රෙදි වියන්නාගේ කතාව




උපුල් ජෝශප් ප්‍රනාන්දු
මහින්දට හැමෝම කිව්වේ මහින්ද අයියා කියලාය. මහින්දට මල්ලි කිව්ව අයත් නොහිටියා නොවේ. ඩියු ගුණසේකර, තිස්ස විතාරණ මහින්දට කිව්වේ මල්ලි කියලාය. මේ අයියලා මහින්ද මල්ලීට පහුගිය සතියේ අවවාදයක් දී තිබිණි. අවවාදය නම් අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගය සම්මත කිරීම කල් දමාගෙන ප්‍රශ්නය ගොඩින් බේරා ගන්නය කියලාය. මහින්ද මල්ලී ඒ අයියලාට මොනවා කිව්වාද දන්නේ නැත. හැබැයි මහින්ද මාධ්‍යයන්ට අයියා පාට් එකෙන් කියා තිබුණේ දෝෂාභියෝගය කල් දමන්න කිසිම අදහසක් නැහැ කියලාය.

මෙහෙව් මහින්ද විපක්‍ෂයේ මන්ත්‍රිවරයෙක් ලෙස පාර්ලිමේන්තුවේ ඉන්න කාලයේ ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රිවරුන්ට අවවාදයක් දුන්නේය. මේ එම අවවාදයය.

"තමුන්නාන්සේලා නිහඬ වෙලා ඉන්න එකේ වරදයි ඒ. මේ තත්ත්වය පෙන්වන්න ඕනා තමුන්නාන්සේලා. ඒවා ඉහළ අයට පෙන්නුම් කරන්නේ නැහැ. ඒ අය ඉන්නේ මේවායින් වැහිලයි. ඒ අය ආරක්‍ෂක භටයන්ගෙන් වැහිලයි ඉන්නේ. ඒ අය වෙන ලෝකයකයි ඉන්නේ. ඒ අය ඔත්තුකරුවන්ගෙන් වැහිලයි ඉන්නේ. පහළ ඉන්න අය බයයි නායකයන්ට ඒ ගැන කියන්න. නායකයාගේ වැරැද්ද කියන්න කවුරුත් බයයි. නායකයා ළඟට ඇවිත් කියන්නේ මොකක්ද? ඔබතුමා කරන ඔක්කොම නිවැරැදියි. ඔබතුමා නිවැරැදියි. අනෙක් එක්කෙනාත් නිවැරැදියි කියලායි ප්‍රකාශ කරන්නේ. එහෙම තමයි නායකයාට ඔක්කොම කියන්නේ.
තමුන්නාන්සේලා පුරුදු වෙලා තියෙන්නේ නායකයාට හොඳ දේවල් විතරක් ගිහින් කියන්නයි. එතුමා ආශා කරන දේ විතරයි ගිහින් කියන්නේ. අතිගරු ජනාධිපතිතුමාට, ගරු අගමැතිතුමාට හා වෙනත් නායකයන්ට ඒ අය ආශා කරන දේවල් ඔක්කොම හරියි කියන්න ගියාම ඒ අය හිතන්නේ තමන් කරන කියන දේවල් ඔක්කොම හරියි කියලයි. අපි ආණ්ඩු පක්‍ෂයේ පැත්තට ආවාම අපේ අයටත් මම මුලින් කිව්ව දේ වෙන්න බැරි නැහැ. එතකොට අපි ඒ අයට කියනවා අපි ඔය පැත්තට ආවාම අපේ නායකයා මේවා කරන්න ආවොත් අපි කියනවා...."
මහින්ද රාජපක්‍ෂ
පාර්ලිමේන්තු හැන්සාර්ඩ්
16.11.1993
මහින්ද මේ කියන්නේ මහින්දලා ආණ්ඩු පක්‍ෂයට ආවාම මහින්දලාගේ නායකයා වැරැදි වැඩ කරන්න ගියොත් මහින්දලා වැරැදි වැඩේ කරන්න එපා කියලා කියනවාය කියාය.
මේ 2013ය. ඒ කියන්නේ මහින්ද මේ කතාව කිව්වේ අවුරුදු 20කට කලින්ය. දැන් මහින්ද නායකයාය. ජනාධිපතිය.
ඔහුට ඩියු, තිස්ස සහ වාසු මේ දෝෂාභියෝගය ගෙනෙන්න එපා කියලා කීහ. අද ආණ්ඩුවේ පමණක් නොව පාර්ලිමේන්තුවේම ජේ‍යෂ්ඨයා රත්නසිරි වික්‍රමනායක දෝෂාභියෝගය සම්බන්ධයෙන් අඩියක් පස්සට ගන්න කියා කීවේය.
ඒත් මහින්ද එදා ඩී. බී. විජේතුංග ජනාධිපති ගැන කිව්වා වගේ අද ජනාධිපති මහින්ද ඉන්නේ වෙන ලෝකයකය. මන්ත්‍රි මහින්ද කිව්වා වගේ අද ජනාධිපති මහින්ද ඉන්නේ ආරක්‍ෂක භටයන්ගෙන් වැහිලාය. ඔත්තුකාරයන්ගෙන් වැහිලාය.
අද මහින්ද හිතන්නේ මේ දෝෂාභියෝගයට විරුද්ධ ඔක්කොම හතුරෝ කියලාය. එන්. ජී. ඕ. කාරයෝ කියලාය. ජාත්‍යන්තර ඉත්තන් කියලාය. හැබැයි මහින්දවයි, ආණ්ඩුවයි, රටයි තුනම බේරාගන්න හිතන කවුරුත් හෝ මේ දෝෂාභියෝගයට හතුරන් විය යුතුය.
මන්ද මේ දෝෂාභියෝගය මහින්දවයි ආණ්ඩුවයි පමණක් නොව රටම විනාශ කරන්න යන දෝෂාභියෝගයකි.
1983 කළු ජූලියත් 2013 කළු ජූරියත් අතර වෙනසක් නැත. 1983 උතුරේ හමුදා සෙබළු 13කගේ මළ සිරුරු කොළඹට ගෙන එනකොට ජේ. ආර්. ජයවර්ධනයි, ආණ්ඩුවයි හිතුවේ මහා ලැජ්ජාවක් කියලාය.
"අපි හයෙන් පහක ආණ්ඩුවක්. පර දෙමල්ලු අපිට පාට් දාන්න...."
ජේ. ආර්. සහ ආණ්ඩුව එදා සරම උස්සා ගත්තේ එහෙම කියාගෙනය. මුළු රටේම දමිළ ජනයාට ගහලා එළෙව්වේ ඉන් පසුවය.
යුද්ධය ඉවර වුණාට තවමත් ඒ ශාපය ඉවර නැත. ඒ ශාපයෙන් විඳෙව්වේ ජේ. ආර්. සහ ඔහුගේ ආණ්ඩුව පමණක් නොව රටමය.
දමිළ ජනයා කියන්නේ මෙරට සුළු ජාතියක් බවත්, ඔවුන් මරලා, ගිනි තියලා, ගහලා එළෙව්වාම ඉන්දියාව ඇතුළු ලෝකයාගෙන් එල්ල වන අපවාදය ජේ. ආර්.ට හෝ ආණ්ඩුවට පෙනුණේ නැත. ඒ අර මහින්ද කිව්වා වගේ වෙන ලෝකයක හිටිය නිසාය. වහගෙන හිටිය නිසාය.
දෝෂාභියෝගය හරහා අධිකරණයට ගැහීමත් දමිළ ජනයාට ගැහුවා වගේ භයානකය. දමිළ ජනයාට ගැහුවේ කළු ජූලියෙන්ය. අධිකරණයට ගහන්නේ දෝෂාභියෝගය නමැති කළු ජූරියෙන්ය. දමිළ ජනයාට ගහලා ජේ. ආර්. ගේ ආණ්ඩුව එල්. ටී. ටී. ඊ.යට ආයුධ දුන්නේය. අධිකරණයට ගහලා මේ ආණ්ඩුව ආයුධ දෙන්න යන්නේ අවනීතියටය.
එදා ජේ. ආර්. ගේ ආණ්ඩුව හිතුවේ සෙබළු 13 දෙනා මැරුවාට දමිළයන් ගහලා මරලා ගිනි තිබ්බාම ආයේ උතුරේ මේ වගේ සිද්ධියක් ඇති නොවෙයි කියලාය. අද මහින්දගේ ආණ්ඩුව හිතන්නේ අගවිනිසුරුවරිය ඉවත් කළාම අධිකරණයෙන් ආණ්ඩුවට එරෙහි තීන්දු එන එකක් නැහැ කියලාය.
"මේක තුනෙන් දෙකේ ආණ්ඩුවක්. අධිකරණය එනවා අපිට පාට් දමන්න..."
ආණ්ඩුව දෝෂාභියෝගය ගෙන ආවේ සරම උස්සාගෙන එහෙම කියාගෙනය. හැබැයි අධිකරණය වැටුණොත් ඒක උතුරු - නැඟෙනහිර වැටුණාට වඩා භයානක බව මේ ආණ්ඩුව දන්නේ නැත.
හැබැයි ඒක වත්මන් අගවිනිසුරුවරිය දනී.
"ද්වේෂ සහගතව මට පහර ගහනවා. මා හට මොනවා අහිමි වුණත් අසාධාරණයට එරෙහි යම් ශක්තියක් ජනතාවට ඉතිරි කිරීමයි මාගේ උත්සාහය...." ඇය පසුගියදා කැලණි පූජා භූමියේදී මෙහෙම කීවේ ඒ නිසාය.
ඇයට දිවි නැඟුම පනතට එරෙහිව තීන්දුව නොදී ඉන්නට තිබිණි. එහෙම නම් අද මේ ආණ්ඩුවට ලොව ඉන්න හොඳම දේශප්‍රේමී ජාතිහිතෛෂී අගවිනිසුරුවරිය ඇයය.
දිවි නැඟුමට එරෙහිව තීන්දුව දුන්නාට පසු ඇයට ආණ්ඩුවත් එක්ක ඩීල් එකකට යෑමට ඉඩ තිබිණි.
දෝෂාභියෝගය ගෙන ආවාට පසු ඇයට අගවිනිසුරු ධුරයෙන් ඉවත් වී තමන් කැමැති රටක තානාපතිවරියක් වීමට ඉඩ තිබිණි.
ඒත් ඇය රට වෙනුවෙන්, රටේ නීතිය වෙනුවෙන්, තමා ගමේ පාසලින් විශ්වවිද්‍යාලයට ගොස් උගෙන ගත් දැනුමෙන් හදාගත් චරිතය ඝාතනය කරන්න දේශපාලන ව්‍යාජ වැද්දන්ට ඉඩ දුන්නාය. පතරොම්වලට වඩා මරාගෙන මැරෙන බෝම්බවල යකඩ බෝලවලට වඩා අපහාස උපහාස නින්දා සැරය.
"මාව මරලා දමන්න. ඒත් මා අමාරුවෙන් හදා ගත්ත මගේ චරිතය ඝාතනය කරන්න එපා...."
ප්‍රේමදාස වගේ අභීත සිංහයෙක් නින්දා අපහාස ඉවසා ගත නොහී පූසෙක් වගේ ඇසේ කඳුළු පුරවාගෙන කීවේ නින්දා, අපහාස, උපහාස ඉදිරියේ හතර ගාතේ වැටිලාය.
ඒත් අගවිනිසුරුවරිය අපහාස, උපහාස නින්දාවලින් වට්ටවන්න මේ ආණ්ඩුවට බැරි වී ඇත. ඇය අද නීතිය ආරක්‍ෂා කරන නීතියේ යුවතිය බවට පත්ව ඇත්තේ එහෙයිනි. ඇය තමාව ඉවත් කරන්න දී නිහඬ වූවා නම් ඇයට පසු අධිකරණය ආණ්ඩුවේ තීන්දු දෙන්නේ තමන්ටත් දෝෂාභියෝගයක් එයි කියන බය හිතේ තියාගෙනය. මිනීමැරුමක් හෝ දූෂණයක් ගැන ආණ්ඩුවේ ඇමැතිවරුන්ට එරෙහි තීන්දු දෙන්න දෙවරක් හිතන්නේ දෝෂාභියෝගයක් ගෙනත් මාසෙන් තමාව එළියට දමයි කියන බව හිතේ තියාගෙනය.
අගවිනිසුරුවරියගේ මේ සටන ඒ බය නැති කරන්නටය. දෝෂාභියෝගයකින් විනිසුරුවකු එළවන එක ලෙහෙසි නැහැ කියලා පෙන්වන්නටය. තමන්ට පසු අගවිනිසුරු ධුරයේ අසුන් ගන්නේ කවුද, ඔහුට හෝ ඇයට දෝෂාභියෝගවලට බය නොවී කොන්ද කෙළින් තියාගෙන තීන්දු දිය හැකි අධිකරණයක් හදන්නටය.
ඇයව හෙට අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළහොත් ඇයගේ දැනුමට ඇයට ලොව පළමු පෙළේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්ය පදවියකට යා හැකිය. ලක්‍ෂ ගණන් වැටුප් ලැබිය හැකිය.
හැබැයි මහින්දට එහෙම නොවේ. ඇයව ඉවත් කළ දින සිට මාර්තු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම රැස් වන දින දක්වා එන්නේ නිදි නැති රැයවල්ය. 2002දී එ. ජා. ප. ආණ්ඩුව දෝෂාභියෝගයකින් විනිසුරුවන් අස් කිරීමේදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභා තීන්දු අධිකරණ විනිශ්චයට යටත් කළ යුතු බවට පොරොන්දු වී ඇත. ඒ පොරොන්දුව දී ඇත්තේ එවකට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පසුව මහින්ද පත් කළ නීතිපති මහින්දගේ සමීපතම මිතුරු සී. ආර්. ද සිල්වාය. මහින්ද පත් කරපු එල්. එල්. ආර්. සී. කමිටුවේ සභාපති වූයේද ඔහුය.
දැන් මාර්තුවේ මානව හිමිකම් කොමිසම ගිය වසරේ ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාවට අනුව ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය නිරීක්‍ෂණය කරන විට 2002දී අගවිනිසුරුවරයෙක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ලංකාව දුන්න පොරොන්දුව කඩ කිරීම ගැන ආණ්ඩුවට උත්තර බඳින්න සිදුවනු ඇත.
"අනවශ්‍ය හැප්පීම් ඇති කර ගැනීමෙන් අන්තිමට සිදුවන්නේ අපේ මවුබිමට විශාල හානියක්. විශාල සෝදා පාළුවක් මවුබිමට ඇති වෙනවා....."
අද පාර්ලිමේන්තුවේ සිටින ජේ‍යෂ්ඨතමයා වන රත්නසිරි වික්‍රමනායක මෙලෙස කියා ඇත්තේ මෙය දැනගෙනය.
දේශහිතෛෂීන්, දේශප්‍රේමීන් කියන්නේ ඇතැම් පුද්ගලයන් රට අස්ථාවර කිරීමට අධිකරණය ප්‍රයෝජනයට ගෙන ඇති බවය. ඒත් ඇත්ත නම් ලංකාවට එරෙහි සතුරු රටවල්වලට ලංකාවට දඬුවම් දීමට හැකි වන ලෙසට අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ ක්‍ෂණික ක්‍රම හොයන්න ගිහින් යුද අපරාධ චෝදනාවලින් කබලට වැටුණ රට කබලෙන් ළිපට ඇද දමා ඇත. මේ අගවිනිසුරුවරිය අගවිනිසුරු ධුරයේ තියාගන්න ලංකාවට එරෙහි සතුරු රටවලට අවශ්‍ය නැත. ඔවුන්ට අවශ්‍ය මහින්ද ලවා අගවිනිසුරුවරිය ඉවත් කරවාගෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ ලංකාව දඬු කඳේ ගස්වන්නටය.
මහින්දට මේ වැඩේට උල්පන්දම් දෙන්නේ රට අස්ථාවර කරන්න හදන දේශප්‍රේමී, දේශහිතෛෂී වෙස් ගත් කුමන්ත්‍රණකාරයන්ය.
මේ කුමන්ත්‍රණකාරයන් ගැන ලියද්දී මතක් වන්නේ මහින්ද විපක්‍ෂයේ සිටියදී කළ තවත් අපූරු කතාවක්ය.
"මට මෙහිදී මතක් වෙනවා අර රෙදි වියන්නාගේ කතාව. රජතුමාට රෙදි වියන්නා හොඳ ඇඳුමක්ය කියා එකක් ඇන්දෙව්වා. හොඳ ලස්සන ඇඳුමක්ය කියා රජතුමා ඇඳ ගත්තා. අන්තිමට බලන කොට රජතුමා ගිහින් තිබෙන්නේ ඇඳුමක් නැතිවයි. ඒ නිසා නායකයන්ට ඇත්ත තත්ත්වය, රටේ නියම තත්ත්වය, ජනතාවගේ නියම තත්ත්වය, පාක්‍ෂිකයන්ගේ නියම තත්ත්වය වටහා දීම සියලු දෙනාගේම යුතුකමක් වෙනවා...."
මහින්ද රාජපක්‍ෂ
පාර්ලිමේන්තු හැන්සාර්ඩ්
16.12.1993
මහින්දත් මේ දිනවල හරි ලස්සනයි කියලා දෝෂාභියෝගය කියන අමුතු ඇඳුම ඇඳගෙන තිබේ. මේ ඇඳුම වියෙව්වේ කවුද දන්නේ නැත. ලස්සනයි කියලා ඇන්දුවේ කවුද දන්නේත් නැත. හැබැයි මේ ඇඳුම ඇඳගෙන මහින්ද යනකොට පේන ලස්සන බලන්න කණ්ණාඩියක් ඉස්සරහට යා යුතු නැත. හේතුව මහින්දම එදා කී රෙදි වියන්නාගේ කතාව අද මහින්දටම හැඩ බලන කණ්ණාඩියක් වැනිය.