ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන ඇමරිකන් පුරවැසියා



ජනාධිපතිවරණය එළඹෙන 16 වැනිදා පැවැත්වීමට නියමිත පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ තවමත් සිය ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කර නොගැනීම ගැන කතාබහ අඛණ්ඩව නැගෙමින් පවතියි. 

මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශිකාව වන නැන්සි වැන්හෝර්න් අවධාරණය කරන්නේ, ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කළ පිරිසගේ නාම ලේඛනය කඩිනමින් නිකුත් වන ප්‍රකාශනයක් නොවන බවත් එය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නොව වෙනත් රාජ්‍ය ආයතනයක් විසින් සිදුකරන කාර්යයක් වන බැවින් මේ සඳහා ගතවන කාලය නිශ්චිතව පැවසිය නොහැකි බවයි.

මේ සම්බන්ධයෙන් අද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, වික්ටර් අයිවන් පෙන්වා දෙන්නේ,

''ගෝඨාභයගේ පුරවැසි ප්‍රශ්නය පිළිබඳව ඇමරිකන් තානාපතිනිය කර තිබෙන ප්‍රකාශය අනුව ගෝඨාභය තවමත් විධිමත් ලෙස ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කරගෙන නැත. නීතිය අනුව ජනාධිපතිවරණයකට තරග කිරීමට තිබිය යුතු මූලික සුදුසුකමක් සපුරාගෙන නැති පුද්ගලයෙක් නාම යෝජනා ඉදිරිපත් කොට තරග කිරීමට ඉඩ ලැබීමෙන්ම රාජ්‍යයේ එහි ආයතන ක්‍රමයේ ඇතිවී තිබෙන බිඳවැටීමේ හා කුණුවීමේ තරම පෙන්නුම් කරයි. මේ වරද නිවැරදි විය උතුව තිබුණේ ජනාධිපතිවරණයට පසුව නොව ඉන් පෙරය. එහෙත් රටේ පවතින ක්‍රමයට ඒ හැකියාව නොතිබුණේය.

මෙම වරද නිවැරදි කිරීමට රටට කෙබඳු මිලක් ගෙවන්නට සිදුවේද ?. අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ කර ගැනීමෙන් තොරව ඔහු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූයේ ඇයි ?. ඔහුගේ පක්ෂය ඊට ඉඩ දුන්නේ ඇයි ?. එවැනි පුද්ගලයෙකුට නාමයෝජනා බාරදී තරග කරන්නට ඉඩ ලැබුණේ කෙසේද ?. ඒ මගින් අපේක්ෂකයා නීතිය උල්ලංඝනය කර තිබෙනවා පමණක් නොව ඡන්දදායකයින්ටද බලවත් වරදක් කර තිබෙන්නේය. එම වැරැද්දට එම අපේක්ෂකයා, ඔහුට නාමයෝජනා ලබා දුන් පක්ෂය පමණක් නොව රටේ ආයතන ක්‍රමයද වගකිව යුතුය. සුදුසුකම් තිබෙන පුද්ගලයින්ට පමණක් තරග කිරීමට ඉඩ ලැබෙන ක්‍රමයක් සහතික කිරීමට රාජ්‍ය හා එහි ආයතන ක්‍රමයද අසමත්ව තිබෙන්නේය. පුනරුද ව්‍යාපාරයේ අපි ක්‍රමයේ වෙනසක් සඳහා මහජන ව්‍යවස්ථා සම්පාදනයක් ඉල්ලා සිටින්නේ ක්‍රමයේ ව්‍යුහමය වෙනසක් ඇතිකර ගැනීමෙන් තොරව එක අඩියක්වත් ඉදිරියට යානොහැකි තැනක ලංකාව හිරවී සිටින නිසාය.'' යන්නයි.








වීඩියෝව - අන්තර්ජාලයෙනි