‘‘නිදහස් හා සාධාරණ මැතිවරණයක් ගැන සහතික වියයුතුයි‘‘ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය


ජනාධිපති බලතල යොදා ගනිමින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකින බව අද (10) නිකුත් කළ නිවේදනයකින් දක්වා තිබේ. 

මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන්නේ, 

ජනපති බලතල අනිසි ලෙස භාවිත කරලා - 2015 පොරොන්දු ? 

''විශේෂයෙන්ම මැතිවරණ සුදානමක් පවතින සන්දර්භයක් තුළ, මෙම පවරා ගැනීම සිදුවිමෙන් තත්ත්වය වඩාත් බරපතල වෙයි. එසේම ව්‍යවස්ථානුකුල ජනාධිපති බලතල අනිසි ලෙස භාවිතා නොකරන බවට ප්‍රතිඥාවක් දෙමින් බලයට පත්වු යහපාලන ජනාධිපතිවරයකු යටතේ මෙම පියවර ගැනීම පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි කනස්සල්ලට පත් වෙයි. ව්‍යවස්ථානුකූලව ඔනෑම විෂයක් ජනාධිපතිවරයා යටතට පවරා ගැනීමට තිබෙන අයිතිය පාවිච්චි කොට ගත් බව පෙනෙන මෙම තීරණය, වර්තමාන දේශපාලන සන්දර්භය තුල තබා බැලිය යුතුයැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කල්පනා කරයි. 

ව්‍යවස්ථානුකූලව එලබෙන ජනාධිපති මැතිවරණ සමයක, ජන මාධ්‍යය සමාජ වගකීමක් සහිත රාමුවක් තුල ක්‍රියාත්මක වන බවට වග බලා ගැනීම මැතිවරණ කොමසාරිස්වරයා සතු සුවිශේෂ කාර්යභාරයක් ලෙස පිලි ගැනීමක් පවතියි.ජනාධිපතිවරයා යටතේ තිබෙන විෂයක් එවැනි නියාමන රාමුවකට විෂය වන්නේ ද යන්න විමසිය යුතු නීතිමය ගැටළුවක් වෙයි. එසේම ජනාධිපතිවරයා  සභාපතිත්වය දරන දේශපාලන පක්ෂයෙන් ද ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව මේ වන විට මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම් දිමක් ද කර තිබේ. ඒ අනුවත් ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂ අමාත්‍යංශය යටතට, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව පත් කිරීම විවාද සම්පන්නය. 

ආරක්ෂක අමාත්‍යංශයට පවරාගත් ගැසට් නිවේදනය අවලංගු කරන්න 

ඕනෑම මැතිවරණයක්  නිදහස් හා සාධාරණ මැතිවරණයක්  වන්නේ ජන්දදායකයින්ට ස්වාධීන තීරණයක් ගැනීමට අවශ්‍ය තොරතුරු අපක්ෂපාතිව ලබා දෙන ජනමාධ්‍ය භාවිතයක් තුළ බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පිළිගැනීමයි. ජනාධිපතිවරයා ගත් මෙම තීරණය එම අයිතිය උල්ලංඝණය කිරීමක් වෙයි.  මේ නිසා ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීම පිළිබඳ ගැසට් නිවේදනය වහාම අවලංගු කරන ලෙසටත්, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සහතික වන ලෙසටත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටියි.''  යන්නයි.