මළ ජූලිය සහ අසුබ දහතුන

උපුල් ජෝශප් ප්‍රනාන්දු

"කවදාවත් කේන්ති යන්නේ නැති මන්මෝහන් සිංටත් කේන්ති ගිහින්ලු...."
මේ නවදිල්ලියේ ලංකාව ගැන තීන්දු තීරණ ගන්නා සවුත් බ්ලොක් නොහොත් විදේශ අමාත්‍යංශයේ ඇතුළේ ඕපාදූප හොයන අය කියන කතාවය.


"කේන්ති ගිහින් තියෙන්නේ 13 ප්ලස් වැඩියෙනුත් දෙනවා කියලා මහින්ද දුන්න පොරොන්දුව කඩපු නිසාලු...."
මේ අය කියන්නේ නම් එහෙමය.
"ඉතින් ඉන්දියාව අපිට මොනව කරන්නද....?"
දේශප්‍රේමීන් නම් අහන්නේ එහෙමය.
"ඉන්දියාවට මොනවද කරන්න බැරි?"
මොළේ තියෙන අය අහන්නේ එහෙමය.

13 කියන්නේ ලංකාවේ පාර්ලිමේන්තුව සම්මත කර ගත් පනතකි. හැබැයි ලංකාවේ සම්මත කර ගත් අනෙක් අණපනත් වගේ නොව 13 කියන්නේ රටවල් දෙකක් අතර අස්සන් කළ ගිවිසුමක වගන්තියකට අනුව සම්මත කළ පනතකි. එය වෙනස් කරනවා නම් අනිවාර්යයෙන්ම ගිවිසුම අස්සන් කළ රටෙහි මතය විමසා බැලිය යුතුය.

එලෙස විමසා නොබලා හිතුවක්කාරකමට 13 වෙනස් කරනවා නම් එය වළක්වන්න ඉන්දියාවට ගත හැකි ක්‍රියාමාර්ග බොහෝය. 13 ආරක්ෂා කරන ලෙස තමිල්නාඩු විපක්ෂ නායක කරුණානිධි මන්මෝහන් සිංට ලියුමක් යැව්වේ බෝලය උඩ දමල දීලා මන්මෝහන් සිං ලව්වා හයේ පාරක් ගස්සවා ගන්නටය.

ඒත් දිල්ලියේ සවුත් බ්ලොක් එක එහෙම කලබලේට ගහන්නේ නැත. මේ වෙලාවේ කාඩ් පත් ටික මේසය උඩ තියාගෙන ගණන් හදන්නේ මොන කාඩ් එක ඉස්සෙල්ලාම ගහනවාද කියන එක විය යුතුය.
ලංකාවේ විදේශ සම්බන්ධතා පණ්ඩිතයන් නම් කියන්නේ ඉන්දිරා ගාන්ධි ගිවිසුමකින් ලංකාවට දුන්න කච්චතිව් දූපත මන්මෝහන් සිං යළි පවරාගෙන එකට එක කරයි කියලාය.

ඉන්දිරා ගාන්ධි කච්චතිව් දූපත ලංකාවට දෙන්න තීරණය කළේ තමිල්නාඩුවේ විරෝධය මධ්‍යයේය. එකල ලංකාවේ අගමැතිනිය වූ බණ්ඩාරනායක මැතිනිය සහ ඉන්දිරා ගාන්ධි ගජ මිතුරියෝ වූහ. මැතිනියගේ ආණ්ඩුව අමාරුවේ වැටුණු වෙලාවල ඇයට අවශ්‍ය උපදෙස් පවා දුන්නේ ඉන්දිරාය. 1974 වන විට බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවට මුහුණ පාන්න සිදුවූ ආර්ථීක ප්‍රශ්න හේතුකොට රට තුළ ආණ්ඩුවේ ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් පල්ලම් බහින්න පටන් ගෙන තිබිණි. රටට පෙන්වන්න ජයග්‍රහණයක් සොය සොයා සිටි මැතිනියට ආර්ථිකමය සහනයක් ජනතාවට දීම ගැන සිතාගත හැකි නොවීය.

ලංකාව කලක සිට ඉන්දියාවෙන් ඉල්ලා සිටි කච්චතිව් දූපත් අයිතිය ලබා ගතහොත් එය විශාල ජයග්‍රහණයක් විය හැකි බව ඇයගේ උපදේශකයන්ගේ මතය විය. මැතිනිය මේ සම්බන්ධයෙන් ඉන්දිරා ගාන්ධිට දිගින් දිගටම ඉල්ලීම් කළ අතර, මැතිනියව දේශපාලන වශයෙන් ලංකාව තුළ ශක්තිමත් කරන්නත් ඒ හරහා ඉන්දු-ලංකා මිතුදම ශක්තිමත් කරගන්නත් ඉන්දිරා කච්චතිව් දූපත පවරා දෙන්න තීරණය කළේ තමිල්නාඩුවේ විරෝධය මැදය. මැතිනිය නවදිල්ලි ගොස් කච්චතිව් පවරා ගැනීමේ ගිවිසුම රැගෙන ලංකාවට ආවේ මහින්ද රාජපක්ෂ යුද්ධය දිනා ලංකාවට ඇවිත් පොළොව සිප ගත්තා වගේය. ඉන්දියාවෙන් කච්චතිව් දූපත් අයිතිය ලබා ගැනීම එකල රට දිග් විජය කළ මහා ජයග්‍රහණයක් සේ පෙනුණි. රට තුළ තිබූ ප්‍රශ්න රාශියක් එයින් යටපත් කර ගන්න මැතිනියට හැකි විය.

හැබැයි එදා සිට තමිල්නාඩුව කච්චතිව් දූපත තමන්ට අයත් යැයි කියා ‍ෙදාස් කියන්න පටන් ගත්තේය. වත්මන් මහ ඇමැතිනි ජෙයලලිතා විපක්ෂයේ ඉන්න කාලයේ සිට කච්චතිව් ඉල්ලා ලොකු සටනක් කළාය. අදටත් තමිල්නාඩු අධිකරණයේ කච්චතිව් අයිතිය ඉල්ලා නඩුවක් ඇත.
1987 ඉන්දු-ලංකා ගිවිසුමට කලින් ජේ.ආර්. ඉන්දියාවට පුප්පන කොට ජේ.ආර්.ගේ උපදේශකයන් අනතුරු ඇඟවූයේ ඉන්දියාව ජේ.ආර්.ට පාඩමක් උගන්වන්න කච්චතිව් දූපත යළි පවරා ගනු ඇති බවය.
"මේ වේලාවේ කච්චතිව් පවරා ගත්තොත් ඒක බණ්ඩාරනායක මැතිනියට ලැබෙන ලොකු චාන්ස් එකක්. තමා මවුබිමට දිනා දුන් දෙය ජේ.ආර්. අහිමි කළා කියලා ඇය චෝදනා කරාවි. කච්චතිව් යළි ලබා ගන්න ඇයව බලයට පත් කරන්න කියල කියාවි...."
මේ ජේ.ආර්.ගේ උපදේශකයන් කී කතාවය.
කච්චතිව් දූපත ලංකාවට හිමි වෙද්දී මහින්ද රාජපක්ෂ මැතිනියගේ ආණ්ඩුවේ ළාබාලතම මන්ත්‍රිය.
"කච්චතිව් දූපත රටට හිමිකර දී අගමැතිනිය මහා වීර ක්‍රියාවක් කළා...."
මහින්දලා එදා කිව්වේ එහෙමය.
අද මහින්ද 13 වෙනස් කරන්න ගිහින් කච්චතිව් දූපත අහිමි කර ගතහොත් චන්ද්‍රිකා රට ඉදිරියට ඇවිත් කියනු ඇත්තේ මෙහෙමය.
"මගේ අම්මා රටට දිනා දුන් ජයග්‍රහණය මහින්ද රටට අහිමි කළා..."
ඉන්දියාව ලංකාවේ දේශපාලනය නොදන්නවා නොවේ. ලංකාවේ පැය 24න් පරයන් වීරයන් වෙන හැටිත්, වීරයන් පරයන් වෙන හැටිත් ඉන්දියාව දනී.
ඉන්දියාව ලංකාවේ කේන්දරය වෙනස් කළේ 1987 ජූලි මාසයේය. මේ එන්න යන්නේ 2013 ජූලියය. මහින්ද 13 වෙනස් කරන්න ගියොත් ලංකාවේ මිනිසුන්ට මේ ජූලියේ කියන්න වෙන්නේ ජූලි හතයි කියලාය. රාජීව් ගාන්ධි සිය ජීවිතය පූජා කළේ 13 නිසාය යන්න ඉන්දියාවේ මතයයි. ඒ වගේම 13 වෙනුවෙන් ජීවිත පූජා කළ ඉන්දීය සෙබළු දහස් ගණනකි. ඉන්දියාව ප්‍රභාකරන්ව ඉවර කරන්න උදවු කළේ 13 ක්‍රියාත්මක කරන්න ප්‍රභාකරන් බාධාවක් වූ නිසාය. දැන් බාධාව වෙලා තියෙන්නේ මහින්දගේ ආණ්ඩුවය.
කච්චතිව් දූපත අල්ලන එක එහෙව් මහින්ද ආණ්ඩුව මට්ටු කරන්න එක කාඩ් එකකි. ඒ කාඩ් එකට වඩා භයානක සහ දරුණු කාඩ් ඉන්දියාව අත තිබේ. ඒ කාඩ් එකක් ගැහුවොත් මහින්දගේ ආණ්ඩුව පමණක් නොව ලංකාව ඇතුළු දකුණු ආසියාවම හොල්ලන්න ඉන්දියාවට පුළුවන.
13 වෙනස් කළ යුතු හේතුව පහදල දීලා ඉන්දියාව කූල් කර ගන්නේ නැතිව 13 ලංකාවට බලෙන් පටවපු දෙයක් කියලා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඉන්දියාව තවත් රත් කොට තිබේ. හෙට ඉන්දියාව ලංකාවට අත තිබ්බොත් ලංකාව වෙනුවෙන් කතා කරන්න රටක් නැති බව ආණ්ඩුව නොදන්නා පාටය. අද ලංකාව ඉන්නේ බලවත් රටවල් ඔක්කොම තරහ කරගෙනය.
ඇත්තටම ජනාධිපති ලේකම්වරයා කියන පරිදි 13 ලංකාවට බලෙන් පටවපු දෙයක් නොවේ. ඇමෙරිකාව කරේ දමා ගන්න ගිහින් එකල ජේ.ආර්.ගේ ආණ්ඩුව 13 ඉල්ලන් කෑවේය. බලෙන් පටවා ගත්තේය. 13 වෙනස් කරන්න ගිහින් මේ ආණ්ඩුව හදන්නේත් මොකක් හෝ මරාලයක් පටවා ගන්නය.
මහින්දට මතක් කර දිය යුත්තේ මහින්දම කී කතාවකි.
"අපි දේශපාලනයෙන් ඉවත් වූ දිනක අපගේ හෘද සාක්ෂිය විමසාවි නුඹ කුමක්ද නුඹේ දරුවන්ට දුන්නේ කියා. යටත් විජිතයක්ද? කෑලි කැඩුණු රටක්ද...?"
මහින්ද රාජපක්ෂ
දිනමිණ
11.07.2007