වූහාන් සිට පැමිණෙන අය වෙනුවෙන් දියතලාවේ රැඳවුම් මධ්‍යස්ථානයක්


කොරෝනා වෛරස් උණ රෝගය තදින්ම පවතින චීනයේ වූහාන් ප්‍රාන්තයේ සිට පැමිණෙන සියලුම ශ්‍රී ලාංකික සිසුන් දියතලාව යුධ හමුදා කඳවුරු පරිශ්‍රයේ විශේෂ රැඳවුම් මධ්‍යස්ථානයක සති දෙකක කාලයක් නිරෝධායන කටයුතු සඳහා රඳවා තැබීමට රජය කටයුතු යොදා ඇතැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි පැවසුවාය.

චීනයේ සිට පැමිණෙන සෙසු ශ්‍රී ලාංකිකයින් සහ චීන ජාතිකයින් පිලිබඳ විස්තර ගුවන් තොටුපොළේ දී ලබා ගන්නා අතර පසුව ඔවුන් වාසය කරන ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මඟින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කරන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇය පෙන්වා දුන්නාය. 

මේ අතර දැනට කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බව හඳුනාගෙන අංගොඩ උණ රෝහලේ රඳවා සිටින චීන ජාතික කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති බවත්, ඇයට තවදුරටත් ප්‍රතිකාර ලබාදෙන බවත් මෙහි දී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මෙහි දී කියා සිටියේය. මේ අතර ශ්‍රී ලංකාවට පැමිණෙන චීන ජාතිකයින්ට ගුවන් තොටුපොළේ දී විසා නිකුත් කිරීම (ONLINE VISA) තාවකාලික ව අත් හිටුවීමට ජනාධිපති තුමා උපදෙස් පිට තමා ආගමන විගමන පාලක ජනරාල්වරයාට දැනුම් දුන් බව ඇමතිනිය පැවසුවාය.

මෙම රෝගය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ප්‍රකාශයට පත් කොට ඇති ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශ්‍රී ලංකාව ද කටයුතු කරයි. දැනට රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනය කොරෝනා රෝගීන් හඳුනාගැනීම සඳහා පියවරගෙන ඇත. දැනට කොරෝනා පිලිබඳ පර්යේෂණ කිරීමේ නවීන පහසුකම් ඇත්තේ ඉන්දියාවේ පූනා හි වෛද්‍ය පර්යේෂණ ආයතනයට හා ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට හා ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට බව ද ඇමතිවරිය සඳහන් කළාය.

එමෙන්ම, කොරෝනා රෝග ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා අංගොඩ උණ රෝහලට අමතර ව උතුරු කොළඹ ශික්ෂණ රෝහල, ගම්පහ, මිගමුව, මහනුවර, අනුරාධපුරය, යාපනය, කුරුණෑගල, රත්නපුර, මඩකලපුව, බදුල්ල හා කරාපිටිය ශික්ෂණ රෝහල් සහ රෝහල් වල සියළු පහසුකම් සපයා ඇත.

එසේම, කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් වල වෛද්‍ය කාර්යය මණ්ඩල වලට “පෞද්ගලික ආරක්‍ෂිත උපකරණ (P.P.E – Personal Protection Equipment)” ලබා දී ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ද තහවුරු කොට ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මෙම රෝගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන ඇති පියවර මෙසේය, කොරෝනා රෝග ආසාදිතයින් හඳුනාගැනීමට හා එම රෝගය පැතිරී යාම වැළක්වීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පැය 24 පුරා විමර්ශන කිරීමට විධිවිධාන යොදා තිබේ.

සැකකටයුතු රෝගීන් පරීක්ෂා කිරීමට ගුවන් තොටුපොළේ විශේෂ වෛද්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති අතර එහි දී හඳුනාගනු ලබන හා සැක කරන රෝගීන් අංගොඩ උණ රෝහලට යවනු ලැබේ.

මගීන්ගේ උණ තත්ත්වය පරික්ෂා කිරීම සඳහා ගුවන් තොටුපොළේ තර්මල් යන්ත්‍ර 04 ක් ස්ථාපිත කොට ඇත. මෙයට අමතර ව පලාලි ගුවන්තොටුපොළට හා වරායන්ට පැමිණෙන මඟින් ද පරීක්‍ෂාවට ලක් කිරීමට ද කටයුතු යොදා තිබේ.