මාධ්‍ය නිදහස වෙනුවෙන් ඇති දිනයත් විකුණාගෙන කෑම
| උපුටා ගැනීම : ලංකා හැරල්ඩ්
පසුගිය මැයි 3 වැනිදාට යෙදුණු ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයේදී ‘ඩේලි මිරර්’ පුවත්පත මුල් පිටුව උඩු යටිකුරු කොට පළ කිරීම, ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයට එරෙහි එඩිතර පියවරක් ලෙස පෙන්වූ නමුත්, එය ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයකුට අයත් දැන්වීම් සමාගමක් විසින් කරවන ලද්දක් බව, අද (16) නිකුත් වූ රාවය පුවත්පත හෙළි කරයි.
පාඨකයාට ‘කණපිට’ හරවා පෙන්වූ ඩේලි මිරර් පුවත්පත ‘හොදපිට හැරවීමක්’ වැනි එම හෙළිදරව්ව මෙසේය.
පසුගිය මැයි 3වැනිදාට යෙදුණු ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් ‘ඩේලි මිරර්’ පුවත්පත සිය මුල් පිටුව කණපිට හරවා මුද්‍රණය කොට පළ කිරීම රටේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ආන්දෝලනයක් ඇති කළේය. ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ නිදහසක් නැතැයි යන්න සංකේතවත් කිරීමට ප්‍රධාන පෙළේ පුවත්පතක් ගත් නිර්භීත පියවරක් හැටියට සමහරුන් ඒ ගැන උද්දාමයෙන් කතා කළ අතර, විරෝධය පෑ යුතු අවස්ථා සිය ගණනක් පසුගිය කාලයේ ඇති වූ විට කිසිවක් නොකර, හදිසියේ මෙවැන්නක් කිරීම විහිළුවක් බව තවත් සමහරු කීහ.
කෙසේ වෙතත්, එය මෙරට ප්‍රධාන පෙළේ වෙළෙද දැන්වීම් ආයතනයක් ඩේලි මිරර් පුවත්පතට කළ යෝජනාවක් අනුව කළ දෙයක් බව දැන් අනාවරණය වී තිබේ. එම වෙළෙද දැන්වීම් ආයතනය වන ‘සර්වා ඉන්ටග්‍රේටඩ්’ සිය ෆේස් බුක් පිටුවේ සදහන් කර ඇත්තේ ‘මේ මුල් පිටුව නොපිට හැරවීමේ කාරිය පිටුපස සිටි වෙළෙද දැන්වීම් ආයතනය වීම ගැන සර්වා ඉන්ටග්‍රේටඩ් ආඩම්බර වන බව’යි. එසේම මේ අදහස මුළු හදවතින්ම භාරගැනීම ගැන ඩේලි මිරර් කළමනාකාරිත්වයට ස්තුතිවන්ත වන බවයි. ජාතික පුවත්පතකට සිය පුවත්පතේ නම, ප්‍රවෘත්ති හා වෙළෙද දැන්වීම් ඇතුළු මුල් පිටුව නොපිටට හරවා පළ කරන්නට තිබූ ධෛර්යය ගැන තම ආයතනය ස්තුතිවන්ත වන බවද එහි තවදුරටත් දැක්වෙයි.
ජනමාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් මේ වික්‍රමය කරන්නට ඩේලි මිරර්ට උපදෙස් දුන් සර්වා ඉන්ටග්‍රේටඩ් ආයතනය, ‘ට්‍රයැඩ්’ නමින් ලංකාවේ ප්‍රකට වෙළෙද දැන්වීම් ආයතනයක් පවත්වාගෙන යන දිලිත් ජයවීර හා වරුණි අමුණුගමට අයත් තවත් දැන්වීම් ආයතනයක් බව ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග පෙන්වා දෙයි. දිලිත් ජයවීර මහතා පසුගිය කාලයේ අලුත් ව්‍යවසායකයකු ලෙස, විශේෂයෙන් ලංකාවේ හෝටල් ක්ෂේත්‍රයේත් වෙනත් ක්ෂේත්‍රවලත් කොටස් අයිතිය හිමි කර ගනිමින් හදිසියේ මෙන් ඉදිරියට ආවෙකි. පසුගිය විස්සයි විස්ස ලෝක ශූරතා තරගාවලියේ අවසන් තරගය ජනාධිපතිවරයා නැරඹුවේද, දිලිත් ජයවීර මහතා අලුතෙන් විවෘත කළ හෝටලයක පළමු කාමර අමුත්තා බවට පත් වෙමිනි.
පසුගිය යුද්ධ සමයේ හමුදාවට තරුණයනි බදවාගැනීම දිරිගැන්වීම සදහා ‘අපෙන් එකෙකි මේ මිනිසා’ යන ප්‍රකට වෙළෙද දැන්වීම නොමිලේ ආණ්ඩුවට නිර්මාණය කර දුන්නේද දිලිත් ජයවීරගේ ‘ට්‍රයැඩ්’ ආයතනය විසිනි.
ලංකාවේ පුවත්පත් ඉතිහාසයේ සිය මුල් පිටුව කිසියම් නිශ්චිත කරුණකට විරෝධය පෑම සදහා චේතනාන්විතවම වෙනස් විධියකට පළ කර ඇත්තේ රාවය පුවත්පත පමණකි. සරත් එන් සිල්වා අගවිනිසුරු ලෙස පත් කළ 1999දි ඔහු දිව්රුම්දෙන ඡායාරූපය උඩු යටිකුරු කර පළ කළ රාවය, ‘අධිකරණ නිදහසේ මළගම’ යන සිරස්තලය යොදා එදින මුල් පිටුව මුළුමනින්ම කළු කළේය. දෙවන වරට රාවයේ මුල් පිටුව මුළුමනින්ම කළු කොට පළ කරනු ලැබුවේ 2009දී සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ අවස්ථාවේදීය. එහි සිරස්තලය ‘ලසන්ත බිලිගනී’ යනුවෙන් විය. මේ දෙකම රටේ මාධ්‍ය නිදහසට හා සමාජයට එරෙහිව එල්ලවූ අභියෝගයන්ට සත්‍ය ලෙසම විරෝධය දැක්වීමට පුවත්පතක් හැටියට කළ වෑයම් ය.