උඩවලවෙන් අරන් ගිය අලි පැටව් කතා කරති!

Divaina

නීලා සහ සූරියන් උඩවලවේදී කෙළිදෙලෙන් පසුවූ මොහොතක්‌

වනයට මුදාහැරීමට දින කිහිපයක්‌ තිබියදී පින්නවලට රැගෙනගිය නීලා සහ සූරියන් අලි පැටව් දෙදෙනා ගේ අනාගතය කෙබඳු වේදැයි පරිසර සහ සත්ව ලෝලීන් ප්‍රශ්න කරති. මේ ඒ පිළිබඳව කෙරෙන විමසුමකි

මේ කථාව කියන අපි දෙදෙනා ඉපදුනේ ශ්‍රී ලංකාව නැමැති පුණ්‍ය භූමියේය. එය තුන්ලොව සත්වයාට මැනිය නොහැකි කරුණාව අනුකම්පාව පෑ ඒ උතුම් තථාගත බුදුරජාණන්වහන්සේගේ පහස ලැබු රටයි. උන්වහන්සේ දෙසා වදාළ සද්ධර්මය තවමත් පවතින්නේ යෑයි ප්‍රකාශ කෙරෙන රටයි. අහිංසාවාදයේ ප්‍රතිමූර්තිය වූ උන්වහන්සේගේ වදාළ ධර්ම මාර්ගයේ ගමන් ගන්නේ යෑයි ප්‍රකාශ කරන මිනිසුන් බහුතරයක්‌ සිටින රටයි. එවන් රටක්‌ උරුමව ඉපදීමට වාසනාවන්ත වූ අපි දෙදෙනාගේ කඳුළු කතාව නුඹලාගේ දැන ගැනීම පිණිස මෙසේ හෙළි කරන්නෙමු. 

අපගේ සහ නුඹලාගේ සාමාන්‍ය ආයු කාලය එක හා සමානය. මව් කුසේ පිළිසිඳ ගත් මොහොතෙන් ආරම්භව අවසන් සුසුම් පොද වාතලයට මුසු කිරීමත් සමග අවසන් වන ජීවිතයක්‌ අපි දෙගොල්ලන්ටම උරුමය. සුන්දර ළමා විය, ජව සම්පන්න තරුණ විය මෙන්ම වැහැරෙන මහලු විය නුඹලාට මෙන්ම අපිටද උරුමය. ළමා කාලයේ මව් ප්‍රමුඛ වැඩිහිටියන්ගේ සෙනෙහස රැකවරණය ලබමින් අපි ප්‍රීතිමත් කාලයක්‌ ගෙවන්නෙමු. ඉන් අනතුරුව තම වර්ගයා බෝ කරමින් දරු මල්ලන්ගේ සුන්දර ආශ්වාදයන් විඳිමින් තරුණ දිවිය ගෙවන්නෙමු. අනතුරුව දිවිය පුරා ලද අත්දැකීම් තම වර්ගයාට බෙදා දෙමින් කාලයක්‌ ගතකර වැහැරුණු ශරීරය පොළවට පස්‌කර දමමින් දිවියෙන් සමුගන්නෙමු. නුඹලාගේ දිවිය මීට වඩා සංකීර්ණ වුවද, සාරාංශයක්‌ ලෙස නුඹලාගේ දිවිය ගෙවෙන්නේද මේ ආකාරයටමය. 

අපටද ස්‌වභාව ධර්මයෙන් උරුමව තිබුණේ ඉහත දක්‌වා සිටි නිදහස්‌ දිවියයි. අපිට ලැබුණු සුන්දර ළමා දිවිය කෙටි විය. මව් වැඩිහිටි සෙනෙහස දරමින් කෙළි දෙළින් පිරුණු දිවිය මාස කීපයක්‌ ගෙවෙද්දී මිනිස්‌ ක්‍රියාකාරකම් නිසා අපි අනාථයෝ බවට පත්වීමු. අපගෙන් එකෙකුගේ මව මිය ගියේ මිනිසෙකුගේ වෙඩි පහරකට ලක්‌වය. අනෙකා අනාථභාවයට පත් වූයේ මිනිසුන් අපිව පන්නද්දී මවගෙන් මග හැරීම නිසාය. මව අහිමි වූ අපිව හැදින්වූයේ අනාථ අලි පැටවුන් ලෙසය. කාත් කවුරුවත් නැතිව කුසගින්නෙන් තිබහින් බියට පත්ව වනයේ සැරිසරමින් සිටි අප වෙත කරුණාව පෑවේද මිනිසුන්මය. අපිව බේරාගත් මිනිසුන් උඩවලව ඇත් අතුරු සෙවණට රැගෙන ආවේ අපි ආනාථභාවයෙන් මුදවාලීම පිණිසය. මව් සෙනෙහස, මව් කිරි අහිමිව නුපුරුදු පරිසරයේ හැදුණු අපගේ දිවි ගැලවුණේ මිනිසුන් නිසාය. එම මිනිසුන්ගේ කරුණාව නිසාම තවත් අලි පැටවුන් සමග අපි උඩවලව ජලාශය ඉස්‌මත්තේ නිදහසේ ප්‍රීතිය භුක්‌ති වින්දෙමු. දඟකාරකම්වලට කෙළිලොල් සෙල්ලම්වලට අපිට අවස්‌ථාව තිබුණි. අවශ්‍ය විටෙක ජලයේ කෙළිසෙල්ලම් කිරීමට, තණ පිට්‌ටනිවල මෙන්ම වනයේ සැරිසැරීමේ නිදහස අපිට තිබුණි. මේ අතරම අපේ ප්‍රියතම ආහාරය වූ කිරි සෑම පැය තුනකට වරක්‌ ලැබුණේ අපිව ඉමහත් තෘප්තියට පත් කරමින්ය. 

ඇත් අතුරු සෙවණේ අපි කොතරම් නිදහසක්‌ භුක්‌ති වින්දද, අප සූදානම්ව සිටියේ අපේ ස්‌වභාවික දිවිය උරුමව ඇති වනයට පිය නැගීමටය. ඇත් අතුරු සෙවණේ සිටි මිනිසුන් අප වෙනුවෙන් වෙහෙසුනේද එම අරමුණින්ය. වනය බලා පිටත් වීමට අපට තිබුණේ තවත් දින කීපයකි. අපේ ඉරණම වෙනස්‌ විය. අපි දෙදෙනාව ලොරියකට පැටවිණි. මීට පෙර කැළෑ දිවිය උරුම වූ අපේ අනෙකුත් සගයෝද කැළෑව කරා ගමන් කළේ මෙම ලොරියෙනි. කඹයක දම්වැලක පහස නොළැඹ තිබු අපේ පාවලට කඹ සහ විලංගු වැටුණි. ලොරිය අපිව රැගෙන ගමන් කරන්නට විය. ලොරිය ඇදුණේ කැළෑව දෙසට නොවේ. ගම් නගර මැද්දෙන් පැය කීපයක්‌ ගමනේ යෙදුණු අපගේ ගමනාන්තය වූයේ පින්නවල අලි අනාථාගාරයයි.

මිනිසුනි නුඹලා අපගේ නිදහස අහිමි කළහ. දම්වැලේ, හෙණ්‌ඩුවේ, පිහියේ සහ කෝටුවේ පහස අපිට උරුම කළහ. මරණය තෙක්‌ අපිට උරුම කර ඇත්තේ අඩි කීපයක චලනයට නිදහස උරුම දම්වැල්වලින් බැදුණු දිවියකි. දැන් ඉතින් අපිට කැමැති කෑමක්‌ කෑමට අවස්‌ථාවක්‌ නැත. රුචි වුවත් නොරුචි වුවත්, නුඹලා දෙන කෑම අපි කෑ යුතුය. අපිට කැමැති තැනක යාමට අපිට අවස්‌ථාව නැත. හෙන්ඩුවෙන් සහ කෝටුවෙන් ලැබෙන සංග්‍රහ ලබමින් නුඹලා කැමති තැනකට අපි යා යුතුය. අපිට කැමැති වෙලාවකට ජලය බීමට නැත. නුඹලා කැමති වේලාවක අපි වතුර බිව්ව යුතුය. අපි කැමති වෙලාවකට අපිට නෑමට නොහැක. නුඹලා කැමති වේලාවට අපි ජලයේ බැසිය යුතුය. මින් ඉදිරියට නුඹලා කැමති ස්‌ථානයක, උත්සවයක, පෙරහරක අපි පෙනී සිටිය යුතුය. සමහරක්‌ විටෙක අපි විදෙස්‌ රටක ජීවිතය ගෙවීමට යා යුතුය. අපි නුඹලාගේ සිතුම් පැතුම්වලට අනුව කටයුතු කෙරෙන තවත් යන්ත්‍ර සූත්‍රයක්‌ පමණක්‌ය. නුඹලා අපගේ ජීවිතය අපගෙන් උදුරා ගෙන ඇත. 

අසරණ වූ ජීවිතවලට පිහිට වන, අපගේ අසරණ කම වටහා ගන්නා ගිහි හෝ ආගමික නායකයෝ නුඹලා අතර නැත. අපගේ නිදහස වෙනුවෙන් හඩ නැගීමට සමත් සුළු පිරිසක්‌ සිටියද, ඔවුන්ද තම අදහස්‌ ප්‍රකාශ කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට නොහැකි අසරණයන්ය. අපි සංසාරයේ කළ පවක්‌ විඳවන්නෙමු. අපට දුක්‌ දෙමින් නුඹලා සමහරෙක්‌ තෙරක්‌ නොමැති සංසාරයේ සැරිසරමින් දුක්‌ විදීමට අවශ්‍ය අකුසල් පුරවා ගන්නේය. අපි දෙගොල්ලෝම පරාර්තයෝ වෙමු. 

මිනිසුනි නුඹලා මනුෂ්‍යත්වය ප්‍රදර්ශනය කරපල්ලා. අහිංසක සතුන්ට වදවේදනා දෙමින් ලබන සන්තෝශය පිළිකුලක්‌ ලෙස දැකීමට පුරුදු වෙයල්ලා. අපිට දුන් දුක ඇත් අතුරු සෙවණේ නිදහස්‌ සිහින දකින අනෙක්‌ අලි පැටවුන්ටත් උරුම නොකරපල්ලා. අපි දුක්‌ විඳිද්දී අපේ දුක නොදකින අන්ධයන් මෙන් සාදුකාර නොමදීපල්ලා. අහිංසක අපි වෙනුවෙනු හඩක්‌ නගපල්ලා. 

අපිට උරුම වූ සිරගත වහල් දිවිය සසරේ කවදාවත් නුඹලාට උරුම නොවේවා.

මෙයට 
උඩවලව ඇත් අතුරු සෙවනේ විසූ 
නීලා සහ සූරියන්