පළාත් සභාවල බලය වැඩිකරන්න සාකච්ඡා කළා'' - අගමැති


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට මීළඟ පාර්ලිමේන්තුවේ තමන්ට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ලබාගැනීමට ජනවරම ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර එලෙස සම්මත කරගනු ලබන ව්‍යවස්ථාව යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර බලය විමධ්‍යගත කරමින් දේශපාලන විසඳුමක් ලබාදෙන බව ඊයේ (08) යාපනයේදී පැවති 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' ප්‍රදර්ශනය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසුවේය. 

මේ අවස්ථාවය මුදල් අමාත්‍ය මංගල සමරවීර, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, ශ්‍රී සරවණභවන්, යාපනය මහ නගර සභාවේ නගරාධිපති ඊ. ආනෝල්ඩ්, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග ඇතුළු පිරිස එක්විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා පැවසුවේ,

ජන ජීවිතය නංවන 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' 

''අද දින යාපනය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ආරම්භ කරන අවස්ථාවේ සංකේතාත්මකව ණය ප්‍රදානය කිරීමට අවස්ථාව ලැබුණා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම මෙම පිරිස ඇතුළු 53,000කට අධික පිරිසකට රුපියල් මිලියන 90,000ක විශාල මුදලක් ණය වශයෙන් මේ වනවිට ලබාදී තිබෙනවා. මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාත්, මුදල් අමාත්‍යාංශයත් ගෙන තිබෙන මෙම වැඩපිලිවෙල මෙරට ව්‍යවසායකයින් ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන තිබෙන ඉතාමත් වැදගත් පියවර වශයෙන් සඳහන් කළ යුතුයි. 

වෙළඳ ආර්ථිකය සාර්ථක වීමට නම් ව්‍යවසායකයින් ශක්තිමත් විය යුතුයි. එසේ නොවුණහොත් වෙළඳ ආර්ථිකය අසාර්ථක වන බව සඳහන් කරන්න කැමතියි. යුද්ධය අවසන් වීමෙන් පසුව රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා අප පියවර රැසක් ගෙන තිබෙනවා. ඒ පියවර අතරින් රටේ ජනතාව අතර ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම "එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා" වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

වසර දෙකක් තුළ ව්‍යවසායකයින් දැවැන්ත ප්‍රමාණයක් 
ඉහත සඳහන් කළ පරිදි විශාල මුදල් ප්‍රමාණයක් ආර්ථිකයට එක්වීමේ ප්‍රථිඵල වශයෙන් පසුගිය වසර දෙකක කාලය තුල ව්‍යවසායකයින් විශාල ප්‍රමාණයක් අලූතින් බිහිවී ශක්තිමත් වි තිබෙන බව සඳහන් කළ යුතුයි. මේ තුලින් ව්‍යාපාර වැඩිදියුණු කරගනිමින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපනවා මුදල් අමාත්‍යවරයාගේ හා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ කැපවීම තුලින් මෙවැනි ප්‍රගතියක් අත්පත් කරගැනීමට හැකිවූ බව සඳහන් කරන්න කැමතියි. ඒ කැපවීම වෙනුවෙන් මගේ ස්තුතිය ඔබ සියලූ දෙනාටම පළ කරනවා.  

අපේ ඉතිහාසය හා උරුමය ව්‍යවසයකත්වය බවත් අතීතයේ රජරට රාජධාණිය වෙළදාමෙන් දියුණුවට පත්වූ බවටත් වන මතක් කිරීම මෙම "එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා" ප්‍රදර්ශනය තුළින් ඉස්මතු කර තිබෙනවා. ඒ මතක්කර දී තිබෙන උරුමය අපි ඉදිරියට ගෙන යා යුතුයි. අතීතයේ මෙරට ප්‍රධානම වරායන් ත්‍රිත්වය වූ ත්‍රිකුණාමලය, මාන්තයි හා දඹකොළ පටුන යාපනය අර්ධද්වීපය සමීපයේ පිහිටියා. වන්නියේ මෙම ප්‍රදේශයේ කැළෑවල අලිමංකඩ වලින් ගමන් ගන්නා අලින් ඇතුන් යාපනයේ සිට අතීතයේ අපි අපනයනය කළා. මුතු ව්‍යාපාරය හා දුම්කොළ වගාකර අපනයනය කිරීම එදා සිදුවුණා. ඒ වගේම දක්ෂ ව්‍යාපාරිකයින් දකුණට පැමිණ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට කටයුතු කළා.

1983 වර්ෂයේ යුද්ධයෙන් පසුව ලක්ෂ 6 - 7ක් පමණ යාපනයේ ජනතාව රටින් පිටවීම නිසා මුදල් රටින් ඉවතට ගොස් රටේ ආර්ථිකය කඩා වැටීමකට ලක් වුණා. ඒ නිසාම 2015 වසරෙන් පසුව යාපනයට සංවර්ධන වැඩසටහන් ගෙන ඒමේදී මෙම ප්‍රදේශයේම කොන්ත්‍රාත්කරුවන්ට එම ඉදිකිරීම් ලබාදී එම මුදලූත් යාපනයෙන් ඉවතට නොයන පරිදි වැඩකටයුතු සකස් කළා. ඒ නිසා "ගම්පෙරළිය", "රන්මාවත්" හා "ළඟම පාසල හොඳම පාසල" වැනි ව්‍යාපෘතිවල ඉදිකිරීමේ කටයුතු යාපනයේ ව්‍යාපාරිකයින්ට හිමිවුණා.

යාපනයට මෙතෙක් නොතිබුණු සංවර්ධනයක් 

වෙළඳාම දියුණු කිරීම, වරායන් සංවර්ධනය කිරීම, ගොඩනැගිලි ඉදිකිරිම ඇතුළු විශාල දියුණුවක් යාපනය තුලත්, ඉන් පිටතත් ඇති කර තිබෙනවා. "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" වැනි ණය ලබාදෙන වැඩසටහන් නිසා නව ව්‍යවසායන් බිහිවි අලූතින් රැකියා අවස්ථා ඇති වුණා. මෙම දියුණුව ඉදිරියට ගෙන යෑමට අප පියවර ගත යුතුයි.

පලාලි ගුවන් තොටුපළ පළමුවෙන් ඉන්දියානු ගුවන් ගමන් සඳහාත්, පසුව කලාපීය ගුවන් ගමන් සඳහාත් විවෘත කිරීම තුලින් සංචාරකයින්ගේ පැමිණීම වර්ධනය කර ප්‍රදේශයේ ජනතාවගේ ආදායම් මාර්ග වැඩිදියුණු කිරීමට අප පියවර ගන්නවා. සංචාරකයින් පැමිණීමත් සමග "හෝම්ස්ටේ" ඇති කිරීමට අවශ්‍ය පුහුණුව සංචාරක මණ්ඩලය හරහා ලබාදීමටත් "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" වැඩසටහන මගින් අවශ්‍ය ණය මුදල් ලබාදීමටත් අපි කටයුතු කරනවා.  මෙතෙක් නොතිබුණු සංවර්ධනයක් යාපනය තුළ ඇති කිරීමට අපට හැකි වුණා.

සංහිඳියාව ශක්තිමත් කර ත්‍රස්තවාදය මැඩලිය යුතුයි 

මෙම තත්වය ඉදිරියට ගෙන යෑම සඳහා සංහිඳියාව ශක්තිමත් කිරීමටත්, තහවුරු කිරීමටත් අපි සමත් වී තිබෙනවා. බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි නිදහස් පරිසරයක් අද ඇති කර තිබෙනවා. ඒ වගේම රටේ සියලූ දෙනාටම එක සමානව සැලකීමට අපි කටයුතු කර තිබෙනවා. රටේ සෑම ජාතියකටම, ආගමකටම හා භාෂාවකටම සම තැන ලබාදී එම තත්වය දියුණුකර රටේ සංහිඳියාව ඇති කර තිබෙනවා. සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවට තම සංස්කෘතිය පිළිබඳව ආඩම්බර විය හැකි පරිදි සියලූ දෙනාම ශ්‍රී ලාංකිකයින් යන හැඟීම ඇති කර තිබෙනවා. අපි සියලූ දෙනාම යළිත් යුද්ධයක් ඇති නොවන ආකාරයට ක්‍රියාකළ යුතුයි.

යුද්ධය හේතුවෙන් ජීවිත ලක්ෂයක් පමණ රටට අහිමි වුණා. ඒ වගේම ආර්ථික වශයෙන් විශාල හානියක් සිදුවුණා. අපිට යළිත් යුද්ධයක් අවශ්‍ය නැහැ. සංහිඳියාව තිබෙන තැන සංහිඳියාව ශක්තිමත් කළ යුතුයි. ඒ වගේම පාස්කු ඉරිදා වැනි ප්‍රහාර එල්ල වන ත්‍රස්තවාදය තියෙන ස්ථානවල ත්‍රස්තවාදය නැති කර දැමීමට ශක්තිමත්ව ක්‍රියාකළ යුතුයි.


මේ වෙනුවෙන් 2015 වසරේ සිට මෙම ආණ්ඩුව පියවර ගණනාවක් ගෙන තිබෙනවා. නමුත් පාර්ලිමේන්තුව තුල අවශ්‍ය බහුතරය අපට නොමැතිවීම නිසා නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට නොහැකි වුණා. නව ව්‍යවස්ථාව තුල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා බලය බෙදාහැරීම යන වැදගත් කරුණු දෙක අන්තර්ගත වෙනවා. උතුරේ ජනතාවට රටේ සංවර්ධනයට සහභාගිවීමට හා තමන්ගේ එදිනෙදා පාලනය සඳහා පළාත් සභා වෙත පැවරෙන බලතල තවත් වැඩි කිරීමට අපි සාකච්ඡා කර තිබෙනවා.

බලය බෙදාහැරීම ගැන අප එකඟතාවක් ඇතිකරගෙන තිබෙනවා 

නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට අවස්ථාව නොලැබුණත් බලය බෙදාහැරීම පිළිබඳව අපේ එකඟත්වය ඇතිවී තිබෙන බව සඳහන් කරන්න කැමතියි. ව්‍යවස්ථාදායක මණ්ඩලය කැඳවා සාකච්ඡා කර එම වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය වශයෙන් මෙම එකඟත්වය පිළිගැනීමට අපි  තීරණය කළා. සභාපතිවරයා වශයෙන් මම සියලූ දෙනාම එකඟ කරගෙන මෙම වාර්තාව ඉදිරිපත් කළ බව සඳහන් කරන්න කැමතියි.

එම යෝජනා ක්‍රියාත්මක කිරීමට අපේ පක්ෂය ඇතුළුව තවත් පක්ෂ කිහිපයක් කැපවී සිටිනවා. මීළඟ පාර්ලිමේන්තුවේ එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වරම ඔබෙන් ඉල්ලා සිටිනවා. එය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව අපට ලැබේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා. එම දේශපාලන විසදුම ලබාදී මීටත් වඩා එක්සත්ව ඉදිරියට යෑමට හැකියාව ලැබෙන බවට විශ්වාසයක් මා තුල තිබෙනවා.

අපි ඇති කර තිබෙන සංහිඳියාව හා සංවර්ධනය තහවුරු කරගනිමින් අනාගතයේදී දේශපාලන විසදුමක් ලබාදී ශ්‍රී ලාංකිකයින් හැටියට ශක්තිමත්ව අනාගතයට මුහුණදී සංවර්ධිත රටක් බවට මේ රට පත් කරමු.'' යන්නයි.