'සුළඟ අප රැගෙන යාවි' - 'සරෝජා‘ ගෙන් පසු ලාංකේය සිනමාවට අලුත් අත්දැකීමක්



තරුණ සිනමාවේදියෙකු වන නුවන් ජයතිලකගේ කුළුඳුල් සිනමා සිත්තම තමයි 'සුළඟ අප රැගෙන යාවි' කියලා කියන්නේ. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සිංහල සාහිත්‍ය පෝෂණය කළ ප‍්‍රවීණ ලේඛකයකු වූ සයිමන් නවගත්තේගමයන්ගේ දියණිය වන මායා නවගත්තේගමයි. මේ ඇයගේ ප්‍රථම සිනමා නිෂ්පාදන ආගමනයයි.


සෝමරත්න දිසානායකයන්ගේ 'සරෝජා' සිනමාපටයෙන් පසුව සිනමාවට නැවුම් වූ අත්දැකීම් රැගෙන එන සිනමා සිතුවමක් ලෙස නුවන් ජයතිලකගේ 'සුළඟ අප රැගෙන යාවි' සලකන්න පුළුවන්. සිනමාපට කෙතරම් ප‍්‍රදර්ශනය වුණත් වෙනස් ආරක කතා වස්තුවක් රැගෙන පැමිණි සුළඟ අප රැගෙන යාවි සිනමාපටය මෙරට සිනමා ක්ෂේත්‍රයේ පෙරලිකාර වෙනසක් සිදු කරනු ඇතැයි සිනමා විචාරකයෝ දැනටමත් මත පළ කරනවා.


තම මනස ගැඹුරින් අධ්‍යනය නොකර මෙවැනි කතා වස්තුවක් සිනමාවට නැඟිය නොහැකියි. ඒ වගේම ගැමි සුවඳ දැනෙන පරිසරයක් අද පරපුරට මඟ හැරී යන යුගයක මීමුරේ වැනි අති සුන්දර කඳු මිටියාවතක සුන්දරත්වය මනාව විදහා පාමින් සිතුවමට නැගි සිනමා සිතුවමක් ලෙස 'සුළඟ අප රැගෙන යාවි' හඳුන්වන්න පුළුවන්.

ජාත්‍යන්තර සිනමා සම්මාන රැසකින් පිදුම් ලද ලංකාවේ සිනමා සම්මාන උළෙලවල්ද නියෝජනය කළ ‘සුළඟ  අප රැගෙන යාවි‘ සිනමාපටය සියලූ දෙනාගේම අවධානයට පාත‍්‍ර වූ පවුලේ සැමට එකට හිඳ නැරඹිය හැකි  හෘදයාංගම නිර්මාණයකි. 


අලුත් තාක්ෂණය එක්ක මුහුවුණ දරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාව ගැන අවදානමක් පවතින කාලෙක, දරුවන්ගේ පමණක් නෙමෙයි වැඩිහිටියන්ගේත් ආධ්‍යාත්මික ගුණ වගාව වගේම සොබාව සෞන්දර්යයට දක්වන කැමැත්ත, ආදරය වෙනුවෙන්, යාන්ත්‍රික හදවත් සොබාදහමේ ප්‍රේමයෙන් තෙත් කරන්න ඔබ සහ ඔබේ දරුවන් නැරඹිය යුතුම චිත්‍රපටයකි. 

බලාපොරොත්තුවෙන් සිටින්න, මේ චිත්‍රපටය ළඟදීම ඔබගේ හදවත් රැගෙන යාමට දිවයින පුරා සිනමා ශාලා වලට හමා ඒවි....








සබැඳි පුවත්