රවිනාථ, මිනිස් ජාවාරම සහ විදේශ ප්‍රතිපත්තිය

මෙම සටහන ලිවීමට පාදක වූයේ පසුගිය සතියේ ඩේලි නිව්ස් පුවත්පතේ ප්‍රසිද්ධ වූ කදිම පුවතක්ය. එම පුවතට අනුව විදේශ අමාත්‍යංශයේ වත්මන් ලේකම් රවිනාථ ආරියසිංහ තම කාන්තා රත්නයන් පිරිවරාගෙන ඔස්ට්‍ර්ලියානු රාජ්‍යය නියෝජිත පිරිසක් හමුවී මිනිස් ජාවාරමට වැට බැඳීම ගැන කතා කළේලු!

 කතුවැකිය

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට හිමිව තිබූ ගෞරවනීය පිළිගැනීම හිටපු අගමැතිනි සිරිමා බණ්ඩාරනායක මැතිණියගෙන් පසු සෝදා පාලුවට ලක්විය. මේ වන විට අපට ඉතුරු වී ඇත්තේ හොදා පාලුවට ගිය විදේශ ප්‍රතිපත්තියක් සහ එය තම පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් කිසිඳු හිරිකිතයක් නොමැතිව අයාලේ යවන කල්ලියකි. එම කල්ලිය ඉතාම සූක්‍ෂමව එකිනෙකාට සමීපව සම්බන්ධ වී ඇති ජාලයකි. 

රට වෙනුවෙන් යම් කිසි යහපත් දෙයක් සිදු කිරීම අදිටන් කර ගනිමින් මෙම ක්ෂේත්‍රයේ සේවයට යන නිලධාරීන් අවසානයේ තමන්ගේ වැඩක් බලාගනිති. මන්ද මෙය එතරමට කුණු වී ගොස් ඇති මඩ වලකි. උසස්වීම් ලබා ගැනීම සඳහා උසස් හැදියාව නොව පෞද්ගලික ලබැඳියාවට මුල් තැන දෙන්නේ නම්, සේවාව සඳහා දැනුම නොව තම ලිංගික ආකර්ෂණය සහ එය කිසිඳු හිරිකිතයක් නොමැතිව ඕනෑම දුර්වලයෙකු ඉදිරියේ භාවිතා කොට තම පෞද්ගලික සිතැඟියාවන් ඉටු කර ගැනීමට හැකි වටපිටාවක් තිබේ නම් සැබෑ කුසලතාවයක් ඇති නිලධාරීන්ට  හිමිවන බිජ්ජක් නැත. 



කෝප් කමිටුව ලංකා ක්‍රිකට් ආයතනය සහ මහජන බැංකුව ආදී ආයතන ගැන ප්‍රසිද්ධියේ විමසූ ආකාරයෙන්ම මෙම විදේශ අමාත්‍යාංශය සහ ඊට සම්බන්ධ රජදූත සේවා සපයන ආයතන හෙවත් තානාපති කාර්යාල සහ මහා කොමසාරිස් කාර්යාල සියල්ලම වහාම වගවීමට සහ ඇගයුම් කිරීමට ලක්කළ යුතුව ඇත. 

රටේ සිටින ඔලමොට්ටල දේශපාලනඥයින්ට දොස් පැවරීමට වඩා මේ රට අඝාදයට හෙලා ඇත්තේ මෙවැනි ආයතන වල ලැගගෙන සිටින අයවලුන්ය. අවසනාවක මහත නම්, ඇතැම් තානාපති කාර්යාල වල සේවය කරන නිලධාරීන්  උපතින් ශ්‍රී ලාංකික වුවද පුරවැසිභාවයෙන් විදේශිකය. ඇතැමුන් මේ රටට පය ගහන්නේවත් නැත. එසේම ඇතැමුන් තම තනතුර භාවිතා කරනු ලබන්නේ පෞද්ගලික ව්‍යාපාරික කටයුතු උදෙසා මිස රටේ යහපතට නොවේ. මෙම  අපකීර්තිමත් ආයතනය තුළ එවැනි, සිදුවීම් රාශියක් තිබේ. ඇතැමුන්ට මාරු වීම් ලබාදෙන විට, තම ඇඟ පෙන්නා හෝ මුදල් පෙන්නා එය භාර නොගෙන  බටහිර රටකම සිටිති. ඔවුහු "සේවයේ" මුවාවෙන් වෙනමම සැපක් ගන්නා මානවයින් කොටසකි. රටට හෙණ වැදුණද මොවුන්ට වැඩක් නැත. 

මෙම ආයතනයේ  සේවය කරන අයවලුන්ට රටේ මහජනාත්වගේ මුදලින් ලබා දෙන වැටුප්, පාරිතෝෂ දීමනා සහ ඔවුහු ඒ වෙනුවෙන් රටට සිදුකරන සේවාවේ තරම ගැන සාමන්‍යය ජනතාව දන්නේ නම් රටේ ජාතික ධනය විනාශ වන ආකාරය ගැන මානා අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත. අවාසනාවට මෙන් ගමේ ගොඩේ ඕපාදූප සොයමින් රටවටා සිදුවන දේශපාලන ඕපාදූප වලට පමණක් මුල් තැන දෙන රටේ මාධ්‍යය ආයතන මෙම අතිශය තීරණාත්මක ආයතනය ගැන දක්වන සැලකිල්ල ඉතාම අවමය.

වත්මන් ආණ්ඩුව තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කොට තිබේ. එය දේශපාලන බේදයකින් තොරව අගය කළ යුතු කාරණයකි. එසේම මීළඟට බලයට පත්වන්නා කුමන පුද්ගලයකු වුවද ඔහු හෝ ඇය රටට ආදරයක් දක්වන්නෙකු නම් එවැනි පනත් වඩාත් හොඳින් පවත්වාගෙන යා යුතුය.  

මන්ද, මෙවැනි පනත් ඔස්සේ, රට තුළ සිදුවන බොහෝ දෑ මෙන්ම රටට අයත් විදේශ අමාත්‍යාංශය සහ ඊට අයත් තානාපති කාර්යාල මෙන්ම මහා කොමසාරිස් කාර්යාල ජනතාවට වගකිව යුතු ආයතන බවට පත් කළ හැකිය. රටේ ජනතාවට එම අමාත්‍යාංශය සිදුකරණ කටයුතු ගැන ගිණුම් වාර්තා ලබා ගත හැකිය. මෙවැනි ආයතන වල සේවය කරන සියලුම දෙනා පැහැදිලිවම වගවීමට නතු නොකොට මේ රටට අනාගතයක් නැත. එසේම, වසර ගණනාවක් තිස්සේ මෙම ක්ෂේත්‍රය කාබාසිනියා කරමින් රටට කිසිඳු යහපත් දෙයක් සිදු නොකරන අයවලුන් මෙම ආයතන වලින් වහාම පන්නා දැමීම සඳහා එවැනි වගවීමක් ඉතාම ප්‍රයෝජනවත් වේ.  

මෙම සටහන ලිවීමට පාදක වූයේ පසුගිය සතියේ ඩේලි නිව්ස් පුවත්පතේ ප්‍රසිද්ධ වූ කදිම පුවතක්ය. එම පුවතට අනුව විදේශ අමාත්‍යංශයේ වත්මන් ලේකම් රවිනාථ ආරියසිංහ තම කාන්තා රත්නයන් පිරිවරාගෙන ඔස්ට්‍ර්ලියානු රාජ්‍යය නියෝජිත පිරිසක් හමුවීමය. එසේ හමුවී මිනිස් ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකා- ඕස්ට්‍රේලියා සහයෝගීතාවය ගැන දීර්ඝ වශයෙන් කතාබහ කළ බව අදාළ පුවතේ දැක්වේ. එසේම එම කාන්තාවන් එළඹෙන ඔක්තෝම්බර් මාසයේ ඕස්ට්‍රේලියාවේ පවැත්වෙන එහි ඊළඟ වටයේ කතාබහ  සඳහාද සහභාගී වන බව අදාළ පුවත සඳහන් කොට ඇත. අනෙක් පසින්, ඕස්ට්‍රේලියානු රාජ්‍යය පාර්ශවය නියෝජනය කරමින් අදාළ විෂය ගැන දන්නා විශේෂඥයින් පිරිසක් සහභාගී වූහ. සේයාරුවට අනුව, එහි ලැගුම් ගෙන ඇති ශ්‍රී ලංකා පාර්ශවය දැකීමේදී සිහියට නැගෙන්නේ පැරණි රජ කාලයේ, රජාගේ අන්තප්පුරය ය. බලන් සකි ඒ රජාගේ හැඩ සහ ඔහුගේ තෝරා ගැනීමේ රහ. 

ඊට අදාළ සේයාරුව මධ්‍යයේ පළවීමෙන් පසු අපට පැන නගින මූලික ගැටලුව වන්නේ විදේශ  කටයුතු අමාත්‍යාංශයේ වත්මන් ලේකම්තුමා හැරෙන්නට, ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු තීරයේ සිදුවන මිනිස් ජාවාරම ගැන ඉතාම හොඳින් දන්නේ මෙම ලේකම්තුමාගේ අනුහසින් තෝරාගත් එම කාන්තවාන් පමණක්ද, යන්නය? එය එසේ නම් එම හමුවීමට සහභාගී වූ එම කාන්තාවන්, අදාළ විෂය ගැන සිදුකොට ඇති අධ්‍යනයන් කෙබඳුද?  

මෙවැනි වදගත් හමුවීම් වලට රටේ නාවික හමුදාවෙන් කිසිම නිලධාරියෙකු හෝ නිලධාරිණියක සහභාගී නොවිය යුතුද? මිනිස් ජාවාරම සිදුවන්නේ මුහුද ඔස්සේ මිස, ලේකම් රවිනාථගේ ගෙදර මුල්ලෙන් හාරා ඇති ( එවැන්නක් හාරා තිබේ නම්) හිලක් ඔස්සේ හෝ ඔහු පිහිනීමට යන්නේ නම් ඒ යන  පිහිනුම් තටාකයේ නොවේ. එසේම මුහුදේ සිදුවන මිනිස් ජාවාරමේ ස්වභාවය මෙන්ම එහි අභියෝග ගැන වඩාත්ම හොඳින් දන්නේ මෙරට නාවික හමුදාවය. ඔවුහුට මෙවැනි අවස්ථා නියෝජනය කිරීමට අවස්ථාව  නොදී, තමන්ගේ සිතැඟියාවට මෙම ලේකම් උන්නාන්සේ නටන නාඩකම කුමක්ද යන්න ගැටලුවකි. රාජකාරිය නිවැරදිව කිරීමට අපොහොසත්නම්, තමන්ගේ සේවයෙන් රටට සිදුවන්නේ අගතියක් නම්, රටට සහ ජනතාවට පව් නොදී තමන්ගේ වැඩක් බලා ගැනීම මනාය. එවැනි පුණ්‍ය කර්මයකින් මෙලොවදී මෙන්ම පරළොවදීද සැප ලැබේ. 

මෙරට විදේශ ප්‍රතිපත්තියට සිදු වී ඇති වින්නැහිය සරලව අවබෝධ කර ගැනීම සඳහා මෙම සිදුවීම පමණක් ප්‍රමාණවත්ය. 

අපි දැන්වත් වෙනස් විය යුතුය. රට හමුවේ ඇති අවස්ථා අපහරණය කොට තම පෞද්ගලික ආශාවන් සන්තර්පණය කිරීම වහාම නතර කළ යුතුය. තම රාජකාරියට පෞද්ගලික ජීවිතයේ ඇති  කුණු කන්දල් එකතු කර ගැනීම  නොකළ යුතුය. අනෙකුත් රාජ්‍යය සේවකයින් මෙන්ම, මෙම ආයතන වල සේවය කරන සියලුම දෙනා උපයන මුදලට සරිලන සේ සේවය කිරීමේ වගකීමට බැඳී සිටිති. ඒ වෙනුවට තැන දුටු තැන වල ඉහගෙන රටට හෙණ වැදුණද තමන්ගේ වැඩේ කර ගැනීමේ මනෝභාවයෙන් රාජ්‍යය ආයතනවල කාලය ගෙවා දැමීම සහගහන අපරාධයකි. 

සුරංගනා කතා වලින් වැඩක් නැත. වැදගත් වන්නේ තම වැදගත්කම සහ තමන් විසින් ආයතනයට සහ රටට දක්වන ගරුත්වය වචනයෙන් නොව ක්‍රියාවෙන් පෙන්වීමය.