දේශපාලඥයින්ගේ මැතිවරණ රැස්වීම් වලට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යොදාගැනීම ට්‍රාන්ස්පේරන්සි ප්‍රශ්න කරයි



මැතිවරණ ප්‍රචාරණ රැස්වීම් වලට පැමිණීමට හා පිටව යාමට දේශපාලකයින් විසින් ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා භාවිතා කිරීම පිලිබඳ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය(TISL) මැතිවරණ කොමිසමේ අවධානයට යොමු කර තිබේ. TISLආයතනය සඳහන් කර සිටින්නේ, මැතිවරණ කොමිෂන් සභාව 2141/52 ගැසට් නිවේදනය යටතේ නිකුත් කරන ලද නියෝගයන් මේ මගින් උල්ලංගණය වන හෙයින් මේ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්න මෙන් TISL ආයතනය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී. 

මෙම ගැසට් නිවේදනයට අනුව, සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්, මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදවාගන්නා ගුවන් යානා,හෙලිකොප්ටර් හෝ වෙනත් කිසිදු වාහනයක් භාවිත කිරීම පිණිස මහජන මුදල් යොදවා නොගන්නා බවට සහතික විය යුතුය”. 

මෙයට සමගාමීව, මෙම ප්‍රවාහන  පහසුකම් සැපයීම වෙනුවෙන් කිසියම්  ගෙවීමක් සිදු කර ඇතිද යන්න සොයා බැලීම පිණිස තොරතුරු දැනගැනීමේ අයදුම් පතක් TISL ආයතනය විසින්,ගුවන් හමුදාව වෙත යොමු කර ඇත. 

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර පැවසුවේ, "හෙලිකොප්ටර් ඇතුළු රාජ්‍ය දේපල පරිහරණය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් නියෝග නිකුත් කර ඇති අතර, මෙම නීති රීති ඒ අයුරින්ම අනුගමනය කරන බවට සහතික වීම පිනිස ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු රාජ්‍ය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය අත්‍යවශ්‍ය වන බවයි. එමෙන්ම,රාජ්‍ය නිලධාරීන් තමන්ගේ ක්‍රියාවන් හෝ අතපසුවීම් හේතුවෙන් ඇතිවිය හැකි නීතිමය ප්‍රතිවිපාක පිලිබඳ හොදින් දැනුවත්ව සිටිය යුතු බවයි. 

TISL ආයතනයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය විසින් මේ වන විට, අපේක්ෂකයින් සහ ජේෂ්ඨ දේශපාලකයින් ප්‍රවාහනයට හෙලිකොප්ටර් යොදාගැනීම පිලිබඳ සිදුවීම් වාර්තා කර ඇත. පසුගිය සතියේ සේරුවාවිල, කන්තලේ සහ ත්‍රිකුණාමලයේ පැවැත් වූ රැස්වීම් වලින් මෙවැනි වාර්තා ලැබී තිබුණි. මේ පිළිබඳව නවතම සිදුවීම TISL නිරීක්ෂකයින් වාර්තා කර ඡායාරූපගත කර තිබුණේ 2019 නොවැම්බර් 10 දින, නුවරඑලිය, බදුල්ල සහ කෑගල්ල නගරවල පැවැත් වූ ප්‍රචාරක රැස්වීම් සඳහා, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රවාහනය කිරීමට හෙලිකොප්ටර් යන දෙකක් යොදවා ගැනීම සම්බන්ධයෙනුයි. 

අසෝක ඔබේසේකර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, මෙම සේවාවන් සඳහා මුදල් ගෙවා ඇත්නම්, එම අපේක්ෂකයින්ට එවැනි සේවාවක් ලබා ගැනීමට ඇති හැකියාව, ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාර සඳහා මුදල් සපයාගන්නා ආකාරය පිළිබඳව ගැටළුවක් මතුකරන බවත්, රාජ්‍ය සම්පත් අවභාවිත කර නොමැති බව අවධාරණය කර පෙන්වීමට නම්, අපේක්ෂකයින් සිය මැතිවරණ ප්‍රචාරණ මුල්‍ය තොරතුරු හෙළි කිරීමට මෙම අවස්ථාව භාවිත කල යුතු බවත්ය. 

පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව, TILS මැතිවරණ නිරීක්ෂකයින්ගේ ජාලය විසින් මේ දක්වා වාර්තා කර පරිදි,රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීම පිලිබඳ පැමිණිලි වල සැලකිය යුතු අඩුවීමක් දක්නට ඇති අතර එය හොද ප්‍රවණතාවයක් ලෙස හදුනාගත හැකිය. කෙසේ වෙතත්, මැතිවරණ කල පරිච්චේදයේ අවසාන අදියරයේදී පොදු දේපළ අවභාවිතා කිරීම පිළිබඳව සුපරික්ෂාකාරිව සිටින මෙන් TISL ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර 076322 3442/076 322 3662 යන අංක හරහා හෝ pppr@tisrilanka ඊ මේල් ලිපිනය හරහා පොදු දේපල සුරැකීමේ වැඩසටහනට(PPPR) පැමිණිලි කරන ලෙස ඉල්ලා සිටී.