මර්වින්ලා පෙන්නුවේ ලාංකිකයාගේ සෑබෑ නිරුවත නොවේද?




අමිල ගුණරත්න  

ශ්‍රී ලාංකිකයා යනු උසස් සංස්කෘතියකට උරුම නොකියන්නෙකු බව සාධක සහිතව ලංකාව පාලනය කරන දේශපාලන නඩය විසින් පෙන්වා දී තිබේ. මේ අසංස්කෘතික පාලකයන් පත් කලේ සංස්කෘතියක් නොමැති ජනතාව නිසා පාලකයන්ට දොස් කියා පලක් නැත. යකාගේ හැටියට විමානේ කීවාක් මෙන් ජනතාවගේ සංස්කෘතික මටටමට ගැලපෙන අයුරින් මෙරටට පාලකයන් ලැබී ඇත. 
 
නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ මහත්මියට ඇමති මර්වින් සිල්වා  කාම යෝජනාවක් කලේය​. එම කථාවට ගැලරිය විසින් හුරේ දමා මර්වින් සිල්වා වීරයෙක් කලද  ශ්‍රී ලංකාව නම් පසුගාමී ගෝත්‍රික සමාජය ස්ත්‍රීන් විෂයෙහි කටයුතු කරන නින්දිත ආකාරය මර්වින් සිල්වා විසින් ලොවට ම ප්‍රදර්ශනය  කරන ලදි.  නමුත් මේ සම්බන්ධයෙන් ඇමති මර්වින් සිල්වාට දොස් කියා පලක් නැත. ඔහු නියෝජනය කරන්නේ බහුතර ශ්‍රී ලාංකිකයා ගේ මනසයි. උසස් සංස්කෘතියක් පවතින රටක මර්වින් සිල්වා යනු සිර ගෙදරක හෝ මානසික රෝහලක සිටිය යුතු චරිතයකි. නමුත් මේ චරිතය පහත් සංස්කෘතික මට්ටමක් ඇති ලංකාව වැනි පසුගාමී රටක ප්‍රධාන පෙලේ දේශපාලකයෙකි. 

මේ පිලිබඳව උපුල් ජෝශප් ප්‍රනාන්දු මෙසේ කියයි. 
කළු ජාතිකයන් වෙනුවෙන් ලොව විප්ලවයක් කළ කාන්තාවක් වූ නාවි පිල්ලේ වැනි වැන්දඹුවකට සමච්චල් කරමින් විවාහ යෝජනා ගෙන ඒම ගැන ලැජ්ජා විය යුතුය. නාවි පිල්ලේ කියන්නේත් සුද්දන්ට යටත් නොවූ සුදු හමෙයි කළු හමෙයි වෙනසක් නැහැ කියා පෙන්වන්න දකුණු අප්‍රිකාවේ විප්ලවයක් කළ ගැහැනියකි. සුද්දන් ඇයව ජාත්‍යන්තර යුද්ධ අධිකරණයේ විනිසුරුවරියක ලෙස නම් කළේත් පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරිය ලෙස පත් කළේත් කපන්න බැරි අත සිඹින්නාක් මෙන්‍ය.  ලොව කළු මිනිසුන් වෙනුවෙන් එවැනි විප්ලවයක් කළ, වියපත් වීමටත් පෙර වැන්දඹුවක් වූ කාන්තාවකට විවාහ යෝජනා ගෙන එමින් අපහාස උපහාස කිරීම අවුරුදු 2500ක් පැරැණි ඉතිහාසයක් ඇති ශීලාචාර සදාචාරසම්පන්න රටක් ලෙස ලංකාව ලැජ්ජා විය යුතුය. අනෙක ඇය දියණියන් දෙදෙනකුගේ මවකි.   (නෝනලාගෙන් නෑම - උපුල් ජෝශප් ප්‍රනාන්දු) 

 නමුත් ගැටලුව මෙයයි, ඉතිහාසයක් තිබුනද ශ්‍රී ලාංකාව ශීලාචාර සදාචාරසම්පන්න රටක්ද ? ශීලාචාර සදාචාරසම්පන්න රාජයක් වීමට ලාංකාවට බොහෝ දුරක් යා යුතුය​.