'මැරබලයෙන් නිවාස අත්පත් කරගැනීමේ වෑයමක් මොරටුව, ලුනාව ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙනවා' - සජිත්




නිවාස අහිමි ජනතාව වෙනුවෙන් ඉදිකරන නව නිවාස මැර බලය යොදාගනිමින් අත්පත් කරගැනීමට උත්සහ දරන වැඩපිළිවෙලක් මොරටුව, ලුනාව ප්‍රදේශයේ දියත් වන බවත් මේ පිටුපස දේශපාලඥයින් සිටින බවත් අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇමති සජිත් ප්‍රේමදාස අවධාරණය කර සිටියේය. 

ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික රජිත අසංකට නිවසක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය, 

මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ,   

‘‘එක්තරා කොටසක් මේ කරන සංවර්ධන ක්‍රියාදාමය බලාගෙන ඉන්නට බැරිව යම් යම් දේශපාලනික තැරැව්කරුවන් යොදවලා මේ වගේ දක්ෂ හපන්කම් තියෙන ක්‍රීඩක පරපුරට බෙදාදෙන්න තියෙන නිවාස ජඩ බලයෙන්, මැර බලයෙන්, බලහත්කාරයෙන් තමන්ගේම පිරිස් යොදවලා අයිති කරගන්න ප්‍රයත්නයක් මේ දිනවල මොරටුව, ලුනාව බල ප්‍රදේශයේ දියත් වෙනවා. ලැජ්ජයි කියන්න, ආරක්ෂක අංශයේ නිළධාරීන් ගණනාවක් යොදන්න සිද්ධ වෙලා තියෙනවා මේ නිවාස කොල්ලකෑමේ ප්‍රයත්නය නතර කරන්න. 

සාමාන්‍ය මනුස්සයට බෙදාදෙන්න තියෙන ඒ නිවාස යම් යම් රාජ්‍ය බලය තිබුණු කාලයේ රටේ සින්නක්කර අයිතිය තියාගෙන කටයුතු කරපු සමහරු විවිධ ගෝල බාලයින්, තැරැව්කරුවන් යොදවලා, නගරාධිපතිවරු, සභාපතිවරු යොදවලා, රජයේ මහල් නිවාස අමු අමුවේ කොල්ලකන්නට ගියොත් රටට යන කල මොකක්ද ? කියන එක ගැන පොඩ්ඩක් හිතන්න. ..‘‘  යන්නයි.