''තරුණ පරපුර දෙන අභියෝගය භාරගන්න අපි ලෑස්තියි'' - රනිල්



අද තරුණ පරපුර ඉල්ලා සිටින, සික්ස් ජී (6G) ඩිජිටල් සමාජය නිර්මාණය කළ හැකි එකම අපේක්‍ෂකයා සජිත් ප්‍රේමදාස බව අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (11) දින ආනමඩුව, ගම්පහ, කඩවත, පූගොඩ, මීගමුව, දෙහිවල සහ ලූණාව ප්‍රදේශයන්හි පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් පැවසුවේය. 


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා අවධාරණය කළේ, 

සුදු වෑන් වලට තිබුණ බිය අප නතර කළා

"2015 ජනවාරි 8 වැනිදා මේ රටේ ජනතාව අපට වරම ලබාදුන්නේ බිය සැක නැති කර නිදහස් සමාජයක් ඇති කිරීමටයි. ඒ සඳහා අප ක්‍රියා කළා. අපි බය නැති කළා. අපි නිදහස ඇති කර දුන්නා. පැහැර ගෙන යෑම් අපි නතර කළා. සුදුවෑන්වලට තිබුණ බිය අප නතර කළා. රාජ්‍ය සේවයේ, පොලිසියේ, අධිකරණයේ ස්වාධීනත්වය අප ඇති කළා. 

නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය අප ලබාදී තිබෙනවා. ඒත් අද කියන නිදහසට වඩා වැඩි නිදහසක් මේ රටේ තරුණ තරුණියන් ඉල්ලා සිටිනවා. ඩේටා ලබාගැනීමට ඇති නිදහස තරුණ තරුණියන් අද ඉල්ලා සිටිනවා. එමෙන්ම මේ සමාජ ක්‍රමයට විරුද්ධව ලියන්න, කියන්න, හිතන්න, නිර්මාණ කරන්න නිදහස ඉල්ලනවා. ඉලක්කම් හයක වැටුපක් ලැබෙන රැකියාවක් ලබාගන්නා හීනය සැබෑ කරගන්න නිදහස ඉල්ලනවා. ජීවිතේ හැම තීරණයක්ම, හැම සේවාවක්ම ඔන්ලයින් කරගන්න නිදහස ඉල්ලනවා. 


මේ එකක්වත් ලබාදෙන්න බැරි දේශපාලනඥයන් අපට එපා කියා තරුණ තරුණියන් කියනවා. රටේ ඇති නැති පරතරය වගේම පරම්පරා පරතරයත් හැමදාම තිබුණ බව සිහිපත් කළ යුතුයි. නමුත් අද තිබෙන පරම්පරා පරතරය එදාට වඩා වෙනස්. ඒ පරතරය අද වනවිට වැඩිවී තිබෙනවා. 

අද අපේ පරම්පරාව ඇනලොක් – තරුණ පරම්පරාව ඩිජිටල්. අද දේශපාලනඥයන් ඇනලොක් - තරුණ තරුණියන් ඩිජිටල්. ඒ නිසා තරුණ තරුණියන් හිතන වේගයට යන්න අපේ රටට නොහැකිවී තිබෙනවා. අප ඒ ගමන ඇරóය යුතුයි. ඇනලොක් කියන්නේ ප්‍රමාදයි. ඩිජිටල් කියන්නේ වේගවත්, ඇනලොක් කියන්නේ දුර්වලයි. –ඩිජිටල් කියන්නේ ප්‍රබලයි. ඇනලොක් සීමිතයි – ඩිජිටල් අසීමිතයි. 

අද ලෝකයේ තිබෙන්නේ පෝ ජී (4G) තාක්‍ෂණය මෙන් ලබන අවුරුද්දේ ෆයු ජී (5G) වෙනවා. සික්ස් ජීත් (6G) දැන් ලෑස්තියි.  ඒත් අපි තාමත් ඇනලොක්. 

තරුණ පරපුර දෙන අභියෝගය භාරගන්න අපි ලෑස්තිය 

තරුණ පරපුර දෙන අභියෝගය භාරගන්න අප ලෑස්තියි. ඩේටාවලට නිදහස දෙන්න අප ලෑස්තියි. ඔන්ලයින් විප්ලවය ඇති කරන්න අප ලෑස්තියි. මෙලෙස තරුණ පරපුර බලාපොරොත්තු වන අසීමිත ඩිජිටල් නිදහස වෙනුවෙන් නොවැම්බර් 16 වැනිදායින් පසු දේශපාලනයේ ඩිජිටල් වෙනසක් කොට වේගවත් ගමනක් යන්න ලෑස්තියි. අපි ගැන විශ්වාසය තබන්න. රූපවාහිනිය, කොම්පියුටර්, ඩෙනිම්, බ්‍රෝඩ් බෑන්ඩ්, ඉලෙක්ට්‍රොනික්, මේවා මේ රටට ගෙනාවේ අපියි. ඒ ආකාරයටම අනිවාර්යෙන්ම සික්ස් ජී (6G) මේ රටට ගේන්නෙත් අපියි. ලෝකයේ සැරිසරන්න, රට රැකියාවලට යන්න හීන දකින ඔබේ සිහිනය සැබෑ කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයයි." යන්නයි.