මේ සටන් බිම මරණයක් නොවේ, නිසැක වශයෙන්ම ළමා ඝාතනයකි.




කැලම් මැක්රේ 

 ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් සති කීපය තුළ සිදුවීම්වලට අදාළව මීට පෙර මතු වූ බිහිසුණු ඡායාරූප හා වීඩියෝ සමග සන්සන්දනය කරන කල්හි යමෙකුට එක්වරම පෙනී යනු ඇත්තේ මෙහි ඇත්තේ හිංසනයෙන් තොර දසුනක් බවය. කුඩා දරුවෙකු වාඩි වී සිටියි. වෙළඳපොලක අතර මං වූ කුඩා දරුවෙකු තමන් දැන හඳුනන යමෙකු ඇත්දැයි අපේක්ෂා සහගතව වටපිට බලන්නාක් වැනි බැල්මක් ඔහුගේ මුහුණේ රැඳී ඇත. ඔහුට කිසිවෙකු විසින් කෑමට සහ බීමට යමක් දී ඇති බව පෙනෙයි. 

 මේ දරුවා බාලචන්ද්‍රන් ප්‍රභාකරන් ය. දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ 12 හැවිරිදි පුත්‍රයා ය. අලුතෙන් ඉදිරිපත්ව ඇති සේයාරුව පිටුපස ඇත්තේ සියොළඟ කිලිපොළා යන බිහිසුණු කතා පුවතකි. මේ දරුවා මගවැරදීමෙන් අතරමං වූවෙකු ‍ නොවේ. ඔහුව අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා හමුදා සෙබළුන් විසින් රැකවල් කොට ඇති බංකරයක රඳවාගෙන සිටින බව දිස්වේ. 

මෙයින් පැය දෙකකට අඩු කාල සීමාවක් ඇතුළත ඔහුව බිහිසුණු ලෙස මරා දමනු ඇත. ඉන් පසුව නැවතත් ඔහුගේ මළ සිරුර ඡායාරූප ගත කරනු ඇත. අප විසින් සොයාගනු ලැබූ එක්තරා වීඩියෝ පටයක් පිලිබඳව පසුගිය වසරේ මම මෙම පුවත් පතට ලියුවෙමි. එය බාලචන්ද්‍රන් ඝාතනයෙන් මොහොතකට පසුව පටිගත කර ඇති එකකි. පෙනී යන පරිදි එය යුද ජයග්‍රහණයේ සිහිවටන ලෙස තමන් ළඟ තබා ගනු වස් ශ්‍රී ලංකා හමුදාවේ සෙබළුන් විසින් පටිගත කොට තිබේ.

 සාක්ෂියක් ලෙස මෙම නව ‍ඡායාරූපය වැදගත් වනුයේ බාලචන්ද්‍රන් මරණයට පත්ව ඇත්තේ වෙඩි හුවමාරුවකදී හෝ යුද පිටියේදී නොවන බව එමගින් පෙනීයන හෙයිනි. එමෙන්ම ඔහුව මරා දමා ඇත්තේ හිතුමතයේ වැඩකරන පැරාමිලිටරි කල්ලියක්ද විසින්ද නොවේ. ඔහුගේ ඝාතනය චේතාන්විත සහ සැලසුම් සහගත එකකි. 

මෙම නව ඡායාරූප විසින් බාලචන්ද්‍රන් ඝාතනය සිදු වූ බිහිසුණු ආකාරය සහ වටපිටාව පිලිබඳව පැවති සාක්ෂිවල හිඩැස් පුරවා තිබේ. එමෙන්ම එය විසින් ශ්‍රි ලංකා රජය විසින් පිළිතුරු දිය යුතු ප්‍රශ්ණ ගණනාවක් අලුතෙන් මතුකර ඇත. ඩිජිටල් ඡායාරූප විශ්ලේෂණයට අනුව මෙම අලුතෙන් ඉදිරිපත්කර ඇති ඡායාරූප හතරම එකම කැමරාවකින් ගනු ලැබූ ඒවා වේ. මෙයින් දෙකක බාලචන්ද්‍රන් ජීවතුන් අතර සිටින ආකාරය දැක්වෙන අතර අනිත් දෙකෙහි ඔහුගේ මළ සිරුර දැක්වේ.

 ඡායාරූපයේ අන්තර්ගත දත්ත සහ තොරතුරු විශලේෂණයට අනුව මෙම ඡායාරූප ගෙන ඇත්තේ අතර පැය දෙකකට නොවැඩි කාලසීමාවක් ඇතුළත ය. ඔහුගේ මළ සිරුර දැක්වෙන, අලුතෙන් ඉදිරිපත් කර ඇති ඡායාරූප විසින් පසුගිය වසරේ අප වෙත ලැබුනාවූත් පිළිගත් වෝහාරික ව්‍යාධිවේදියෙකු වූ මහාචාර්ය ඩෙරික් පවුන්ඩර් විසින් විශ්ලේෂණය කරන ලද්දා වූත් ඡායාරූප සහ වීඩියෝපටයේ සත්‍යතාව වැඩිදුරටත් සනාථ කර ඇත. මහාචාර්ය පවුන්ඩර්ට අනුව වින්දිතයාගේ සම මත ඇති කැළැල් විසින් පෙන්නුම් කරනුයේ ඔහුට ඉතා කෙටි දුර පරාසයක් තුළ සිට වෙඩි තබා ඇති බවය.

 තවද තුවාල සිදුරේ කෝණය විසින් පැහැදිලිවනුයේ වෙඩි පහරින් දරුවා ඇද වැටුණු පසුව තවත් කීපවරක් ඔහුට වෙඩි තබා ඇති බවයි. මෙම ඡායාරූප විශ්ලේෂණය විසින් එළැඹ ඇති නිගමනය නම් “මෙම ඡායාරූප ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද හෝ විකෘති කරන ලද හෝ දෘෂ්‍ය ප්‍රයෝග යොදන ලද හෝ ඒවා බවට සාක්ෂි නොමැති” බවයි. එමෙන්ම “ඒවා විසින් සිදුවීම් ඉතා නිවැරදි ලෙස නියෝජනය වන බව” ද නිගමනය වී ඇත. 

මෙම සිදුවීමට පසුව වීඩියෝගත කර ඇතැයි සැළකෙන පටයට අනුව (මෙම වීඩියෝ පටද අව්‍යාජ බවට ඩිජිටල් විශ්ලේෂණය සහ වෝහාරික ව්‍යාධීවේදීන් විසින් තහවුරු කර ඇත.) මේ අවට ප්‍රදේශය තුළ හමුදාවට අයත් පුද්ගලයන් ගැවසුනු බව පැහැදිලි ය. 

 මහින්ද රාජපක්ෂගේ රජය විසින් සුපුරුදු ලෙස මෙම සාක්ෂියද ප්‍රතික්ෂේප කොට කොටින් විසින් සිදු කළ අපරාධ දෙස ඇඟිල්ල දිගු කරනු ඇත. එහෙත් එක් පාර්ශ්වයක අපරාධ විසින් තවත් පාර්ශ්වයක අපරාධ යුක්ති සහගත නොකෙරේ. බොහෝ නිරීක්ෂකයන්ට අනුව ඉදිරියේ ඇති එකම මාවත එක්සත් ජාතින්ගේ විශේෂඥ කමිටුව විසින් ප්‍රකාශ කර ඇති පරිදි ස්වාධීන සහ පිලිගතහැකි ජාත්‍යන්තර විමර්ශණයක් මගින් දෙපාර්ශ්වයම සිදුකර ඇති අපරාධ පිළිබඳව පරීක්ෂා කිරීමයි.

 .......................................................................................................................................... 'නෝ ෆයර් සෝන් - කිලින්ග් ෆීල්ඩ්ස් ඔෆ් ශ්‍රී ලංකා' වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන කැලම් මැක්රේ විසින් 'This is proof, beyond reasonable doubt, of the execution of a child – not a battlefield death' මැයෙන් ලියූ මෙම ලිපිය මුල් වරට පළවූයේ 2013 පෙබරවාරි 18 වෙනිදා 'ද ඉන්ඩිපෙන්ඩන්ට්' පුවත්පතෙහි වෙබ් අඩවියෙහි ය.