2013: ආණ්ඩුවේ සහ විපක්ෂයේ අභියෝග

සුනන්ද දේශප්‍රිය

පොදු පෙරමුණු ආණ්ඩුව නොහොත් පාලක සන්ධානය 2013ට පියවර තබන්නේ උත්සන්න වීමට නියමිත අභ්‍යන්තර මෙන්ම බාහිර අර්බූද ගණනාවක් අබිමුවෙහි ය. එසේ නමුත් රාජපක්ෂ රිජීමය ඒ කිසිදු අර්බූදයක් නොසළකා ශ්‍රී ලංකාව සහමුලින්ම සිය ග්‍රහණයෙහි රඳවා ගැනීමේ මර්දනකාරී මූලෝපාය මත බිය ජනක ලෙස ඉදිරියට ගමන් කරයි.

අනෙත් අතට දේශපාලන විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය  ගොඩ ආ නොහැකි තරමේ දේශපාලන නන්නත්තාරවීමක සිරගතව තිබේ. එජාප නායක රනිල් වික්‍රමසිංහ සිය පක්ෂයට හෝ රටට ඉදිරිගාමී  නායකත්වයක් සැපයිය නොහැකි රාජපක්ෂ පාලනයේ අනියම් හවුල්කරුවකු ලෙස සිය නිද්‍රාශීලී භූමිකාවෙහිම ඇලී සිටී.

නිකමට රාජපක්ෂ පාලනය නව වසර ඇරඹූ අන්දම බලන්න. එය  නව නවසරට සුබ පතනු වස් විවාහ ලියා පදිංචි ගාස්තුව පස් ගුණයකින් ඉහළ නංවමින් එක් දහස පන්දහසක් කළේ ය. ඒ සමඟම ආදාහන ගාස්තුව රැපියල් දෙදහසකින් ඉහළ නැවීය. සුපිරි වෙළදසැල් වලින් මිලදී ගන්නා භාන්ඩවලට සියයට 12ක බද්දක් පැනවූ එය ඉඩම් ඔප්පුවක් පරීක්ෂා කිරීමේ ගාස්තුව රු.2.50 සිට රු. 500.00 දක්වා ද එවැනි ඔප්පුවක සහතික කළ පිටපතක් ලබා දීමේ ගාස්තුව රු.102.50 සිට රු. 500.00 දක්වාද ඉහළ නැවූයේ ය. මේ සියල්ල අයවැය ලේඛනයට පිටින් නැවෙන ආර්ථීක බර ය.

2013 වසරෙහි මහජන අපේෂා පිළබඳ ලියැවුණූ කතුවැකි ගණනාවකම පෙන්වා දී තිබුණේ ජිවන වියදම සැහැල්ලූ කරගැනීම මහා ජනයාගේ ප්‍රථම අපේක්ෂාව බවයි. එසේ නමුත් රාජපක්ෂ රිජීමය ජනයා මත දිගින් දිගටම ආර්ථීක බර පටවමින් ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමේ සැණකෙළිම කෙළති. රුපියල් බිලියන 26ක වියදමින් අම්පාර දිසාවෙහි දැයට කිරුළ ප්‍රදර්ශනයකට සුදානම් වන රිජීමය පසුගිය වසරෙහි අනුරාධපුර ඔයාමඩුවෙහි පැවැති දැයට කිරුළ සැණකෙළියට රු. බිලියන 25ක් වැය කළේ ය. කොළඹ රාත්‍රී කාර් රේස් සඳහා වැය කරන ලද මුදල රු. මිලියන 300ක් වන අතර රජයට අයවිය යුතු  අවසර පත්‍ර බදු මුදල් නිදහස් කිරීමෙන් ලද කොළඹ මහ නගර සභාව ලද  පාඩුව රු. ලක්ෂ 29ක් විය. රට සංවර්ධනය කර ඇතැයි යන කයිවාරු කෙසේ වෙතත් මහා ජනයාගේ ප්‍රධාන දුක් ගැනවිල්ල ජීවන වියදම ය.  එහි හොඳම නිදසුන නම් වැටුප් වැඩි වීම් ඉල්ලා එක දිගට ඇති වෙමින් තිඛෙන සේවක උද්ඝෝෂන සහ වැඩ වර්ජන රැල්ළයි.

අනෙක් අතට පාලක සන්ධානය තුළ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළද බරපතල දේශපාලන ඉරි තැලීම් මතුවෙමින් තිබේ. අගවිනිසුරුවරියට එරෙහිව ක්‍රියාවට නගන ලද දෝශාභියෝග යෝජනාව විසින් ඉරිතැලීම් ගණනාවක්ම ඇති කොට තිබේ. අධිකරණය සමඟ රාජපක්ෂ රිජීමය දිගින් දිගටම ගෙන යමින් තිඛෙන ගැටුම අවසන් වනු ඇත්තේ සහමුළින්ම යටහත් පහත් අධිකරණයක් පිහිටවුවහොත් පමණි.

ආණ්ඩුවේ  මානව හිමිකම් විද්වතකු ලෙස පෙනී සිටි පා.ම. රාජීව විෙජ්සිංහ කියා සිටියේ තමාට දෝශාභියෝග යෝජනා නොපෙන් වූ බැවින් එයට අත්සන් කිීරීම ප්‍රතික්ෂේප කළ බවයි. ඊට අමතරව රාජපක්ෂ ආණ්ඩුව මානව හිමිකම් සම්බන්ධයෙන් දක්වන ඇල්මැරුණූ උනන්දුව  විදහා දක්වන ලිපි ලේඛන ගණනාවක් ඔහු මෑතදී සිය බ්ලොග් අඩවියෙහි පළ කළේ ය.

එවැනි එක් උදාහරණයක් නම් ඔහු විසින් සිය බ්ලොග් අඩවියට මෑත දී  එක් කරන ලද මානව හිමිකම් පිළිබඳ යෝජිත ව්‍යවස්ථා පරිච්ෙජ්දය යි.  රාජපක්ෂ ආණ්ඩුව විසින් පසුව හමස් පෙට්ටියට දමන ලද එම පරිච්ෙජ්දය සකස් කරන ලද්දේ  ජනාධිපති නීතිඥ ජයම්පතී වික්‍රමරත්නගේ නායකත්වයෙන් 2009 වසරෙහි දී ආණ්ඩුව විසින්ම පත් කරන ලද කමිටුවක් මගිනි. එම කමිටුව අපේක්ෂා කළෙA  18වන සංසෝධනය ලෙස එම මානව හිිමිකම් පරිච්ෙජ්දය ව්‍යවස්ථාවට එක් කරනු ඇතැයි කියා ය.

හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක දැන් ප්‍රසිද්ධියේම දෝශාභියෝග චෝදනා පරිපාටිය විවේචනය කරන අතර ශ්‍රීලනිප ලේකම් මෛත්‍රීපාල සිරිසේන දේශපාලනයෙන් විශ්‍රාම යාම ගැන කතා කරයි. දෝශාභියෝගය සහ එම  ක්‍රියාපරිපාටිය විසින් ශ්‍රීලනිපයේ පැරණි නායකයින් අතර ඇති කර ඇති නිහ~ විරෝධය දීර්ඝ කාලීන වශයෙන් රාජපක්ෂ රිජීමයට බරපතල අනතුරක් ගෙන එයි.

පසුගිය සතියෙහි සිය සම්මේලනය පැවැත් වූ අධිකරන ඇමැතිවරයාගේ නායකත්වයෙන් යුතු  ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය බලය ඛෙදීමේ 13වන සංසෝධනය ඉවත් කිරීමට හෝ බාල කිරීමට තමන් විරුද්ධ වන බව එකඑල්ලේ ම කියා සිටියේ ය. ඊට අමතරව බලය ඛෙදීම තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ද එය කියා  සිටියේ ය. එසේ් නමුත් 13 වන ව්‍යවස්ථාව අහෝසි කිරීම ගෝඨාභය රාජපක්ෂගේ සැළැස්ම වන අතර එය බාල කිරීම බැසිල් රාජපක්ෂගේ ප්‍රකාශිත සිහිනය වේ. චම්පික රණවක, විමල් වීරවංශ, දිනේශ් ගුණවර්ධන යන සන්ධාන පක්ෂ නායකයෝ 13 වන සංසෝධනය ඉවත් කිරීමට උද්ඝෝනය කරති. වාසුදේව, තිස්ස විතාරණ සහ ඩිව් ගුණසේකර යන සන්ධාන පක්ෂ නායකයෝ එවැනි පියවරකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ජන්දයක් ලබා ගැනීම තමන් වළක්වන බව අභියෝගාත්මකව ප්‍රකාශ කරන්නේ 13 රැක ගැනීමේ සන්ධානයකට ගමන් කරන බව කියමිනි. සමහර විට 2013 වසරෙහි රාජපක්ෂ රිජීමය මුහුණ දෙනු ප්‍රධාන නොවේ නම් එක් ප්‍රධාන ගැටුමක් බවට පත්වනු ඇත්තේ මෙය යි.

මුස්ලිම් කොන්ග්‍රසයේ සම්මේලනය සැළිකිළිමත් වූ තවත්  කරුණක් නම් නැගී එන රණකාමී සිංහල බෞද්ධ අන්තවාදය යි. ශ්‍රී ලංකාවේ  මේතාක් නොතිබූ ප්‍රශ්ණයක් ඇති කරමින් මස් අලෙවියෙහිදී හලාල් සහතිකය භාවිත කිරීමට එරෙහි උද්ඝෝනයක් දියත් කිරීම  එවැනි එක් නිදසුනකි. මුස්ලිම් දේශපාලනයට එරෙහිව මෙකී බලවේග විසින් ගෙනෛනු ලබන චෝදනාවක් වන බෞද්ධාගමික පුරා වස්තු බුල්ඩොසර් කිරීම මෑතදී පුනරුච්චාරනය කරමින් එකී බලවේග සාධාරණ කරන  ලද්දේ අන් කිසිවකු විසින් නොව ජනාධිපති රාජපක්ෂ විසිනි.

රාජපක්ෂ පාලනය තුළ මහජාතිවාදි අන්තවාදය බලවත්වන පසුබිම තුළ 2013 එහි හවුල්කරුවකු වන රවුප් හකීම්ට  ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී උභතෝකෝටිකයෙන් ගැලවීම දුෂ්කර වසරක් බවට පත් වන බව දැනටමත් පෙනෙන්නට තිබේ. දැනට පෙනෙන්නට ඇති අන්දමට ඩග්ලස් දේවානන්ද සහ තොන්ඩමන් යන දෙමළ දේශපාලන පක්ෂ නායකයින් දෙදෙනාටද රාජපක්ෂවරුන්ගෙන් එතරම් ආදරයක් ලැඛෙන්නේ නැත.

2013 අන්තර් ජාතික ක්ෂේත්‍රයෙහි රාජපක්ෂ පාලනය මුහුණ දෙක නරකම වසරක් වන ලකුණු දැනටමත් පෙනෙන්නට තිබේ. මෙම වසරෙහි දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස් නවී පිල්ලේ විසින් ද බැංකී මූන් විසින් පත් කරන ලද තෙවන පරීක්ෂන කමිටුව විසින් ද වාර්තා දෙකක් ඉදිරිපත් කරනු ඇත. පසුගිය මාර්තුවේ දී මානව හිමිකම් කොමිසම විසින් සම්මත කරන ලද ශ්‍රී ලංකාව පිළීබඳ යෝජනාව විසින් ඉල්ලා සිටි පරිදි උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරනු වෙනුවට රට තුළ සිදුව ඇත්තේ එම නිර්දේශයන්ට පටහැනි ක්‍රියාමාර්ගයන් දිගින් දිගටම ගනු ලැබීමයි. එපමණක් නොව දෝශාභියෝග පරිපාටිය විසින් ද විශේෂයෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති කරනු ලැබුවේ නරක චිත්‍රයකි. ඉන්දියාව සමඟ රාජපක්ෂ රිජීමය ඇති කරගනිමින් තිඛෙන දේශපාලන සහ ආර්ථීක ගැටුම ඉන්දියානු මැතිවරණ වසරක් වීමට නියමිත 2013හි දී වඩා උත්සන්න වීමට ඇති ඉඩද වැඩිය.

මෙතරම් අභියෝගයන්ට සහ දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති ආණ්ඩුවක් හමූයේ එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානතම අරමුණ වී ඇත්තේ සිය විපක්ෂ නායක ධුරය සහ පක්ෂ නායක ධුරය රැක ගැනීමයි. දෝශාභියෝගය පිළිබඳ ප්‍රශ්ණයේ දී රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාකාරිත්වය රාජපක්ෂ රිජීමයට මහත් සැණසිල්ලක් වී තිබේ. අගවිනිසුරුවරියට එරෙහිව දෝශාභියෝගයක් ගෙන එන ලෙස තමාට කීවේ රනිල් වික්‍රමසිංහයැයි ජනාධිපති රාජපක්ෂ විසින් පුවත්පත් කතුවරුන් හමුවෙහි කළ ප්‍රකාශය ඔහු ප්‍රතික්ෂේප කළේ නැත. දැන් එජාපය තීරණය කර ඇත්තේ රාජපක්ෂවරු මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය නොසළකා ක්‍රියා කිරීමට ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දක්වන උන්නදුව සම්බන්ධයෙන්ද රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම දක්වන්නේ විරෝධයකි. ශ්‍රී ලංකාව ගත යුතු ආර්ථීක පිළිවෙත සම්බන්ධයෙන් දෙදෙනා අතර වෙනසක් නැත. වෙනසක් තිබූ ජනවාර්ගික ප්‍රශ්ණය සම්බන්ධයෙන් දැන් රනිල් වික්‍රමසිංහ කතා කරන්නේ නැත. දේශපාලන මූලෝපායක් වශයෙන් මර්දනය යොදා ගැනීම සම්බන්ධයෙන් ද දෙදෙනා අතර එතරම් වෙනසක් තිබිය නොහැකි ය. 2013 වසරෙහි දී ද එජාපය තව දුරටත් දුර්වල වීමට ඇති බර වැඩිය. එක් උදාහරණයක් නම් එයට බලය ඇති එකම නගර සභාවේ නගරාධිපති මුසාමිල් දුන් ගෝඨාභය රාජපක්ෂගේ අනුගාමිකයකු බවට පත්ව තිබීම යි.

ඇත්ත වශයෙන්ම නම් ශ්‍රී ලංකාව විදවන ප්‍රධානතම සාපයක් නම් ෙජ්.ආර්. ජයවර්ධනගේ අත්තනෝමතික දේශපාලන කරුමය යි. රනිල් වික්‍රමසිංහගේ දැක්ම ද එයම ය. සිය නායකත්වය වසර 6කට සම්මත කර ගත් ඔහු බලයට පැමිණිය හොත් වසර 12කට ජනාධිපතිකම ලියා නොගනු ඇතැයි කිව හැක්කේ කාටද? රාජපක්ෂ පාලනයේ ප්‍රජාතන්ත්‍ර විරෝධි පියවර විවේචනය කරන නමුත් කොළඹ සිවිල් සමාජය එජාපය හෝ රනිල් වික්‍රමසිංහ විවේචනය කරන්නේ නැත. තේරුම් ගත නොහැකි මෙම හැසිරිම විසින්   රනිල් වික්‍රමසිංහ එජාපයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී අභ්‍යන්තර පිළිවෙත සහ නිද්‍රාශීලී බාහිර පිළිවෙත තවදුරටත් තහවුරු කරයි.

වත්මන් ශ්‍රී ලංකාවෙහි කේන්ද්‍රීය දේශපාලන ප්‍රශ්ණය ලෙස පෙනෙන්නට ඇත්තේ  සමාජ ආර්ථීක දේශපාලන ක්ෂෙත්‍රයන් තුනෙහිම ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් සඳහා මෝරා එමින් ඇති මහජන අභිලාෂයන්ට ප්‍රකාශණයක් සහ නායකත්වයක් දිය හැකි විශ්වසනීය, බුද්ධිමත්, යථාර්තවාදී සහ සක්‍රීය දේශපාලනයක් නැතිකම ය. වත්මන් එක්සත් ජාතික පක්ෂය විසින් එම අඩුව පුරවනු ඇතියි බලා සිටීම ජනප්‍රවාද ගත එළුවාගේ මොකක්දෝ වැටෙන තුරු බලා සිටීමට නොදෙවනු වනු ඇත.