The Most/Recent Articles

Showing posts with label හසිත පෙරේරා. Show all posts
Showing posts with label හසිත පෙරේරා. Show all posts

වුඩී ඇලන්

වුඩී ඇලන් යනු ඇමරිකානු තිර රචකයකු, අධ්‍යක්ෂවරයකු, රංගන ශිල්පියකු, කර්තෘවරයකු, වේදිකා නාට්‍ය පිටපත් රචකයකු මෙන් ම සංගීතඥයකු ද වෙයි. ඔහුගේ වෘත්තීය දිවිය වසර පනහකට අධික කාලයක් පුරා විසිරී පවතියි.

1935 දෙසැම්බර මස පළමුවැනිදා උපන් මෙම කුප්‍රකට හාස්‍යොත්පාදක නිර්මාණකරුවා මෙතෙක් ආ දීර්ඝ ගමන තුළ චිත්‍රපට සහ කෙටිකතා යන දෙඅංශයට ම සම්මාන දිනූ විරල ගණයේ මිනිසෙකි. 1977 දී තම Annie Hall චිත්‍රපටය වෙනුවෙන් ඇකඩමි සම්මාන හතරක් දිනා ගන්නා ඔහු The Kugelmass Episode කෙටිකතාව සඳහා ඕ. හෙන්රි සම්මානය ද දිනා ගනී. ඉන් පසුව ගෝල්ඩන් ග්ලෝබ්, බ්‍රිතාන්‍ය ඇකඩමි සහ වැනීසි ඇකඩමි සම්මාන ගණනක් තම නාමය යටතේ සනිටුහන් කර ගත්තේ ය.

චාලි චැප්ලින් වැනි උපහාස රංගන ශිල්පීන් පමණක් නොව ඉංග්මාර් බර්ග්මාන් වැනි සම්භාව්‍ය චිත්‍රපටකරුවන්ගේ ද ආභාසය ලැබූ වුඩී ඇලන්, උපහාසය මතු වන්නේ “සාමාන්‍යය තුළ මැවෙන අසාමාන්‍යය අභියස” යයි ලොවට කියා පාන්නේ ය. මේ වන තුරුත් උපහාස චිත්‍රපට කලාවක් බිහි වී නොමැති අප රටේ අංකුර නිර්මාණකරුවාගේ ගවේෂණය උදෙසා අපි මෙවර ඔහු සොයා යන්නෙමු.

Michiko Kakutani  විසින් Paris Review කෘතියට කරන ලද සම්මුඛ සාකච්ඡාව
විකට ශිල්පියා ලෝකයා දෙස බලනුයේ තරමක් වෙනස් ආකාරයකට යැයි ඔබ සිතනවා ද?
ඔව්. ඔබට විකට දෘෂ්ටිකෝණයක් තිබෙනවා නම් ඔබ අවට සිදුවන සෑම දෙයක් ම පාහේ විකට පෙරහනකට දැමීමට උත්සාහ ගන්නවා. එය කෙටි කාලීන ක්‍රමවේදයක් වුවත් එයට නිශ්චිත, නිමක් නොමැති පිළිසරණයක් අවශ්‍යයි. ඒ නිසයි මිනිසුන් විකට කතා “හැම විට ක්‍රියාත්මක වූවක්” ලෙස හඳුන්වන්නේ.
එය බොහොම අසමසම දෙයක් නේද?
එය ජීවිතය සමඟ ගනුදෙනු කරන එක් ක්‍රමයක්. මිනිසුන් සිතන්නේ හාස්‍යජනක වීම ඉතාම අපහසු දෙයක් යැයි කියා. නමුත් ඇත්තෙන් ම එය සිත්ගන්නාසුලු ක්‍රියාවක්. ඔබට එය කළ හැකි නම් එය කිසිසේත් අපහසු දෙයක් වන්නේ නැහැ. මා මෙය අවුරුදු හතරේ සිට කරගෙන එනවා. එමඟින් අදහස් වන්නේ නැහැ, අවසාන ප්‍රතිඵලය සරලයි කියා. නමුත් එම ක්‍රියාවලිය සරලයි.
ඔබව ලේඛනයට යොමු කළ ලේඛකයන් කවුද?
මගේ මතකයේ හැටියට මා කියවන අතරතුර පළමු වරට හොඳහැටි සිනහ වූයේ මැක්ස් ෂුල්මන්ගේ කතාවකටයි. ඒ වන විට මගේ වයස පහළොවයි. ඔහුගේ කෘති කෙතරම් හාස්‍යෝත්පාදක වුවත් ඒවායේ සංදර්භය ඉතා ම ගැඹුරුයි. ඉන් පසුව රොබට් බෙන්ඩ්ලි සහ එස්. ජේ. පර්ල්මන් මා ඉතා විශිෂ්ටයන් ලෙස හඳුනා ගත්තා.
ඔබ ලිවීම ආරම්භ කළේ කවදා ද?
මට කියවීමට හැකි වන්නටත් පෙර. මා හට නිතරම ලියන්නට අවශ්‍ය වුණා. එයටත් පෙර මා කතාන්දර නිර්මාණය කළා. මා මුලින් ම ගොඩනැඟු කතාන්දර ෂුල්මන්ගේ හෝ පර්ල්මන්ගේ කතාන්දර වලට සමාන වුණා. ඒ නිසා ඒවා තුළ මගේ කියා හැඟීමක් කිසිසේත් තිබුණේ නැහැ.
ඔබ ඔබේ හඬ සොයා ගත්තේ කෙසේ ද? එය ක්‍රමික ම සිදු වූවක් ද?
නැහැ. එය අහම්බෙන් සිදු වූවක්. මා එක්තරා සඟරාවක ආරාධනයෙන් ලියූ විකට කතාවක් කියවූ මගේ බිරිය, “මෙය නම් අපූරුයි. ඔබ මෙය New Yorker පුවත්පතට යැවිය යුතු යයි” කීවා. පුදුමයකට වගේ New Yorker පුවත්පත එය පළ කිරීමට එකඟ වුණා. නමුත් මා මුලදී ලියූ කතාන්දර පර්ල්මන්ගේ ක්‍රමයට සමාන වුණා. එය මමත් පිළිගත්තා. ඉන් පසුව මම ක්‍රම ක්‍රමයෙන් ඔහුගෙන් ඈත් වුණා.
මෙය වර්ධනය වුණේ ඔබ චිත්‍රපට තුළ කිරීමට උත්සාහ කළ දෙයට සමගාමීව ද?
මා මේ ක්‍රම දෙක සමාන්තරව දකින්නේ නැහැ. මගේ අත්දැකීම්වලට අනුව වෙනස් වූ මාධ්‍ය දෙකකට ලිවීම එකිනෙකට වෙනස් වූ කාර්යයන් දෙකක් බවයි. වැඩි අභියෝගයක් ඇත්තේ ගද්‍යය තුළයි. මන්ද ඔබ එය ලියා අවසන් කළහොත් ඔබේ නිර්මාණයේ අවසන් ඵලය එය බවට පත්වන නිසයි. ඔබට යළි එය වෙනස් කළ නොහැකියි. නමුත් තිර රචනයේ දී එය අවසාන ප්‍රතිඵලයක් බවට පත් වන්නේ නැහැ. තිර පිටපත නිසා රංගන ශිල්පීන්ට සහ අනෙකුත් ශිල්පීන්ට කිසියම් මාර්ගෝපදේශයක් සලසනවා පමණයි. මා එක් දර්ශනයක් පිළිබඳ ලියා තබන්නේ දළ සටහන් දෙක තුනක් පමණයි.
ඔබේ ලේඛන චර්යාව කෙබඳු ද?
මා අතට හසුවන ඕනෑ ම දෙයක ලියනවා. මා හෝටල් කාමරයේ දී, මගේ නිවසේ දී, වෙනත් පිරිසක් අතරේ දී හෝ ලියනවා. ඕනෑ ම අඩු ඉඩක් තුළ මට එය කළ හැකියි. මා New Yorker වෙත යැවූ සමහර කතාන්දර ලිවීමට විනාඩි හතළිස් පහක්වත් ගත වී නැහැ. නමුත් සමහර කතාන්දර ලිවීමට මා සති ගණන් කාලය වැය කර තිබෙනවා.
ඇයි ඔබ විකට කතාන්දර ලිවීමට පටන් ගත්තෙ?
මා තරුණ වියේ සිට ම විකට රංගන ශිල්පීන්ට බොහෝ සේ ඇලුම් කළා. නමුත් මා නියම ලෙස කියවීමට පටන් ගත් පසු බොහොම බරපතළ ලේඛකයන් මට හමු වුණා. එම නිසා මා හට විකට කතාන්දර ලියන්නට හැකි බැව් අවබෝධ වී තිබුණත් ඒ පිළිබඳ වැඩි ඇල්මක් දැක්වූයේ නැහැ.
ඔබ හාස්‍යෝත්පාදක රචකයකු වුවත් වරෙක ඔබ කියා තිබුණා ඔබේ පි‍්‍රයතම චිත්‍රපට දහය තුළ එවැනි එකඳු චිත්‍රපටයක් හෝ නැති බව. ඒ ඇයි?
මගේ පෞද්ගලික රුචියට එහා දෙයක් එතැන නැහැ. කෙනෙක් තමන්ගේ පි‍්‍රයතම චිත්‍රපට ලෙස හාස්‍යජනක චිත්‍රපට දහයක් නම් කළ හැකියි. නමුත් මා හට ඉඩක් ලැබුණු විට මා බලන්නේ Citizen Kane, The Bicycle Thief, The Seventh Seal වැනි චිත්‍රපට.
ඔබ එවැනි විශිෂ්ට සම්භාව්‍ය නිර්මාණ නැරැඹීමට යාමේ දී ඒවා නිර්මාණය කර තිබෙන්නේ කෙසේ දැයි සිතනවා ද?
සාමාන්‍යයෙන් මා සිනමා ශාලාවට යන්නේ රස විඳීමට. මගේ චිත්‍රපට පිළිබඳ විචාර සපයන සමහරු ඒවායේ තාක්ෂණික පැතිකඩ පිළිබඳ උනන්දු වෙනවා. මා චිත්‍රපටය තුළ කෙතරම් නිමග්න වෙනවා ද කීවොත්, මා හට තවමත් එහි ඇති මයික්‍රෆෝනයේ සෙවණැල්ල හෝ අනවශ්‍ය කැමරා කෝණවලට මාරු වීම හෝ හඳුනා ගන්නට බැහැ.
ඔබ ලියන විට ඔබේ ග්‍රාහකයා පිළිබඳ සිතනවා ද?
මා නිතර ම උත්සාහ කරන්නේ සෑම දෙනාට ම වඩා ඉහළින් සිට ලිවීමටයි. මන්ද සෑම කෙනෙකුට ම ළංවීමට නොහැකි බැව් මා දන්නා නිසා.
කිසියම් නිර්මාණකරුවෙක් ස්ථාවරත්වයක් ගොඩනඟා ගත් පසු ඔහුගේ අනුගාමිකයන් හෝ විචාරකයන් ඔහු එකම දෙය තුළ දිගින් දිගට ම නියැළෙනු ඇතැයි බලාපොරොත්තු වන ප්‍රවණතාවක් තිබෙනවා.
ඒ නිසායි ඔබ පිළිබඳ වෙනත් අය ලියන - කියන දේවල් එතරම් බරපතළ ලෙස ඔබ සැලකිය යුතු නැත්තේ.
උසස් ලේඛකයන් පරිණත බවට පත් වූ පසුව ඔවුන් දැනටමත් ස්ථාපිත වී ඇති තේමාවන්ම විස්තාරණය කිරීමට උත්සාහ ගන්නා බැව් ඔබ සිතන්නේ නැති ද?
සෑම පුද්ගලයෙකුට ම ඔහුගේ සිතෙහි බලපවත්නා ආවේණික අදහසක් තිබෙනවා. බර්ග්මාන්ගේ චිත්‍රපටවල ඔබ දකින්නේ එකම දෙයයි. නමුත් ඒවා ඉදිරිපත් කර තිබෙන්නේ පුදුමාකාර නැවුම් බවකින් යුතුවයි.

ග්‍රාමීය ගැහැනිය අවදි කිරීමේ බලවේගය වූ සරෝජිනී නායිඳු

හසිත පෙරේරා

“සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සංතෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇඳුම වියන්නේ”

මහගමසේකර තරම් මරණය පිළිබඳ ලියූ සහ මරණය සොඳුරු කවක් ලෙස දුටු තවත් කවියෙකු මේ මිහිපිට අපට හමු නොවේ. කෙසේ වුව ද බුදුරජාණන් වහන්සේ දෙසූ උපත ජීවතය සහ මරණය නම් වූ ජීවිතයේ ත්‍රිලක්ෂණය පිළිබඳ වෙනස් දෘෂ්ටිකෝණයකින් බැලූ තවත් ලේඛිකාවක අපට සොයා ගත හැකි විණි. ඇය භාරතයේ මහා කිවිඳිය - “සරෝජනී නායිදු” නම් වන්නී ය. සේකරයන් ජීවිතයේ ඉහත පැතිකඩ ‘උත්පාද - තිථි - භංග‘ ලෙස කතා කරන අතර සරෝජනී නායිදු එම යථාර්ථය “විෂ්ණු - බ්‍රහ්ම - මහේෂ්වර” සංකල්පය මුල් කර ගනිමින් අපූර්විතව ගෙනහැර පාන්නී ය. අප මෙවර විශ්වාන්තරයෙන් ඇය සොයා යනුයේ සේකරයන්ට පමණක් නොව, අප රටේ බොහෝ ගේය කාව්‍යයන්ට මූලාංකුර සැපයූ එම අග්‍රගණ්‍ය කිවිඳිය සහෘද පාඨක ඔබේ ගවේෂණයට යොමු කරලීමේ අටියෙනි.

ඇය “භාරතයේ නයිටිංගේල්” විරුදාවලිය ලැබුවා ය. නොයෙක් හැකියාවන්ගෙන් පරිපූර්ණව මෙලොව එළිය දුටු ඇය ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමී සාමාජිකාවක ලෙස කටයුතු කළා ය. ඉන්දීය දේශපාලන ඉතිහාසයෙහි නොමැකෙන සලකුණක් සනිටුහන් කරමින් ඇය ඉන්දීය ජාතික කොංග්‍රසයේ ප්‍රථම නායිකාව බවටත්, උත්තර් ප්‍රදේශයේ ප්‍රථම ආණ්ඩුකාරවරිය බවටත් පත් වන්නී ය. ඇය ලොවට මිණි පහනක් වන්නේ මේ නිසා ම නොව; නිදහස් සටන තුළ නොබියව තම පෑන මෙහෙයවමින් කවිය හරහා ජනතාව දැනුවත් කිරීමට ඇය ගත් සාර්ථක උත්සාහය ද නිසා ය. මේ නිසා ම ඇගේ ජන්ම දිනය “කාන්තා දිනය” ලෙස සැමරීමට ද ලොව බොහෝ රටවල් තම එකඟතාව පළකර තිබේ.

සරෝජිනී නායිදු උපත ලැබූයේ කුලීන බ්‍රහ්මී පවුලකට දාව හයිද්‍රාබාද් ප්‍රදේශයේ ය. ඇගේ පියා එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හිමි කර ගත් අතර ඇගේ මව බෙංගාලි බසින් කවි ලියූ දක්ෂ කිවිඳියක වූවා ය. එපමණකුදු නොව, ඉන්දියාවේ ප්‍රකට කවියකු, නාට්‍යකරුවකු මෙන් ම රංගන ශිල්පියකු වූ හරින්ද්‍රනාත් ඇගේ එක් සහෝදරයකු විය. මේ අනුව භාෂා අධ්‍යයනය සහ කලාව යනු ඇයට උපතින් ලද වරමක් බවට පත් වූයේ ය.
සරෝජිනී නායිදු දක්ෂ ශිෂ්‍යාවක් වූවා ය. ඇය උර්දු, තෙළිඟු, ඉංගී‍්‍රසි, බෙංගාලි සහ පර්සියානු භාෂාවන්හි නිපුණ වූවා ය. මැඩ්‍රාස් විශ්වවිද්‍යාලයේ ගණිත විභාගයකින් ඉහළ සාමාර්ථයක් ලබා ගන්නා ඇය මුල් වරට භාරත දේශයේ ජනතාව අතර පතළ වන්නේ එහිදී ය. නායිදු ගේ පියාගේ අරමුණ වූයේ තම දියණිය ගණිතඥවරියක හෝ විද්‍යාඥවරියක බවට පත් වනු දැකීම වුව ද, වරෙක ගණිත ගැටලුවක් විසඳමින් සිටින අතරතුර ඇය ගණිතය වැනි යාන්ත්‍රික විෂයයකින් තමන් ඉවත් විය යුතු යයි තීරණයකට එළැඹියා ය. එම පොතෙහි ම ඇය “The Lady fo the Lake” නමින් පද පේළි 1300 ක කවියක් තම ප්‍රථම කවි නිර්මාණය ලෙස ලියා තැබුවා ය.

තම දියණිය ගණිත විෂයට වඩා ඇලුම් කරනුයේ සාහිත්‍ය කටයුතු කෙරෙහි බැව් හඳුනා ගන්නා ඇගේ පියා ඉන් අනතුරු ඇයට ඒ වෙනුවෙන් අනුබල දීමට කටයුතු කළේ ය. තම පියාගෙන් ලද ධෛර්යයෙන් ඇය ”Maher Munner” නම් නාට්‍ය පෙළ පර්සියානු බසින් ලියුවා ය. 

ආචාර්ය චට්ටෝපාද්‍ය (පියා) විසින් මෙහි අත්පිටපත් කිහිපයක් ඔහුගේ මිතුරන් අතරේ බෙදා හරිනු ලැබු අතර ඉන් එක් පිටපතක් හයිද්‍රාබාද් හි “නවාබ්” පාසල වෙත යැවිණි. අවුරුදු 16 ක දැරියක විසින් රචිත මේ අපූර්ව නාට්‍ය පිටපත පිළිබඳ පැහැදෙන නවාබ් පාසල ඇය වෙත ශිෂ්‍යත්වයක් පිරිනැමීමට තීරණය කරන ලදි. මේ අනුව වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයේ රාජ්‍ය පාසලට ඇතුළත් වීමේ විරල භාග්‍යය ඇයට හිමි වෙයි.
සරෝජිනී නායිදු ගේ කවි ලෝකය ප්‍රබල ලෙස විපරිතයට බඳුන් වන්නේ මෙහිදී ය. වැඩිදුර අධ්‍යාපන කටයුතු අතරතුර ඇයට ආතර් සයිමන්ස් සහ එඩ්මන්ඩ් ගෝස් වැනි සම්මානනීය පුද්ගලයන්ගේ ඇසුර ලැබුණේ ය. ඉනුදු ඇගේ කවි ලෝකය කෙරේ ප්‍රබල බලපෑමක් සිදු කරනු ලැබූයේ එඩ්මන්ඩ් ගෝස් විසිනි, සරෝජිනී තමන්ගේ කවිය සඳහා වඩාත් තේමා කර ගත යුත්තේ ඉන්දීය කඳු ශිඛර, ගංගා, විහාර සහ ඉන්දීය සමාජ ක්‍රමය යැයි ඔහු අවධාරණය කළේ ය. ඉන් පසුව සමකාලීන ඉන්දීය ජන ජීවිතය හා බැඳුණු සිද්ධීන් පාදක කර ගන්නා ඇය 1905 දී The Golden Threshold, 1912 දී The Bird of Time සහ එම වසරේදී ම The Broken Wing ලියා පළ කිරීමට සමත් වූවා ය. විශාල ජාත්‍යන්තර පාඨක සමාජයක් තුළ සරෝජිනී නායිදු නම් කිවිඳිය මුල් බැස ගනුයේ ඉන් පසුව ය.

ඇය ආචාර්ය ගෝවින්දරාජුලු තරුණයා සමඟ පෙමින් බැඳෙන්නේ මේ අතරතුර ය. වෘත්තියෙන් වෛද්‍යවරයකු වුවත් ඔහු බ්‍රාහ්මී කුලයට අයත් වූවකු නොවී ය. සරෝජිනී ගේ පියා ප්‍රගතිශීලී චින්තකයකු වූ නිසා ම ඔහු තම දියණියගේ විවාහයට විරුද්ධ වූයේ නැත. දැඩි කුලවාදයක් පැවති සමාජ පසුබිමක ඒ සියල්ලට එඩිතර ව මුහුණ දුන් ආචාර්ය චට්ටෝපාද්‍යාය සරෝජිනීගේ විවාහය සිදු කර දුන්නේ ය. ඇගේ විවාහ දිවිය ඉතා ම පී‍්‍රතිමත් ලෙස ගත වූයේ ය.

කිවිඳියක ලෙස භාරතය පුරා පතළ වූ සරෝජිනී හට, ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමියකු වූ ශ්‍රී ගෝපාල් ක්‍රිෂ්නා හමු වූයේ ය. භාරතීය ගැමියාගේ හදවත පෝෂණය කරමින් භාරත මාතාව නිදහස් කර ගැනීමට කවිය යොදා ගන්නා ලෙස ඔහු සරෝජිනීගෙන් ඉල්ලා සිටියේ ය. 1916 දී මහත්මා ගාන්ධි උතුමන් මුණ ගැසෙන ඇය අනතුරුව තම කවි සිතුවිලි ඉන්දීය ජනතාවගේ අනාගතය සුබදායක කිරීම වෙනුවෙන් කේන්ද්‍රගත කළා ය. 

ඇගේ කවි කෙතරම් ගැමියන්ගේ හදවත් තුළ තැන්පත් වී ද යත් ඉන්දීය හමුදා ප්‍රධානියකුට මෙන් ගෞරවය, කීර්තිය බුක්ති විඳිමින් ගම් - නියම් ගම් හි සැරි සැරීමට ඇයට හැකි වී තිබිණි. ඇගේ කවියේ හදවත සහ ආත්මය බවට පත් වන්නේ භාරත දේශයේ නිදහසයි. එතෙක් මුළුතැන්ගෙය තුළ අතපය විහිදුවාගත නොහී ලතවෙමින් සිටි ග්‍රාමීය ගැහැනිය අවදි කරලීමේ පුරෝගාමී බලවේගය බවට ඇගේ කවිය පත් වූයේ ය. ඇය ගැහැනිය තුළ දිය වී යමින් තිබු අත්තුක්කංසනය යළි සවිබල ගැන්වීමට තරම් ප්‍රබල චරිතයක් වූවා ය.

දේශපාලනය තුළ ඇගේ අවිය වූයේ කවියයි. ඇගේ කවිය සැකසුණේ ගීතමය බස් වහරකිනි. ගැහැනිය සහ මරණය පිළිබඳ ලෝකයා නොදුටු පැතිකඩ පිළිබඳ සංලාපයෙහි යෙදෙන්නට ඈ භාවිත කළ කාව්‍යමය උපාය එයයි. අප රටේ පහළ වූ සේකර වැනි විශිෂ්ටතමයන් පවා තම කවියට ඇගේ ආභාසය ඉවහල් කොට ගැනීම තුළ එය නිතැතින් ලියවී තිබේ. මහා ශ්‍රී අරවින්ද්, රබීන්ද්‍රනාත් තගෝර් සහ ජවහර්ලාල් නේරු ඇගේ කවිය අගය කළ දහසකුත් දෙනා අතර කැපී පෙනෙයි. මන්ද ඇගේ කවිය තුළ ඇති ඉංගී‍්‍රසි වදන් තුළ ඉන්දීය ජනතාවගේ ආත්මය ගැබ් වී තිබු නිසා ය.

“භාරත මාතාව රෝගාතුර වී මියැදෙන්නට පෙර නව මිනිසුන් පිරිසක් බිහි කර ගත යුතු ය.”
ඇය 1914 දෙසැම්බර් 24 වන දා තම මිතුරු ගෝකාල්ට ලිපියක් ලියමින් කියා සිටියාය. 1879 පෙබරවාරි 13 වනදා හයිද්‍රාබාද්හි උපත ලද ඇය 1949 මාර්තු මස දෙවනදා අලහාබාද්හි දී මිය ගියා ය.

විචාරකයන් බලන්නේ මගේ නිර්මාණවල භයංකර පැත්ත පමණයි - ප්‍රැන්සිස් බේකන්

     පරිවර්තනය - හසිත පෙරේරා 


සිතුවමක් යනු කිසියම් පුද්ගලයකුගේ සිතුවිලි, වර්ණ සහ රේඛා මඟින් ද්විමාන තලයක ත්‍රිමාණ ගත කිරීමකි. සිත්තරා භාවිත කරන සෑම රේඛාවක ම, වර්ණයක ම ගැබ් ව ඇත්තේ ඔහුගේ මනෝභාවයන් ය. එනම් උසස් සිතුවමක් යනු පුද්ගලයකු විනිවිද දැකිය හැකි කැඩපතක් වැනි ය.

ප්‍රැන්සිස් බේකන් යනු තම සිතුවිලි විචිත්‍රවත් ලෙසත්, එඩිතරවත්, භාවාතිශය ලෙසත් ඉදිරිපත් කළ අයර්ලන්ත ජාතික චිත්‍ර ශිල්පියෙකි. ඔහුගේ මුල් කාලීන සිතුවම්, ජ්‍යාමිතික හැඩතල මත චිත්‍රණය වූ අතර පසු කලෙක ඔහු වඩාත් යොමු වූයේ හුදු ප්‍රකාශිත චිත්‍ර කලාව කෙරෙහි ය. ඔහු 1944 දී සිතුවම් කළ Crucifixion සිතුවම පසුගිය දා අලෙවි වූයේ ඩොලර් මිලියන 92.2 කට ය. එය පශ්චාත් යුද සමයේ නිර්මාණය වූ සිතුවමක් වෙනුවෙන් මෙතෙක් හිමි වී ඇති වැඩි ම තක්සේරුවයි. ප්‍රැන්සිස් බේකන් චරිතය කෙතරම් කලා ලොවට වැදගත් දැයි පසක් කරමින් 1998 දී ඔහුගේ ජීවන තොරතුරු අළලා Love is the Devil චිත්‍රපටය නිර්මාණය වෙයි.

බොහෝ කලෙක පටන් පැවති ඇදුම රෝගය උත්සන්න වීම නිසා 1992 අපේ‍්‍රල් 28 වනදා මෙලොවින් සමු ගත් එම සොඳුරු සිත්තරා ලාංකේය විද්‍යාර්ථියාට දායාද කරලීමේ අරමුණින් අපි මෙවර විශ්වාන්තරය පීරා ඔහු කැටුව එන්නෙමු.

David Silvester විසින් කරන ලද සම්මුඛ සාකච්ඡා කිහිපයකින් උපුටා ගන්නා ලදී.

භාව ප්‍රකාශන සිතුවමක් කිරීමට ඔබ තුළ කිසියම් ආශාවක් තිබුණ ද?

මා තුළ තිබුණ හැඩයම් රේඛා ඇඳීමේ ආශාවත් මා Crucifixion (කුරුසයේ ඇණ ගැසීම) සිතුවමේ මුල් අදියරේ දී කළේ එයයි. එයට ආභාසය ලැබුණේ 1920 දශකයේ නිර්මාණය වුණු පිකාසෝ ගේ සිතුවම්වලින්.

එම නිර්මාණයට පසුව ඔබ වඩාත් ප්‍රකාශන චිත්‍රවලට නැඹුරු වූ බවක් පෙනෙනවා ය ප්‍රකාශන චිත්‍ර ඇඳීමට ඔබ තුළ හට ගත් ධනාත්මක කැමැත්ත ද? එසේත් නැත්නම් එම වකවානුව තුළ ඔබට තව දුරටත් එවැනි ඓන්ද්‍රීය ක්‍රමවේදයක් ගොඩනඟා ගත නොහැකි වීම ද?

මා 1946 දී සිතුවම් කළ චිත්‍ර අතරින් එක් චිත්‍රයක් නිර්මාණය වූයේ අහඹු ලෙස. මා හට අවශ්‍ය වූයේ ගොවි බිමකට පහත් වන කුරුල්ලකු සිතුවම් කිරීමටයි. එය මා කලින් සඳහන් කළ ආකාරයේ හැඩයම් රේඛා සමඟ බද්ධ වී තිබෙන්නට ඇති. කෙසේ වෙතත් මා ඇඳි රේඛාවලින් එක්වර ම මතු වූයේ මුළුමනින් ම වෙනස් වූ දෙයක්. එම හදිසියේ මතු වූ දෙයින් තමයි මෙම සිතුවම නිර්මාණය වුණේ. මා මගේ සිතුවම දෙස කිසිසේත් එලෙසින් කල්පනා කළේ නැහැ. එය හරියට ම කියනවා නම්, එක මත එක සිදු වූ අහඹු, සිද්ධීන් රාශියක එකතුවක් වගෙයි.

කුරුල්ලාගෙන් ඔබට මතු වූයේ කුඩය ද?

එය නිශ්චිතව කුඩයක් මතු කළා යයි කිව නො හැකියි. කුරුල්ලාගෙන් මා තුළ සමස්ත චිත්ත රූපය ම මතු වූවා යයි මම සිතනවා.

තම චිත්ත රූපය සිතුවම් කිරීමට වාඩි වන චිත්‍ර ශිල්පියාට එහි නිරත වන අතරතුර, මුල් චිත්ත රූපය වෙනස් වීමට මුහුණ දීමට සිදු වෙනවා නේද?

ඔව්. නමුත් මා දැන් නිතර ම කල්පනා කරන්නේ එය වඩාත් ඵලදායි ලෙස මනසට එන දෙයක් හැටියටයි. කුමනාකාරයේ දෙයකින් හට ගත්ත ද, මා නිශ්චිත වස්තු විෂයකට සීමා විය යුතු යයි මා විශ්වාස කරනවා. මෙය නිරූපණය යන වචනයෙහි අරුතට ඉඳුරා පටහැනි අදහසක් විය හැකියි. මා දැන් වඩාත් කැමති පුද්ගලයන් සිතුවම් කිරීමට යි. එවැනි සිතුවමක වුව ද විවිධ අයට විවිධාකාරයේ අර්ථ නිරූපණ ඉදිරිපත් කළ හැකියි. මන්ද චිත්‍රය එක් සමෝච්ච රේඛාවක සිට අනෙකට ගමන් කරන නිසායි.

ඔබේ Crucifixion (කුරුසයේ ඇණ ගැසීම) සිතුවම නිර්මාණය කරන විට ඔබ එකවර එහි කොටස් තුන ම නිර්මාණය කළා ද?

මා කොටස් තුන ම සිතුවම් කළේ වෙන වෙන ම. නමුත් එය අවසන් වූ පසුව එහි යම් යම් වෙනස්කම් මා කළේ එකවර.

එක සිතුවමක් කොටස් තුනකින් සිතුවම් කිරීමට ඔබට බලපෑ සාධකය කුමක් ද?

සතුන් මරණ ස්ථාන සහ මස් පිළිබඳ ඡායාරූප මට නිතර ම බලපෑම් කළා මා සිතන්නේ Crucifixion සිතුවමට මෙවැනි ඡායාරූපවල බලපෑම ඉතා ම තදින් තිබුණා. එම ඡායාරූපවල සිටිනා සතුන් තමුන්ට අත් වීමට යන ඉරණම පිළිබඳ හොඳින් දැන ජීවිත බේරා ගැනීම සඳහා උපරීම සටනක් කරන බැව් පෙනෙනවා. Crucifixion හි සමස්ත අදහසත් මෙයමයි. ක්‍රිස්තියානි ලබ්ධිකයෙකුට ජේසුස් වහන්සේ කුරුසියේ තබා ඇණ ගැසීම සුවිශේෂී දෙයක් වුවත්, ක්‍රිස්තියානි දහම පිළිබඳ විශ්වාස නොකරන පුද්ගලයාට පෙනෙන්නේ මරණයෙන් ගැලවීමට ඕනෑම මිනිසෙකු දරන වෑයමක් ලෙස පමණයි.

නමුත් ඔබ නිතර - නිතර Popes ආගමට සම්බන්ධ නිර්මාණවල යෙදෙන්නේ ඇයි?

Popes (පාප් වහන්සේලා) නිර්මාණය තුළ කිසි ම ආගමික මතවාදයක් නැහැ. එය පැන නැගුණේ වැලස්කුවස්ගේ Pope Innocent X සිතුවමෙන්.

නමුත් ඇයි ඔබ ඔහුගේ Popes නිර්මාණය ම ඒ සඳහා තෝරා ගත්තෙ?

මොකද, මා සිතනවා, එය මෙතෙක් බිහි වූ විශිෂ්ටත ම පුද්ගල සිතුවමක් යැයි කියා.

ඔබ ඡායාරූපවලට මෙතරම් ලැදිකමක් දක්වන්නේ ඇයි ද කියා කිව හැකි ද?

ඡායාරූප සහ චිත්‍රපට හරහා කෙනකුගේ සංජානනයට දැඩි බලපෑමක් කරනවා. භාව ප්‍රකාශන සහ ප්‍රකාශන චිත්‍රවලට වඩා ඡායාරූප සහ චිත්‍රපටවලට මම කැමතියි.

ඔබේ Crucifixion සහ Butcher S. shop (මස් මරන්නා ගේ සාප්පුව) අතර කිට්ටු සම්බන්ධයක් තිබෙනවා. ඔබට මස් සමඟ ඇති සංවේදනය ඉතා වැදගත් දෙයක් වන්නට ඇති?

ඇත්තෙන් ම ඔව්. ඔබ මස් විකුණන වෙළෙඳසලක් දිගේ - මරණයේ මාවත දිගේ ගමන් කරන විට මැරී වැතිරී සිටින මාළුන්, කුරුල්ලන්, වෙනත් සතුන් දැක ගත හැකියි. චිත්‍ර ශිල්පියකු තුළ මෙම මස්වල ඇති පුදුමාකාර වර්ණය දැඩි බලපෑමක් කරන දෙයක්.

ඔබේ නිර්මාණ මස්වල පැහැය මත පදනම් වී ඇති බැව් ඔබේ නිර්මාණ දකින විට පෙනී යනවා. මේ නිසා ම ඔබ සංත්‍රාසය මතු කරන චිත්‍ර ශිල්පියකු ලෙස විචාරකයන් හඳුන්වා දී තිබෙනවා.

ඇත්තෙන් ම ඔවුන් සලකා බලන්නේ මගේ නිර්මාණවල ඇති භයංකර බව පිළිබඳ පමණයි. නමුත් මට එවැන්නක් හැඟෙන්නේ නැහැ. භයානක මිනිහෙක් වීමේ ආසාවක් මට නැහැ.

ඔබේ පාසල් ගමන පිළිබඳ යමක් කතා කළොත්?

මා පාසල් ගියේ එක් අවුරුද්දක් පමණයි. මා නිතර ම පාසලෙන් පැන ගිය නිසා ඔවුන් විසින් ම මා පාසලෙන් ඉවත් කළා. මට අවුරුදු දහසයක් වන විට, මගේ අම්මා සතියකට යූරෝ 3 ක් මට ලබා දුන්නා. ඒ කාලයේ එය කෙනෙකුට යැපීමට තරම් ප්‍රමාණවත් වුණා. ඉන් පසුව මම ලන්ඩනයට පැමිණියා. එතැනින් බර්ලින්වලට ගියා. ඔබ තරුණ නම් ඔබට ඕනෑම කෙනෙක් උපකාර කරනවානේ. මටත් සිද්ධ වුණේ එයමයි. මා හට හෝටලයක වේටර්වරයකුගේ රැකියාවක් ලැබුණා. එය ඉතා ම අපූරු හෝටලයක්. බර්ලින්හි රාත්‍රී කාලය මා හට අමුතුම අත්දැකීමක් වුණා. කෙසේ වෙතත් එතැනින් මම පැරීසිය බලා ගමන් කළා. එහිදී මට පිකාසෝ ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් නැරැඹීමට හැකි වුණා. මමත් චිත්‍රයක් ඇඳීමට කල්පනා කළ යුතු යැයි තීරණය කළේ එහිදීයි.

ඔය තීරණය පිළිබඳ දෙමව්පියන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය කුමක් ද?

මා කලාකාරයෙක් වීමට යනවා යැයි කියමින් ඔවුන් මට හොඳටම දෙහි කැපුවා.