මාධ්‍යවේදී රාහුල්ගේ වෘත්තීය කටයුතුවලට බාධා කිරිම ගැන විධිමත් පරීක්ෂණයක් අවශ්‍යයි - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය



2019 ජනවාරි 23 වැනිදා, හම්බන්තොට ලුණු ලේවායේ පැවති සේවක උද්ඝෝෂණයක් වාර්තා කරමින් සිටි මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතාට කිසියම් පිරිසක් විසින්  බැණ වදිමින් තර්ජනය කිරිමේ සිදුවිම මාධ්‍යවේදීන්ගේ වෘත්තීය කටයුතු නිදහසේ කරගෙන යෑමට ඇති අයිතිය  උල්ලංඝනය කිරිමක් ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඊට සම්බන්ධ  පුද්ගලයන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස  අදාළ සියලු බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව දන්වමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සී. දොඩවත්තගේ අත්සනින් යුතුව අද (24) නිවේදනයක් නිකුත් කර තිබේ. 


මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන්නේ, ‘‘මාධ්‍යවේදී රාහුල් සමන්ත මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන්  සී. අයි. බී (1) 392/228  අංක  යටතේ හම්බන්තොට මූලස්ථාන පොලීසියට පැමිණිලි කර ඇති අතර, එහිදී සිදු ප්‍රකාශ කර ඇත්තේ “පාලක එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ බව කියන පිරිසක් තමාට පහර දෙන්නට උත්සාහ ගනිමින් හා තර්ජනය කරමින් රාජකාරියට බාධා කළ බවයි.” මෙහිදී පොලීසිය අදාළ සිද්ධිය “ගොඩින් බේරා ගන්නා” ලෙස තමන්ට ප්‍රකාශ කළ බවද, රාහුල් සමන්ත මහතා සදහන් කරයි.



කළු ජනවාරිය අනුස්මරණයන් අතරතුර සිදුවූ මෙම ක්‍රියාදාමය පිළිබඳ දැඩි අවධානයකින් පසුවන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කරන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර, සියලු මාධ්‍යවේදීන්ට නිදහසේ හා බාධාවකින් තොරව සිය වෘත්තීය කටයුතු ඉටු කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසද, ඉල්ලා සිටියි.‘‘ යන්නයි.