ආණ්ඩුව ඇතුළෙ විපක්ෂය - උපුල් ජෝශප් ප්‍රනාන්දු


 "විපක්‍ෂයක් නැති නිසා අපිම තමයි විපක්‍ෂය. අපේ පක්‍ෂයේ අයම ගහගන්නේ නැතිනම් මැතිවරණයක් නැහැනේ. ඉතින් ඒකෙන්ම පේනවා විපක්‍ෂය තියෙන්නේ ආණ්ඩුවේ..." 

මේ මහින්ද ශ්‍රී ල.නි.ප. 62 වැනි උපන් දිනයේදී කිව්ව අරුම පුදුම කතාවක්ය. මහින්ද ඒ කතාවේ කියන්නේ දැන් ආණ්ඩුවට සතුරෙක් නැහැයි කියාය. විපක්‍ෂයක් නැහැ කියන්නේ ඒකටය. ආණ්ඩුව ඇතුළේ විපක්‍ෂය තියෙනවා කියල කියන්නේ ආණ්ඩුවේ අය ආණ්ඩුව ඇතුළේම හතුරෝ හදාගෙන ඉන්නවාය කියන එකය. මහින්දගේ විග්‍රහයට අනුව නම් ඒක නරක නැත.
 
ආණ්ඩුව ඇතුළේ ආණ්ඩුවයි විපක්‍ෂයයි දෙකම තියෙනවා කියද්දි ආණ්ඩුව කවුද විපක්‍ෂය කවුද කියලා මහින්දටත් තේරුම් ගන්න බැරි ගානය. ආණ්ඩුව ඇතුළේ ආණ්ඩුව කියන්නේ මහින්දගෙ ආශීර්වාදය හිමි කට්ටියය. ආණ්ඩුව ඇතුළේ විපක්‍ෂය කියන්නේ මහින්දගේ ආශීර්වාදය අහිමි කට්ටියය. මහින්ද කුරුණෑගලදීම මේ උදාහරණය ගත්තේ ජොනීගේ පුතා සහ දයාසිරි අතර මහ ඇමැති පොරය විග්‍රහ කරන්න විය යුතුය. ඒ මහ ඇමැති පොරයේ මහින්ද ඉන්නේ කොයි පැත්තේද කියල මහින්ද නොපෙන්නුවාට මහින්දගේ හයියයි ආණ්ඩුවෙ හයියයි පාවිච්චි කරන්නේ ජොනීගේ පුතාය. දයාසිරි වටේ ඉන්නේ කුරුණෑගල ශ්‍රී ල.නි.ප. ජේ‍යෂ්ඨයන්ය. දයාසිරි පාවිච්චි කරන්නේ පක්‍ෂයේ හයියය. පසුගිය උතුරු මැද පළාත් සභා ඡන්දයේ මහ ඇමැති පොරයත් මෙයට සමානය. මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක සහ ඇමැති සොහොයුරු එස්.එම්. රංජිත් අතරත් ඇති වුණ මහ ඇමැති පොරයෙන් එළියට ආවේ ආණ්ඩු පක්‍ෂය ඇතුළේ ආණ්ඩු පක්‍ෂයත් විපක්‍ෂයත් අතර සටනය.
 
මේ සටන මහින්ද හිතන තරම් ආණ්ඩුවට ගුණ සටනක් නොවේ. නිදහසින් පසු ලංකා ඉතිහාසයේ ආණ්ඩු කඩාගෙන වැටෙන්නේ ආණ්ඩු ඇතුළේ විපක්‍ෂය හදන්න ගිය විටදීය. ආණ්ඩුවක් හැම විටදීම ශක්තිමත් වන්නේ ආණ්ඩුවට එළියේ ඉන්නා විපක්‍ෂයේ සතුරා බලවත් වූ විටදීය. විපක්‍ෂයේ සතුරා බලවත් වූ විට ආණ්ඩුව එකට එක්සේසත් වී සතුරාට මුහුණ දෙන්නේ ශක්තිවන්තවය. එළියේ සතුරා දුර්වල වී සතුරෙක් නැති වූ විට ආණ්ඩුව ඇතුළේ ආණ්ඩුවම සතුරන් හදාගනී.
 
1956-59 අතර කාලයේ එ.ජා.ප.යට නායකයෙක් හොයා ගන්න බැරි තරමට පිරිහී තිබිණි. බණ්ඩාරනායකගේ ආණ්ඩුව ඒ තරමටම ශක්තිමත් වී තිබිණි. හතුරෙක් පේන තෙක්මානයේ නැති බව තේරුම් ගත් බණ්ඩාරනායකගේ ඇමැති මණ්ඩලය දෙකට බෙදී ආණ්ඩුවයි විපක්‍ෂයයි ආණ්ඩුව ඇතුළේම වම සහ දකුණ කියල කල්ලි දෙකක් හදාගත්හ. බණ්ඩාරනායක ඝාතනයට මුල් වූයේද ආණ්ඩුව ඇතුළේ හැදුණු මේ විපක්‍ෂයය.
 
1970 බලයට ආ බණ්ඩාරනායක මැතිනිය තුනෙන් දෙකේ බලයක් ගෙන පාර්ලිමේන්තු නිල කාලය වසර දෙකකින් දීර්ඝ කර ගන්නා තෙක් සීගිරි ගල වගේ හයියට ආණ්ඩුව රැකගත්තාය. එසේ සවි ශක්තිමත් වූ පසු ආණ්ඩුව ඇතුළේම විපක්‍ෂයක් හදා ගන්න ඇන්.ඇම්.ලාට කොල්වින්ලාට ඕනෑ විය. ආණ්ඩුව වමට ගෙන යන්න ඔවුන් දඟලද්දී මැතිනිගේ පුතා අනුරට ආණ්ඩුව දකුණට ගෙන යන්න ඕනෑ විය. ආණ්ඩුව කඩාගෙන වැටුණේ එහි ප්‍රතිඵලයක් වශයෙන්ය.
 
1977 බලයට ආ ජේ.ආර්.ද විපක්‍ෂයේ අඬු කඩා දමා ආණ්ඩුව ඇතුළේම විපක්‍ෂයක් හැදෙන්න ඉඩ හැරියේය. ප්‍රේමදාස, ලලිත්, ගාමිණී සහ රොනී ගහ මරා ගන්න පටන්ගත්තේ විපක්‍ෂයෙන් තර්ජනයක් නැතැයි කියල හිතලාය. 1982 ජනාධිපතිවරණය දිනල ජනමත විචාරණයෙන් ආණ්ඩුවේ පාලන කාලය දික්කර ගෙන ජේ.ආර්.ගේත් ආණ්ඩුවේත් හයිය සියතට ගන්න ප්‍රේමදාස, ලලිත්, ගාමිණී සහ රොනී එළිපිටම යුද ප්‍රකාශ කළහ. ජේ.ආර්.ගේ ඥාති උපාලි විජයවර්ධනත් ඒ මැද්දට පැන්නේය. ජේ.ආර්. හතරගාතෙන් වැටුණේ මේ යුද්ධය නිසාය. උතුරේ ප්‍රශ්නය මුල්කරගෙන ලලිත් සහ ප්‍රේමදාස එකට කල්ලි ගහද්දී ගාමිණී සහ රොනී වෙනම කල්ලියක් හදාගත්හ. තවත් වරක් ජනාධිපතිවරණයට තරග කරන්න කුරුමානම් අල්ල අල්ලා සිටි ජේ.ආර්.ට ගෙදර යන්න පාර කැපුවේ මේ කල්ලිවල ජල්ලිවලින් ආණ්ඩුව පිරිහුණු නිසාය.

1988 බලයට ආ ප්‍රේමදාස ජ.වි.පෙ. භීෂණය අවසන් කළේ ආණ්ඩුව එකාවන්ව තබාගෙනය. ඒත් භීෂණය පරාජය කොට ප්‍රේමදාස ආණ්ඩුව ශක්තිමත් වූයේ විපක්‍ෂය දුර්වල කරමිනි. බණ්ඩාරනායක මැතිනියගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී පුත් අනුර සහ දුව චන්ද්‍රිකා අතර ගැටුම් ඇරැඹිණි. මේ කාලයේ එළැඹි 1991 පළාත් පාලන ඡන්දයේදී කොළඹ නගර සභා පුරපතිකමට ආණ්ඩුව ඇතුළේම විපක්‍ෂය නිර්මාණය විය. ප්‍රේමදාස රත්නසිරි රාජපක්‍ෂට ආශීර්වාද කළේය. ලලිත් මොහොමඩ්ගේ පුතාට ආශීර්වාද කළේය. කුරේ ගනේෂලිංගම්ට ආශීර්වාද කළේය. දෝශාභියෝගයේ මූල බීජය වැපිරුණේ ඒ පුරපති සටනින්ය.
 
මහින්දට මේ ඉතිහාසය අමතකද දන්නේ නැත. මහින්ද හිතන්නේ ඡන්ද පරදින රනිල් ඉන්නකන් මහින්ද ගොඩ යැයි කියාය. රනිල්ට දිනන්න බැරි නම් යූ.ඇන්.පී.යේ දිනන්න ඕනෑ අයට රනිල්ව එළවා ගන්නත් බැරි නම් මම මොනවා කරන්නද කියල මහින්ද අහන්නේ හොඳට චූන් වෙලාය. ඒත් 2005 සිට 2008 දක්වා කාලයේ දකුණින් රනිල් මහින්දට හොඳ සටනක් දුන්නේය. ප්‍රභාකරන් උතුරෙන් සටනක් දුන්නේය. ඒ කාලයේ මහින්දත් ආණ්ඩුවත් එකට එක්වී සටනට මුහුණ දුන්නේය. 2008 උතුරු මැද පළාත් සභා මැතිවරණය පොර පිටියක් වූයේ බර්ටි ප්‍රේමලාල්ට එරෙහි ජානක පෙරේරාගේ සටන නිසාය. ඒත් මෙදා උතුරු පළාත් සභා ඡන්දයේ ප්‍රභාකරන් ජීවතුන් අතරත් නැත. රනිල් මහින්දට අභියෝගයක් නොව ආශීර්වාදයක් විය. මේ නිසාම පොර පිටිය නිර්මාණය වූයේ ආණ්ඩුව ඇතුළේමය. අද බර්ටිත්, බර්ටිගෙ හිතවතුනුත් ඉන්නේ ආණ්ඩුව ඇතුළේ විපක්‍ෂයේය. වයඹ වෙන්න යන්නේත් මේ සෙල්ලමය.
 
ආණ්ඩුව ඇතුළේ විපක්‍ෂය ශක්තිමත් වන විට එළියේ විපක්‍ෂය තුළින් අලුත් නායකයෙක් බිහි වීම වළක්වන්න බැරිය. එතකොට ජනාධිපතිවරණය කට ළඟට ඇවිල්ලාය. ඒ වෙලාවට එළියේ විපක්‍ෂයෙන් නිර්මාණය වූ අලුත් නායකයාට එරෙහිව ආණ්ඩුව එකට එකතු කොට ශක්තිමත් කරන්න මහින්දට කාලයක් නැත. හේතුව ඒ වෙනකොට ආණ්ඩුව ඇතුළේ විපක්‍ෂය ආණ්ඩුවට වඩා ශක්තිමත්ය.