අවුරුදු අහිමි වූ අම්මාවරු - වරද කාගේද ?


ඔවුන්ට අවුරුදු නැද්ද ? 

ලාංකික සමාජයේ සංස්කෘතික කි‍්‍රයාකාරකම් විවිධ උත්සව හරහා මතුවේ. ඒ අතරින් විශේෂ තැනක් ගන්නේ සිංහල දෙමළ අලූත් අවුරුදු උත්සවයයි. ඒ තුළින් පවුල්, සමාජ කොටස්, එක්ව කටයුතු කිරීම ආරම්භ කරයි. ඔවුනොවුන් අතර තිබූ ගැටළු අමතක කරයි. විවිධ කී‍්‍රඩාවන් තුළින්, අලූත් අවුරුදු කී‍්‍රඩා උත්සව තුළින් සාමූහිකත්වය ගොඩනැගීමටත් , හැකියාවන් මතු කිරීමටත්, අවස්ථාවන් උදාවේ. වර්තමානය වන විට අලූත් අවුරුදු උත්සවය හසුරුවනු ලබන්නේ ජනමාධ්‍යයන් විසිනි. එසේ වුවත් ඒවා ද ඉක්මවන මිනිස් කි‍්‍රයාකාරකම් ද නැත්තේම නොවේ. 

සිංහල හෝ දෙමළ හෝ වේවා අලූත් අවුරුදු සමය තුළ නිවසේ වැඩි නායකත්වයක් දරන්නේ මව විසිනි. නිවස පිරිසිදු කිරීම, ආහාර සැකසීම, අලූත් ඇඳුම් පැළඳුම් ලබා ගැනීම ඇතුළු බොහෝ කාර්යයන් සිදුවන්නේ මවගේ නායකත්වයෙනි. බොහෝ විට පියාගේ ප‍්‍රායෝගික දායකත්වය ලැබුණ ද, තීරණාත්මක දායකත්වයක් දරනු ලබන්නේ මව විසිනි. 

අවුරුදු නැති අම්මලා තිදෙනෙක් 

නමුත්, මේ වසරේ දී එසේ අලූත් අවුරුදු උත්සවය සැමරිය නොහැකි අම්මලා කිහිප දෙනෙක් අපට හමුවිය. ජීවිතයේ අසීරුම අවස්ථාවන් පසුකරමින් යන ඒ මව්වරුන්ට මෙවර අලූත් අවුරුද්ද තවත් දිනයක් පමණක් වන්නට ඇත. අපට මේ මව්වරුන් කිහිප දෙනෙක් හමුවුවත් මෙහිදී සඳහන් කිරීමට හැකිවන්නේ කිහිප දෙනෙක් ගැන පමණයි. 

මෙහි සඳහන් නොවන අලූත් අවුරුද්ද සැමරීමට තරම් මානසික සුවයක් නැති මව්වරුන් දහස් ගණනක් රටේ සිටින බව නොරහසකි. අතුරුදහන්වූවන්ගේ කාර්යාලය මාතර පිහිටුවීමේදී 1989 - 1990 සිට හරියට අලූත් අවුරුදු උත්සවයක් සැමරීමට හැකියාවක් නොතිබුණු මව්වරුන් දහස් ගණනකි. සමහරු තවමත් දරුවන්, සැමියන් සිහිකර හඬා වැලපේ. උතුරේ ද එසේමය. යුද්ධයේ බිහිසුණු බව නිසා තමන්ගේ සැමියන්, දරුවන් හමුදාවට බාරදුන් පසු අද වන තෙක් ඔවුන් සොයන මව්වරු සිටිති. ඔවුන්ට වසර ගණනාවකින් අලූත් අවුරුද්දක් නැත. මේ ගැන ලිවීම විශාල කරුණු රැසක් පැවසීමට සිදුවන නිසා සාමාන්‍ය ජීවිතයේ දී අර්බුද නිසා අලූත් අවුරුදු උත්සවයක් නැති මව්වරුන් ගැන කතා කරමු.



මාධවී බුද්ධිකා රාජගුරු - කුරුණෑගල 

ඇය කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෙදියක්. දෙදරු මවකි. ඇය ශෛල්‍යාගාර හෙදියක් ලෙස අවුරුදු 04 ක් කුරුණෑගල රෝහලේ සේවය කර තිබෙනවා. එදා 2019 මාර්තු මස 12 වෙනි දින ඇය එදත් සාමාන්‍ය පරිදි ශල්‍යාගාරයේ සේවය සඳහා වාර්තා කළා. ඇයගේ සේවා මුරය වූයේ පස්වරු 1.00 ත් 7.00 ත් අතර. එදින ශල්‍යාගාරය භාරව සිටියේ වෛද්‍ය අශෝක විජේමාන්න යි. ශල්‍ය කර්මයක් අවසන්ව තිබූ අදාල රෝගියාව පිරිසිදු කළ පසුව, තවත් රෝගියෙක් ශල්‍යකර්මයක් සඳහා රැගෙන පැමිණියා. අදාළ රෝගියා අදාල පිරිසිදු කිරීම් හා සූදානම් කිරීම් වලින් අනතුරුව ඔහුව ඇය වෛද්‍යවරයා වෙත යොමු කරන ලදී. අශෝක ජයමාන්න වෛද්‍යවරයා රෝගියාගේ පාදයේ ඇගිළි වලට ආසන්න අස්ථි කොටස් ඉවත් කළ අතර, අදාල උපකරණය රෝගියාගේ පාදය අසල ලබන ලදී. එම උපකරණය එතැනින් ඉවත් කරන ලෙස වෛද්‍යවරයා මාධවීට පැවසුවේය. 

වෛද්‍යවරයාගේ පහරකෑමට ලක්ව

පසුව මාධවී අදාල උපකරණය තැන තැන නොතිබිය යුතු නිසා එය තැබිය යුතු ට්‍රොලියෙහි එය තබන්නීය.  ‘‘ඕක ගන්න නෙමෙයි කිව්වේ. මෙතනින් තියන්න‘‘ කියමින් එම උපකරණයෙන් ඇයගේ හිසට වේගවත් පහරක් එල්ල කළේය. ඒ වන විට එම උපකරණය කලින් ශල්‍යකර්මය කළ රෝගියාගේ ලෙයින් නැහැවී තිබිණි. පසුව ඇයගේ හිසෙන් රූධිරය ගලා යන්නට විය. පසුව ඇය සිහි නැතිවීමකට ද ලක්වේ. රෝගියා නාවික කටයුතුවල යෙදෙන පුද්ගලයෙක් නිසා, රටින් රටට යන නිසාත්, රුධිරය ඇයගේ ශරීරයේ තැවරීමක් සිදුවීම නිසාත්, ඇයගේ හිස වෛද්‍ය විද්‍යානුකූලව සෝදා පවිත‍්‍ර කරන ලදී. පසුව ඇයව රෝහල් ගත කර ප‍්‍රතිකාර ලබා දෙන ලදී. දින කිහිපක් රෝහල් ගතව සිටි ඇයට, පසුව රෝහලෙන් දින කිහිපයක් වෛද්‍ය නිවාඩු ලබා දෙන ලදී. 


පසුව බොහෝ නීත්‍යානුකූල දේ සිදුවිය.

නමුත් ඇය තවමත් සිටින්නේ කම්පනයෙනි. තමන් දිනපතා සේවය කරන රෝහලක, සැමට සේවය කිරීමට සිටින ජනතාව දෙවිවරු වශයෙන් සලකන වෛද්‍යවරයෙක් අතින් සිදුවූ අනතුර ඇයට අලූත් අවුරුද්දේදී අමතක කළ හැකිද ? 

මේ සිදුවීම සිදුවූ මොහොතේ රෝහලට පැමිණි මාධ්‍යවේදීන්ට ඇය පවසා සිටියේ ‘‘මට මොනව හරි වුණා නම් මගේ දුවලා දෙන්නට මොකද වෙන්නේ ” කියායි. ඇය දරුවන්ට අලූත් ඇඳුම් අරගන්නට ඇත. නිවසේ වැඩ කටයුතු කරන්නට ඇත. නමුත් ඇය තූල මේ සිදුවීම නිසා ඇති වූ කම්පනය ඇයට තවත් කාලයක් තිස්සේ සිතේ රැුඳී පවතිනු ඇත. 

ඇයට තවමත් සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට නොහැකි තවත් හේතුවක් ඇත. එනම් රෝගියාගේ රුධිරයෙන් ඇයව නැහැවීමයි. එහිදී රෝහල විසින් ඇය HIV හා Hepatities  යන සැකය සඳහා පරීක්ෂාවක් සිදු කරන ලදි. ඒ අවස්ථාවේදී එහි කිසිඳු ගැටළු සහගත තත්ත්වයක් පැන නොනැගිණි. නමුත් ඒ සැකය, බිය තවත් කාලයක් පවතිනු ඇත. 

මේ සියලූ මතකයන් හා කම්පනයන් මැද මාධවී කෙසේ සතුටින් අවුරුදු සමරන්නද ? 

 සුජීවා ප‍්‍රියදර්ශනී - කුරුණෑගල

සුජීවා පිරිමි දරුවන් දෙදෙනෙකුගේ මවකි. සැමියා සමග දරුවන් දෙදෙනාට උපරිම අයුරින් අධ්‍යාපනය ලබා දීමට ඇය වෙහෙසුනාය. ඇය රජයේ ආයතනයක උසස් රැුකියාවක් කළ අතර, දරුවන්ගේ සියළු කටයුතු වලදී ඔවුන් සමග උරරෙනුර ගැටී වැඩ කළාය. ඇයගේ වැඩිමහල් පුතා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර, දෙවෙනි පුතා වැඩිමහල් පුතා මෙන්ම කුරුණෑගල මලියදේව විදුහලේ ඉගෙනුම ලබනවා. සියල්ල යහපත් අයුරින් සිදුවුණා.

ඒත් ඒ සියල්ල වෙනස් වුණේ විදුහලකට සම්බන්ධ කරනොගත යුතු, යන සෑම තැනකදීම පාසැල්වල අධ්‍යාත්මය අවපාතයක් කරා ගෙනි යන සමන් ඉන්ද්‍රරත්න නම් කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ මව්වරුන්, පියවරුන් අතර දැඩි අපවාදයකට ලක් වූ පුද්ගලයාගේ පැමිණීමත් සමගයි.

මලියදේවයේ තරගය

මලියදේව විදුහලේ ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා තෝරන්නේ විශාල තරඟයක් මැදින්. දෙවෙනි පුතාට සුජීවා ඒකට හුගක් ධෛර්යය දෙනවා. ඒ පළවෙනි පුතත් ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා වුන නිසා. මේ නිසා ඇය විවිධ අංශ වලින් යුතුව තිබූ ඒ සම්මුඛ පරීක්ෂණයට පුතාට සහය දැක්වූවාය. පුතා ඒ සියල්ලෙන් ජයග‍්‍රහණය කර පාසැලේ ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා විය. අලූත පැමිණි සමන් ඉන්ද්‍රරත්න විසින් පාසැලට විවිධ අලූත් දේ එක් කරන්නට උත්සාහ කළේය. ඔහු ශිෂ්‍ය නායකයන්ට දැනුම් දුන්නේ සියළු ශිෂ්‍ය නායකයන් අත්දිගට ඇඳ පාසැල් පැමිණිය යුතු බවත්, විශාල පදක්කමක් පැළඳිය යුතු බවත් ය. මේ බව මව සමග ද පියා සහ විශ්ව විද්‍යාලයේ සිටින අයියා සමග කතා කරන පුතා අනෙක් ශිෂ්‍ය නායකයන් සමග කතා බහ කර තමන්ගේ අදහස විදුහල්පතිවරයාට දැනුම් දුන්නේය. එය සාමාන්‍ය තරුණ සිසුන්ගේ ස්වභාවය බව අපි දනිමු. එහිදී ඔවුන් විදුහල්පතිවරයාට පැවසුවේ කුරූණෑගල නගරය සාමාන්‍යයෙන් උණුසුම් නගරයක් බවත්, ඇතාගල නිසා තත්ත්වය තවත් වැඩි බවත්, ඒ නිසා අත්දිගට දමා සිටීම සුදුසු නොවන බවත්ය. අනෙක් කරුණ නම් මලියදේව පාසැලේ සම්ප‍්‍රදාය වෙනස් කිරීමට තරම් හේතුවක් නැති බවත්, සඳහන් කරන්නේය.

නමුත් සිදුවන්නේ විදුහල්පතිවරයා ශිෂ්‍ය නායකයන් සමග කෝපයට පත්වීමයි. මේ නිසාම ප‍්‍රධාන ශිෂ්‍ය නායකයාගෙන් පළිිගැනීම ඇරඹේ. සියලූ සිදුවීම් ගැන දන්නා සුජීවා මේ සම්බන්ධයෙන් මැදිහත්වීමට උත්සාහ කරයි. නමුත් එය අසාර්ථක වේ. 

පාසැලේ කී‍්‍රඩා උත්සවයේ පිළිගැනීමේ කතාව සාමාන්‍යයෙන් කරන්නේ ප‍්‍රධාන ශිෂ්‍ය නායකයායි. මේ වසරේ ඒ සඳහා පුතා සූදානම් වනු දකින මව ඔහුට ඇයගේ උපදෙස් ද ලබා දෙයි. සොහොයුරාගෙන් ද උපදෙස් ලබා ගනියි. ඔහු කතාව විදුහල්පතිවරයාට පෙන්වන අතර විදුහල්පතිවරයා ඒ අවස්ථාව ඔහුට ලබාදීම ප‍්‍රත්ෂේප කරනු ලබයි. මෙය දැනගන්නා මව ඒ සම්බන්ධව විදුහල්පතිවරයා හා සාකච්ඡුා කිරීමට උත්සාහ කළ ද, ඇයට දොස් පවරන ඔහු ඇයව නොසලකා හරියි. මේ ගැටලූව සාමකාමීව විසඳා ගැනීමට විදුහල්පතිවරයා වුවමනාවක් නොතිබුණු නිසා මව ළමා රක්ෂණ අධිකාරිය වෙත යොමු වෙයි. ඔවුන් පවසන්නේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට යොමු වන ලෙසයි. ඔහු පුතා සමග පොලිසියට යයි. පොලිසිය වැනි ස්ථාන වල ගැවසීම නුපුරුදු වුවත් තම දරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඇය එය ද සිදු කරනු ලබනවා. පොලිසියේ ළමා හා කාන්තා කාර්්‍යංශයට සිදුකරන ලද පැමිණිල්ල නිසා විදුහල්පතිවරයාව එහි කැඳවනු ලබනවා. සිසුවාට සාම්ප‍්‍රදායිකව අයිති මෙම අවස්ථාව ඔහුට ලබා නොදීම සම්බන්ධව ඔහුගෙන් පොලිසිය කරුණු විමසද්දි ඔහු විවිධ හේතු පවසනවා. නමුත් පොලිසිය එය විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඔහු අවසානයේ දී පවසන්නේ සිසුවා තමන් අකමැති ගුරුවරියකගෙන් උපදෙස් ලබාගත් නිසා එය ඔහුට ලබා දීමට අකමැති බවයි. පොලිසිය ඔහුට සිසුවාට එම කතාව කිරීමට නියෝග කරනු ලබනවා. ඒ අනුව සිසුවා පිළිගැනීමේ කතාව සිදු කරනු ලබනවා.

නමුත් කතාව ඇරඹෙන්නේ ඉන් පසුවයි.

විදුහල්පතිවරයාගෙන් දරුවන්ට අපවාද 

විදුහල්පතිවරයා ඔහුට ලැබෙන සෑම අවස්ථාවකදීම සිසුවාට හා ඔහුගේ පවුලේ අයට අපවාද එල්ල කිරීමට පටන් ගන්නවා. එමෙන්ම නගරයේ තී‍්‍රවීල් කණ්ඩායමක් සමග සම්බන්ධකම් ඇති විදුහල්පතිවරයා ඔවුන් ලවා සිසුවාට තර්ජනය කිරීම්, අපහාස කිරීම් සිදු කරනු ලබනවා. මේ සිදුවීම් දිගින් දිගටම සිදුවෙද්දි සුජීවා පලාතේ අධ්‍යාපන නිලධාරීන්ට, රජයේ අමාත්‍යවරුන්ට, කුරුණැගල දිස්ති‍්‍රක් දේශපාලන නායකයන්ට දැනුම් දෙනවා. ජනාධිපතිවරයාට, අගමැතිවරයාට දැනුම් දෙනු ලබනවා. විදුහල්පතිවරයාගේ කි‍්‍රයාකාරිත්වය එන්න එන්නම දරුණු වන අතර, කිසිඳු දේශපාලඥයෙක් ඔහුට විරුද්ධව පියවර ගැනීමට පැකිළෙනවා. ඔහුට මේ හැරෙන්නට තිබෙන චෝදනා ගෙන හැර බැලීමේදී ඔහුට අධ්‍යාපනය දෙන පාසැලක විදුහල්පතිවරයෙක් නොව ගුරුවරයෙක් ලෙස සේවය කිරීමට හෝ සදාචාරාත්මක අයිතියක් නැති බව දැන ගන්නා මව තීරණාත්මක පියවරක් ගනු ලබනවා. එනම් ඇය කොළඹ ලංකා ගුරු සංගමය විසින් පවත්වනු ලබන ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකට නොබියව සහභාගි වී තත්ත්වය ඔහුගේ සම්බන්ධයෙන්ම චෝදනා එල්ල කරනු ලබන මව්වරු දෙදෙනක් සමග පැමිණ තත්ත්වය නිරාවරණය කරනු ලබනවා. ඒ සමග ජාතික මට්ටමේ ජනමාධ්‍ය හා විකල්ප පුවත්පත්, වෙබ් අඩවිවල අවධානය මේ විදුහල්පතිවරයා වෙත යොමු කිරීමට එය සමත් වෙනවා. පසුව පුවත්කලාවේදීන් හා මානව හිමිකම් කි‍්‍රයාකාරීන්ගේ කි‍්‍රයාකාරකම් නිසා තවත් තොරතුරු දැන් කරළියට පැමිණෙමින් තිබෙනවා. 

නමුත් මේ අලූත් තත්ත්වය නිසා විදුහල්පතිවරයා විසින් සිසුවාට හා මවට කරදර කිරීම වැඩිවී තිබෙනවා. මදාවියන් දමා තර්ජනය කිරීම් වැඩි වී තිබෙනවා. 

මේ වසර ඒ මවට අලුත් අවුරුදු සැමරීමට සිදුව තිබෙන්නේ විදුහල්පතිවරයාට දඩුවම් කිරීමකට වඩා තම දෙවෙනි පුතාගේ උසස් පෙළ විභාගය සම්බන්ධව පවතින අවධානමක් නිසයි. සිසුවාට මානසික ඒකාග‍්‍රතාවයක් පවත්වාගෙන විභාගයට සූදානම්වීමට විදුහල්පතිවරයා ඉඩ ලබා දේවිද යන්න හා ඔහුව විභාගය සහභාගිවීමට ඇති අවස්ථාව අවහිර කරවිද යන දෙගිඩියාවෙනි. අධ්‍යාපන බලධාරින්ගේ සහ දේශපාලඥයින්ගේ සෘජු ප‍්‍රතිපත්තියක් නොමැති කම නිසා එම පවුලේ සියලූ දෙනාට විශේෂයෙන් තම දරුවන් වෙනුවෙන් සටන් කරන මවට ද අලූත් අවුරුද්ද සැමරීම සිදුකළ හැකිවේද ? 


දීපානි පි‍්‍රයංකා - බූස්ස 

දීපානි පි‍්‍රයංකාගේ ගම රත්න උදාගම, බූස්ස. ඇයට අවුරුදු 33 ක්. වයස 07 ක පිරිමි දරුවෙකුගේ මවක්. ගැඹිණියක්. අවාසනාවන්ත අත්දැකීමකට මුහුණ දුන් ඇය දැන් වැන්දඹුවක්. බලහත්කාරයෙන් වැන්දඹුවක් කළ කාන්තාවන් අතරට ඇයටද අකමැත්තෙන් වුවත් එක්වීමට සිදුව තිබෙනවා.

සිදුවීම සිදුවන්නේ 2019 ජනවාරි 23 වෙනි දිනයි. එදින ඇයගේ සැමියා වූ රෂින් චින්තක ව්‍යාපාරික කටයුතු සඳහා නිවසින් පිටත් වෙනවා. ඒ උදෑසන 10.05 පමණ ය. උදෑසන 10.35 පමණ නිමල් නැමති අසල්වැසියා නිවසට පැමිණ ඇයට පවසන්නේ ඇයගේ සැමියා වන රෂින් චින්තකත්, මංජුල අසේල කුමාර නැමති ඔහුගේ මිතුරාවත් මෝටර් රථයකින් හා වෑන් රථයකින් පැමිණි පොලිස් කණ්ඩායමක් විසින් රැගෙන ගිය බවයි. ඒ බව ඇය වෙත පණිවිඩය එවා ඇත්තේ මංජුල අසේල කුමාරගේ ඥාතීන් විසින්. ඒ මොහොතේම දීපානි විසින් වෙනත් අයෙකුගේ දුරකතනයකින් රෂින්ගේ දුරකතනයට ඇමතුමක් ගත්තත් කිසිවෙකු විසින් එය කි‍්‍රයාත්මක කර ඊට සවන් දෙනවා.නමුත් කතා කරන්නේ නැහැ. 

නැවත නොආ සැමියා සොයා 

පසුව ඇය පවුලේ අයත් සමග රත්ගම පොලිසියට යනවා. පොලිසිය පැමිණිල්ල බාරගනු ලබන්නේ නැහැ. ඉන් පසුව ඔවුන් ගාල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට ගිය විට ඔවුන් ද පැමිණිල්ල බාරගැනීම ප‍්‍රතික්ෂේප කර සවස 5.00 න් පසුව රත්ගම පොලිසියට යන ලෙසත් එහිදී ඔවුන් ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලැබෙනු ඇති බවත් සඳහන් කරනවා. නැවතත් සවස 5.30 ට පමණ ඔවුන් රත්ගම පොලිසියට යන අතර, එහිදී ඔවුන්ට රාති‍්‍ර 7.00 පමණ වන තෙක් එහි රැුඳී සිටීමට සිදුවෙනවා. පසුව පැමිණිල්ල බාරගත්තත් ඒ සම්බන්ධයෙන් ලදුපතක් ඇයට ලබා දෙන්නේ නැහැ. පසුදින ගාල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට ගිය ද එහිදී සහකාර පොලිස් අධිකාරී සතිෂ් ගමගේ පවසනේනේ එම පොලිස් බල ප‍්‍රදේශය බල ප‍්‍රදේශය අවට කිසිඳු පොලිසියකින් ඔහු අත්අඩංගුවට ගෙන නොමැති බවයි. 

පසුව මෙම අතුරුදහන්වීම් දෙකම ගැන කෝපයට පත් ගම්වැසියන් විසින් ජනවාරි 26 වෙනි දින රත්ගම නගරයේ කටයුතු අඩාල කරමින් විශාල, උණුසුම් උද්ඝෝෂණයක් පවත්වනු ලබනවා. එතනට පැමිණෙන ගාල්ල සහකාර පොලිස් අධිකාරී සතිෂ් ගමගේ පවසන්නේ සතියක් ඇතුළත ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දෙන බවයිත එවිට මංජුල අසේලගේ බිරිඳ වන සමන්ති ඔහුගෙන් විමසා සිටියේ ඒ කාලය තුළ තම සැමියන් මරා දැමුවහොත් කුමක් කියන්නේ ද යන්නනයි. ඔහු එවිට තමන් ඒ ජීවිත දෙකටම වගකියන බව පවසනවා. විරෝධතාවය අවසන් කර ජනතාව නිවෙස් වලට යනවා. දීපානි ද ඔවුන් සමග නැවතත් නිවසට යනවා. 


පොලිසිය පවසන දේවල් දේවල් ඔවුන් විශ්වාස කරනවා. කිහිප වතාවක් පොලිසය ඔවුන්ව නොමඟ යවනු ලබනවා. පොලිසිය වින්දිතයන්ගේ විමසීම් වලට විවිධ දේ කියමින් මග අරින අතර, පසුව පෙබරවාරි මස 06 වෙනි දින මංජුල අසේලගේ බිරිඳගේ ලිපිනයට මාතර, නූපේ, පොලිස් ස්ථානය විසින් ලියාපදිංචි තැපෑලෙන් එවන ලද ලිපියකින් සිද්ධිය සම්පූර්ණ වශයෙන් දිග හැරුණා. නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා පැහැරගෙන ගොස්, මරා දැමූ බවත්, පසුව වෙනත් ස්ථානයකට ගෙන ගොස් ඔවුන් පුළුස්සා දැමූ බවත් එහි සඳහන් වුනා. සිදුවීම නම් ගම් සහිතව එහි සඳහන්ව තිබුණි.

පොලීසියේ ප්‍රතිචාර 

නමුත් පෙබරවාරි මස 22 වෙනි දින යතුරුපැදියකින් පැමිණි රත්ගම පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෛක් 0723918525 දරණ දුරකතනය අංකය සඳහන් කොළ කැබැල්ලක් දී එම දුරකතන අංකයට ඇමතුමක් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටියද එම දුරකතන අංකය ඒ අවස්ථාවේදී ප‍්‍රතිචාර නොදක්වයි. පසුව එදිනම එම දුරකතන අංකයෙන් පැමිණි ඇමතුමකින් ඇයට පවසා සිටියේ තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන බවත්, රෂින් චින්තක හා මංජුල අසේල යන අය පැහැරගෙන ගිය අය විසින්  මන්නාරම වනයක සගවා ගෙන සිටින බවත්, ඔවුන් මුදා ගැනීමට මහ මුහුදුන් යාමට අවශ්‍ය බවත්, ඒ සඳහා වැය කිරීමට අරමුදල් තම දෙපාර්තමේන්තුවට නොමැති බවත් පවසා සිටිනවා. ඒ සඳහා ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා සිටිනවා. 

නමුත් එදිනම රාතී‍්‍ර රූපවාහිනිය නාලිකා කිහිපයකම ප‍්‍රවෘත්ති වලින් කියැවෙන්නේ ඔවුන් දෙදෙනා මරා දමා ඇති බව තහවුරු වී ඇති බවයි. නමුත් මුදල් සෙවීම සඳහා මෙම සිද්ධිය භාවිතා කරන කූට පොලිස් නිලධාරීන් තමන්ගේ ව්‍යායාමය අත් නොහරියි. නැවතත් පෙබරවාරි 23 වෙනි දිනත් උදෑසන 10ට පමණ අංක 023222222 දරණ දුරකතන අංකයෙන් මන්නාරම පොලිස් ස්ථානයෙන් පව ප‍්‍රකාශ කරමින් පුද්ගයෙක් දීපානිගේ ජංගම දුරකතනයට කතා කරනු ලබනවා. ඒ අවස්ථාවේදී ඔහු 0723918525 දරණ අංකයට දුරකථන ඇමතුමක් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. සැමියා ගැන බලාපොරොත්තු අතහැර සිටි ඇය මේ තොරතුරු නිසා යම් සැනසිල්ලකට පත්ව ඇමතුමක් ගනු ලබනවා. එහිදී තමන්ව පී. අයි දිසානායක නමින් හඳුන්වාගත් එම පුද්ගලයා විසින් පවසන්නේ අදාල මුදල ඊසි කෑෂ් මගින් එම ජංගම දුරකතනයට එවන ලෙසයි. දීපානි ඒ අවස්ථාවේදී පවසන්නේ අදාල මුදල එවීමට ප‍්‍රථම තම සැමියා ජීවතුන් අතර සිටින බවට සහතියක් ලෙස ඔහුගේ ඡායාරූපයක් එවන ලෙසයි. ඒ අවස්ථාවේදීම අදාල පුද්ගලයා විසින් දුරකතනය විසන්ධි කරනු ලබනවා. 

නීතියේ පිළිසරණ අහිමිව 

පසුව නැවත් රත්ගම ජනතාව මේ ගැන විශාල විරෝධතාවයක් පවත්වනු ලබනවා. මේ වන විට මේ සම්බන්ධයෙන් සැකපිට විවිධ තරාතිරමේ පොලිස් නිලධාරීන් ඇතූළු 20 දෙනෙක් පමණ අත්අඩංගුවට ගත්ව සිටිනවා. නිතිමය වශයෙන්ම විවිධ කි‍්‍රයාමාර්ග ගනිමින් සිටිනවා. 

නමුත් වයස අවුරුදු 33 ක ගැඹිණි මවක්, පාසැල් වියේ පසුවන තම පුතු සමග මෙවැනි අර්බුදයකට කෙසේ මුහුණ දෙන්නද? එය ඉතාම අසීරු අත්දැකීමකි. එක් පැත්තකින් අය සැමියාට සිදුවූ අපරාධය සිදුවූයේ ඇයිද? ඒ සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු සත්‍යයද? සිදුවන පරීක්ෂණ තුළින් තමන්ට සාධාරණයක් ඉටු වේවිද? ඝාතකයන්ට නිසි දඬුවම් ලැබේවිද? යන පැනයන්ට පිළිතුරු සපයා ගත යුතුවේ.

අනෙක් පැත්තෙන් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන අවධානයෙන් සිටිය යුතුය. ඉපදීමට සිටින දරුවා ගැන කල්පනාවෙන් සහ දරුවාගේ නිරෝගී පැවැත්ම සඳහා පියවර ගත යුතුය. සායනයන් සඳහා සහභාගි විය යුතුය. පාසැල් යන දරුවාගේ මානසික තත්ත්වය සකස් කළ යුතුය. ඔහුගේ  ඕනෑ එපාකම් සොයා බැලිය යුතුය. අධ්‍යාපන කටයුතු සඳහා අවධානයක් දිය යුතුය. 

තරුණ ව්‍යාපාරික සැමියා සිටියේ ඔහුගේ ව්‍යාපාරික කටයුතු වල සංධිස්ථානයක ය. ඒවා කැපවීමෙන් දියුණු කළ අතර ඒ බර කර ගැසීමට ඇයට තවමත් හැකියාවක් නැත. දනුමක් ද නැත. පවුලේ ඥාතීන්ගේ සහයෙන් කළ ද සැමියා තරම් හොඳින් එය කිරීමට ඔවුන්ට හැකියාවක් නැති බව ඇයම දනී. මේ නිසා විශාල අවුල් ජාලයක කැමති වුවත්, අකමැති වුවත් රැුඳී සිටීමට ඇයට සිදුවනු ඇත.

මේ සියලූ අර්බුදයන් මැද ඇය කෙසේ අලූත් අවුරුදු සමරන්නද ? 

මෙවැනි අර්බුදයන්ට මුහුණ දෙන පළමු මව්වරුන් තිදෙනා නොවේ. එමෙන්ම අවසන් මව්වරුන් තිදෙනා ද නොවනු ඇත. යහපත් නීතිගරුක, මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන සමාජයක් බිහිවනු තුරු, ඒ සම්බන්ධයෙන් දැනුවත් සමාජයක් බිහිවනු තුරු මේ අම්මාවරුන්ගේ කතාවට තවත් කතාවන් එක්වනු ඇත. 





සටහන හා ඡායාරූප - සුදේශ් ද සිල්වා