පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු ත්‍රස්තවාදයට එරෙහිව ක්ෂණික පියවර ගනිමින් හා සාර්ථක මෙහෙයුම් දියත් කරමින් ත්‍රස්තවාදය පාලනය කිරීමට නායකත්වය ලබාදීම මඟින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලෝකයට අගනා ආදර්ශයක් සපයා ඇති බව ශිෂ්ටාචාරයන්ගේ සන්ධානය සඳහා වූ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් මිගෙල් ඒන්ජල් පවසයි.
දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතින්ගේ නියෝජ්‍ය මහලේකම්වරයා අද (30) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති හමු වු අතර ඔහු ගෙන යන ත්‍රස්ත විරෝධි වැඩපිළිවෙළ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේනවෙත සිය ප්‍රසාදය පළ කිරීමට ද ඒ කටයුතු කළේය.
ස්පාඤ්ඤයේ හිටපු විදේශ අමාත්‍යවරයා මෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ද වන ඒ මහතා එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස මෙරට සංචාරයක නිරත වෙයි.
ඔහු ජනාධිපතිතුමා හමුවේ වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා ජනපතිගේ ත්‍රස්ත විරෝධී වැඩපිළිවෙළට අද මුළු ලෝකයේම සහාය පළ වී ඇති බවයි. එම වැඩපිළිවෙළට සහය පළ කරමින් එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධී විශේෂඥ නියෝජිත පිරිසක් නුදුරේදී ම මෙරටට එවීමට මහලේකම්වරයා තීරණය කර ඇතැයි ද ඔහු පැවසීය.
සිය රට වන ස්පාඤ්ඤයට 2014 දී එල්ල වූ අල්කයිඩා ප්‍රහාරය පිළිබඳව ද සිහිපත් කළ නියෝජ්‍ය මහලේකම්වරයා ස්පාඤ්ඤය මෙන්ම ශ්‍රී ලංකාව ද මිත්‍ර ජන සමූහයක් ඇති සත්කාරක රටවල් බවත් එවැනි රටවල් ත්‍රස්ත ප්‍රහාරවලට ලක්වීම ඛේදජනක තත්ත්වයක් බවත් කියා සිටියේය.
එක්සත් ජාතීන්ගේ ශිෂ්ටාචාරය සඳහා වූ සන්ධානය මෙම දිනවල දී ආගමික වන්දනීය ස්ථානවල ආරක්ෂාව සඳහා වූ එක්සත් ජාතීන්ගේ වාර්තාව සම්පාදනය කරමින් සිටින බව පැවසූ නියෝජ්‍ය මහලේකම්වරයා ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේය.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් වෙතත්, නියෝජ්‍ය මහලේකම්වරයා වෙතත් සිය ස්තූතිය පළකළ ජනාධිපති මෙම දුෂ්කර අවස්ථාවේ දී එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් හිමි වූ සහය ශ්‍රී ලංකාවට මහඟු ශක්තියක් බව ද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවූ ත්‍රස්ත අභියෝගය සාර්ථකව ජය ගැනීමට ශ්‍රී ලාංකීය ආරක්ෂක අංශවලට ශක්තිය තිබෙන බව ප්‍රකාශ කළ ජනාධිපති එහිදී ලැබෙන විදේශීය විශේෂඥ සහය ද වැදගත් බව ප්‍රකාශ කළේය. එමෙන්ම ජනාධිපති වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම ත්‍රස්ත මර්දන වැඩපිළිවෙළ සඳහා විදේශීය හමුදාවන් මෙරටට ගෙන්වීමට කිසිසේත් අපේක්ෂා නොකරන බවයි.
Post a Comment