ජනාධිපතිවරණයෙහි දක්ෂතම පරාජිතයා

ජවිපෙ සෑම විටම තම ශක්තිය පිළිබද අධි තක්සේරුවක සිටින පක්ෂයකි


විජයානන්ද රූපසිංහ

2019 ජනාධිපතිවරණය කුමන අපේක්ෂකයෙකු ජයගනු ලැබුවද එහි දක්ෂතම පරාජිතයා වන්නේ (Best Loser) ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ය. එවැනි නිගමනයකට කල් තියා පැමිණිය හැක්කේ ජවිපෙ ඉතිහාස භාවිතය මෙන්ම මෑතකාලීන හැසිරීම් රටාව සියුම් ලෙස නිරීක්ෂණය කිරීමෙනි, ජවිපෙ මෙන්ම කලින් කල එය වටා ගොනු වන සහ ඊට චරිත සහතික නිකුත් කරන``ස්වාධීන'' පුද්ගල චරිත ස්වභාවයන්ද මීට එක් කර ගත හැකිය.



ජවිපෙ මෙවර සහභාගී වන්නේ රටේ මෙන්ම එම පක්ෂයද සහභාගී වන අටවැනි ජනාධිපතිවරණයටය. ඉන් ඉහතදී ජවිපෙ තම නමින් සහ ලකුණින් තරඟ කළේය. ඒ 1992 සහ 1999 දීය. තවත් තැනකදී වෙනත් ලකුණු සහ පක්ෂ/සංවිධාන නාම යටතේ තරඟ වැදුණි. (1994/2019) ජනපතිවරණ තුනකදී එකිනෙකට වෙනස් පක්ෂ අපේක්ෂකයන් තිදෙනෙකුට පූර්ණ සහය ලබාදී සංධානගතව ක්‍රියාත්මක විය. (2005/2010/2015) ඉන් අවස්ථා දෙකකදී ජවිපෙ සහය ලද අපේක්ෂකයා ජයග්‍රහණය කෙරිණි. එක් ජනාධිපතිවරණයක් වර්ජනය කරමින් විශාල භීෂණයක් සමාජය මත මුදාහැරිණි. (1988)

මේ ඉහත දැක්වූයේ ජනාධිපතිවරණ පිළිබද ජවිපෙ සංක්ෂිප්ත ප්‍රගති වාර්තාවයි.

1982 ප්‍රථම ජනාධිපතිවරණය යනු ජවිපෙ සක්‍රීය ලෙස සහභාගී වූ ප්‍රධානම මැතිවරණයයි. 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයට පෙනී සිට මැතිවරණ අත්දැකීමක් ලබා නමුත් ජවිපෙ සැබෑ මැතිවරණ අත්දැකීම ලැබුණේ 1982 ජනාධිපතිවරණයෙනි.

එදා, අද මෙන්ම ජවිපෙ සිටියේ තමන්ගේ සැබෑ ජන පදනම පිළිබද කිසිදු සාධාරණ තක්සේරුවකින් තොරවය.

1980 ජුලි වැඩ වර්ජනය කඩා කප්පල් කිරීම, යාපනය පුස්තකාලය ගිනි තැබීම, විරුද්ධ පක්ෂ නායිකාවගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම, Times පුවත්පතේ අයිතිය රජයට පවරා ගැනීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි පරිසරයක් එවකට පැවැති UNP රජය පවත්වාගෙන ගිය මුත් ඊට එරෙහිව විපක්ෂ බලවේග සමඟ එක්ව UNPය පරාජය කිරීමට ජවිපෙ උනන්දු නොවීය. 1977 මැතිවරණ පරාජයයෙන් පසු ශ්‍රිලනිපයේ ``ගමනක අවසානය'' සහතික කරළීමට වැඩියෙන්ම උනන්දු වූයේ ජවිපෙ ය. UNP එකට පසු ප්‍රධානම බලවේගය තමන් බවට වූ අධි තක්සේරුවක් ජවිපෙට තිබුණි. UNPය පරාජය කිරිමට එක පෙරමුණක් සකස් කිරීමට වාමාංශික පක්ෂ ගත් උත්සාහය දෙස උපහාසාත්මකව බැලූ ජවිපෙ නායක රෝහණ විජේවීර, විපක්ෂයේ ප්‍රධානතම බලවේගය තමන් බවත් අන් අයට ඒ සමග එක්විය හැකි බවට ප්‍රකාශ කර තිබුණි.

ලෝක දේශපාලන බල තුලනයේ ස්වභාවය මත සෝවියට් ලැදි ඉරානයට එරෙහිව අමරිකාව ඉරාකයේ බාත් පක්ෂයට ආධාර කල අතර බාත් පක්ෂයෙන් ජවිපෙට අරමුදල් සැපයිනි. එබැවින් ජවිපෙට ``ජනාධිපතිවරණ ව්‍යාපාරයේ'' රස හොදින්ම වටහාගත හැකි විය. ඊට එක් උදාහරණයක් පමණක් සැපයිමට කැමැත්තෙමි. 1982 ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන්ගේ රූපවාහිනි කථා පටිගත කිරිම ගාස්තුව රුපියල් 15,000 කි. ප්‍රධාන පක්ෂ දෙක වූ UNP සහ ශ්‍රිලනිපයට අමතරව ඒම කතා තුනම පටිගත කල පක්ෂය වූයේ ජවිපෙ ය. කොල්වින්, වාසු සහ කුමාර් පොන්නම්බලම්ට එකී මුදල් සොයාගැනීම අසීරු කටයුත්තක් වූයේය.

ජවිපෙ ඉතා ආකර්ශණීය වේදිකා සැරසිලි සහිත මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියේය. විජේවීරගේ උඩුකය රුව ඕෆ්සෙට් මුද්‍රණයෙන් බෙදාහැරිණි. ප්‍රතිඵලය වූයේ ඡන්ද 2,73,428 කි. එනම් මුළු ඡන්ද ප්‍රමාණයෙන් සියයට 4.19 කි. මෙම ප්‍රතිඵලය ජවිපෙ ඡන්දය කෙරෙහි තබා තිබූ අධිතක්සේරුවට එල්ල වූ බලවත් පහරකි.

1988 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වෙන විට ජවිපෙ තහනම් කරන ලද දේශපාලන පක්ෂයකි. 1989 ඉන්දු-ලංකා ගිවිසුමත් සමඟ සන්නද්ධ දේශපාලන ව්‍යාපාරයක් ලෙස (දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය)ජවිපෙ බෞතීස්ම වූ අතර රජයට අමතරව ඊට නිල නොවන ලෙස රට පාලනය කල බලවේගයක්ව පැවතුණි. 1988 ජනාධිපතිවරණය නියමාකාරයෙන් පැවතියේ නම් එහි ජය විපක්ෂයට හිමි වීමට සියළු සාධක සපුරා තිබුණි. UNP අපේක්ෂකත්වය අගමැති ප්‍රේමදාස ලබාගත්තේ දැවැන්ත භීෂණයක් පක්ෂය තුළම නිර්මාණය කර J.R.ජයවර්ධන බිත්තියට හේත්තු කරමිනි.

අගමැති ප්‍රේමදාස ජවිපෙ කෙරෙහි අනුකම්පාවක් ප්‍රදර්ශනය කල අතර ජවිපෙ ඊට කෘතගුණ සැලකුවේ ප්‍රේමදාස ජනාධිපති කරවමිනි. (J.R.ජයවර්ධන නැවැත ජනපති වීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයට යෝජනාව ඉදිරිපත් කළ සහ ස්ථීර කල මන්ත්‍රීවරු දෙදෙනාම ඝාතනයට ලක්විය. මෙරිල් කාරියවසම්/ලයනල් ජයතිලක.) 1988 ජනාධිපතිවරණයට පෙර ජවිපෙ ශ්‍රිලනිපය සමඟ පොදු සංධානයකට සාකච්ඡා පැවත්වීය. එක්සත් ලංකා ජනතා පෙරමුණ (ගාමිණි විජේසේකර/රුක්මන් සේනානායක.) වැනි පක්ෂ ඊට පහසුකම් සැලසීය. නමුත් අවසන් මොහොතේ ජවිපෙ එය ප්‍රතික්ෂේප කරන ලදි. ඒ වෙනුවට ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසත් පළමුව ඡන්දය ප්‍රකාශ කරන්නට පැමිණෙන පස්දෙනා ඝාතනය කරන බවටත් පෝස්ටර් ව්‍යාපාරයක් ගෙන ගියේය.

1988 ජනාධිපතිවරණය පිළිබද කොමසාරිස්වරයාගේ වාර්තාවට අනුව එය මැතිවරණයක් නොවේ. ජයග්‍රාහී ප්‍රේමදාසට සියයට 50ක් ලැබුණේ ඡන්ද 21,000කට වඩා මදක් වැඩි ප්‍රමාණයකිනි. ඡන්ද වර්ජනයට UNPයද සහය පල කලේය. ඡන්ද තොග පිටින් පෙට්ටි වලට පුරවා තිබුණි. මේ ගනුදෙනුව වෙනුවෙන් ජවිපෙට හිමිවූ මූල්‍යමය හා වෙනත් වාසි කවරේදැයි නිසි වැටහීමක් නොමැති වුවද ජවිපෙ වෙනුවෙන් කළක් පෙනී සිටි අධි නීතීඥ ප්‍රින්ස් ගුණසේකර A Lost Generation කෘතියෙන් ඒ බව මනාව පැහැදිළි කර තිබේ. ජවිපෙ 1988 ජනාධිපතිවරණය වර්ජනය නොකලේ නම් සිරිමා බණ්ඩාරනායකගේ ජයග්‍රහණය ස්ථිර විය හැකිව තිබුණි. ආණ්ඩු විරෝධය අවසන් කර ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයට එක්ව කටයුතු කිරිමට තිබූ අවස්ථාව ජවිපෙ මගහැරි අතර ඉන්පසු එහි සටන් පාඨය ''ප්‍රේමදාසට මාස 6 යි'' ලෙස එළි දැක්විණ. ප්‍රතිඵලය වූයේ නායකත්වයත් සමඟ ජවිපෙ විනාශ වීමයි.

ලංකා දේශපාලනයට තිබූ පාතාල සහ ව්‍යාපාරික සබඳතා, විදේශීය රහස් ඔත්තු සේවා වල බලපෑම්, තානාපති කාර්යාල මගින් ලැබුණු සහාය යනාදී සංකීර්ණ වටපිටාවක ගොදුරක් බවට ජවිපෙ ස්වකැමැත්තෙන්ම පත්වූ බව නොරහසකි.

1994 ජනාධිපතිවරණයට ජවිපෙ එක්වූයේ නැවැත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණීමෙන් පසුවය. 1994 මහ මැතිවරණයෙන් එක් පාර්ලිමේන්තු ආසනයක් දිනාගෙන සිටි පසුබිමක ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණේ ''මල් බදුන'' යටතේ ජවිපෙ නිහාල් ගලප්පත්ති ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. එම ජනපතිවරණයේදී පැවැති සමබර බව ගාමිණී දිසානායක ඝාතනය කිරීමෙන් එල්.ටී.ටී.ඊ ය වෙනත් දිසාවකට යොමු කළේය.
ජවිපෙ විධායක ජනාධිපති ධුරය අහෝසි කරලීම සදහා චන්ද්‍රිකා අගමැතිනියගේ වාචික පොරොන්දුවට ප්‍රතිචාර දක්වමින් තම අපේක්ෂකත්වය ඉල්ලා අස් කරගන්නා බවට ප්‍රකාශ කලේය. එහෙත් සමස්ත ඡන්ද වලින් සියයට 0.3ක් (22,749) ගලප්පත්තිට ඡන්ද ලැබී තිබුණි.

ජනාධිපතිවරණය සඳහා ජවිපෙ ගෙන ඒමට මෙරට UNP හිතවාදී ව්‍යාපාරිකයන් දැඩි උනන්දුවක් දැක්වූ බැවින් ඒ සඳහා මුදල් වියදම් කළ බවටත් ලියවුණු සටහන් පවතී. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉතා ඉහළ ආර්ථික ගනුදෙනු වලට හේතුවක් බව ජවිපෙ වටහාගත් බවට තර්කයකින් තොරව පිළිගත හැක.

1999 ජනාධිපතිවරණයද ජවිපෙ තම නමින්ම තරඟ කලේය. නන්දන ගුණතිලක අපේක්ෂකයා වූ අතර ඡන්ද 3,44,173 (4.08%) ලබාගනිමින් තෙවැනි තැනට පත්විය. එය UNP අපේක්ෂක රනිල්ගේ ජයග්‍රහණය වෙනුවෙන්ම පසුබිම සැකසුණු ජනාධිපතිවරණයකි. එහෙත් ජවිපෙ දැඩි උද්යෝගයකින් තරඟ කල බවක් දක්නට ලැබුණි. LTTE සංවිධානය ටවුන්හෝල් රැස්වීමේදී බෝම්බයක් පුපුරුවා හැරීමෙන් ජනපතිවරණයේ හැඩය පූර්ණ වෙනසකට ලක් කලේය. අනුකම්පාව මත ලැබුණු ඡන්ද ප්‍රමාණයද තරමක් ඉහළ මට්ටමක පැවතුණි. ජවිපෙ එජාපය වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයේ යෙදුනු බවටද චෝදනා එල්ල විය. එහෙත් එය ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම අසාර්ථක බැවින් තමන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස ජවිපෙ ඉල්ලා සිටි අවස්ථාවකි. (උනුත් එකයි-මුනුත් එකයි.)

2005 ජනපතිවරණය, ජවිපෙ හැඩය පූර්ණ වෙනසකට ලක් කලේය. (Change of Party DNA) ඒ එළිපිටම ජනපතිවරණ අපේක්ෂකයෙකුට සහය පළකිරීමෙනි. 1999 ජනාධිපතිවරණයෙන් තම උපරිම ශක්තිය වටහා ගත් ජවිපෙ 2000-2001 මහ මැතිවරණ වලදී තම පක්ෂයට ඇති ජනතා පදනම ගැන නැවැත නැවැතත් තහවුරු කරගෙන තිබුණි. පරිවාස ආණ්ඩුව (චන්ද්‍රිකා සමඟ.) නව අත් හදා බැලීමකි. එහි උපරිම අවස්ථාව 2004 මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සංධානය නමින් ශ්‍රිලනිප සමඟ එක්ව මැතිවරණයට තරඟ කිරීමයි.

කැබිනට ඇමති ධූර තුනක් සහිතව රාජ්‍ය පාලනයට එක්වූවත් සුනාමි සහන මණ්ඩලය (P-TOM) මත පදනම්ව ආණ්ඩුවෙන් ඉවත් විය. සභාගය නිසා තමන්ට ලැබුණු 40ක පමණ මන්ත්‍රීධූර සංඛ්‍යාව අතිශය ප්‍රබල තත්වයක් ජවිපෙට හිමිකර දී තිබුණි. 2005 ජනාපතිවරණයේදී ජවිපෙ එක්වූයේ මහින්ද නම් අපේක්ෂකයා සමගය. එය අවබෝධතා ගිවිසුමක් මත වූ එකගත්වයකි. ශ්‍රිලනිපය, මහින්ද හුදකලා කොට අපෙක්ෂකත්වය දුන්නද ජවිපෙ සියළු බර කරට ගෙන ජනපතිවරණය දිනවීමට කටයුතු කලේය. එය එසේ කල යුත්තේ ඇයිදැයි යන්න එහි දේශපාලන මණ්ඩලය තුළ කතා බහට ලක්ව තිබුණේ විස්තරාත්මකවය. (නැත්ත වෙනුවට ඇත්ත.) මහින්දට සහාය දිය යුත්තේ ඇයි.? එමගින් පක්ෂයට ලබාගත හැකි කෙටිකාලීන වාසි, දිගුකාලීන වාසි තමන් ඉල්ලා සිටිය යුතු දේ, යනාදිය මනා ලෙස සාකච්ඡා වී තිබුණි. ඒවා, ජයග්‍රහණය කල පසු අත්පත් කරගත යුතු ආකාරයද පසුව නිරීක්ෂණය කල හැකි විය. (ගුවන්විදුලි සේවාවක් සදහා නාමික මුදළක් ගෙවා බලපත්‍රයක් ලබාගෙන විශාල මුදළකට පසුව විකිණීම.) එම ලිපි මත පදනම්ව ජවිපෙ පෙර අවස්ථාවලදී සිතන ලද ආකාරය පහසුවෙන් වටහා ගත හැකිය. මෙම ජනාධිපතිවරණය වෙනුවෙන් LTTE යට මුදල් දුන් බවට වන ප්‍රකාශ ඕනෑ තරම් ඇති මුත් ජවිපෙට දුන් මුදල් ගැන ---- ප්‍රසිද්ධ සාකච්ඡා නොමැත. එහෙත් මහින්දගෙන් ලබාගත් වරප්‍රසාද ගැන ඕනෑ තරම් සාක්ෂි පැවතීම මගින් ජවිපෙ දේශපාලනය පිළිබදවත් එහි භූමිකාව ගැනත් වැටහීමක් ලබාගත හැකිය.

2010 ජනපතිවරණයේදී ජවිපෙ පොදු අපේක්ෂකයකුගේ භූමිකාවට සහයෝගය පළකලේය. එපමණක් නොව ප්‍රථම වතාවට UNP නායකත්වය සමඟ ප්‍රසිද්ධ වේදිකාවට එක් විය.

පක්ෂ නායක සෝමවංශ අමරසිංහ අපේක්ෂක සරත් ෆොන්සේකා ප්‍රසිද්ධ වේදිකාවේදී වැළද ගැනීමෙන් සහය පළ කලේය. ජවිපෙ ප්‍රවෘත්තිවෙබ් අඩවියේ සරත් ෆොන්සේකා Red Power පක්ෂ පුවත්පත කියවන අලංකාර ඡායාරූපයක්ද එක් කර තිබුණි. මහින්ද විරෝධී සටනේ ප්‍රධාන සාධකයක් ලෙස ජවිපෙ -එජාපය සහ TNA සමඟ එක්ව කටයුතු කලේය. ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ විදේශීය මුදල් වැඩි වශයෙන්ම ගලා ආ මැතිවරණය ලෙස මෙය හැදින්විය හැකිය. වෙනදා රහසෙ හුවමාරු වූ ඩොලර් මිටි 2010 ජනපතිවරණයේදී පක්ෂ අතර බෙදී ගියේ එළිපිටමය. තානාපති කාර්යාල, රාජ්‍ය නොවන සංවිධාන හා රහස් ඔත්තු සේවා වල නියෝජිතයන් ජනාධිපතිවරණ සටනේ පැහැදිළි භූමිකාවක් නිරූපනය කල බව නොරහසකි. ජනපතිවරණයේදී UNPයට වඩා වැඩි උද්යෝගයක් JVPය ප්‍රදර්ශනය කලේය. එසේ ජනපතිවරණ පරාජයට අතිරේකව ජවිපෙ දෙකඩ වීම මඟින් ලද පරාජය වැදගත් අවස්ථාවකි. 1989දී පක්ෂය විනාශ වීමෙන් පසු එය නැවැත ගොඩ නැගීමට මහත් වෙහෙසක් ගත් කුමාර් ගුණරත්නම් ඇතුළු කණ්ඩායම ජවිපෙ හැරගිය අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිහිකෙරිණි. එය පක්ෂයේ හැඩය වෙනස්කරලීමේ ප්‍රතිඵලයයි.

2015 ජනපතිවරණයේදී ජවිපෙ පොදු අපේක්ෂකයාට සහය පල කලේය කළින් අවස්ථා දෙකටම වඩා වෙනස් ආකාරයකිනි. 2005 සහ 2010 දී උගත් පාඩම් ඇසුරෙන් හානිය අවම කරගැනිමේ අරමුණෙන් එසේ සිදුවෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය. රාජපක්ෂ පාලනය පෙරලා දැමීම තේමා කරගනිමින් මෛත්‍රීපාල ජනාධිපතිවරයාට පූර්ණ සහය පළ කලේය. පොදු අපේක්ෂකයාගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් හුවමාරු වූ මුදල් ගැන හෙළිදරව් වී තිබීමද පසුව ප්‍රසිද්ධියේ සාකච්ඡාවට ලක්විය.

පොදු අපේක්ෂකයා ජනපති වී, රනිල් අගමැති යටතේ වූ ``දින 100'' ආණ්ඩුවේ ජවිපෙ පාර්ශවකරුවෙකුද විය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයද ජවිපෙට හිමිවිය. ජවිපෙ සමුළු, උත්සව නාමික ගෙවීමකට යටත්ව රජයට අයත් ITN හී විකාශය කෙරිණි. තමන් බලයට තිබූ සමීප සබඳකම භාවිතා කර ප්‍රතිවාදී නායකයෙක් වන කුමාර් ගුණරත්නම්ගේ රූපවාහිනි සාකච්ඡාවක් විකාශය කිරීම අත්හිටුවිය . තමන් අකමැති ව්‍යාපාර වලට රිදවීමටත් තමන් කැමති ව්‍යාපාර වලට ලාබ පහසුකම් සැපයිමටත් ජවිපෙ මැදිහත් විය. ඒ ජවිපෙ ජයග්‍රාහී අපේක්ෂකයෙක් සමඟ සිටීමෙන් අත්පත් කරගත් වාසිදායක තත්වයන්ය.

දැන් අවස්ථාව උදා වී ඇත්තේ 2019 තීරණාත්මක ජනාධිපතිවරණය කෙරෙහිය. ජවිපෙ මෙහිදී අනුගමනය කරන ලද්දේ අතිශය සංකීර්ණ ක්‍රියාවලියකි. ජවිපෙ පාර්ලිමේන්තුවාදී ක්‍රමය තුළ සාර්ථක පක්ෂයකි. එහි නීතී රීතී, ස්ථාවර නියෝග, කමිටු යනාදිය ශක්තිමත් කර පවත්වාගෙන යාමට කටයුතු කරන බව පැහැදිළිය. එහෙත් ඒ වෙනුවට ඔවුන්ගේ ජනපදනම ශක්තිමත් කරගැනීමට තවදුරටත් අපොහොසත් වී තිබේ. එයට ප්‍රධාන හේතුව විස්වසනීයත්වයක් ගොඩනගා ගැනීමට ජවිපෙ දක්වන අසමත්කමයි. ජවිපෙ 2015 මැතිවරණයට ඉදිරිපත් වූයේ වෘත්තිමය භාවය අගය කරමින් ජාතික ලැයිස්තුවට වෘත්තිකයන් එක් කිරීමෙනි. එකී වැදගත් පියවර උල්ලංඝනය කල ජවිපෙ තම පරාජිත දේශපාලන ක්‍රියාධරයෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්කලේය. ලොව පුරා දේශපාලනය තුළ වෘත්තිකත්වයට ලැබී තිබූ ප්‍රමුඛත්වය ලංකාව තුළ තහවුරු කිරීමට ජවිපෙට ලැබුණු අගනා අවස්ථාව බිද දැමිණි. වෘත්තිකයන් අදටත් ජවිපෙට දේශපාලන සැරසිල්ලක් (Political decoration) පමණි.

2015 මහ මැතිවරණයේ සිටම මීළග මැතිවරණ, වෘත්තිකයන්ගේ මැතිවරණ බවට ඉඟි පල වූයේ ලෝක ප්‍රවණතාවත්, ලංකාවේ සම්ප්‍රදායක දේශපාලනඥයන්ගේ අසමත්භාවයත් හේතුවෙනි. පවුල් වාදය, ඥාතී සංග්‍රහ, වයෝවෘධභාවය, නීතී සැකසුමට දැනුමක්, විශ්ලේෂකයන් නොමැතිවීම, අඩු අධ්‍යාපනය, නීතී විරෝධී ව්‍යාපාර සමඟ ගනුදෙනු කිරීම යනාදිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ස්වභාවය බවට පත්ව තිබුණි. 2016, 2017, 2018 වන විට ''225 ම එපා'' යන තේමාවක් පැමිණ තිබුණි. වෘත්තිකයන්ගේ සංවිධාන සෑම දේශපාලන පක්ෂයක් මඟින්ම නැවැත පන ගන්වා තිබුණි. ජවිපෙ එම පෙරමුණේ ඉදිරියෙන්ම සිටියේය. විශ්වවිද්‍යාල ආචාර්යවරු, ඉංජිනේරුවරු, කලාකරුවන්, සමාජ ක්‍රියාධරයන් යනාදිය ඊට එක්ව වෘත්තීකත්වය ප්‍රදර්ශණය කිරීමට කටයුතු කලේ නව දේශපාලන හැඩයක් ලංකාවට අවශ්‍ය බව ඉඟි කරමිනි. හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සිට හිටපු හමුදාපති මහේෂ් සේනානායක දක්වාත්, වෙනත් සිවිල් චරිත රාශියක් අඩුවැඩි වශයෙන් මෙම වෘත්තිකයන්ගේ මැදිහත්වීමට සහය පළකර තිබුණි. ජවිපෙ කල්තබා තමන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන බව ප්‍රකාශ කෙරිණි. ඒ අනුව විවිධ මහාචාර්යවරුන්ගේ නම්ද ආදේශ විය. පසුව ජවිපෙ සිය සුපුරුදු කල්ලිවාදී, අධිතක්සේරුවාදී ඇදහිල්ල මත පදනම්ව ජවිපෙ නායකයා වන අනුර කුමාර දිසානායක අපේක්ෂකත්වයට ඔසවා තැබීය. ඒ වෙනුවෙන් පක්ෂයේ නම, ලාංජනය සහ වර්ණය වෙනස්කරලීමට කටයුතු කලේය. දැන් ජවිපෙ 1982 රෝහණ විජේවීර මෙන් අතිශය භයානක මුලාවක සිට ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය පවත්වාගෙන යනු ලැබේ.

අවසානයේ ප්‍රතිඵල විග්‍රහයෙන් පසු ඔවුන් ප්‍රකාශ කරනුයේ මෙරට ජනතාව දේශපාලනය පිළිබද කිසිදු දැනුමක් නැති මෝඩයන් පිරිසක් බවයි. රාජ්‍ය බලයට, පවුල් වාදයට යටවන පිරිසක් බවයි. ජනතාව දැනුවත් කිරීමට තවදුරටත් කටයුතු කළ යුතු බවයි.

ඒ පිළිබද විශ්ලේෂණය පසුවට තබා ජවිපෙ සහ ජනාධිපතිවරණ පිළිබද සමාලෝචනයක් මෙසේ සිදුකල හැකිය.

1.ජවිපෙ සෑම විටම තම ශක්තිය පිළිබද අධි තක්සේරුවක සිටින පක්ෂයකි.
2.ජනපතිවරණය යනු මුදල් ඉපැයිය හැකි ව්‍යාපාරයක් බවට විස්වාස කරන්නෙකි. (සෙසු පක්ෂ මෙන්ම.)
3.කලින් කලට එක් එක් දේශපාලන ව්‍යාපාර වලට සහාය පළකරමින් අයථා වාසි ලබාගත් පක්ෂයකි.
4.තම පක්ෂයේ අනන්‍යතාවය, පක්ෂයේ හැඩය වෙනස් කරගැනීමටත් නොපැකිලෙන්නෙකි.
5.සෑම ජනාධිපතිවරණයකටම පසු පක්ෂයේ සැලකිය යුතු පිරිසක් අහිමි කරගන්නා පක්ෂයකි.

ඉහත ජනාධිපතිවරණ අට පිළිබදව හා ඒ ආශ්‍රිත මැතිවරණ ආශ්‍රයෙන් 2020 මහ මැතිවරණය පිළිබද අනුමාන කළ හැක්කක් පවතී. ඒ ජවිපෙ මෙතෙක් අත් හදා නොබැලූ අවස්ථාවකි. ඒ එක්සත් ජාතික පක්ෂය/පෙරමුණ සමඟ එක්ව මහමැතිවරණයට තරඟ කර 2004 ට කිට්ටු යමක් පක්ෂය වෙනුවෙන් කරගත හැකිද යන්නයි. ඒ සඳහා සාධාරණීකරනය කරගත හැකි සටන් පාඨ දැනටමත් ජවිපෙ සතුව තිබෙන බව ජනාධිපති අපේක්ෂකයාගේ කතාවලින්ම තහවුරු කරගත හැකිය.

එය එසේ විය හැක්කේ එය ජනතා විමුක්ති පෙරමුණම වන බැවිනි.