ආණ්ඩුවේ තවත් නාඩගමක් ” මහනුවර දී රඟදැක්වීමට නියමිතය

| කරු ජයසූරිය
සාමාන්‍ය ජන ජීවිතයට කිසිදු අදාළත්වයක් නැති, කිසිදු වැදගත්කමක් නැති “මාධ්‍ය සංදර්ශන” නොනවත්වා පවත්වමින්  සිටින රාජපක්ෂ පාලනය එළඹෙන සති අන්තයේ දී තවත් එවැනි  “නාඩගමක් ” මහනුවර දී රඟදැක්වීමට කටයුතු සූදානම් කර තිබේ.  ඒ, රාත්‍රී මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවලියක් මහනුවර ප්‍රදේශයේ සංවිධානය කරමිනි.  මෙම මහනුවර රාත්‍රී මෝටර් රථ ධාවන තරඟාවලිය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රදේශවාසී ජනතාව හා ප්‍ර දේශයේ ආගමික නායකත්වයෙන් තද බල විරෝධයක් දැනටමත් මතුව තිබේ.  එළඹෙන 27 හා 28 දෙදින තුල ඓතිහාසික මහනුවර පූජාභූමිය ආසන්නයේ පැවැත්වීමට නියමිත මෙම තරඟාවලිය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන්වහන්සේලා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබුණේ මෙම තරඟාවලිය නොපවත්වන ලෙස ය.  විශේෂයෙන් ම පටු මාර්ග සහිත මහනුවර වැනි නගරයක පැවැත්වෙන මෙම තරඟාවලිය නිසාවෙන්  සාමාන්‍ය ජන ජීවිතයට සිදු වන පීඩාවන් හා ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩක් බඳු දළදා වහන්සේ වැඩ සිටින මහනුවර නගරයේ පරිසරයට හානි දෙමින් ඝෝෂාකාරී ආකාරයෙන්  මෙවැනි සැණකෙලියක් පැවැත්වීම පිලිබඳව උන්වහන්සේලා රජයට දැඩි ව විරෝධය දක්වා තිබුණි.  එබැවින්, ගරු කටයුතු ත්‍රෛනිකායික මහා නායක ස්වාමීවහන්සේලා රජයෙන් ඉල්ලා තිබුණේ වහාම මෙම තරඟාවලිය නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ය. 

මෙම ආන්දෝලනාත්මක තරඟාවලිය සංවිධානය කර ඇත්තේ ජනාධිපතිවරයාගේ පුතුන් තිදෙනා ද,  ක්‍රියාකාරී සාමාජිකයන් වන කාල්ටන් ක්‍රීඩා සමාජය මඟින් බව ප්‍රසිද්ධ කාරණයකි.   ඒ නිසාම මහා නායක ස්වාමීන්වහන්සේලාගේ ඉල්ලීම පිලිබඳව බැරූරැම්ව සලකා බලා ඊට සංවේදී වීමේ යුතුකමක් පාලකයන්ට තිබුණි.  නමුත්, ඒ වෙනුවට ඔවුන් කටයුතු කරමින් සිටිනුයේ එවැන්නකට කිසිදු සූදානමක් නොපෙන්වමිනි.   ඔවුන්ගේ උපරිම උත්සාහය වී ඇත්තේ  නියමිත දින කලින් නියම කරගත් ආකාරයෙන් මේ තරඟාවලිය පැවැත්වීමට ය.   

දැඩි විරෝධතා මතුව තිබියදීත් රටේ ප්‍රධාන නගරයක මෙබඳු  රාත්‍රී මෝටර් රථ ධාවන තරඟ සංවිධානය කිරීමෙන් රටේ ආර්ථිකයට එසේත් නැත්නම් රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයට සිදු වන වාසියක් කිසිවෙකුට නොපෙනේ. ඒ වෙනුවට මෙහිදී පැහැදිලිව ක්‍රියාත්මක වනුයේ තමන්ගේ පෞද්ගලික සිතැඟියාවන් මුදුන්පත් කර ගැනීම පිලිබඳ අදහසක් පමණි. නොඑසේ නම්  රටට ආදරය කරන කිසිවෙකුට හෝ මෙවැනි දෑ සඳහා කරන නිරර්ථකාරී  වියදම් අනුමත කළ නොහැකිය. පාලකයන්ගේ අවධානය වහා යොමු විය යුතු බරපතල ප්‍රශ්න කාරණා ගණනාවක් තිබිය දී ඔවුන්

මේ සම්බන්ධව දක්වන උනන්දුව අතිශයින්ම පිළිකුල් සහගතය.  එබැවින්,  එක්සත් ජාතික පක්ෂය ලෙස අප අවධාරණය කරනුයේ රටට කිසිදු ප්‍රතිඵලයක් නොමැති මෙම සැණකෙලිය පැවැත්වීමෙන් වළකින ලෙස ය.   තමන්ගේ සිංහල බෞද්ධ ප්‍රතිරූපය පිලිබඳ නිතර ආඩම්බරයෙන් සිහිපත් කරන වත්මන් පාලකයන් දැන් සිදු කළ යුත්තේ මහානායක ස්වාමීන්වහන්සේලාගේ  ඉල්ලීමට කන්දෙමින් තමන්ගේ සැබෑ බෞද්ධකම පෙන්වීමය. 

මෑත කාලීන ජාත්‍යන්තර දේශපාලනය තුළ තමන්ගේ පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන් රටේ සාමාන්‍ය ජනතාව හා ආගමික නායකත්වයෙන් බුද්ධිමතුනගෙන් මතු වූ ඉල්ලීම් කුණු බක්කියට වීසි  කළ දේශපාලන නායකයන් ගණනාවක්ම සිටි මුත් ඒ සෑම කෙනෙකුගේම ඉරණම අවසානයේ ජනතාව බලය අවසානයේ තීරණය වුනි.   මුළු රටම තමන්ගේ පෞද්ගලික බූදලයක් බව සිතමින්, ආගම් බේද, ජාති බේද ඇති කරමින්,  ඒවා නිරාකරණයට කටයුතු නොකරමින් ඉතා සුළු පිරිසකගේ සතුට වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක වන්නා වූ පාලකයන්ට දිගු ගමනක් නොමැති බවට මෑත කාලීන සිදුවීම් ගණනාවක් අපට සාක්ෂි සපයයි. ඒ ආකාරයටම,  රටේ ජනතාව හා ආගමික නායකත්වය වෙතින් මතුවන්නා වූ සාධාරණ හා යුක්ති සහගත ඉල්ලීම් පිලිබඳව සංවේදී නොවන වත්මන් පාලකයන්ට ද ජනතාව නිසි පාඩමක් උගන්වන දිනය වැඩි ඈතක නොවන බව අප මේ මොහොතේ දී ඔවුනට යළි සිහිපත් කරන්නෙමු.