ජනනේන්ද්‍රිය අතින් ගෙන පැමිණි මිනිසා සුවපත් වෙයි


* ජාතික රෝහලට ආවේ බෑගයක දමාගෙන...
* වෘෂණ කෝෂ දෙකත් සමගම කැපී ගොසින්...
* පැය දොළහක ශල්‍යකර්මයක්‌...
කිසියම් හේතුවක්‌ මත සිය සම්පූර්ණ ජනනේන්ද්‍රයම කැපී ගිය පුද්ගලයකු රෝහල්ගත විය. පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු විසිහත් හැවිරිsදි එක්‌දරු පියෙකි. කොළඹ මහ රෝහලේ වෛද්‍යවරු ප්‍රාතිහාර්යයක්‌ බඳු සැත්කමකින් ඔහුගේ ශරීරයට යළි ජනනේන්ද්‍රිය බද්ධ කර දුන්නේය. ඔහගේ නම, සිද්ධිය රස කර ලියා. ඔහුටත් පවුලේ අයටත් සියදිවි හානි කර ගන්නා තත්ත්වයක්‌ උදා කර දීමේ මාධ්‍ය වාර්තාවක්‌ වෙනුවට උද්ගත වූ තත්ත්වය වෛද්‍ය විද්‍යාත්මක ඇසින් බලා මෙම ලිපිය ලියෑවේ.
කොළඹ ජාතික රෝහලේ ප්ලාස්‌ටික්‌ සැත්කම් අංශයට ඉකුත් සඳුදා (2013.10.07) පෙරවරු 8.30 ට පමණ ඇතුළත් කළ පුද්ගලයාට සිදුව තිබූ අනතුර මීට පෙර කිසි දිනෙක දැක නොතිබූවකි. ඔහුගේ පුරුෂ ලිංගය, වෘෂණ කෝෂ දෙක සහිත ජනනේන්ද්‍රිය කොටස සම්පූර්ණයෙන්ම සිරුරින් වෙන්වී තිබිණි. එය තියුණු ආයුධයකින් එකවර කපා දැමූ බවක්‌ සිදුව ඇති අනතුර අනුව අනුමාන කිරීමට වෛද්‍යවරුනට හැකි විය.

මෙම අනතුර සිදුව තිබුණේ 07 වැනිදා අලුයම 4.30 ට පමණය. අනතුරට පත් වූ පුද්ගලයා පවසා ඇති පරිදි ඔහුගේ ජනනේන්ද්‍රිය කිසිවකු විසින් කපා දැමූ බවත් තමා එය රැගෙන තුවාල වූ ස්‌ථානය තුවායකින් තද කර ගෙන ලේ වහනය වීම නතර කර ගැනීමට උත්සාහ දරමින් අසල නිවසකට දිව ගොස්‌ ඇත.

එක්‌දරු පියකු වන ඔහු සිමෙන්ති බ්ලොක්‌ ගල් සෑදීමේ නිරත වූවෙකි.

ඔහු වහාම පුත්තලම රෝහලට ඇතුළත් කර තිබූ අතර පසුව පුත්තලම රෝහල මගින් වහාම කොළඹ ජාතික රෝහලේ ප්ලාස්‌ටික්‌ සැත්කම් ඒකකයට එවා ඇත.

වෙන් වූ ජනනේන්ද්‍රිය කොටස පිsරිසිදු පොලිතින් බෑගයක බහා වාතය ඇතුලට නොයන පරිදි හොඳින් වසා එය ඉන් පසු අයිස්‌ බෑගයක්‌ ඇතුළත දමා ආරක්‍ෂාකාරී ලෙස ජාතික රෝහලේ ප්ලාස්‌ටික්‌ සැත්කම් ඒකකයට එවීමට පුත්තලම රෝහලේ වෛද්‍ය කාර්ය මණ්‌ඩලය පියවර ගෙන තිබිණි. එය සැත්කම සාර්ථකව සිදු කිරීමට විශාල රුකුලක්‌ වී ඇත.

රෝගියා ප්ලාස්‌ටික්‌ සැත්කම් ශල්‍යාගාරයට ඇතුළත් කළ වහාම සැත්කම සිදු කිරීම ආරම්භ කිරීමට එහි ප්‍රධානි විශේෂඥ වෛද්‍ය දුලිප්a පෙරේරා, උප ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරුන් වන ධම්මික දිසානායක සහ ක්‍රිෂාන් බෙනරගම යන මහත්වරු පියවර ගෙන තිබිණි.

අනතුර සිදු කළේ හෝ සිදු කර ගත්තේ තනි පුද්ගලයෙක්‌ විය හැකි ය. නමුත් අනතුරට ප්‍රතිකාර කිරීම සඳහා විශාල පිරිසක්‌ එක්‌වූහ.

විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාට අමතරව සහකාර විශේෂඥ වෛද්‍යවරුන් වන කපිල මෙන්ඩිස්‌, අරුණජිත් අමරසිංහ, ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් වන රවීන්ද්‍ර රාජපක්‍ෂ, ගයාන් සුරේන්ද්‍ර, චම්පිකා අමරසිංහ සහ අනූෂා ගුණසේකර යන පිරිස ද නිර්වින්දන වෛද්‍යවරුන් වන සුනේත්‍රා රත්නසිරි, විදත් බාලසූරිය සහ පාතිපන් යන පිරිස ද, හෙදියන්, සාත්තු සේවක සේවිකාවන් ද සමඟ විස්‌සකට ආසන්න කාර්ය මණ්‌ඩලයක්‌ මෙම සැත්කම සඳහා සහභාගි වූහ.

මෙවැනි අනතුරකින් ජීවිත හානියක්‌ සිදු නොවේ. නමුත් යළි එය බද්ධ කර ක්‍රියාකාරිත්වයට පත් කිරීම වෛද්‍යවරුන්ගේ එකම බලාපොරොත්තුවයි.

එම බලාපොරොත්තුව ඉටු වන්නේ සිදු කරන සැත්කම සහ ඉන්පසු රෝගියා සුවපත් වන ආකාරය අනුවය. ඉතා සියුම් රුධිර නාල, ස්‌නායු, පටක කැපී ගොස්‌ ඇත. ඒවා යළි බද්ධ කළ යුතුය. එය සිදු කළ හැක්‌කේ පියවි ඇසින් බලමින් නොවේ. විශාල කාමරයක්‌ පමණ තරම් අන්වීක්‍ෂයක්‌ ද උපයෝගී කරගෙන ඉතා සියුම් නාළ ඉතා සියුම් ඉඳිකටු සහ නූල් භාවිත කරමින් මැසිය යුතුය. එය කොතරම් සියුම්ව සිදු කළ යුතු දැයි කියා වැටහෙන්නේ සැත්කම සඳහා පුරා පැය දොළහකට ආසන්න කාලයක්‌ ගතව තිබීමෙනි. එනම් පෙරවරු 9.00 සිට රාත්‍රි 10.00 පමණ දක්‌වා අඛණ්‌ඩව සැත්කම සිදු කරන ලදී.

මෙම සැත්කම ජාතික රෝහලේ ප්ලාස්‌ටික්‌ සැත්කම් අංශයේ සිදු කරනු ලැබූ බරපතළම සැත්කම නොවුණත් මෙවැනි ඉන්ද්‍රිය බද්ධ කිරීමක්‌ සිදු කළ ශ්‍රී ලංකාවේ පළමු සැත්කම බවට එය පත් විය.

රෝගියාගේ ජනනේන්ද්‍රිය සිරුරට යළි බද්ධ කිරීම එය අවස්‌ථා තුනක්‌ යටතේ සිදු කිරීමට වෛද්‍යවරු පියවර ගෙන තිබිණි. පුරුෂ ලිංගය, වෘෂණ කෝෂ සහ මුත්‍රා මාර්ගය මෙහි සම්බන්ධව පවතින බැවින් පළමුව පුරුෂ ලිංගය යළි බද්ධ කිරීම ආරම්භ කර ඇත. දෙවනුව වෘෂණ කෝෂත් තෙවනුව මුත්‍රා බටයත් බද්ධ කර ඇත. මෙම බද්ධ කිරීමේදී කැපී වෙන් වූ රුධිර නාළ සහ ස්‌නායු ද බද්ධ කළ යුතුය.

මෙම සැත්කම සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරුන් වන දුලිප් පෙරේරා මහතාත්, ධම්මික දිසානායක මහතාත් කරනු ලැබූ පැහැදිලි කිරීම අනුව එය කෙතරම් සංකීර්ණ දැයි අප කොයිකාටත් වටහා ගත හැකිය.

එක්‌ ලේ නහරයක බාහිර ඝනකම මිලි මීටරයටත් වඩා අඩුය. එම නහරයක ඇතුළත ඝණකම හිසකෙස්‌ ගසකටත් වඩා අඩුය. ස්‌නායුවක ඝණකමද ඊටත් අඩුය.

සැත්කමේදී එවැනි රුධිර නාල 12ක්‌ බද්ධ කළ යුතුය.පුරුෂ ලිංගයට සහ වෘෂණ කෝෂ වලට ධමනි 03ක්‌, ශිරා 03ක්‌ සහ ස්‌නායු 03ක්‌ බැගින් වෙන වෙනම ඇත.

මෙම රුධිර නාළ සහ ස්‌නායු බද්ධ කිරීම පියවි ඇසින් බලා සිදු කළ නොහැකියි. එබැවින් අති දැවැන්ත අන්වීක්‍ෂයක්‌ ආධාරයෙන් සිදු කර තිබේ. එය ශුද්‍ර රුධිර නාළ බද්ධ කිරීමේ සැත්කමක්‌ ලෙස හඳුන්වනු ලබයි.

මෙම ජනනේන්ද්‍රිය බද්ධ කිරීමේදී පුරුෂලිංගය සහ වෘෂණ කෝෂ බද්ධ කිරීමට පැය දහයක පමණ කාලයක්‌ ගත වුණා. මුත්‍රා මාර්ගය සහ ප්‍රජනන පද්ධතිය බද්ධ කරන්න පැයක්‌ දෙකක්‌ පමණ ගත වුණා. මුත්‍රා මාර්ගයේ තියෙන්නේ මුත්‍රා බටය විතරයි. පුරුෂ ලිංගය බද්ධ කළ විට එය ඇතුළතින් ගමන් කරන මුත්‍රා බටය, මුත්‍රා මාර්ගයට සම්බන්ධ කළා. ප්‍රජනන පද්ධතියේ ශුක්‍රාණුq මාර්ගයත්a තියෙනවා. සැත්කම සම්බන්ධව වෛද්‍යවරු අදහස්‌ දැක්‌වූයේ එලෙසිනි.

පුරා පැය දොළහකට ආසන්න කාලයක්‌ තුළ සිදු කළ මෙම සැත්කමින් පසු රෝගියා ශල්‍යාගාරයෙන් ඉවතට ගෙන රාත්‍රි 11.00 ට පමණ වාට්‌ටුවකට ඇතුළත් කළ ද පසුදින පෙරවරු 8.00 ට පමණ වාට්‌ටුව භාර ප්‍රධාන වෛද්‍යවරයා වෙතට රෝගියා පවරන තුරු ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ලසිත් විඡේකෝන් මහතාගේ අධීක්‍ෂණය මත රෝගියා පසු විය.

එහිදී විනාඩි පහළොවකට වරක්‌ රෝගියා පරීක්‍ෂා කරමින් වෛද්‍ය ලසිත් විඡේකෝන් මහතා මුළු රැය ගත කරන ලදී.

මේ වන විට සැත්කමින් පසු රෝගියා ප්ලාස්‌ටික්‌ සැත්කම් අංශයට අයත් සාමාන්‍ය වාට්‌ටුවක පසු වේ. නමුත් ඔහුගේ අනාගතය කෙබඳු වේවිද? ඒ සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරුන් වන දුලිප් පෙරේරා සහ ධම්මික දිසානායක යන මහත්වරුන් පවසන්නේ එය රෝගියා සුවපත් වන ආකාරය අනුව තීරණය කළ යුතු බවය.

ලෝකයේ මෙවැනි සැත්කම් සිදු කර ඇත්තේ තුන හතරක්‌ පමණ වූ ඉතා සුළු සංඛ්‍යාවක්‌ බැවින් ද ශ්‍රී ලංකාවේ සිදු කළ පළමු සැත්කම බැවින් ද නිශ්චිත අනාවැකි පළ කළ නොහැකි බව වෛද්‍යවරුන් දෙපළගේ අදහසය.

මේක තියුණු ආයුධයකින් එකවර කැපී ගිය වන්ෂොට්‌ ආකාරයේ අනතුරක්‌ නිසා සැත්කම සිදු කිරීම පහසුවක්‌ වුණා. තැලීමක්‌ ඇඹරීමක්‌ වැනි ආකාරයේ අනතුරු සිදුව තිබුණා නම් සැත්කම සාර්ථකව සිදු කරන්න බැරි වෙනවා. අනෙක කැපී වෙන් වූ ජනනේන්ද්‍රිය කොටසත් පිරිසිදු පොලිතින් බෑගයක දමා එය හොඳින් ගැට ගසා එම බෑගය අයිස්‌ සහිත බෑගයක දමා රෝහලට එවීමට පුත්තලම රෝහලේ බලධාරීන් කටයුතු කර තිබුණා.

එය සිරුරින් කැපී වෙන්වුණු කොටසක්‌ නැවත බද්ධ කිරීම සඳහා ගෙන එන ඉතා නිවැරැදි ක්‍රමයයි. විශේෂඥ වෛද්‍ය ධම්මික දිසානායක මහතා කීවේය.

සාර්ථක සැත්කමක්‌ වුණාට පෙර පැවැති ආකාරයට සියයට සියයක්‌ සියලු කටයුතු නිවැරැදිව සිදු වන්නේ නැහැ. මෙහි ස්‌නායු කැපී ගොස්‌ තිබුණා. ඉතිං ඒවා යළි බද්ධ කිරීමෙන් පසු කැපී ගිය කොටස්‌ යළි එකතුවන ආකාරය තීsරණය වන්නේ ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය අනුවය.s ඒ නිසා නැවත පුරුෂ ලිංගය ප්‍රාණවත් වීම, හැඟීම් දැනෙන ආකාරය තීරණය කරන්න ක්‍ෂණිකව බැහැ. සමහර විට වසර කිහිපයක්‌ ගත වෙන්නත් ඉඩ තිබෙනවා. විශේෂඥ වෛද්‍ය ධම්මික දිසානායක මහතා පැහැදිලි කළේය.

කෙසේ වෙතත් මෙතරම් සංකීර්ණ සැත්කමක්‌ සාර්ථකව සිදු කිරීමට තරම් දක්‍ෂ වෛද්‍යවරුන් සිටීම සහ ඒ සඳහා පහසුකම් තිබීම අප ලැබූ වාසනාවකි. ඇත්තටම වෛද්‍යවරුන් දෙවිවරුන් වගේ යෑයි කියන්නේ මෙවැනි විශ්වකර්ම ප්‍රතිකාර සිදු කරන්නට ඔවුනට දැනුමක්‌ සහ හැකියාවක්‌ තිබෙන නිසාමය.

යක්‌ෂයකු වීමට ඕනෑම පුද්ගලයකුට හැකිය. ඒ සඳහා ගතවන්නේ ඉතා කෙටි කාලයකි. නමුත් දෙවියකු වීමට ලෙහෙසි පහසු නැත. ඒ සඳහා බොහෝ කාලයක්‌ ගත වේ. මෙවැනි වෛද්‍යවරුනුත් එවැනි දෙවිවරු වන් මිනිසුන්ය.


උපාලි ද සේරම්