ජනාධිපති කාර්යාලය අගමැති වත්කම් ප්‍රකාශය අවහිර කිරීමේ උත්සාහයක - ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා






තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින්, 2015 සහ 2016 වසර සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශය හෙළිදරව් කරන ලෙස සිදු කරන ලද නියෝගය අභියෝගයට ලක් කිරීමට ජනාධිපති කාර්යාලය විසින් ගෙන ඇති තීරණය පිළිබඳ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සිය කණගාට්‍රුව පළ කරයි.









ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර පැවසුවේ, “නව වසරේ පොරොන්දු වූ පරිදි, දූෂණයට එරෙහිව සටන් කිරීමට ජනාධිපතිවරයා විසින් කැපවී සිටින බව ප්‍රකාශ කර තිබියදී සහ 2018 වසරේ අවසාන භාගයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දූෂණ චෝදනා එල්ල කර තිබියදී, ජනාධිපති කාර්යාලය විසින්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් ප්‍රකාශය ජනතාව වෙත හෙළිදරව් කිරීම අවහිර කරන්නට දරන උත්සාහය විමතිසහගත බව සහ වර්තමානයේ දී, විශ්වසනීයතත්වයෙන් යුතු ස්වයං ප්‍රකාශිත තොරතුරු මහජනතාව අතට පත් කිරීම, දූෂණයට එරෙහිව සටන් වැදීම සඳහා අත්‍යවශ්‍ය එහෙත් සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව සිදු නොවන්නක් බවයි.









මූලික ඉල්ලීම කළේ 2017 දී









ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගේ වත්කම් ප්‍රකාශ නිකුත් කරන ලෙස ඉල්ලමින් මූලික ඉල්ලීම කරනු ලැබුවේ 2017 වසරේ පෙබරවාරි මාසයේදීය. එම ඉල්ලීම, ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින්, එකී තීරණය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ලබා දුන් ඓතිහාසික තීන්දුවේදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව අවධාරණය කර සිටියේ, පොදු ධනය තම පෞද්ගලික භුක්තිය සඳහා එක් රැස් කිරීමට තැත් කරන තැනැත්තන් එසේ කිරීමෙන් සහ දූෂණය වළකාලීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත බලවත් මෙවලමක් ලෙස ක්‍රියා කරන බවයි.









තීන්දුව අභියෝගයට ලක්කිරීමට ජනපති කාර්යාලය සතු අයිතිය පිළිගන්නවා





තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, එම තීන්දුව අභියෝගයට ලක් කිරීමට ජනාධිපති කාර්යාලය සතු අයිතිය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් පිළිගන්නා නමුත් අවධාරණය කර සිටියේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ තීන්දුව අභියෝගය ට ලක් කිරීම, විනිවිදභාවය සහ වගවීම පිළිබඳ ජනාධිපතිවරයාගේ ස්ථාවරය සහ කැපවීම මෙන්ම වත්කම් ප්‍රකාශ මහජනතාව අතට පත්කිරීමට රජය විසින් ලබාදී ඇති සහතිකය ද අභියෝගයට ලක් කරන බවයි.









පාර්ලිමේන්තු මන්ත්‍රී කීපදෙනෙකුම වත්කම් ප්‍රකාශ කිරීමට කැමැත්ත පළකර තිබෙනවා





ඔබේසේකර මහතා තවදුරටත් පවසා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රීන් කිහිපදෙනෙකුම තම වත්කම් ප්‍රකාශ හෙළිදරව් කිරීමට සිය කැමැත්ත පළ කර ඇති බැවින්, ජනතා ඡන්දයෙන් තේරී පත්වූ සෑම මහජන නියෝජිතයන්ගෙන්ම, ස්ව කැමැත්තෙන් වත්කම් ප්‍රකාශ හෙළිදරව් කරන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ආයාචනා කරන සිටින බවයි.