කුලභේදය සලකන භික්ෂූන්ට වසලවාදයෙන් ඇමතිය හැකියි


- යටලමත්තේ කුසලානන්ද -


සියලු මනුෂ්‍යයෝ නිදහස්ව උපත ලබා ඇත්තාහ. ගරුත්වය හා අයිතිවාසිකම් අතින් සමානයෝ ය. යුක්ති අයුක්ති පිළිබඳ හැගීම් වලින් හා හෘද සාක්ෂියෙන් යුත් ඔවුන්, ඔවුනොවුන්ට සැලකිය යුත්තේ සහෝදරත්වය පිළිබඳ හැගීමෙනි. එනම් ජාතිය, වර්ණය, ශාරීරික ලක්ෂණ, ආගම, භාෂාව ආදී වෙනස්කම් වලින් තොරව සෑම මානව සාමාජිකයෙකුටම සමාන ආකාරයෙන් සැලකිය යුතුය.

ලංකාවේ භික්ෂු සමාජය කුලය පදනම් කරගත් ග්‍රෝතික සංකල්ප සහිත ආයතනයක් වන අතර ඔවුන් නියෝජනය කරනුයේ විශ්වීය සංකල්ප සහිත බුදුදහම යි.

ලංකාවේ සියලු නිකායන් වල කුලභේදය විවෘතව හා සංවෘතව ක්‍රියාත්මකයි 

ලංකාවේ සියලු නිකායන්වල කුලභේදය විවෘතව හා සංවෘතව ක්‍රියාත්මක වේ. ප්‍රධාන නිකාය තුනේම මහානායක වීම සදහා ගොවිගම හෝ එකී නිකාය අයත් කුලයේ අයෙකු විය යුතුමය.

මුල් කාලයේ දාන ගෙවල්වල දී පවා කුලය මුල් කර ගනිමින් එකට දානය වැළදීම ද ප්‍රතිකේෂ්ප කර ඇත. ඒ අනුව නිකායන් දෙකක හාමුදුරුවරු වැඩම කරවීමේ දී එකම ගෙදර කාමර දෙකක සංඝික දාන දෙකක් දීමට දායකයාට සිදුවුණි.

ලංකාවේ භික්ෂු සමාජය කුලවාද මත පදනම් වූවකි 

මෙවැනි අත්දැකිම් සහිත වැඩිහිටියන් තවමත් ජීවත්ව සිටීමට පුළුවන. ලංකාවේ භික්ෂු සමාජය කුලවාද මත පදනම් වු ආයතනයකි. කුලවාද නැති කිරීමට නම් නිකාය නැති කළ යුතුය. කුලවාදය වැඩවසම් ආයතනයක්කි. කුලවාදය මත පදනම් වු නිකාය ද වැඩවසම් ආයතනයකි. අපි සියලු දෙනා මෙම යථාර්ථය හදුනාගෙන නොදන්නා ලෙස සිටිමු.

බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලියාපදිංචි නැත්නම් භික්ෂුවක් නොවේ 

නිකායකට අයත් නොවුවහොත් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි වීමට නොහැකිය. ලියාපදිංචි නොවුවහොත් ඔහු භික්ෂුවක් නොවේ. එම භික්ෂුවට ජාතික හැදුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත නොහැකිය. විදේශ ගත වීමේ දී නිකායෙන් භික්ෂුවක් බවට තහවුරු නොකළහොත් වීසා ලබාගත නොහැකිය. ඒ අනුව භික්ෂුව අනිවාර්යයෙන් නිකායකට අයත් විය යුතු අතර එමගින් කුලවාදයට අනුගත වීමට සිදුවේ.

ගම්වල කුලයන්ට වෙන් වූ විහාරස්ථාන ඇත. කොළඹ ප්‍රදේශයේ ද කුලවලට වෙන් වූ විහාරස්ථාන ඇත. එම කුලවලට අයත් සියලු දෙනා එකතුවන මධ්‍යස්ථාන ලෙස ද මෙම විහාරස්ථාන භාවිත වෙයි. ඒවා වත්මන් කුල වරිගසභා බවට පත් වී ඇත.

මෙරට කුල ක්‍රමය භික්ෂු සංස්ථාව හා බද්ධයි 

එනිසා ලංකාවේ කුල ක්‍රමය භික්ෂු සංස්ථාව බද්ධ වී ඇත. කොතරම් විවේචනය කළත් මෙය වෙනස් කළ නොහැකි තරමට ස්ථාවර වී ඇත.

වර්තමානයේ දේශාපාලන හා සමාජ වැඩකටයුතුවල දී නිකාය භේදයෙන් තොරව වැඩ කරන බව පෙනෙන්නට ඇත. නිකායත්‍රයම එකතු වී සාමූහිකව වැඩ කරන අවස්ථා ද ඇත.

මෙය පවත්වා ගෙන යනුයේ භික්ෂූන් පමණක් නොවේ. ඒ සදහා එකී කුලවලට අයත් ජනතාවගේ දැඩි ඕනෑකමක් ද පිළිඹිබු වේ. කුලීනයෝ කුලහීනයන් වැද්ද ගැනීමට අකැමැති වීමත්, කුලීනයන් හමුවේ කුලහීනයන් දෙවැනි වීමට අකැමැති වීමත් නිසා නිකාය මෙන්ම පන්සල් ද කුලයමත පදනම්ව ඇත. මෙම රාමුවෙන් බැහැර වූ විහාරස්ථාන ද ඇත.

කුලභේදය ලංකාවේ සංස්කෘතික ලක්ෂණයක් 

සිංහල දෙමළ ජන සමාජය ද කුලභේදය වෙලා ගෙන ඇත. සිංහල දෙමළ දේශපාලනය දී ද කුල පදනම මත බොහෝ දේ තීරණය වේ. එනිසා ලංකාවේ සංස්කෘතික ලක්ෂණයක් ලෙස කුල භේදය සැලකිය හැකිය.

මේ භික්ෂුන් වහන්සේලාට වසලවාදයෙන් ඇමතිය හැකියි

මෙම රාමුව තුළට කොටු වූ සියලු භික්ෂූන් වහන්සේලා වසල සූත්‍රයට අනුව වසලවාදයෙන් අමතනු ලැබිය හැකිය.

කුලවාද නිකායවාද රාමුවෙන් පිට පැන බුද්ධ වචනයට අනුව කටයුතු කරන සත වෙත පතළ සම මෙතින් යුතු සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා ද අතලොස්සක් වත් සිටීම බුදුසසුනේ සුරක්ෂිත බවට සැබෑ සවියකි.