජන සුභසිද්ධිය සමපාත වනවාද යන්න මහජනතාව විසින් ප්‍රශ්න කිරීම ස්වභාවික වන බවය.

TISL ආයතනය කතානායකවරයාගෙන් ඉල්ලා සිටින්නේ, වෝහාරික විගණන වාර්තාවන් හෙළිදරවු කරන ආකාරය පිලිබඳ  ඔහුගේ තීරණය ප්‍රකාශ කිරීමේදී, රාජ්‍ය මුල්‍ය පිලිබඳ ඉහලම අධික්ෂකවරයා වශයෙන් පාර්ලිමේන්තුවට ඇති ව්‍යවස්ථාපිත බලය පිලිබඳ මුලික සැලකිල්ලට භාජනය කරන ලෙසයි.

මෙම වෝහාරික විගණන වාර්තාවන් පෙර නොවූ විරූ විෂය පථයක් හෙළිකරනු ලබන අතර දීර්ග කාලයක් තිස්සේ පවතින රාජ්‍ය මුල්‍ය කළමනාකරණයේ අක්‍රමිකතාවයන් ඉස්මතු කිරීමට මුලික අඩිතාලමක් සපයනු ඇත. මහජන සුපරික්ෂාකාරීබව, වගවිමෙහි ප්‍රධාන ගාමක   බලවේගය බව සිත් හි තබාගෙන, රුපියල් මිලියන 900ක මහජන බදු මුදල් වැය කරමින් සකස් කරන ලද මෙම වාර්තාවන්, මහජනතාවගේ සහ ඔවුන් විසින් තෝරා පත් කරගන්නා ලද මහජන නියෝජිතයන්ගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධියට පත් කල යුතු බවත්,මෙම වෝහාරික විගණන වාර්තාවන් වලින් හෙළි කරගත් කිසියම් වැරදි ක්‍රියාවක් වේ නම්, එහි ප්‍රතිවිපාක භුක්ති විඳීමටද සිදුවන්නේ මහජනතාවට බව අප මතක තබාගත යුතු බවත්, ඔබේසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වෝහාරික විගණනයන් සිදුකිරීම සැලසුම් කරන ලද්දේ මහබැංකුවේ මුදල් මණ්ඩලය විසිනි. එම විගණනයන් හි විෂය පථය සකස් කිරීමේදී, නීතිපතිවරයාගේ සහ විගනකාධිපතිවරයාගේ උපදෙස් ලබා ගන්නා ලදී. ගෝලීය පරිචයක් සහ ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත විගණන සමාගම් මගින් සිදුකරන ලද මෙම ක්‍රියාවලිය විගණනයන් පහකින් සමන්විතය.



1. 2002 ජනවාරි 01 දින සිට 2015 පෙබරවාරි 28 දින දක්වා කාලය ඇතුළත රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම

2. 2002 ජනවාරි 01 දින සිට 2015 පෙබරවාරි 28 දින දක්වා කාලය ඇතුළත නිකුත් කරන ලද/ගනුදෙනු කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ කරගෙන සේවක අර්ථසාධක අරමුදල මගින් සිදු කරන ලද ප්‍රාථමික හා ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු

3. 1998 ජනවාරි 01 දින සිට 2017 දෙසැම්බර් 31 දින දක්වා කාලය ඇතුළත සේවක අර්ථසාධක අරමුදල මගින් ලැයිස්තුගත කළ හා ලැයිස්තුගත නො කළ කොටස්වල කරන ලද ගනුදෙනු

4. 2015 පෙබරවාරි 01 දින සිට 2016 මාර්තු 31 දින දක්වා කාලය ඇතුළත රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම හා ලැබුණු මුදල් මහා භාණ්ඩාගාරයට සම්ප්‍රේෂණය කිරීම

5. තෝරා ගත් ප්‍රාථමික වෙළෙඳුන් සම්බන්ධයෙන් 2009 ජනවාරි 01 දින සිට 2017 දෙසැම්බර් 31 දින දක්වා කාලය ඇතුළත රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරී/බැංකු නො වන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් කරන ලද අධීක්ෂණ හා නියාමන කාර්යභාරය පිළිබඳ ව