‘‘වසර 24 කට පස්සේ එජාපයෙන් ජනපතිවරයෙකු බිහිකරනවා‘‘ - මංගල


වසර 24කට පසු රට දිනවන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර අද (20) මාතරදී පැවසුවේය. එම අපේක්ෂකයා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගෙන් පසු ඉතිහාසයේ ඉහළ ම ජය ලබනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. 

මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ ඔහුගේ දේශපාලන දිවියට දශක තුනක් සපිරීම නිමිත්තෙන් මාතර නූපේ පැරැණි ඕලන්ද වෙළෙඳ සංකීර්ණයේ පැවැත්වෙන “දශක තුනක මාතර” ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහි දී මාධ්‍යවේදීන් ඇමැතූ අමාත්‍යවරයා දැක්වූවේ, 

“මේ අවුරුද්දෙ ජනාධිපතිවරණයෙන් පස්සෙ අවුරුදු 24කින් පසු එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරයකු පත් කරගන්න යන ගමන වළක්වන්න කාටවත් බැහැ. එළඹෙන ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය දිනවල, තවත් අවුරුදු ගණනාවක් පාලනය කරන අපේක්ෂකයා කවුද කියල කථිකාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී කථිකාවක්.

විශේෂයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන ලංකාවේ එකම දේශාපාලන පක්ෂය විදියට එක්සත් ජාතික පක්ෂයේ අපිත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ මතය අනුව, අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මතය අනුව ඒ වගේ ම අපේ ශාඛා සමිතිවල ඉන්න එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ මතය අනුව අපි ඊළග ජනාධිපතිවරණ අපේක්ෂකයා පත් කරගෙන චන්ද්‍රිකා බණ්ඩාරණායක ජනාධිපතිතුමියගෙන් පස්සේ ලංකාවේ ජනතාව බලන්නට යන විශාලතම ජයග්‍රහණය අපි මේ වසර අන්තිමේදි එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයට ලබා දෙනවා."