චීන බලාගාරය නිසා කුඹුක්කන් ඔය ජන ජීවිත වැනසේ (2)




- සජීව චාමිකර -



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම

ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ 27 (14) වන ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩි දියුණු කළ යුතු බව සඳහන් වේ. ඒ අනුව කුඹුක්කන් ඔය හා ඒ ආශ්‍රිත පරිසරය ආරක්ෂා කිරීමට, එම ජලජ පද්ධතිය දූෂණය වීම වැළැක්වීම හා එහි ගුණාත්මකභාවය පිරිහී යාම වැළැක්වීමට මෙන්ම එය සුරක්ෂිත කොට අනාගත පරපුරේ පැවැත්ම උදෙසා දායාද කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම රජය බැඳී සිටී. ඒ අනුව රජයේ සියලු ආයතන තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාර ව කටයුතු කරමින් කුඹුක්කන් ඔයේ ජල සුරක්ෂිතතාව ඇති කිරීමට කටයුතු කළ යුතු ව ඇත. නමුත් කිසිදු රාජ්‍ය ආයතනයක් ග්‍රීන් වොට්ස් තාප බලාගාරයෙන් සිදු කරන ජල දූෂණයට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කර නොමැත.

මේ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28(ඊ) ව්‍යවස්ථාවට අනුව සඳහන් වන ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් රැක ගැනීම ශ්‍රී ලංකාවාසී සෑම තැනැත්තකුගේ ම යුතුකම වන්නේ ය යන කරුණ මත පදනම් ව කුඹුක්කන් ඔය දූෂණය කිරීමට එරෙහිව නීතිරීති ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ රාජ්‍ය අංශ යොමු කිරීම පමණක් නොව මෙම ඔයේ සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා, සමාජය යොමු කිරීම, රාජ්‍ය අංශයට බලපෑම් කිරීම, එම හානිකර ක්‍රියාවන්ට එරෙහිව නීත්‍යනුකූලව ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට ඕනෑ ම පුරවැසියකුට අයිතිය ඇත. එම අයිතිය භාවිතා කිරීමට ජනතාව ඒකරාශී විය යුතු ය.

දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම

දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති කිපයක් භාවිතා කර කුඹුක්කන් ඔයට අප ජලය හා අපද්‍රව්‍ය බැහැර කිරීම පාලනය කළ හැකි ය. මෙම පනතේ 261 වන වගන්තියට අනුව පොදුවේ අයිතිවාසිකම් භුක්ති විඳීමේ හැකියාව පවතින ප්‍රභවයක් අන්තරායකට හෝ බාධාවකට ලක් කිරීම මහජන පීඩාවකි. එවන් ක්‍රියාවක නිරත වන පුද්ගලයකු වැරදිකරුවකු වන අතර එය සමාව දිය නොහැකි වරදකි. මෙම පනතේ 270 වන වගන්තියට අනුව යම් පොදු ජල ප්‍රභවයක් අපවිත්‍ර කරන පුද්ගලයකු වැරදිකරුවකු වන අතර මාස 3ක් දක්වා බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් පනහක දඩයකට හෝ මේ දෙකට ම යටත් කළ හැකි ය. තව ද මෙම පනතේ 185 වන වගන්තියට අනුව දිය පහරකට අපද්‍රව්‍ය බැහැර කිරීම නොකරන ලෙස දැනුම් දුන් පසුව හා පවතින නීති උල්ලංඝනය කරමින් එවන් ක්‍රියාවක නිරත වන පුද්ගලයකු මාසයක් දක්වා ලිහිල් බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් පනහක දඩයකට හෝ මේ දෙකට ම ලක් කළ හැකි ය. තව ද අපද්‍රව්‍ය දියපහරවලට බැහැර කිරීම හේතුවෙන් මනුෂ්‍ය ජීවිතයට හෝ සෞඛ්‍යයට හානියක් සිදුවුවහොත් හය මාසයක් දක්වා බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් සීයයක් දක්වා දඩයකට හෝ මේ දෙකට ම යටත් කළ හැකි ය.

මහජනතාවගෙන් මේ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි මත පොලීසියට හෝ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ට මහේස්ත්‍රාත් අධිකරණයක මේ පිළිබඳ ව කරුණු වාර්තා කළ හැකි ය. එපමණක් නොව මේ හේතුවෙන් පීඩාවට පත්වන පුද්ගලයකුට ද මහේස්ත්‍රාත් අධිකරණයක මෙම කරුණු වාර්තා කර සහනයක් ලබා ගැනීමේ හැකියාව ඇත. 


අපරාධ නඩු විධාන සංග්‍රහ පනත උල්ලංඝනය කිරීම

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතට අනුව කුඹුක්කන් ඔයට කසළ බැහැර කිරීම හා අප ජලය බැහැර කිරීමට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව ඇත. මෙම පනතේ 98(අ) වගන්තියට අනුව මහජනතාව පොදුවේ භාවිතා කරන ගංගාවක් හෝ ඇළක් දූෂණයට ලක් කළ විට එය ඉවත් කිරීමේ හැකියාව ඇත. 104 වන වගන්තියට අනුව මිනිසුන්ගේ සෞඛ්‍යයට බරපතළ හානි වන ක්‍රියාවක් සිදු වන්නේ නම් ඊට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කිරීමට හැකියාව ඇත. මෙම පනතේ 105 වන වගන්තියට අනුව දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථකථනය කර ඇති පරිදි මහජන පීඩාවක් නැවත නොකර සිටින ලෙසට හෝ දිගට ම නොකරන ලෙසට ආඥාවක් නිකුත් කිරීමේ බලය ඇත.

කුඹුක්කන් ඔය ට අපද්‍රව්‍ය බැහැර කිරීම සිදු කරන අවස්ථාවක දී ඒ සම්බන්ධයෙන් පොලීසියට හෝ මහජන සෞඛ්‍යය පරීක්ෂක වෙත පැමිණිලි කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් එම ක්‍රියාව නතර කිරීමට ක්‍රියාමාර්ග ගත හැකි ය. ජල මූලාශ්‍රවලට අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් පීඩාවට පත්වන පුද්ගලයින්ට ද ඒ පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත කරුණු වාර්තා කර තහනම් නියෝගයක් ලබා ගැනීමට හැකියාව ඇත. 

පීඩන ක්‍රියා ආඥා පනත උල්ලංඝනය කිරීම

1939 අංක 61 දරන පීඩන ක්‍රියා ආඥා පනතට අනුව කුඹුක්කන් ඔයට අපද්‍රව්‍ය බැහැර කිරීමට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇත. මහජන සෞඛ්‍යයට බලපෑම් ඇති වන ලෙස කසළ බැහැර කිරීම සිදුවන අවස්ථාවල දී පොලීසියට හා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ට මෙම පනතට අනුව එවන් ක්‍රියාවල නිරත වන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත. 

මෙම පනතේ 2 (6) වගන්තියට අනුව අපද්‍රව්‍ය පිටතට බැහැර කිරීම වරදකි. පනතේ 3 වන වගන්තියට අනුව මෙම ක්‍රියා නතර කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයකින් දැනුම් දුන් පසුව ද එය දිගින් දිගට ම කර ගෙන යන්නේ නම් ඒ සඳහා අතිරේක දණ්ඩනයකට යටත් කිරීමේ බලය ඇත. පනතේ 12 වන වගන්තියට අනුව එවන් ක්‍රියාවක නිරත වන පුද්ගලයකුට එම අපද්‍රව්‍ය නැවත ඉවත් නොකිරීම හා එය ඉවත් කිරීම නොකර හරින්නේ නම් ඒ සඳහා දණ්ඩනයක් නියම කිරීමට හැකියාව ඇත. 

මෙවන් හානි කර ක්‍රියාවක නිරත වන යම් කර්මාන්තයක් සම්බන්ධයෙන් හෝ දුටු විට හෝ ඒ සම්බන්ධයෙන් මහජනතාවගෙන් තොරතුරු ලැබුණු විට එම කරුණු මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත වාර්තා කර එම ක්‍රියාව නතර කිරීමට පියවර ගැනීමේ බලය මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ට හෝ පොලිස් නිලධාරීන්ට ඇත. මෙම පනතේ 20 වන වගන්තියට අනුව යම් නිලධාරියකු එම හානි කර ක්‍රියා නතර කිරීමට ක්‍රියාමාර්ග නොගන්නේ නම් දණ්ඩනයකට යටත් කිරීමේ බලය ඇත. 

ප්‍රාදේශීය සභා පනත උල්ලංඝනය කිරීම

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතට අනුව කුඹුක්කන් ඔයට අපද්‍රව්‍ය එක් කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත. මෙම පනතේ 78 හා 100 වන වගන්තිවලට අනුව මහජන පීඩා වැළැක්වීමට ඇති අණ පනත් ක්‍රියාවේ යෙදවීමට ප්‍රාදේශීය සභාවට බලය ඇත. මේ අනුව පීඩන ක්‍රියා ආඥා පනත, අපරාධ නඩු විධාන සංග්‍රහය හා දණ්ඩ නීති සංග්‍රහය අනුව මහජන පීඩා වැළැක්වීමට නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ප්‍රාදේශීය සභාව සතුවේ. මෙම පනතේ 105 වන වගන්තියට අනුව ජලය භාවිතයට ගන්නා ජලාශයකට හෝ ඒ හා සම්බන්ධ ජල මාර්ගයකට යම් කර්මාන්තයකින් අපද්‍රව්‍ය එක් කිරීම හා අපද්‍රව්‍ය එක් කිරීමට සැලැස්වීම නීති විරෛා්ධී වේ. එවන් ක්‍රියාවකට වරදකරුවකු කරන තැනැත්තෙකුට රුපියල් පන්සියය දක්වා දඩයකට යටත් කළ හැකි අතර එම වරද නැවත සිදු කරන අවස්ථාවල දී දිනකට රුපියල් සියයය බැගින් අතිරේක දඩයකට ද යටත් කළ හැකි ය.

මෙම පනතේ 106 වන වගන්තියට අනුව යම් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් තුළ සෞඛ්‍යයට බලපෑමක් ඇති වන පරිදි යම් කර්මාන්තශාලාවක් පවත්වා ගෙන යන්නේ නම් එම කර්මාන්තශාලාවේ අපද්‍රව්‍ය හානිකර ලෙස බාහිර ජල මූලාශ්‍රවලට එක් කරන්නේ නම් හා ඒමඟින් මානව සෞඛ්‍යයට බලපෑම් එල්ල වන්නේ නම් එම කර්මාන්තශාලාව පවත්වාගෙන යන්නා වරදකරුවකු වේ. එවන් වරදකට වරදකරු කරනු ලැබූ විට මහේස්ත්‍රාත් අධිකරණයකින් නියම කරන දඩයකට යටත් විය යුතු අතර එම කර්මාන්තශාලාව පවත්වාගෙන යාම නතර කරන ලෙසට ආඥාවක් නිකුත් කිරීමේ බලය මහේස්ත්‍රාත්වරයාට ඇත.

මෙම පනතේ 77 වන වගන්තියට අනුව යම් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් තුළ පොලිස් නිලධාරීන්ට හා ග්‍රාමසේවා නිලධාරීන්ට මහජන පීඩා වැළැක්වීම සඳහා පියවර ගැනීමේ බලය පවරා ඇත.

මෙම පනතේ 107 වගන්තියට අනුව සඳහන් වන්නේ 105 හා 106 වගන්ති වල සඳහන් වන ආකාරයට      “පරිසර දූෂණය” යන්න අර්ථ නිරූපනය කර ඇත්තේ පරිසරයෙන් ලැබෙන ප්‍රයෝජන කිසිවක් කෙරෙහි අහිතකර ලෙස බලපාන අන්දමට නැතහොත් මහජන සෞඛ්‍යයට, ආරක්ෂාවට හෝ ශුභසිද්ධියට හෝ සෑම වර්ගයේ ම සතුන්ට, පක්ෂීන්ට, වන සතුන්ට, මත්ස්‍යයන්ට, ජලජ ජීවින්ට හෝ ශාකවලට උපද්‍රව සහිත තත්ත්වයක් නැතහොත් උපද්‍රවකාරී විය හැකි තත්ත්වයක් ඇති වන අන්දමට අපද්‍රව්‍ය පිට කිරීමෙන්, විමෝචනය කිරීමෙන්, නැතහොත් තැම්පත් කිරීමෙන් පරිසරයේ කවර හෝ කොටසක පවත්නා භෞතික, තාප, රසායනික, ජෛව හෝ විකිරණශීලී ගුණ කිසිවක් කෙලින්ම නැතහොත් අන්‍යාකාරයකින් වෙනස් කිරීමකි. 

මේ අනුව තාප බලාගාරයෙන් මහජනතාවට හා අවට ජීවීන්ට බලපෑමක් වන ආකාරයෙන් කුඹුක්කන් ඔයට අපද්‍රව්‍ය බැහැර කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ප්‍රාදේශීය සභාවට ඇත. නමුත් මොනරාගල ප්‍රාදේශීය සභාව මෙම බලාගාරයෙන් කුඹුක්කන් ඔය දූෂණය කිරීමට එරෙහි ව මෙම කිසිදු නීතියක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැත.

රජයේ ඉඩම් ආඥා පනත උල්ලංඝනය කිරීම

1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනතට අනුව කුඹුක්කන් ඔයේ රක්ෂිත කලාපයේ තාප බලාගාරයට අදාළ අනවසර ඉදි කිරීම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත. මෙම ආඥා පනතේ 49 වන වගන්තියට අනුව ගංගාවක, ඇළක, දොළක, රක්ෂිත පැවතිය යුතු බව සඳහන් වේ. 50 වන වගන්තියට අනුව පොදු ජල මාර්ගයක් දෙපස නියමිත ප්‍රමාණයේ බිම් තීරුවක් රක්ෂිතයක් ලෙස පැවතිය යුතු බව සඳහන් වේ. ඒ අනුව පොදු ජල මාර්ගයේ පළල අඩි 15ට වඩා අඩු නම් ඉවුරේ සිට දම්වැල් 1ක් නැතහොත් අඩි 66ක් (මීටර් 20ක්) රක්ෂිතයක් ලෙස පැවතිය යුතු ය. පොදු ජල මාර්ගයේ පළල අඩි 15ත් 50ත් අතර නම් ඉවුරේ සිට දම්වැල් 2ක් නැතහොත් අඩි 132ක් (මීටර් 40ක්) රක්ෂිතයක් ලෙස පැවතිය යුතු ය. පොදු දිය පහරේ පළල අඩි 50ට වඩා වැඩි නම් ඉවුරේ සිට දම්වැල් 3ක් නැතහොත් අඩි 198ක් (මීටර් 60ක්) රක්ෂිතයක් ලෙස ඉතිරි කළ යුතු වේ.

මෙම ආඥා පනතේ 52වන වගන්තියට අනුව ගංගාවක නියමිත රක්ෂිත ප්‍රදේශවල අනවසර භාවිතයක් හෝ අවනසර ඉදි කිරීමක් හෝ සිදුවන අවස්ථාවල දී එම ඉඩම් භුක්ති විඳි කාලය අනුව එහි අයිතිය අදාළ පුද්ගලයාට හිමි නොවේ. එසේ නැත්නම් කාලාවරෝධී අයිතිය හිමි නොවේ. මෙම පනතේ 53 වන වගන්තිය අනුව ගඟක රක්ෂිතයක් අනවසරයෙන් භුක්ති විඳින පුද්ගලයකුට ඉන් ඉවත් කිරීමට කටයුතු කිරීමේ දී හෝ එම භුක්ති විඳීම අහිමි කිරීමට කටයුතු කිරීමේ දී එම පුද්ගලයාට රජයට විරුද්ධව නඩු පැවරීමේ හැකියාවක් නොමැති අතර වන්දි හිමිවීමක් ද සිදු නොවේ.

මේ ආඥා පනතේ 229 වන වගන්තියට අනුව ගංගා දෙපස පිහිටි රක්ෂිතයක් කවර ආකාරයෙන් හෝ බදු දීමක්, අනවසරයෙන් අල්ලා ගැනීමක් නොකළ යුතු අතර එම කොටසේ කැළෑව වැවෙන්නට ඉඩ හැරිය යුතු ය. මෙම නීතිරීති ක්‍රියාත්මක කිරීමේ බලය මොනරාගල ප්‍රාදේශිය ලේකම්ට හා දිස්ත්‍රික් ලේකම්ට තිබුණ ද අද වන තුරු මෙම නීති මෙම බලාගාරයට එරෙහි ව ක්‍රියාත්මක කර නොමැත.

ජාතික පාරිසරික පනත උල්ලංඝනය කිරීම

2000 අංක 53 දරන පනතින් අවසන්වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව කුඹුක්කන් ඔයට අපද්‍රව්‍ය බැහැර කරන කර්මාන්ත වලට හා ඔය ආශ්‍රිත ව සිදු වන හානි කර සංවර්ධන කටයුතු පාලනය කිරීමේ හැකියාව ඇත.

ජාතික පාරිසරික පනතේ 23 ප වගන්තියට අනුව ප්‍රකාශයට පත් කරන ලද 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව මීටර් 25කට වැඩි පළලක් ඇති ජල මාර්ගයක ඉවුරේ සිට මීටර් 60 ක් තුළ යම් සංවර්ධන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මේ අනුව කුඹුක්කන් ඔයේ  ඉවුරු ආශ්‍රිත ව මෙම බලාගාරයට අදාළ සියලූ ම ඉදි කිරීම් සිදු කිරීමට ප්‍රථම මෙම අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් එවන් කිසිදු නීත්‍යනුකූල අනුමැතියකින් තොර ව මෙම බලාගාරය පවත්වාගෙන ගොස් තිබේ.

ජාතික පාරිසරික පනතේ 23 අ වගන්තියට අනුව ප්‍රකාශිත 2008 ජනවාරි 25 වන දින අංක 1533/16 දරන ගැසට් නිවේදනයේ “අ” කොටසේ දැක්වෙන ලෙස විදුලි බල උත්පාදන කර්මාන්තයක් පවත්වාගෙන යාමට “පරිසර ආරක්ෂණ බලපත්‍රයක්” ලබා ගත යුතු ය. 23ආ (1) උප වගන්තියට අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලබා දෙන ප්‍රමිතීන්ට හා උපමාන වලට යටත් ව කටයුතු කිරීමට බලපත්‍රය නිකුත් කරනු ලැබේ. පනතේ 23ඈ උප වගන්තියට අනුව පරිසර ආරක්ෂණ බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කරමින් කටයුතු කිරීමේ දී බලපත්‍රය අත්හිටුවීම හෝ අවලංගු කිරීම හෝ සිදු කළ හැකි ය. 23අ (2) උප වගන්තියට අනුව බලපත්‍රයේ කොන්දේසි කඩ කරමින් හෝ බලපත්‍රයක් නොමැති ව කර්මාන්තයක් පවත්වාගෙන යන්නේ නම් පනතේ 23අ (3) උප වගන්තියට අනුව වරදක් වේ. එවන් වරදකට වරදකරුවකු වන පුද්ගලයකු රුපියල් දස දහසකට නොඅඩු දඩයකට හෝ එක් වර්ෂයකට නොඅඩු බන්දනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. 23අ (4) උප වගන්තියට අනුව බලපත්‍රයක් නොමැතිව කර්මාන්තයක් පවත්වාගෙන යන්නේ නම් එම කර්මාන්තය වසා දැමීමට අධිකරණයට ආඥාවක් නිකුත් කිරීමේ බලය ඇත. 

අපද්‍රව්‍ය පොදු දිය පහරකට බැහැර කරන කර්මාන්ත පවත්වාගෙන යාම සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේ දී ජලීය අපද්‍රව්‍ය බැහැර කළ හැකි සීමාවන් ජාතික පාරිසරික පනතේ 23අ, 23ආ හා 32 වන වගන්ති යටතේ ප්‍රකාශයට පත් කරන ලද 2008 පෙබරවාරි 01 වන දින අංක 1534/18 දරන ගැසට් නිවේදනයේ සඳහන් වේ. එම සීමාවන් උල්ලංඝනය කරමින් ජලීය අපද්‍රව්‍ය කුඹුක්කන් ඔයට මුදාහැරීමේ හැකියාවක් කිසිදු කර්මාන්තයකට නොමැත. එම තත්ත්වයන් උල්ලංඝනය කරමින් පවත්වාගෙන යන බලාගාරයේ පරිසර ආරක්ෂණ බලපත්‍රය අවලංගු කිරීම හා එම කර්මාන්තශාලාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇත. මෙතරම් විශාල වගන්ති ප්‍රමාණයක් උල්ලංඝනය කර තිබිය දී මධ්‍යම පරිසර අධිකාරිය මේ සියලූ ම වගන්ති ආවරණය වන පරිදි බලාගාරයට එරෙහි ව මෙතෙක් නඩු පැවරීම සිදු කර නොමැත. දැනට නඩු පැවරීම සිදු කර ඇත්තේ කුඹුක්කන් ඔය ආසන්නයේ සිදු කර ඇති ඉදි කිරීම් වලට පමණි. මේ අනුව චීන බලාගාරය හා රාජ්‍ය ආයතන අතර ඇති සම්බන්ධය තහවුරු වේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පනත උල්ලංඝනය කිරීම

ජාතික රාජ්‍ය සභාවේ 1974 අංක 2 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පනතේ 34 වන වගන්තියට අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් යන්ත්‍ර සූත්‍ර වලට වුවමනාවෙන් හෝ නොසැලකිල්ලෙන් හානි සිදු කරන අවස්ථාවක හෝ ජල සම්පාදනයට අවහිර වන අන්දමින් වුවමනාවෙන් යම් ක්‍රියාවක් සිදු කරන සෑම තැනැත්තෙකු ම වරදකරුවකු වේ. මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් සියයක් නොයික්මවන දඩයකට යටත් කළ හැකි ය. පනතේ 38 වන වගන්තියට අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජලය ලබාගන්නා යම් ස්ථානයක ජල මාර්ගයක් අපවිත්‍ර වන හෝ අපවිත්‍ර වීමට ඉඩ ඇති යම් ක්‍රියාවක් කළ හොත් එය වරදක් වන්නේ ය. මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගයකින් පසුව රුපියල් දහසක දඩයකට යටත් කළ හැකි ය. එම වරද නොකඩවා කරනු ලැබුවහොත් එක් දිනකට පන්සියය නොඉක්මවන දඩයකට ලක් කළ හැකි ය. 
1982 අංක 12 දරන පොදු දේපල විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනත හෙවත් පොදු දේපල පනතට අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් දෙකේ කණුව ජල පිරිපහදු පද්ධතියට අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් සිදු වූ හානියට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව ඇත. නමුත් ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීමට හෝ නීති උපදෙස් ලබා ගැනීමට හෝ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කටයුතු නොකිරීම කනගාටුවට කරුණකි. 

ලංකාවේ ක්‍රියාත්මක අණ පනත් ගණනාවක් උල්ලංඝනය කරද්දී රාජ්‍ය ආයතන නිද්‍රාශීලීව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කුඹුක්කන් ඔය ආශ්‍රිත ව දිවි ගෙවන ජනතාව හා ජෛව ප්‍රජාව දැවැන්ත ඛේදවාචකයකට මුහුණ දෙමින් සිටී. ඊට එරෙහි ව අද දින හෝ රාජ්‍ය ආයතන චීන තාප බලාගාරයට එරෙහි ව ක්‍රියාත්මක විය යුතු ව ඇත. එසේ නොවුනහොත් අනාගතයේ දී මීට වඩා දැවැන්ත ඛේදවාචකයකට රටේ ජනතාවට මුහුණ දීමට සිදු වනු ඇත. ඊට හේතුව චීන ආයෝජන සඳහා රජය වෙනම ම ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව පෙනෙන්නට තිබෙන නිසා ය. ඉදිරියේ දී මාගම්පුර වරායට සමගාමී ව අක්කර 15,000 ක භූමියක ස්ථාපිත කිරීමට නියමිත චීන කර්මාන්තශාලා වලින් දැඩි හානියක් සිදු වනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය. අක්කර 50 ක භූමියක ස්ථාපිත කළ චීන බලාගාරයකින් මේ තරම් විශාල ජනතාවක් අවතැන්වීම සිදු වන්නේ නම් අක්කර 15,000 ක භූමියක ස්ථාපිත කිරීමට නියමිත කර්මාන්තශාලා මගින් අති විශාල ජනතාවක් අවතැන් වනු ඇත. එය පිටු දැකීමේ පළමු පියවර ලෙස කුඹුක්කන් ඔය ග්‍රීන් වොට්ස් තාප බලාගාරයට එරෙහි අරගලය ජයග්‍රහනය දක්වා ශක්තිමත් ව ඉදිරියට ගෙන යා යුතු ය. ඒ සඳහා සියලු ජනතාවගේ සහයෝගය අවශ්‍ය ව ඇත.



සබැඳි ලිපි