පොදු රද මඬුලු සභාපති ඔටුන්නේ අපලය - උපුල් ජෝශප් ප්‍රනාන්දු


තැල්ල නැති වුණත් බෙල්ල ආරක්‍ෂා කර ගත යුතු යැයි කතාවක් තිබේ. මහින්ද රාජපක්‍ෂ චෝගම් නොහොත් පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ලංකාවේ තියල චෝගම් සභාපති තැල්ල බඳින්න යන කොට, සභාපති තැල්ල කරේ බැඳගෙන හිටපු ඕස්ට්‍රේලියාවේ ජුලියා ගිලාඩ්ට එරට අගමැති බෙල්ලයි සභාපති තැල්ලයි දෙකම අහිමි වී තිබේ.
 
ජුලියා ගිලාඩ් පොදු රාජ්‍ය මණ්ඩල රටවල සභාපති වෙන්න පෙරුම් පිරුවෙ ඕස්ට්‍රේලියාවට පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පවත්වන වරම හිමි වෙද්දීය. ජුලියා ගිලාඩ් එරට අගමැති ධුරයට පත් වුණේ 2010 දීය. 2010 එරට අගමැති ධුරය දැරුවේ කෙවින් රඩ්ය. ඕස්ට්‍රේලියාවට පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පවත්වන්න අවස්ථාව ලබා ගත්තේ රඩ්ය. රඩ් සිහින මැව්වේ චෝගම් නොහොත් පොදු රාජ්‍ය මණ්ඩල සභාපති ධුරයට පත් වෙන්නටය. ඒත් පක්‍ෂය තුළ නායකත්වය සඳහා පැවැති ඡන්දයකින් ගිලාඩ්, රඩ්ව පරාජය කොට අගමැති ධුරය හිමි කර ගත්තාය. ඒ අනුව 2011 පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පවත්වා එහි සභාපති ධුරය හිමිකර ගන්න සමත් වන්නේ ගිලාඩ්ය.
 
ගිලාඩ් පොදු රාජ්‍ය මණ්ඩල සභාපති ලෙස ලංකාවට 2013 පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පවත්වා ගැනීමේ මහින්දගේ සිහිනය සැබෑ කරගන්න උදව් කළාය. මානව හිමිකම් සංවිධාන සහ කැනඩාව වැනි රටවල් පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ලංකාවේ පවත්වන්න ඉඩ නොදෙන්න යැයි හඬ නඟද්දී ගිලාඩ් තමන් පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ලංකාවේ පවත්වන්න උපරිම සහාය ලබා දෙන බව ප්‍රකාශ කළාය. ගිලාඩ් සහ ඇගේ රජය මහින්දගේ ආණ්ඩුවට ලබා දෙන මෙම සහාය ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල විමතියට හේතු විය. ගිලාඩ් එහිදී මහින්දගේ ආණ්ඩුවට සහාය පළ කළේ ඕස්ට්‍රේලියානු අගමැති ලෙස පමණක් නොව පොදු රාජ්‍ය මණ්ඩල සභාපතිනිය ලෙසය. පොදු රාජ්‍ය මණ්ඩල සභාපති ධුරයට පත් වී සිය ජාත්‍යන්තර ප්‍රතිරූපය රට තුළත් ලොව තුළත් ගොඩනඟා ගත් ගිලාඩ්ට 2013 ජුනි 26 වැනි දින කෙවින් රඩ් සමඟ යළි නායකත්ව තරගයකට මුහුණ දීමට සිදු විය. එම නායකත්ව තරගයෙන් ජුලියා ගිලාඩ් පරාජයට පත් විය. පසු දිනම ඇය අගමැති ධුරයෙන් ඉවත් වූවාය. අගමැති ධුරයට පත් වූයේ කෙවින් රඩ්ය. ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩල සභාපති ධුරය ගිලාඩ්ගෙන් කෙවින් රඩ්ට පැවැරුණි. මෙම වසරේ නොවැම්බරයේ පොදු රාජ්‍ය මණ්ඩල සභාපති ධුරය නිල වශයෙන් ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂට භාරදීමට ගිලාඩ් බලාපොරොත්තුවෙන් සිටියද ඊට කලින් තම පක්‍ෂය තුළ දේශපාලන ප්‍රතිවාදියා වූ කෙවින් රඩ්ට සභාපති ධුරය භාරදීමට ඇයට සිදු විය.

ඇයට කලින් සභාපති ධුරය දරපු ටි්‍රනිඩෑඩ් සහ ටොබාගෝ රටවල අගමැති ප්‍රැටික් මෑනින්ග්ටත් වුණේ ඒ වින්නැහියමය. 2009 පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව එරට පවත්වන්න වරම ලබා ගත්තේ ප්‍රැටික්ය. ප්‍රැටික් හතර වැනි වතාවට එරට අගමැති ධුරයට පත් වූයේ 2007 මහ මැතිවරණයෙන්ය. 2001 මහ මැතිවරණයෙන් අගමැති ධුරයට පත් ඔහු එරටට පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවක් පැවැත්වීමේ අවස්ථාව හිමි කර ගන්න දැඩි උත්සාහයක් ගත්තේය. එම උත්සාහය සාර්ථක කර ගත් ඔහු 2009දී පොදු රාජ්‍ය මණ්ඩල සම්මේලනය එරට පවත්වා එහි සභාපති ධුරය හිමිකර ගැනීමට සමත් විය. ඔහු බලාගෙන හිටියේ වසර දෙකකට පසු සභාපති ධුරය ඕස්ට්‍රේලියානු අගමැති ගිලාඩ්ට භාරදීමටය. ඒත් එයට ඉඩ ලැබුණේ නැත. රට තුළ මතු වූ දේශපාලන අර්බුදය නිසා ඔහු 2010 මහ මැතිවරණයක් කැඳවන ලෙස ජනාධිපතිවරයාට උපදෙස් දුන්නේය. ප්‍රැටික් එම මහ මැතිවරණයට ගියේ පොදු රාජ්‍ය මණ්ඩල සභාපති ලෙස ගොඩනඟාගත් ප්‍රතිරූපය විකුණමින්ය. එරටට රටවල් 50ක පමණ නායකත්වය හිමිවීම අති විශිෂ්ට ජයක් ලෙස ජනතාව හිතාවි යැයි ඔහු හිතුවේය. ඒත් ජනතාව එහෙම හිතුවේ නැත. 2001ට පසු 2010දී ඔහු මැතිවරණයෙන් පරාජයට පත් විය. අගමැතිකමද අහිමි විය. ඔහුගේ ප්‍රතිවාදියා වූ කම්ලා එරට අගමැති ධුරයට පත් විය. එහිදී පැටි්‍රක්ට අගමැති ධුරය පමණක් නොව පොදු රාජ්‍ය මණ්ඩල සභාපති ධුරයද කම්ලාට පවරන්න සිදු විය.
 
2009 පොදු රාජ්‍ය මණ්ඩල සභාපති ධුරය හිමි කර ගත් ප්‍රැටික්ට අගමැති ධුරය සහ පක්‍ෂ නායකත්වයත් අහිමි වූවා සේ 2011 පොදු රාජ්‍ය මණ්ඩල සභාපති ධුරය හිමි කර ගත් ගිලාඩ්ටද අගමැති ධුරයත් පක්‍ෂ නායකත්වයත් දෙකම නැතිවිය. ඒ කියන්නේ බෙල්ලයි තැල්ලයි දෙකම නැති විය.

මහින්ද පොදු රාජ්‍ය මණ්ඩල සභාපතිවීමට නියමිත 2013 නොවැම්බරයේදීය. 2015දී ඔහු සභාපති ධුරය බි්‍රතාන්‍යයට භාරදීමට නියමිතය. ඊට කලින් ඔහුටත් ප්‍රැටික් සහ ගිලාඩ්ට වෙච්ච දේම වී බෙල්ලයි තැල්ලයි දෙකම නැතිවේද දන්නේ නැත.