The first Grader: මනුෂ්‍ය ආත්මාර්ථකාමිත්වයේ ගැඹුරු පිළිඹුවක්

The first Grader' චිත‍්‍රපටයේ අපගේ හදවතට ඉතා දැඩිව කථා කරන රූප රාමු ගණනාවක් ඇතත්, කුඩා දරුවන්ගේ අසරණ මුහුණ සහ ඔවුන්ගේ පාසලේ ඇති අඩු පහසුකම්,  ඔවුන්ගේ අන්ත දුගී බව අප සිත් සසල කරවයි.
මෙලන්ති ප්‍රනාන්දු විසිනි

ඔබ ගුරුවරයෙක්ද? සිසුවෙක්ද? පාලකයෙක්ද?  ඔබ කවුරු වුවත් නැරඹිය යුතුම සිනමා පටයක් The first Grader'

කෙන්යාවේ කුඩා අප‍්‍රසිද්ධ පරිසරයක පිහිටි ප‍්‍රාථමික පාසලක් පාදක කොට ගෙන The first Grader' චිත‍්‍රපටය දිව යයි. කෙන්යානු රජය නොමිලයේ අධ්‍යාපනය ලබා දීමට වන පොරොන්දුව සමඟ, සිය ගණනක් දෙමාපියන් තම දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ලබා ගැනීමට ඉදිරිපත් වෙයි. අධ්‍යාපනය පහසුකම ලබා දීමට එනම්, කෙන්යානු රජය සපයන අධ්‍යාපන පහසුකම අභිබවා අධ්‍යාපනය ලැබීමට දරුවන් ඉල්ලූම් කරන අතර එයින් තෝරා ගත් උපරිමය පාසලට ඇතුලත් කර ගනී. පාසලට ඇතුලත් වීම ස`දහා දිවෙන අරගලය අතරතුර, තවත් අයදුම්කරුවකු වන මරුගේ ( ඕලිව ලිටෙන්ඩෝ මෙම චරිතයට පණ පොවයි.) පාසල් ගේට්ටුව අසලට පැමිණ ඔහුගේ අධ්‍යාපන අයිතිය තහවුරු කර දෙන ලෙස ඉල්ලීම පේ‍්‍රක්ෂකයාට විශ්මයජනක වන්නේ මරුගේ යනු අවුරුදු 84 ක තැනැත්තෙක් වීම නිසාවෙනි. ඔහුගේ මෙම ඉල්ලීම පාසලේ ගුරුවරුන් සහ ප‍්‍රධාන ගුරුතුමිය ප‍්‍රතික්ෂේප කරන්නේ මරු ගේට අයිතිය ලබා දීම තවත් දරුවකුගේ අධ්‍යාපන අයිතිය අහිමි කරන නිසාවෙනි. මරුගේ තම උත්සාහ අත් නොහරින අයුරු චිත‍්‍රපටය නරඹන විට අප සංවේදී කරවයි. මරුගේගේ උත්සහය සඵල වන්නේ ප‍්‍රධාන ගුරුතුමිය මරුගේ ගේ ධෛර්යවන්ත බව තේරුම් ගන්නා නිසාවෙනි. තම දරුවකුට ලබා ගැනීමට හැකි අවස්ථාවක් මරුගේ ට හිමි වීම ගැන බලධාරීන්, දෙමාපියන් සහ පාසලේ අනෙක් ගුරු චරිත පසු වන්නේ නොරිස්සුම් සහගත ලෙසය. මරුගේ මේ සියල්ල මධ්‍යයේ තම අධ්‍යාපන කටයුතු කරන අයුරුත්, පාසලේ ප‍්‍රධාන ගුරුතුමියට (නයෝමි ගැරින් මෙම චරිතයට පණ පොවයි.) එල්ල වන විවිධ තර්ජනත්, මරුගේ සහ ප‍්‍රධාන ගුරුතුමිය අභියෝගයන්ට මුහුණ දෙන ආකාරයත්, මරුගේ සහ කුඩා දරුවන් මුහු වන අයුරුත් කදිමට The first Grader චිත‍්‍රපටය තුල දිගහැරේ.

මෙම චිත‍්‍රපටය අපට සිතීමට විවිධ කරුණු ගෙන හැර පායි.

⋆ වයස ඉගෙනීමට බාධාවක්ද?

 වත්මන් සමාජය තුළ වයස්ගත වීම ප‍්‍රතික්ෂේප වීමට ප‍්‍රධාන කරුණක් වන්නේ ඔවුන්ගෙන් ප‍්‍රයෝජනයක් ගැනීමට නොහැකි, දුර්වල, කල් ඉකුත් වූ චරිත ලෙස සැලකීමයි. නමුත් අවු : 84 ක් වූ මරුගේ ගේ ධෛර්යවන්ත බව වියපත් වැඩිහිටියන්ට කදිම උදාහරණයක් වන අතර, මරුගේ ලද අත්දැකීම් සහ ජීවිත පන්නරය  මඟින්අන්‍යයන්  සමඟ හැසිරෙන අයුරු වියපත් වැඩිහිටියන් දෙස පෘථුල බැල්මක් හෙළීමට අපට දැඩි ආරාධනයක් කර සිටී.

⋆ පාසලේ ප‍්‍රධාන ගුරුතුමිය තුල වූ ජේන් තුළ වූ කාන්තාවක සතු විය යුතු පෞරුෂය.

කාන්තාව යනු දුර්වල, දුබල, අලංකාරයට පමණක් භාවිතා කර හැකි චරිතයක් ලෙස සළකන ලාංකීය සමාජයට, කාන්තාව යනු පිරිමියාට නොදෙවෙනි, කෙළවරක් නැති ධෛර්යයකින් හෙබි, මනා පෞරුෂයකට හිමිකම් කියන්නියක බවත්, කාන්තාවන්ට කළ හැකි දේ අල්ප යැයි සිතන කාන්තාවන්ටත්, සැබෑ කාන්තා චරිතයක් පිළිබඳව ඉඟි කරන චරිතයකි, ජේන්  ඕබින්ඩු.

⋆ ගුරු ගෝල අන්තර් සම්බන්ධතාවය.

මරුගේ හට තම අධ්‍යාපන අයිතිය ලැබෙන්නේ ජේන් ඔහුගේ උත්සාහය, හැකියාව, ධෛර්යය හඳුනාගත් නිසාය. වත්මන් බොහෝ ගුරු චරිත වනාහි දුර්වල ශිෂ්‍යයන් හිසරදයක් සේ සළකන, දක්ෂයන්ට පමණක් අත හිත දෙන, වරම්, වරප‍්‍රසාද ලැබේ නම් වැඩියෙන් ශිෂ්‍යයන් සළකන අයවලූන්ය. නමුත් සැබෑ ගුරුවරයා තුළ ශිෂ්‍යයා තේරුම් ගැනීමට තිබිය යුතු ඉව, ශිෂ්‍යයාව දැනුමෙන් සන්නද්ධ කිරීමට ගුරුවරයකුට කිරීමට සිදුවන අසීමිත කැපකිරීම, මරුගේ සහ ජේන් අතර ඇති ගුරු ගෝල සම්බන්ධය අපට මොනවට පැහැදිලි කරයි.

⋆ පවත්නා තත්ත්වයට යම් දෙයක් ගොඩ නැගීමට තවකකු කළ කැප කිරීම් අමතක කර ජීවත් වීම.

රටක් ලෙස ගත් කළ අප අතර නොමැතිම දෙයකි, කළගුණ සැළකීම. අනික තවකකු කළ කැපකිරීමක්, දායකත්වයක්, සහයක් අමතක කිරීමට අපට ගත වන්නේ ඇතැම් විට දිනයක් හෝ දෙකකි. මරුගේ තම රට වෙනුවෙන් කළ කැපකිරීම්, වි`දි දුක් ගැහැට, තමා වටා සිටිනා වත්මන් පරපුරට අදාළ නැති අයුරින් ඔවුන් හැසිරෙයි. තමන්ගෙන් ගැනීමට හැකි දායකත්වය ගත් පසු මනුෂ්‍යයකුව ප‍්‍රතික්ෂේප කර කොන් කරන සමාජ ගුණමකුභාවය  The first Grader චිත‍්‍රපටය අපට පෙන්වයි.

 ⋆ මූලික අවශ්‍යතා සපයා දීමටවත් රජයක් අපොහොසත් වූ විට එරට ජනයාට දැරීමට වන පීඩාව.
 
The first Grader' චිත‍්‍රපටයේ අපගේ හදවතට ඉතා දැඩිව කථා කරන රූප රාමු ගණනාවක් ඇතත්, කුඩා දරුවන්ගේ අසරණ මුහුණ සහ ඔවුන්ගේ පාසලේ ඇති අඩු පහසුකම්, ( ඇතැම් දරුවන්ට හි`ද ගැනීමට පුටුවක්වත් නැත.) ඔවුන්ගේ අන්ත දුගී බව අප සිත් සසල කරවයි. කෙන්යාවේ පමණක් නොව ලංකාව ඇතුළු බොහෝ ධනවත් රටවල පවා ආදායම් බෙදී යාමේ විෂමතාවය හේතුකොට ගෙන මිනිසුන්ට වි`දිය හැකි දරුණුම වේදනාවන් කායිකව සහ මානසිකව විඳිමින්, කුසගින්නේ මිය යන අවස්ථා එමටය. දේශපාලන ක‍්‍රම වල ඇති විෂමතා, ජනතාවගේ ඡුන්දයෙන් බලයට පත් වූ පසු තම මඩිය ගැන පමණක් සිතීම, එකිනෙකාගේ න්‍යාය පත‍්‍ර මේ ආදී විවිධ කාරණා විශේෂයෙන්ම දරිද්‍රතාවය තුරන් කිරීමට රජයන්ට නිසි වැඩ පිළිවෙලක් නොමැති වීම, සියළු සැප සම්පත් එක් සමාජ කොටසකට පමණක් කේන්ද්‍රීය වීම නිසා මිනිසුන් ඇතැම් විට සතුන්ටත් වඩා පීඩා විඳී.

මේ ආදී විවිධ කරුණු සංකල්ප ඔස්සේ මනා සංස්කරණයකින්, විදග්ධ අධ්‍යක්ෂණයකින්, චිත‍්‍රපටයේ ප‍්‍රකාශනය තීව‍්‍ර කරන සංගීතයකින්, අති දක්ෂ රංගන, තාක්ෂණික අංශයන්ගෙන් පොහොසත් The first Grader චිත‍්‍රපටය ඔබ මේ සමාජයේ නියෝජනය කරන චරිතය කුමක් වුවත් ඔබ නරඹා අවබෝධ කර ගැනීම වටී.

The first Grader චිත‍්‍රපටයේ දායකත්වයෙන් කොටසක්.

අධ්‍යක්ෂණය        - ජස්ටින් චාම්වික්
පිටපත               - ඇනා පිංකාක්
කැමරා අධ්‍යක්ෂණය - රොබ් හාඩි
සංස්කරණය         - පෝල් නයිට්
සංගීතය             - ඇලෙක්ස් හෙෆස්
රංගනය             -   ඕලිව මුසිලා
                   නයෝමි හැරිස්
                ටෝනි කරෝගේ
               ලවන්ඩර් ජවාර්