''රැස්වීමට එන කාන්තාවෝ කෙලෙසන අය රටේ විනය ගැන කතාකරනවා'' - විජිත


රටේ විනය ගොඩනගන බව පවසන පිරිස අද සිය මැතිවරණ රැස්වීම් වලට එන කාන්තාවන් ම්ලේච්ඡ ලෙස දූෂණය කරන තත්ත්වයට පත්ව ඇති බවත් ඔවුන් මීට පෙර කාන්තාවන් දූෂණය කර සාද පැවැත්වූ බවත් අද (12) දඹුල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පැවසුවේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු අවධාරණය කළේ, 

''අද පාස්කු ඉරිදා ප්‍රහාරය නිමිති කොටගෙන නැවත ජනතාව බිය වද්දලා තියෙනවා. කෑගල්ලේ හෙම්මාතගම මන්ද මානසික කාන්තාවක් ඒගොල්ලන්ගෙම රැස්වීමට ගිහිල්ලා එද්දි, ඒගොල්ලන්ගේම බස් රථයක යද්දි මගදී කැළේකට අරගෙන ගිහිල්ලා, ඉතාමත්ම වනචාරී විදියට, තිරිසන් විදියට ඒ පාපතරයින් විසින් ඇයව දූෂණයට ලක්කරලා තියෙනවා. මේක පාලනය කරගන්න බැරි කණ්ඩායමක් තමයි අද රටේ විනය හදන්න එන්නේ. 

එදා කාන්තාවන් සිය ගාණක් දූෂණය කරලා ඒ දූෂිතයින්, ඒවා සැමරුවා. ඒවා ගැන පාර්ටි දැම්මා. එදා ඔය කියන විනය තිබුණේ නැහැ. ඒ නිසා අද පැහැදිලියි අද රටේ විනය හදන්න එනවයි කියන කට්ටිය, තමන්ගේ පක්ෂයේ කාන්තාව දූෂණය කරන එතන විනය හදාගන්න බැහැ. එවැනි අය තමයි ජනතාව බියවද්දලා, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න බොරු බේගල් ඇදබාන්නේ.'' යන්නයි.