LGBT කාර්ය මණ්ඩලයෙන් යුතු පළමු ගුවන්යානය පියාසැරියට සූදානම්

ලෝ ප්‍රකට Virgin ගුවන් සේවය ලන්ඩන් හීතෘ ගුවන්තොටුපළ හා නිව්යෝර්ක් හි නෙවාර්ක් ගුවන්තොටුපළ අතර පියාසර කරන ගමන් වාර සඳහා LGBT ප්‍රජාවේ ගුවන් නියමුවන් හා කාර්ය මණ්ඩලය දායක කරගැනීමේ සූදානමින් පසුවන අතර “Pride Flight” නමින් මෙම ගුවන් වාරය හඳුන්වා ඇත.  World Pride - 2019 සැමරුමට සමගාමීව ලබන වසරේ ජූනි 28 වැනිදා මෙය ගුවන්ගතවීමට  නියමිතය.


අත්ලාන්තික් සයුරට අඩි 38,000 ක් ඉහළින් සිට LGBT ප්‍රජාවේ අභිමානවත් බව සනිටුහන් කරන අවස්ථාවක් ලෙස මෙය නම් කර ඇත. මෙම පළමු ගුවන්වාරයට එක්වන මගීන්ට විශේෂයෙන් සැලසුම් කළ වි‍නෝදයෙන් පිරි වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති අතර සුප්‍රකට ඇමරිකානු රංගන ශිල්පියෙකු හා ගායකයෙකු වන ටයිටස් බර්ගස් ද ඊට දායක වීමට නියමිතය. LGBT ප්‍රජාව නියෝජනය කරන බිංගෝ මෙන්ම විශේෂ DJ ශිල්පියෙකු ද මේ අවස්ථාවට දායක වීමට නියමිතය.


 



 

මේ පිළිබඳ අදහස් දැක්වූ ටයිටස් පවසන්නේ ‘‘සුළුතරයේ අයිතීන් ලෝකය තුළ තර්ජනයකට ලක්වී තිබෙන අවදියක අපේ හඬ අවදිකිරීම අතිශයින් වැදගත් වෙනවා‘‘ යන්නයි.

 

LGBT පිරිස් සිය අයිතීන් වෙනුවෙන් දැවැන්ත හඬක් නැගූ ඉතිහාසගත සිදුවීමක් වන 1969 ජූනි 28 වැනිදා නිව්යෝර්ක් වලදී දියත් කළ Stonewall Riots 50 වැනි සැමරුම සිහිගන්වමින් මෙම විශේෂ ගුවන්සැරිය සිදුවේ. ග්‍රීන්විච් නගරයේ පිහිටා තිබූ සමරිසි සමාජ ශාලාවකට පොලීසිය පහරදීමත් සමග නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ අතර  මේ අවස්ථාව ඇමරිකාවේ මෙන්ම ලොවපුරා සමරිසි අයිතීන් වෙනුවෙන් හඬ නැගූ සුවිශේෂ සිදුවීමක් විය.


 



 

NYC & Company හා The Alliance for Downtown New York මේ වැඩසටහන උදෙසා අත්වැල් බැඳගෙන සිටියි. ගුවන් ප්‍රවේශ පත්‍ර අලෙවි කර ලැබෙන ආදායම The Attitude Magazine Foundation මගින් LGBT ප්‍රජාව සවිබල ගැන්වීමට එක්සත් ජනපදයේ දියත් කරන  වැඩසටහන් වෙනුවෙන් ලබාදීමට නියමිතය.


 

 

The Guardian හා The Independent  ඇසුරිනි 

 

සටහන - වින්ධ්‍යා ගම්ලත්