නෝනලාගෙන් නෑම - උපුල් ජෝශප් ප්‍රනාන්දු



43 වැනි අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයේදී ඇයට මුහුණපාන්නට වූ ප්‍රශ්න ගැන නාවි පිල්ලේට දැනගන්න ලැබුණේ දෝෂාභියෝගය කාලයේදීමය. එම ප්‍රශ්න අතරින් ප්‍රධානතම ප්‍රශ්නය වූයේ කාන්තාවක් ලෙස ඇයට දෝෂාභියෝග තේරීම් කාරක සභාවේදී අහන්න දකින්න සිදුවූ දේවල්ය. එහිදී තේරීම් කාරක සභාවේ ඇමැතිවරයකු විසින් ඇයව දැඩි ලෙස උපහාසයට ලක් කරනු ලැබු බව මාධ්‍ය වාර්තා කොට තිබිණි.
 
පසුව ඇය ඒ ගැන සඳහන් කරමින් කීවේ කාන්තාවක් ලෙස තමාට පරිභව කොට තමාව බය ගන්වා අගවිනිසුරු ධුරයෙන් ඉවත් කරන්න විශාල උත්සාහයක් ගත් බවය. ඇයට එරෙහිව ආණ්ඩුව ගහපු කැලෑ පත්තරවලින්ද, ඇයට එරෙහිව ආණ්ඩුව සංවිධානය කළ උද්ඝෝෂණවලින්ද ඒ බව පැහැදිලි විය. මර්වින් සිල්වා ඇමැතිවරයා ප්‍රසිද්ධියේම ඇයව සමච්චලයට ලක් කළේය.

මෙම තොරතුරු සියල්ල නාවි පිල්ලේගේ අතට පමණක් නොව පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම්වරයා අතටද පත්විය.
 
"ඇස් දෙකෙන් දකින තෙක් දෙයක් විශ්වාස කරන්න එපා...."

වරක් බුදු හාමුදුරුවෝ කීහ.
 
පසුගියදා ලංකාවට ආ නාවි පිල්ලේට විවාහ වෙන්න යෝජනා ඉදිරිපත් කරමින් මර්වින් සිල්වා ඇමැතිවරයා කළ යෝජනාවෙන්ම මේ ආණ්ඩුව තමන් අකැමැති, තමන්ව විවේචනය කරන්නන් වට්ටවන්න, විනාශ කරන්න පහත් නීච සහ තුච්ඡ ක්‍රම විධි පාවිච්චි කරන බව නාවි පිල්ලේට වැටහෙන්නට ඇත.
 
ජාත්‍යන්තර වරමක් මත, ජාත්‍යන්තරව පවරපු බලයක් මත ලංකාවට ආ තමාට කාන්තාවක් වීම නිසා මෙවැනි අපහාස විඳින්න සිදුවූවා නම් ශිරාණි බණ්ඩාරනායක වගේ මේ ආණ්ඩුවට එරෙහිව රාජකාරිය ඉටුකරන කාන්තාවන්ට මොන වගේ අපහාස උපහාසයන්ට මුහුණ දීමට සිදුවනු ඇති දැයි ඇයටම නොහිතුනා නම් පුදුමය.
 
නාවි පිල්ලේලා දකුණු අප්‍රිකාවට ගියේ තොණ්ඩමන්ලා ලංකාවට ආවා වගේය. එකල බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීහු වතු වැඩවලට පතල් වැඩවලට තමිල්නාඩුවෙන් දමිළ ජනයා ගෙන ගියහ. නාවි පිල්ලේගේ මුතුන් මිත්තන් දකුණු අප්‍රිකාවට ගියේ එහෙමය. නාවි පිල්ලේගේ පියා එරට බස් රියැදුරෙකි. ඔහු කෙසේ හෝ නාවි පිල්ලේට නීතිඥ වෘත්තිය ඉගෙන ගන්න වියදම් කළේය. ඒත් මැන්ඩෙලා එනතෙක් එරට කළු ජාතීන්ට තැනක් තිබුණේ නැත. මැන්ඩෙලා හිරගෙයින් නිදහස් වී ඇවිත් පාලනය සියතට ගත් විගස නම් කරපු පළමුවැනි කළු ජාතික විනිසුරුවරිය නාවි පිල්ලේය. ඒ වන තෙක් එරට අධිකරණයට කළු ජාතිකයන් පත් කිරීම තහනම් විය. බස් රියැදුරාගේ දුවව එරට ප්‍රථම කළු ජාතික විනිසුරුවරිය ලෙස නම් කොට මැන්ඩෙලා කළේ විප්ලවයකි. ඇය එම විප්ලවයේ සංකේතයක්ය.

නාවි පිල්ලේ අප්‍රිකානු කළු ජාතික කාන්තාවක් නොව ලංකාව වගේ දකුණු ආසියාවේ කළු ජාතික කාන්තාවකි.
 
"සුද්දන්ට යටත් වෙන්න අපි කැමැති නැහැ..."

මේ මහින්ද රාජපක්ෂද ඇතුළු ශ්‍රී ල.නි.ප.යත් මේ ආණ්ඩුවේ ජාතිවාදී කොටස් නිතර මතුරන මන්ත්‍රයය.
 
නාවි පිල්ලේ කියන්නේත් සුද්දන්ට යටත් නොවූ සුදු හමෙයි කළු හමෙයි වෙනසක් නැහැ කියා පෙන්වන්න දකුණු අප්‍රිකාවේ විප්ලවයක් කළ ගැහැනියකි. සුද්දන් ඇයව ජාත්‍යන්තර යුද්ධ අධිකරණයේ විනිසුරුවරියක ලෙස නම් කළේත් පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරිය ලෙස පත් කළේත් කපන්න බැරි අත සිඹින්නාක් මෙන්ය.

ලොව කළු මිනිසුන් වෙනුවෙන් එවැනි විප්ලවයක් කළ, වියපත් වීමටත් පෙර වැන්දඹුවක් වූ කාන්තාවකට විවාහ යෝජනා ගෙන එමින් අපහාස උපහාස කිරීම අවුරුදු 2500ක් පැරැණි ඉතිහාසයක් ඇති ශීලාචාර සදාචාරසම්පන්න රටක් ලෙස ලංකාව ලැජ්ජා විය යුතුය. අනෙක ඇය දියණියන් දෙදෙනකුගේ මවකි.
 
වැන්දඹු කාන්තාවකට සමච්චලයට විවාහ යෝජනා ගෙන එනවුන්ව අපේ ගම්වල සලකන්නේ කොහොමද කියා ගම්මු දනිති. අපේ යැයි කියා ගන්නා ගමේ යැයි කියා ගන්නා ආණ්ඩුවකට එය අමතක වීම පුදුමයකි.

ශ්‍රී ල.නි.ප.ය. පසුගිය දෙවැනි දින 62 වැනි පක්ෂ සම්මේලනය පැවැත්වීය. ශ්‍රී ල.නි.ප.ය අද සම්මේලන පවත්වන්නේ කාන්තාවක් නිසාය. ඇය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියය. ඇය නොසිටින්න අද
 
ශ්‍රී ල.නි.ප.ය වළ දමපු තැනක්වත් ඉතිහාසයෙන් සොයා ගත නොහැකි වනු ඇත.
 
කාන්තාවක් පක්ෂයක නායිකාවක් කරන්න, රටේ නායිකාව කරන්න මහා ලොකු දැනුමැති සුද්‍ෙදාත් බය වුණ යුගයක ආසියාවේ පුංචිම රටක් වූ ලංකාව ඒ වැඩේට අත ගැහුවේය. ඒ ශ්‍රී ල.නි.ප.යය. බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ල.නි.ප. නායිකාව කරන්න පොලඹවාලූයේ වෙන කවුරුවත් නොව ජාතියේ මුර දේවතාවන් වන මහා සංඝරත්නයේ සංඝ පිතෘවරයෙකි. ඒ හේන්පිටගෙදර ඥානසීහ හිමියන්ය. මැතිනිය ශ්‍රී ල.නි.ප. නායකත්වය භාර ගත්තේ උන්වහන්සේගේ බලපෑම නිසාය. ලංකාව ලොව ප්‍රථම අගමැතිනිය බිහි කළේ ඒ අනුවය.
 
ප්‍රේමදාස ආණ්ඩු කාලයේ රන්ජන් විජේරත්න රාජ්‍ය ආරක්ෂක විදේශ ඇමැති ලෙස විදේශ අමාත්‍යංශ වැය ශීර්ෂයේදී අපූරු කතාවක් කළේය. එවකට විපක්ෂ නායිකාව බණ්ඩාරනායක මැතිනියට දැඩි ලෙස පහර ගසන අතරතුරේ මෙසේ කීවේය.

"මම කලකට ඉහතදී අප්‍රිකානු රටක සංචාරය කළා. ඒ රටේ ටැක්සියක මම යද්දී ටැක්සි ඩ්‍රයිවර් මගෙන් ඇහුවා මම ඉන්දියාවේද කියලා. මම කිව්වා නැහැ මම ලංකාවේ කියලා. එතකොට ඒ ටැක්සි ඩ්‍රයිවර් මගෙන් අහනවා ලොව පළමුවැනි අගමැතිනිය බණ්ඩාරනායකගේ රටෙන්ද කියලා. ඔවුන් ලංකාව කිව්වාට දන්නේ නැහැ. නමුත් ඔබගේ නම කිව්වාම දන්නවා. මට එදා ලොකු ආඩම්බරයක් ඇතිවුණා. ලොව ප්‍රථම අගමැතිනියව බිහි කළේ අපි නේද කියලා. ඔබතුමිය ගැන මට විශාල ආඩම්බරයක් ඇති වුණා...."
 
මේ රන්ජන් විජේරත්න කී කතාවය.

ඇත්තටම 1960 මහ ඡන්දයේදී රන්ජන්ලාගේ එ.ජා.ප.ය මැතිනියට කාන්තාවක ලෙස අපහාස උපහාස කළෝය. ගෙදරට වෙලා ළමයි බලාගෙන ඉන්න යැයි කීහ. ගැහැනුන්ගේ නුවණ හැඳි මිටේ දිග යැයි කීහ.
 
ඒත් ලංකාවේ ජනතාව ලොව ප්‍රථම අගමැතිනිය මහජන ඡන්දෙන් පත් කර ගැහැනුන්ගේ නුවණ හැඳි මිටේ දිග නොවේ යැයි කියා ලොවට ආදර්ශයක් දුන්හ. කාන්තාව ලොව නැඟිටින්න පටන් ගත්තේ එතැනින්ය.

"ආසියාවේ පුංචි දූපතක් වූ ලංකාව ලොවට පණිවුඩයක් දී තිබේ. ඒ කාන්තාව ලොව ආණ්ඩු කරන්න සුදුසුය කියන පණිවුඩයය."

මේ ජාත්‍යන්තර මාධ්‍ය ලංකාව ලොව පළමුවැනි අගමැතිනිය බිහි කළ විට ලිව්ව කතුවැකිය.
 
එහෙව් ඓතිහාසික සද්කාර්යයකට උර දුන් ශ්‍රී ල.නි.ප.ය ලංකාවේ පළමුවැනි අගවිනිසුරුවරියට අපහාස උපහාස කොට එළියට ඇද දැමීම සේම කළු ජාතිකයන් වෙනුවෙන් ලොව විප්ලවයක් කළ කාන්තාවක් වූ නාවි පිල්ලේ වැනි වැන්දඹුවකට සමච්චල් කරමින් විවාහ යෝජනා ගෙන ඒම ගැන ලැජ්ජා විය යුතුය.
 
නාන්න නම් නාන්න නෝනා කියලා නන්දා මාලනීගේ ප්‍රකට සින්දුවක් තිබේ. මේ ආණ්ඩුව නාවි පිල්ලේට අපහාස කරන්නේත් පිල්ලේ නෝනා කියලාය. ශිරාණිට කීවේ ගෙදර පලයන් නෝනා කියලාය. එ.ජා.ප.ය 1960 ඡන්දෙට බැස්සේ බණ්ඩාරනායක නෝනාට අපහාස කරමින්ය. එතැන් සිට එ.ජා.ප.ය විනාශ කළේ ඒ නෝනාය. නෝනලාගේ ශාපයෙන් බේරෙන්න එ.ජා.ප.ය බණ්ඩාරනායක නෝනාගේ ප්‍රජා අයිතිය අහිමි කළේය. දැන් නෝනා ඉවරයි කියලා එ.ජා.ප.ය ජය පැන් බිව්වේය. ජය පැන් බීලා හැමදාම රජ කරන්න ආ එ.ජා.ප.ය විනාශ කළේත් නෝනා කෙනෙකි. ඒ චන්ද්‍රිකා නෝනාය. මේ ආණ්ඩුවත් වැඩිකල් නොගොස් නෝනලාගේ ශාපයට ලක් වෙන්න තියෙන ඉඩකඩ වැඩිය. එහෙම වුණොත් මේ ආණ්ඩුව නාන්නේත් නෝනා කෙනෙක් අතින්මය.