ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ වාර්තාව ලැබීමත් සමඟ එම තොරතුරු සියලු පාර්ශ්වයන්ට විවෘත කරන බව ජනාධිපති පවසයි.
ඉහළ ම අධිකරණ බලයක් ඇති ව මෙම පරීක්ෂණ මණ්ඩලය පත් කර තිබෙන බව පැවසූ ජනාධිපති එහි වාර්තාව භාරදීමට නියමිතව ඇත්තේ සති දෙකක කාලයකින් බවත්, එම වාර්තාව ලැබීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ අනුව ඉදිරි ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බවත් පැවසුවේය.
නව ආරක්ෂක ලේකම් ලෙස පත් කෙරුණු ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ අද (30) පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී වැඩ භාර ගැනීමේ අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව ඔහු ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ පැවති හමුවේ දී ජනපති මේ බව පැවසුවේය.
ත්රස්තවාදයට එරෙහිව දියත් කර ඇති මෙහෙයුම් සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරුණු අතර ජනාධිපති අවධාරණය කළේ මෙම ම්ලේච්ඡ ත්‍රස්තවාදය මුලිනුපුටා දමා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම කඩිනමින් සිදුවිය යුතු බවයි.
මෙම ත්‍රස්ත ප්‍රහාරයට මුහුණදීමෙන් අනතුරුව ලොව කිසිදු රටක සිදු නොවූ අන්දමින් ත්රස්තවාදයට එරෙහිව පියවර ගනිමින්, තොරතුරු අනාවරණය කර ගැනීමට සහ අත්අංඩගුවට ගැනීම් සිදු කිරීමට මෙරට බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ සමත් වූ අතර, ඔවුන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපති ඊට දායක වූ සියලුදෙනාට තම ස්තූතිය පළ කරන බව ද කියා සිටියේය .
පාසල්වල් ආරක්ෂාවට ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව මෙන්ම රජයේ කාර්යාලවල කටයුතු යථා පරිදි පවත්වාගෙන යාම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ජනාධිපති අවධාරණය කළේ රටේ කිසිදු කාර්යයක් අකර්මණ්‍ය වීමට ඉඩ නොතබා සියලු කටයුතු යථා පරිදි පවත්වාගෙන යාමට පියවර ගත යුතු බවයි.
නව ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ අදහස් දක්වමින් කියා සිටියේ ත්‍රස්තවාදය මුලිනුපුටා දමා ජාතික ආරක්ෂාව තහවුරු වූ හා සාමකාමී රටක් ගොඩනැඟීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සිය උපරිම ශක්තිය ලබාදෙන බවයි.
අමාත්‍ය රුවන් විජේවර්ධන, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, අරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක හිටපු පොලිස්පති එන්. කේ. ඉලංකෝන් ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Post a Comment